හැරී – මේගන් කඳුළුකතාව!

විශේෂාංග

අමෙරිකාවේ කැලිෆෝනියාහි මේ වනවිට ජීවත් වන සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී – මේගන් යුවළ ඔප්රා වින්ෆ්‍රි ගේ සුප්‍රකට‌ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පසුගිය දා රාජකීය පවුලේ තිරයෙන් පිටුපස සැඟවුන තිත්ත කතාව ලොවටම කීවේය.
ටැබ්ලොයිඩ් පත්තර බාග මගින් එංගලන්ත රාජකීය පවුලේ අසම්මතයින් හැටියට හංවඩුගසා රටෙන්ද පන්නා දැමූ හැරී – මේගන් යුවළගේ මෙම ආන්දෝලනාත්මක රූපවාහිනී සම්මුඛ සාකච්ජාව මේවන විට ලෝකයම කළඹා හමාරය.සසෙක්ස් හී ආදිපාදවරිය ලෙස කුලගැන් වූ අමෙරිකානු හොලිවුඩ් තරුව මෙගන් තමන්ට සුපුරුදු රූපවාහිනි කැමරාව ඉදිරියේ කඳුළු පිසිමින් කරුණු දක්වන අයූරු දුටු ලෝ වැසියන්ට සිහිපත්වුයේ මෙයට වසර් 25කට පෙර හැරිගේ මව ඩයනා කුමරිය එවකට බීබීසි ය වෙත ලබා දුන් ආන්දෝලනාත්මක සාකච්ඡාවයි. එදා ඩයනා විස්තර කළ අයුරින්ම රාජකීයන්ගේ සාම්ප්‍රදායීක, සාටෝපවත්,ෆැන්ටසීමය ප්‍රභූ මහිමතාව තුළ මහපොලොවේ පය ගසා සිටින තමන් ආගන්තුකව අතරමංවූ බවක් දැනීමේ සහ ප්‍රතික්ෂේපවූ හැඟිමක් දැනිමේ ස්වාභාවය මෙදා මේ තරුණ රාජකීයයන් දෙපලටද එකසේ දැනී ඇති බව ලෝකයා දැනගත්තේය‍.ඇත්තටම ඒදා ඩයනා සිය සම්මුඛ සාකච්ඡාවේදි පැළඳ සිටි ඇගේ ප්‍රියතම බ්‍රෙස්ලට් අත්පළඳනාව මෙදා මෙගන් සිය කඳුළුකතාව කියන මොහොතේ පැළඳ සිටීම දෛවෝපගත සිද්ධියක් විය.
රජ පවුලේ සැඟවුණ තිත්ත- විත්ති රැසක් එළිදරව් කළමේ සාකච්ඡාව එදා රෑම මිලියන 17.1ක් නරඹා තිබුණි‍. සමාජ මාධ්‍ය තුළ බිලියන 12ක් අතරට මෙය එක්රැයකින් සංසරණය විය. 2020 ඇකඩමි එවොර්ඩ්ස් වැඩසටහනට ලද ඉහළ ප්‍රමූඛප්‍රතිචාරයද පරදවන ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් මේ රාජකීය නෝක්කාඩුව මගින් එළදරව් කළ ඔපාදූප සදහා ලැබී තිබුණි.මේ රාජකීය කඳුළු ඔපෙරාව එයින් බලාපොරොත්තු වු තැනටම ගල් පහර එල්ල කර තිබුණී. එංගලන්තයේ එක් වෙබ් අඩවියක් තුළ ඒරැය එළිවන විට මෙගන් මර්කල් පතුරු ගසන විවේචනාත්මක ලිපි 50කට අධික සංඛ්‍යාවක් එළිදැක තිබුණී.මෙගන් -හැරී විරෝධය නැවත පණ ගසා විත් තිබුණි.සාලිය -අසෝකමාලා කතාවට නොදෙවෙනි ලෙසටය.
විය යුතු සේම මේ ආදිපාද යුවලගේ එළිදරව්ව රජ පවුලද හොල්ලා තිබුණි. දෙවන එළිසබත් මහ රැජිණ වෙනුවට දින එක හමාරක් පමාවී ප්‍රකාශයක් නිකුත් කරමින් මාළිගය කියා තිබූනේ හැරී , මේගන් මෙන්ම ඔවුන් පුත් “ආචි” සැම විට රජ පවුලේ ආදරණීය සාමාජිකයින් ලෙස පිළිගන්නා බවයි. හැරී සහ මේගන්ට පසුගිය වසර කිහිපය තුළ කෙතරම් අභියෝගාත්මක වී ඇති ද යන්න පිළිබඳව දැන ගැනීමෙන් මුළු පවුලම කනගාටුවට පත්ව සිටින බව ත් ඔවුන් සම්මුඛ සාකච්ඡාවේදී කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් රජ පවුල පෞද්ගලිකව අවධානය යොමු කරන බව ත් එහි සඳහන් වේ. රජ පවුල තුළ ඇති ජාතිවාදය සම්බන්ධයෙන් හැරී සහ මේගන් යුවළ කළ ප්‍රකාශ ඉතා බැරෑරුම් ලෙස ගන්නා බවත් එය දැඩි සැලකිල්ලට යොමු කර ඇති බවත් බකිංහැම් මාළිගය නිකුත් කළ ප්‍රතිචාරයේ සඳහන්ය.
හැරි කුමරු සහ මිශ්‍ර ජාතික උපතක් සහිිිත මේගන් මර්කල් අතර විවාහය සිදුවුයේ 2018 වසරේදී ය. එය ආරම්භයේ සිටම ලොව පුරා ලොකුකතාබහකට මුලපිරූ මංගල්ලයකි.හැල හැප්පිලි සහිත සාමාන්‍ය පවුලකින් පැවත එන ,ඒවන විටත් මුල් විවාහයකින් වෙන්ව සිටි සහ බොලිවුඩ් තාරකාවක් ලෙස ප්‍රෙක්ෂකයන් ඉදිරියේ සරාගික රංගනයන්හි පවා නිරතව සිටි මෙගන් මර්කල් රජපවුලේ සාම්ප්‍රදායීක විනය ගරුක මහේශාඛ්‍ය ජීවන රටාව හා ගැළපෙන්නේ කෙසේද යන්න ගැන කතාබහ පැතිර ගියේ ඒ කාලයේදීමය .කෙසේ වුවද දෙදෙනා විවාහ වු අතර 2019 වසරේදී ඔවුන් වැඩිමහල් පුතු වන ආචි උපත ලැබූවේය. නමුත් මේ මංගල කාරණාදෙකේදීම රජ පවුලේ අනෙකුත් සාද ප්‍රියසම්භාෂණ ආදියේදි දක්නට ලැබුණු මහේෂාඛ්‍ය බව දක්නට ලැබුණේනැත.නව යුවල රජ පවුලේ රූප රාමුවට නොගැළපෙන ලකුණු මුල සිටම පෙනෙන්ට තිබුණි.නිදහස් හැසිරීමට පුරුදුව සිටි හැරි -මෙගන් යුවල රාජකීය සාටෝපය ඉදිරියේ අන්දමන්දව සිට බවක් දිස්විය.එංගලන්ත ටැබ්ලොයිඩ් පත්තර බාග සඳහා මේ යුවළ හොඳ කටගැස්මක් වූහ. රජ පවුල තුළින් ඉදිරිපත්වුයේද පත්තර කතා ඇත්ත යැයි පෙන්වන හැසිරිම් සහ ප්‍රකාශනයන්ය. රජ පුවලේ අභිමානයට නොගැළපෙන අවමානයට පත් දෙවනපෙළ යුවළක් ලෙස මේ දෙදෙනා කලක් රාජකියයන් හා පෑහී ඉන්නට උත්සාහ කළහ. නමුත් යාදෙක නොරත -රත සේ වූ ඒ බැඳීම සිදුවිය යූතු ලෙසටම ඉක්මණින්ම දෙදරා ගියේය.ඒ අනුව 2020 වසරේ මාර්තු මාසයේදී හැරී – මේගන් යුවළ රජ පවුල අත් හැර කැනඩාවේ පදිංචියට ගියහ. ඔවුහු මේවන විට ඇමරිකාවේ කැලිෆෝනියා හී වාසය කරති. පසුගිය පෙබරවාරි 14 වනදා දෙපළ තම දෙවන දරුවා අපේකෂාවෙන් සිටින බව නිවේදනය කළහ. මේ අතර පෙබරවාරී 19 වනදා බකිංහැම් මාළිගය, හැරි – මේගන් යුවල රජ පවුලේ සාමාජිකයින් ලෙස කටයුතු නොකරනු ඇති බව නිවේදනය කළේය. මෙතෙක් කලක් අළුයට සැඟව තිබූ ගින්නට පිදුරු වැටිණි.වසර 25 කට පෙර හැරීගේ මව ඩයනාකුමරිය මුහුණ දුන් සාටෝපකාරි රාජකීය මහේෂාඛ්‍යත්වයේ පීඩාවම තමන්ද ගිලගනිමින් සිය ජීවිත පොඩිපට්ටම් කර දමන්නට තැත්කළ ආකාරය ගැන ලෝකයට ම එළිදරව්කරන්නට නව යුවල තීන්දුවක් ගෙන තිබුනි.කැලිෆෝනියාවේ සිය අසල්වැසියා බවට පත්ව සිටි පවුලේ හිතවතිය වන ඔප්රා වින්ප්‍රිගේ ජනකාන්ත රුපවාහිනී වැඩසටහන තුළින් ලෝකයට ඇත්ත කියන්නට ඔවුන් අන්තිමේදි තින්දු කර තිබුනි.
මේ ආන්දෝලනාත්මක ඔප්රා වින්ෆ්‍රි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව එළියට එන්නේ ඒ අනුවය.හෝරා දෙකක පමණ කාලයක් තුළ විකාශය වූ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව තුළදී හැරී – මේගන් යුවළ රාජකීය පවුලේ සැඟවුන ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කළහ.
එහිදි තමන්ට එල්ල වු සැඟවුන වර්ගවාදි අශික්ෂිත අපහාසයන් ගැන මෙ යුවල කළ එළිදරව් ලොව මවිතයට පත්කළේය. සම්මුඛ සාකච්ඡාවේදී නම සඳහන් නොකළ රජ පවු‌ලේ සාමාජිකයෙකු ගැන සඳහන් කරමින් මේගන් පැවසුවේ, සිය පුතු “ආචි” ඉපදීමටත් පෙර සිට ඔහුගේ සමේ වර්ණය කෙබඳු වේදැයි යන්න පිළිබඳව රාජකීය පවුලේ ඇතැමුන් ප්‍රසිද්ධියේම උපහාසමුඛයෙන් කතාබහ කළ බවයි. නූතන රජ පවුලට එක් වූ පළමු මිශ්‍ර ජාතික උපතක් සහිත සාමාජිකාව වන්නේ, හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල් ය. ඒ අනුව ආචී කුස දරා සිටියදීම තමන්ට විවිද කෙනෙහිලිකම් හා ඇනුම්පද එල්ලවූ බව ඇය කීවාය.රාජකීයයන්ට ලැබෙන ප්‍රභූ ආරක්ෂාව පවා තම දෙපළට සහ සිය දරුවාට නොලැබුන බව ඇය පෙන්වාදුන්නාය.
රජ පවුල තුළ උදව් ඉල්ලා සිටි අවස්ථාවලදී පවා තමාට උදව් නොලැබුණු අතර තමාට රජ පවුල තුළදී වර්ණ භේදවාදයට මුහුණ දීමට සිදු වූ බව ද ඈකීවාය . බකිංහැම් මාළිගයේ මානව සම්පත් අංශයට උදව් ඉල්ලා ගිය තමන්ට ඔවුන් කීවෙ ඇය මාළිගයට සම්බන්ධ නැති නිසා ඇයට උදව් කළ නොහැකි බවක් යැයි ඇය කීවාය.
ඉපදීමටත් පෙර සිට තම පුතු ආචීගේ සම කෙතරම් අවපැහැ විය හැකි දැයි යන්න ගැන හැරී කුමරුගෙන්ම විමසීමට තරම් ඔවුන් පෙළඹී සිටීම ගැන ඇය එහිදී දැඩි කනගාටුවෙන් යුතුව සිහිපත් කර තිබිණ.
කෙසේ වෙතත් මෙලෙස විමසීමක් කර ඔවුන් පීඩාවට පත් කළේ, කවුදැයි මේගන්ගෙන් විමසුව ද එය ප්‍රකාශ කළ හොත් ඔවුන්ට විශාල හානියක් වන බව පවසමින් ඇය ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළා ය. හැරී කුමරු පවසා ඇත්තේ, සිය පුතුගේ සමේ පැහැය පිළිබඳ ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ තමා විමතියට පත්වූ බවයි. කෙසේ වෙතත් එම සංවාදය පිළිබඳ වැඩිදුර තොරුතරු හෙළි කිරීම ඔහු ද ප්‍රතික්ෂේප කළේ ය.
මේ අතර සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ වින්ෆ්‍රි පසුව කීවේ එවැනි විමසීමක් සිදු කළේ, මහ රැජිණ හෝ එඩින්බරෝ ආදිපාදවරයා හෝ නොවන බව හැරී කුමරු තමන්ට පැවසූ බවයි.
මේගන් මාර්කල් මේ කතාබහේදි පැවසුවේ, රජ පවුල තුළදී තමන්ට මුහුණ දීමට සිදුවූ විවිධ මානසික පීඩන හේතුවෙන් ජීවිත්වීම පවා එපා වූ බවයි. තමන්ට සිය දිවි නසා ගන්නට පවා සිතුන වාර ගණන අපමන බව ඈකීවේ කලකට පෙර ඩයනා කුමරිය ඉදිරිපත්කළ සම්මුඛ සාකච්ඡාව කාටත් සිහිගන්වමිනි. රාජකීය පවුල තුළ ජීවත්වීම අතිශය දූෂ්කර වූ බවත් වරක් තමන් මාස ගණනක් මාළිගයෙන් පිටතට නොගිය බවත් ඇය පැවසුවා ය.
ඔප්රා වින්ෆ්‍රී මෙගන්ගෙන් ඇසුවේ වතාවක් ඇය කේට් කුමරිය ඇඬවුවානේද කියාය.ඒ කාලේ ටැබිලොයිඩ් වල මෙ සිද්ධියට ලොකු ප්‍රඡාරයක් ලැබී තිබුන නිසාය. මෙගන් කිවේ සිද්ධිය වුයේ අනෙක් අතට බවයි.මල් කුමරියක සේ චාර්ලට් කුමරිය සැරසිය යුතු ඇඳුම ගැන රාජකීය දෙනෑනලා අතර ඇතිවූ බහින්බස් වීම හමුවේ අසරණව හඬා වැටුනේ තමන් බව ඈ කීවාය .මුලින් හැරි -මෙගන් සහ කේට් -විලියම් රාජකීය යොවුන් සුසංයෝගය ලංඩන් ටැබ්ලොයිඩ් පත්තර රස කල මාතෘකාවක් ව තිබුණි .නමුත් ඉතා කෙටිකලකින්ම මේ සබැඳියාව දෙදරා ගියේය.ඉහත කී සිද්ධිය ද එයට ලැබුන ව්‍යාජ ප්‍රචාරයද ඒ නිවැරදි කිරිමට මාළිගයේ උදවිය දැක්වු උදාසීන බවද ඒ සබඳතා දෙදරායාමේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව මෙගන් කියා සිටියාය.
මෙ සාකච්ඡාවේදි ඈ අපුරූ රහස් දෙකක් මෙගන් මුල්වතාවට ලෝකයට කීවාය.ඉන් මුල් රහස තමන්ට දැන් දියණියක ලැබෙන්නට ඉන්නා බවය.ඒ අනුව තවත් නොබෝදිනකින් ඒංගලන්ත යට නව රජකුමරියක් බිහිවන්නට නියමිතය.නමුත් මින්පසු තවදුරටත් දරුවන් හදන්නට දැන්ම බලාපොරොත්තු නැති බවද ඇ කීවාය.වඩාත් සිත් කළඹන රහස වුයේ මේ යුවළ සැබෑ ලෙසම විවාපත්වූයේ ලෝකයම රුපවාහිනියෙන් දුටු ඒ මහා රාජකීය මංගල උළෙලට දින තුනකට පෙර බව ට ඈ කළ ආන්දෝලනාත්මක සඳහනයි. “මේ ගැන මෙතෙක් කවුරුවත් දැනන් උන්නේ නෑ .අපි කැන්ටබරියේ ආච්බිෂොප්තුමාට එන්නකියලා කිව්වා ඔය හෙට අනිද්දා ගන්න රජ මඟුල ලෝකෙට පරකාසේට ගන්නඑකක්,නමුත් අපිට ඔනෑ අපි දෙන්නාට දෙන්නා අතර එක්වීමයි කියලා, ඉතින් ඒතුමා අපේ ගෙදර පිටිපස්සේදි දෙන්නාගේ මංගල කටයුතු චාරිත්‍ර-වාරිත්‍ර සිදුකළා.ඊට දින තුනකට පස්සේ රජ පවුලේ වුවමනාවට ගත්ත පුරාජේරු උත්සවේ ලෝකෙටම පේන්න ගත්තා.”
රාජකීය පවුලේ සාටෝපවත් මහිමතාව තුළ මේ යුවළට නිදහස රහිතව හැකිළි පුංචි වි අවධානයට ලක්නොවි ජිවත්වන්නට සිදුවු ආකාරය ගැන අනුවේදනිය කතා රැසක්ම මේ සාකච්ඡාව හෙළිකලේ රජපවුලේ අදිරාජ්‍යවාදි ඉපැරණි ප්‍රභුමහිමතාවය ගැන ලොවම කලකිරිමට ලක්කරනා අයුරිනි.
මෙහිදි සාකච්ඡාව මැදදි එයට එක්වු හැරි කුමරු කළ ප්‍රකාශයන්ද ලොව කළඹන සුළු වි සිය මව ලුහු බැඳ ඒකාලේ ආ පැපරාසින් මෙන්ම සිය බිරිඳ කටගැස්මක් කරගත් එංගලන්ත මාධ්‍යය ඉදිරියේ ඇය මුහුණ දුන් වර්ණ භේදවාදය පිළිබඳ කරුණුවලදී රජ පවුලේ කිසිවෙක් ඇයට පක්ෂව කතා නොකළ බව ද හැරී කුමරු එහිදි එළිදරව් කළේය.
පසුගිය වසරේ මුල් කාලයේදී රජ පවුල විසින් තමාට ලබා දෙන මූල්‍යමය ප්‍රතිපාදන කපා දැමූ බවත් පසුව සිය පියා තම දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීම පවා ප්‍රතික්ෂේප කළ බව ද හැරී කුමරුකිවේය. කෙසේ වෙතත්, ඔහු කිවේ සිය පියා වන චාල්ස් කුමරු නිසා තමා හිත්වේදනාවට පත්වුව ද තමා පියාට බෙහෙවින් ආදරය කරන බවයි.එසේම සිය මිත්තණිය වන එළිසබත් රජිණ සමග තමාට ඉතා හොඳ සම්බන්ධයක් ඇති බව ද ඔහු පිළිගත්තේය. රටේ ටැබ්ලොයිඩ් ප්‍රකාශනවලින් ජාතිවාදය සෙසු සමාජයට ගලා යාම තමා සහ තම බිරිඳ එක්සත් රාජධානියෙන් ඉවත්වීමට බලපෑ හේතු අතරට “විශාල කොටසක්” එක්කළ බව සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරු කීවේය. එක්සත් රාජධානියේ ටැබ්ලොයිඩ් මාධ්‍ය “මහා මෝඩ” බවත් “පාලනය සහ බිය” පිළිබඳ “අහිතකර පරිසරයක්” නිර්මාණය කරන බවත් ඔහු කීය. ඔප්රා සමඟ පැවැති මේ සම්මුඛ සාකච්ඡාවේදී හැරී සහ මේගන් ජාතිවාදය, මානසික සෞඛ්‍යය, මාධ්‍ය සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය සහ රාජකීය පවුලේ හැලහැප්පිලි ඇතුළු ගැඹුරු පෞද්ගලික මාතෘකා ගණනාවක් පලමුවරට මුළු ලෝකයටම ආනාවරණය කළහ.
සුගත් පී.කුලතුංගආරච්චි‍@vinivida.13/03/2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *