“ඒ ඕස්ට්‍රේලියාවේ; මේ ලංකාව, මේ රටට ආදරයක් නැත්තන් ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න.” – අපූරු අධිකරණ තින්දුවක්

පුවත්

ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නතර කර ප්‍රභූ වාහන කිහිපයකට යෑමට ඉඩ සැලසීමට එරෙහිව සාමකාමී විරෝධයක් කළ තරුණයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය ‘පොර වෙන්න හදන්න එපා…. හැමදේටම පිස්සො වගේ හැසිරෙනවා’ යැයි එම තරුණයාට දැඩි ලෙස දෝෂාරෝපනය කළ බව මීඩ්යාඩොට්එල්කේ වෙබ් අඩවිය සඳහන් කරයි.
මෙම අධිකරණ තිරණය මෙතෙක් අසා නැති අපූරු තීන්දුවක් බව ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත අදහස් දැක්වූ ජේෂ්ඨ නිතිවේදියකු සඳහන් කළේය.

මේ විනිසුරුවරියට අනුව ලෝකයේ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාකාරිත්වය මෙරට අධිකරණයට අදාළ නැති බව පෙනේ යැයිද මේ පිළිබඳව අදහස් දක්වන පිරිස් පවසති.

ප්‍රභූ ගමනා ගමනය සඳහා මහා මාර්ගයක් වසා දමන ලද අවස්ථාවක ඊට විරෝධ්‍ය පළ කරමින් වාහාන නළා හැඩවන්නැයි අනෙක් රියදුන්ට ආයාචනා කළ තරුණයා අත් අඩංඟුවට ගෙන අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක්ම කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම තරුණයා අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අප්‍රේල් 30 වැනිදාය. .
ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතීඥවරුන් දැනුම් දුන්නේ මොහු කොළඹ නාලාන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔ්ස්ට්‍රේලියාවට ගොස් මෑතකදි ලංකාවට පැමිණි බවයි. ඔ්ස්ට්‍රේලියා අගමැතිවරයා යද්දීවත් මෙවැනි සීමා කිරීම් පනවන්නේ නැති බව නීතීඥවරු දැනුම් දුන් බවත් එවිට “‘ඒ් ඕස්ට්‍රේලියාවේ. මේ ලංකාවනේ.’ සහ ‘තමුන්ට මේ රටට ආදරයක් නැත්තන්.. එන්න එපා ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න.’ යැයි එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළ බවද මීඩියාඩොට්එල්කේ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
මෙම පුද්ගලයා මෙවැනි සිදුවීමකට මුහුණ දී ඇත්තේ පළමු වරට බවට නීතීඥවරුන් ප්‍රකාශ කරද්දී මහේස්ත්‍රාත්වරිය මෙම සිදුවීම ගැන තම අදහස් ප්‍රකාශ කරන්නට වූවාය. ‘මේ සම්බන්ධයෙන් කණගාටුවට පත්වෙලා තමුන් සමාව අයදින්න කැමතියිද ?’ යැයි ද මහේස්ත්‍රාත්වරිය විමසා සිට ඇත.
මෙම සැකකාර තරුණයා අත ඔසවා අධිකරණයේ අවසරය මත සිදුවීම පැහැදිලි කරද්දී ‘තමුන් ඇති කතා කළා. තමුන් කතා කරපු හැටි මම දැක්ක මාධ්‍ය ජාලා වල.’ යැයි ද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබේ.
මෙම කටයුත්ත සම්බන්ධයෙන් තරුණයාට දොස් නැගූ මහේස්ත්‍රාත්වරිය ඔහු රුපියල් 50,000 ක ඇපයක් මත මුදා හරින ලෙස ද නියෝග කළාය.
එම වාර්තාව තව දුරටත් මෙසේ සඳහන් කරයි.

නඩුවක සැකකරුවෙකු සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ සිදු කිරීම විනිසුරුවරයෙකු විසින් නොකළයුතු දෙයක් බවත්, මෙවැනි ප්‍රකාශ මගින් මහේස්ත්‍රාත්වරියගේ අපක්ෂපාතීභාවය පිළිබඳ දැඩි සැකයක් ඇතිවනබවත් නීතීඥවරු පෙන්වා දෙති. නම් ප්‍රසිද්ධ නොකිරීමේ කොන්දේසිය මත නීතිඥවරයකු කියා සිටියේ “විනිසුරුතුමියගේ ක්‍රියාකලාපය ඉතාමත්ම අශෝභන යි. නීතිය ඉදිරියේ නිර්දෝෂි බවේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් විනිසුරුතුමිය කිසිදු තැකීමක් කර නොමැති බව තමයි ඇයගේ මේ ප්‍රකාශ වලින් පෙනී ගියේ. තමන් නඩුව පිළිබඳ කරුණු බාහිරව දැනගෙන තියෙනවානම් ඒවා නොසලකා හරින්න ඕනෑ. එහෙම නැතිනම් නඩුව අහන්න බෑ කියන්න ඕනෑ. ඒක තමයි නීතිය. ඩැනී එදිරිව සිරිනිමල් නඩුවේ පැහැදිලිව කියනවා විනිසුරුවරයෙක් කියන්නේ පරපීඩාකාමී විමර්ශකවරයෙකුගේ ආශාවන්වලට රබර් මුද්‍රාවක් තබන්නෙක් නෙමෙයි කියලා. හැබැයි එදා අධිකරණයේදී සිදුවෙලා තියෙන්නේ ඒ දේමයි.”
අධිකරණ සේවා කොමිෂන් සභාව 2010 සැප්තැම්බර පළමු වැනි දා නිකුත් කළ චක්‍රලේඛ අංක 328 හි අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවයට හානි සිදුවන බැවින් විනිශ්චයකාරවරුන් නඩු කටයුතුවලදී නඩුවට අදාල නොවන ප්‍රකාශ විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීමෙන් වැලකිය යුතු යැයි සඳහන් කර තිබේ. එසේ තිබියදී මහේස්ත්‍රාත්වරිය මෙයාකාරයෙන් කටයුතු කිරීම ඉතාමත්ම බරපතල තත්ත්වයක් බවත් අධිකරණ සේවා කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු බවටත් නීතිඥවරු පෙන්වා දෙති.
“පොලිසිය මේ ආකාරයට සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම, අධිකරණවල විනිසුරුවරුන් මේ ආකාරයට එවැනි පුද්ගලයින්ට බැණවැදීම නිසා සමාජය තුල විරෝධතා දැක්වීමට බයක් ඇතිවෙනවා. ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. සාමකාමීව විරෝධතා දක්වන එක ඕනෑම ප්‍රජාතාන්ත්‍රවාදී රටක තියෙන අයිතියක්.” යැයි සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් MediaLK සමඟ ප්‍රකාශ කළේය
ස්තුතිය medialk.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *