විනී ලයනල් ගලහිටියාව
රත්නපුර කෞතුකාගාරයේ හිටපු ස්ථාන භාර නිලධාරී
ශ‍්‍රී ලාංකික ජන උරුමයන් අවදිකරමින් පර්යේෂණාත්මක යුග මෙහෙවරක් කළ විද්වතුන් අප අතර ඉතිරිව ඇත්තේ ඉතාම අල්පයකි. ඒ දැනුමැත්තන් අතර කෞතුකාගාර ක්ෂේත‍්‍රයට අනූපම දායකත්වයක් ලබාදුන් පෙරගමන්කරුවන් අතරද පෙරමුණේම සිටින විද්වතෙකු වූ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතාට ඔක්තෝම්බර් 18 දා අසූ එක් වසරක් සපිරුණි. මෙහිලා මාගේ උත්සාහය වන්නේ එම විද්වතාගේ ලත් තොරතුරු විමසා කරුණු බිඳක් ඔබ වෙත ගෙනහැර පෑමය.
ඒ දැනුමත්තා වසර විසි ගණනක කාලයක් රාජකාරි වශයෙන් සමීපව ඇසුරු කළ ගෝලයකු වූ හෙයින් ඔහු හමුවන අටියෙන් මා වේයන්ගොඩ මාරමූල්ල මාර්ගයේ මද දුරක් ගෙවා අසපුවක් බඳු වූ නිවසේ ආලින්දයට ගොඩ වැදුනෙමි. ඒ වන විට ඔහු ආලින්දයේ කෙළවර පුටුවක හිඳ පොතක් කියවමින් සිටියේ ය. මා දුටු කෙණෙහි ම සුපුරුදු සිනහවක් හා හලෝ විනී කියා අමතා පිළිගනු ලැබීය.
සිරිනිමල් ලක්දුසිංහයන් උපත ලද්දේ 1939 ඔක්තෝබර් මස 18 වන දීය. ඒ ගම්පහ සියනෑ කෝරළයේ වේයන්ගොඩට නුදුරු නිවසක දීය. මව ඇසලින් ලියනගේ වූ අතර පියා ඩබ්.පී. ජානිස් ය. පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිණුම් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ අතර එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයෙක් ද විය.
ඒ මහතා වේයන්ගොඩ ප‍්‍රාථමික විද්‍යාලයෙන් හා මධ්‍ය මහා විද්‍යාලයන්හි ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇත. 1963 දී අපොස (උසස් පෙළ* විභාගයෙන් සමත්ව තරුණ ලක්දුසිංහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබනුයේ 1967 වසරේදීය.
ඒ වකවානුවේදී වාමාංශික දේශපාලනයේ නියැලි ශිෂ්‍ය සංගම් හි විවිධ තනතුරු හොබවනු ලැබුවේ තවද එම අවධියේ දේශපාලන සමකාලීනයන් ලෙස ආරිය බුලේගොඩ, පී. කිරිවන්දෙණිය, අ.ගා. ජයසේන හා මාදුළුවාවේ සෝභිත හිමි, පොහොද්දරමුල්ලේ පේ‍්‍රමාලෝක හිමි යන ගිහි පැවිදි විශිෂ්ටයන් සමඟ සමාජ දේශපාලන සංවාදයක නිරත වූයේය.
එයින් පසු කාලීනව කම්කරු දෙපාර්තමේන්තුවේ අනියම් ලිපිකරු තනතුරකින් වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු 1969 වසරේ කල්මුණේ පළාත් පාලන කාර්යාලයේ ප‍්‍රජා සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇත.
1970 වසරේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මානව වංශ විද්‍යා සහකාර තනතුරට පත්ව කෞතුකාගාර ප‍්‍රවර්ධනය සඳහා භාණ්ඩ රැුස්කිරීම, ලේඛනගත කිරීම, සංරක්ෂණය කිරීම, ආරක්ෂණය, පර්යේෂණ හා ප‍්‍රදර්ශන කටයුතුවල නිරතව ඇත.
1944 දෙවන ලෝක යුද්ධ සමයේදී කොළඹ කෞතුකාගාරයේ ප‍්‍රධාන මැදිරිය ආරක්ෂක හේතූන් මත භාණ්ඩ ඉවත් කර වසා දමා තිබුණි. එළෙසින් වසර විසි අටක් පමණ වසා තිබුණු ප‍්‍රධාන ගැලරිය නැවත ප‍්‍රතිසංවිධානය කර මහජන ප‍්‍රදර්ශනය සඳහා ඉඩ සැලසීම එතුමාගේ සුවිශේෂී කාර්යයක් විය.
එලෙසින්ම කල්යත්ම 1994 දී ඔහු කෞතුකාගාර අධ්‍යක්ෂ තනතුරට පත් වන්නේ ය. එයින් පසු කොලඹ කෞතුකාගාරය ප‍්‍රධාන කෞතුකාගාර ජාලයේ අඩුපාඩු එකින් එක සොයා බලා නිවැරදි කිරීම සඳහා යම් පියවරයන් ගැනිණ.
එම පියවරයන් අතර කොළඹ කෞතුකාගාර ප‍්‍රධාන පුස්තකාලය තිබුනත් ඉඩකඩ මඳ හෙයින් වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට සූදානම් කර තිබුණි. ඒ අවධියේ සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වූ මහාචාර්ය ඒ වී සුරවීර මාර්ගයෙන් එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කුමාරතුංගට දන්වන ලදී. එකෙනෙහිම ජනාධිපතිනිය මිලියන 186ක් අනුමත කර සිව් මහල් ගොඩනැගිලි දෙකක් ප‍්‍රධාන කෞතුකාගාරයට සම්බන්ධ කර ඉදි කිරීමට කටයුතු කළේය. එය ලක්දුසිංහයන් ලත් තවත් ජයග‍්‍රහණයකි.
ඒ වනවිට කෞතුකාගාර දෙපාර්තමේන්තුවට උපාධිධාරීන් සිටියේ දෙතුන් දෙනකු පමණි. ලක්දුසිංහයන් කෞතුකාගාර ප‍්‍රධාන තනතුරු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කරන ලදී. එලෙස බදවා ගත් අය අතුරින් වර්තමාන කතුකාගාරය අධක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි, නියෝජ්‍ය කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික‍්‍රමසිංහ හා කොළඹ කෞතුකාගාර අධිකාරි රංජිත් හේවගේ වෙති. ඒ ගැන ඔහු සතුටු වන බව අප හා කීය.
1996 වර්ෂයේ විශේෂිත වූ ලෝකප‍්‍රකට කලා නිර්මාණ ප‍්‍රදර්ශනයක් කොළඹ කෞතුකාගාරයේ දී පවත්වා ඇත. ඒ ප‍්‍රදර්ශනය පිළිබඳ සමරු සටහනක් තබන මහාචාර්ය සුනිල් ආරියරත්න මෙසේ සඳහන් කර ඇත.
‘‘මේ තරම් කාලයක් මේ ප‍්‍රදර්ශනය නරඹන්නට මෙතනට නොපැමිණීම ගැන මම ලැජ්ජා වෙමි. අපි හැමදාමත් දකින්නේ ප‍්‍රදර්ශන නාමයෙන් පවත්වන්නා වූ භාණ්ඩ පෙලගැස්මකි. එහෙත් මෙකී ප‍්‍රදර්ශනය වනාහී ශ‍්‍රී ලංකාවාසීන් තුළ මහත් අභිමානයක් දනවන අයුරින් නිර්මාණාත්මකව සැකසුණු පෙළහරකි. මෙබඳු පෙළහරක් පෑ සිරිනිමල් ලක්දුසිංහයන්ටත්, කාර්යමණ්ඩලයටත් සමස්ත ලංකා වාසීන්ගේ ප‍්‍රණාමය පුද කල යුතුය.’’
සුනිල් ආරියරත්න
1996-01-18
ලක්දුසිංහයන් 1999 වසරේ කෞතුකාගාර සේවයෙන් විශ‍්‍රාම යන විට ඔහු පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස ද පත්ව සිටි අතර ඉන් විශ‍්‍රාම ලබන්නේ 2004 වසරේදීය.
එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු වන අතර ඔහු කවියෙක්, මෙන්ම ලේඛකයෙක් ද වේ.
සිරිනිමල් ලක්දුසිංහයන් කෞතුකාගාර සේවයෙන් සමුගන්නා උත්සවය අමතා කළ දේශනයේ මෙලෙස සටහනක් කර ඇත.
‘‘මම වේයන්ගොඩ ගමේ ගැමි ගෙදරක උපන් කෙනෙක්. අද මේ සුවිශේෂී සම්භාවනාවට ලක්වීම තෙක් මගේ ජීවිතයේ සිදු වූ සියලූ වර්ණවත් සිද්ධිවල හිමිකම් අයිතිය මේ විශිෂ්ට භූමියට අයත්. අප දෙපයින් නැගී සිටුවන ලද්දේ අපට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ මේ පින්බිමයි. එයට දණ නමා වැඳ නමස්කාරයට මේ භූමිය නිතැතින්ම හිමිකම් ලබයි.’’
නිහතමානී ගුණොපලක්ෂිත බුද්ධිමතාණනි ඔබට දීර්ඝායු!