ශ්‍රී ලංකාවේ පැවති එල්.ටී.ටී.ඊයට විරුද්ධව රජය විසින් කරන ලද යුද්ධය මගින් දෙමළ ප්‍රජාව ‘සමූල ඝාතනයකට” ලක්කර ඇති බව ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබේ. පනත් අංක 104 නමින් ‘දෙමළ සංහාර අධ්‍යයන සතිය’ (Tamil Genocide Education Week) ලෙස හැඳින්වෙන මෙම පෞද්ගලික පනත ඔන්ටාරියෝ ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී විජේ තානිගසලම්( Wije Thanigasalam)මහතා විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව 2019 අප්‍රේල් 30 වන දින පළමුවරටත් ,2019 මැයි 16 වන දින දෙවන වරටත් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන ලදී. තානිගසලම් මහතා ඉදිරිපත් කළ මෙම පනත තුන්වන වර කියවීමෙන් පසු ක්‍රියාත්මක කළ යුතු නීතියක් ලෙස බහුතර ඡන්දයෙන් සම්මත විය.
2021 මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී ද කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය. එහෙත් එම යෝජනාවේ පවා ‘සමූල ඝාතනයක්’ පිළිබඳව කිසිවක් සඳහන් නොවිණි.
ආජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජී, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයිවරි කෝස්ට්, මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, එක්සත් රාජධානිය සහ උරුගුවේ, යන රටවල් ද ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේ දී ඡන්දය පාවිච්චි කළේය.
කැනේඩියානු මාධ්‍ය තානිගසලම් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ උපුටා දක්වමින් පවසා සිටියේ ‘ලොව පුරා එවැනි නීතියක් සම්මත කළ පළමු රජය ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය’ බවයි.
104 වැනි පනත් කෙටුම්පත (දෙමළ ජන සංහාර අධ්‍යාපන සතියේ පනත) මගින් සෑම වසරකම මැයි 11 සිට 18 දක්වා දින හතක් මේ පිළිබඳව ශිෂ්‍යයන් දැනුවත් කරනු ඇත.
රෙගුලාසි හා පෞද්ගලික පනත් කෙටුම්පත් පිළිබඳ ස්ථාවර කාරක සභාවට යම් යම් කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක් මෙම පියවරට තදින්ම විරුද්ධ විය.
දෙමළ ජන සංහාරය පිලිබඳ පනත් කෙටුම්පත සම්මත වීම වැලැක්වීම සඳහා ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකළ ආයතනයකි Canadian Sri Lankan Centre for Ethnic Harmony . එහි සභාපති ආචාර්ය සරත් චන්ද්‍රසේකර මේ සම්මතය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය. ”අපේ අදහස නම් මෙවැනි පනතක් සම්මත කිරීමට ඔන්ටාරියෝ ව්‍යවස්ථා සභාවට බලයක් නොමැති බවයි. අපරාධ නීතිය (Criminal Law) සම්බන්ධ නීති පැනවීමට ව්‍යවස්ථානුකූලව බලය ඇත්තේ මධ්‍යම ආන්ඩුවට පමණයි. එහෙත් අධ්‍යාපනය පිළිබඳ නීති පැනවීමට පළාත් ව්‍යවස්ථාදායකයට හැකියාව ඇත. එහෙයින් ඔවුන් ඉතා සූක්ෂම ලෙස අධ්‍යාපනය යන කාරණයට ඇතුලත් කොට ‘දෙමළ සංහාරය පිළිබඳ අධ්‍යයන සතියක් සම්මත කරගෙන ඇත.”
“අනෙක් කාරණය වන්නේ 124 දෙනෙක් මන්ත්‍රීවරු සිටින පළාත් සභාවේ මෙම සම්මතය සඳහා මන්ත්‍රීවරු අතිෂය සුළු ප්‍රමාණයක් පමණක් (12ක්) සහභාගි වීම. මෙම සම්මත වූ පනත නීතියක් බවට පත්වෙන්නේ පළාත් ආණ්ඩුකාරවරියගේ අනුමැතිය ලැබුණු පසුවයි. අප අපගේ විරෝධතාවයන් ඇය වෙත යොමුකර තිබෙනවා. අප වගේම සංවිධාන හා පුද්ගලයන් ගණනාවක්ම මේ ගැන විරෝධතා ගොනු කර තිබෙනවා. මා හිතන ආකාරයට නිවැරැදි ක්‍රමය නම් මෙම යෝජනාව සම්මත වීමට ප්‍රථම අපව අදාළ කමිටුව වෙත කැඳවා අපගේ විරෝධතාවයන් විමසිය යුතු බවයි. විශේෂයෙන් පුද්ගලික පනත් සඳහා එසේ කැඳවීම අවශ්‍ය බවයි මගේ වැටහීම. මෙම කාරණය පිළිබඳව තවදුරටත් අප ක්‍රියාකාරීව කටයුතු කිරීමට සූදානම්.”
මෙකී සම්මතය පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වන ආචාර්ය සරත් චන්ද්‍රසේකර මෙම පනත ක්‍රියාත්මක වුවහොත් ඇතිවිය හැකි අනිටු ප්‍රථිපල ගැන මෙලෙස අදහස් දක්වනවා. ”මේ වනවිටත් දෙමළ සිංහල ජනයා අතර යම් සංහිඳියාවක් ගොඩනැගෙමින් පවතිනවා. විශේෂයෙන් පාසල් දරුවන් අතර දෙමළකම සිංහලකම ප්‍රශ්නයක් වී නැහැ. මෙම පනත සම්මතයත් සමග සිදුවන්නේ සිංහල හා දෙමළ සිසු දරුවන් අතර දැනටත් ගොඩනැගී ඇති සංහිඳියාවට හානි පැමිණීමයි. අපගේ ප්‍රධාන අවධානය යොමුවන්නේ දීර්ඝකාලීන අනිටු ප්‍රථිපල ගෙන දිය හැකි මෙම කාරණය ගැනයි.”
පනත් කෙටුම්පත පහත වෙබ් සබැඳියට පිවිසීමෙන් කියවීමට හැකිය.
https://www.ola.org/en/legislative-business/bills/parliament-42/session-1/bill-104