ශ්‍රී ලංකාවේ අභිලේඛන පිළිබඳ ප්රාමාණිකයෙකු වු මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා 2020.12.26 දින දිවි සැරියෙන් සමු ගත්තේ ය. මිය යව විට එතුමා 99 වන වියේ පසු විය.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසීමට පෙර වසර කිහිපයක් ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් වරයෙකු ලෙස සේවය කර ඇත. පසුව ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩ බලන උප කුලපති ලෙස අප රටේ ඉතා අසීරු කාලයක් වුන 1980 දශකයේ අවසන් කාලයේ සේවය කර ඇත. එතුමා සුහද පිළිසඳර වල දී එතුමාගේ අතීතය පිළිබඳ විමසනු ලැබු විට නිහතමානී ව මම P.C. ඉඳන් V.C. වුනේ යනුවෙන් මා සමඟ පවසා ඇත.
1921.10.16 දින කොග්ගල දී එතුමා උපත ලබා ඇත. 1944 – 1953 දක්වා ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් වරයෙකු ලෙස සේවය කර ඇති ඔහු 1953 දී (ඔහුට වයස අවුරුදු 32 දී) පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වී ඇත. 1966 දී “A Political History of Ruhuna” යන මාතෘකාව යටතේ ලංඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත.
1977 වර්ෂයේ රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධ වු මෙතුමා ඉතිහාසය, පුරාවිද්‍යාව සහ අභිලේඛන යන ක්ෂේත්රයන්හි කළ පර්යේෂණ කැපී පෙනෙයි. ඔහු ලිපි 245 ක් සහ පොත් 15 ක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අතර වසර 2000 දී පල කල “සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය” ලංකාවේ සෙල්ලිපි අධ්‍යනය කරනා සියලු දෙනා භාවිතා කරනා කෘතියකි.
ඔහුගේ ජයග්‍රහණ අගයමින් මහාචාර්ය රණවැල්ලට ගෞරව සම්මාන රාශියක් පිරිනමා ඇත: D. Lit. උපාධිය, කැලණි විශ්ව විද්‍යාලය (2000); ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සංගමය විසින් පිරිනමන ශ්‍රීමත් එස්. සී. ඔබේසේකර අනුස්මරණ පදක්කම (2010); ජාතික උරුමයන් අමාත්‍යාංශය විසින් පිරිනමන ලද උරුම ප්‍රසාද ප්රණාම සම්මානය (2012).
වැදගත් ම දෙය වන්නේ ඔහුගේ ප්රකාශනවල ප්‍රමාණය පමණක් නොව ඒවායේ ගුණාත්මක භාවය මෙන්ම ඔහු ආවරණය කර ඇති ක්ෂේත්රයන්ය.
අප ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
archaeology.lk / history.lk / Institute of Archaeology and Heritage Studies