‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ඇරැඹෙයි

පුවත්

(ඩයනා උදයංගනී)

කෘෂි, වාරි හා ධීවර ක්‍ෂේත්‍රයන්හි නියුතු වූවන්ගේ ආකල්ප වෙනසක් තුළින් ඔවුන් ආලෝකය වෙත ගෙනයාමේ අරමුණ ඇතිව කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය මගින් දියත් කරන ‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී අද (31) සිදුකෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන යන මහත්වරු නව නාලිකාවේ විකාශන කටයුතු සුභ මොහොතින් ආරම්භ කළහ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අදහසකට අනුව මෙම නාලිකාව ආරම්භ කර තිබේ.

මෙරට තුළ යළි පෙරදිග ධාන්‍යාගාරය ගොඩනැගීම මෙහි අරමුණ වී ඇත.

ඩයලොග් ටීවී නාලිකා අංක 16, පියෝ ටීවී නාලිකා අංක 9 ඔස්සේ හරිත ටීඩී රූපවාහිනී නාලිකාව විකාශය කෙරේ.

මෙහිදී අදහස් දක්වමින් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේ පැවසූහ.

‘මෙය අපේ නායක හිමියන්ගේ අදහසක් මල්පළ ගැන්වීමක්. දකුණු පළාතේ ලොකුම පැළ තවාන තිබුණේ අකුරැස්ස ඌරුමුත්තවත්තේ. අක්කර 850ක් පමණ වන එහි අදත් මහෝගනී ගස් ලක්‍ෂ තුනකට වඩා, තේක්ක ගස් 70,000ක් පමණ මෙන්ම අගාවුඩ් ගස් ලක්‍ෂයක් තිබෙනවා. ඒ බොහෝ ගස් අපේ විහාරස්ථානයේ දායක පවුල්වලට සම්බන්ධ කර ආරක්‍ෂා කරගැනීම සිදුකරනවා. ඒවා බොහෝ දුරදිග සිතා බලා කළ වැඩ.

අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයක්, කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා. කෘෂිකර්මය නගා සිටුවීමට එදා මෙදා තුර විශාල පරිශ්‍රමයක් දරා තිබෙනවා. නමුත් අපේ රටත් සමඟ එකට ආ තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, බුරුමය වැනි රටවල් දෙස බලන විට ඒ රටවල් තම දේශීය ආදායමට වාර්ෂිකව එකතු කරන ප්‍රතිශතය කෘෂිකර්මයෙන් එක්වෙන්නේ නැහැ.

තාමත් අපේ එළවළු පළතුරු අපනයනය කළ හැකි ප්‍රමිතියට සකස් වෙන්නේ නැහැ. රජයට මේ වෙනුවෙන් දැඩි අවශ්‍යතාවක් ඇති බව පෙනෙන නිසා අපේ දායකත්වය දැක්විය යුත්තේ කෙසේ දැයි සිතුවා. අපි අපිත් සමඟ සිටින ගොවි පවුල් වෙත අඩු කාලයක් තුළ වැඩි පලදාවක් දෙන භෝග මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

අපිට මේ නාලිකාව සමඟ උතුරු නැගෙනහිරත් මේ කටයුතු කරන්න පුළුවන්. මෙහි ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂිකර්මාන්තයක් කරායාම අරමුණු කරගත් නාලිකාවක්. මම පරිප්පු බීජ කිලෝ 100ක් ගෙනත් අපේ ආදර්ශ ගොවිපල 5ක අත්හදාබැලීම් කර අක්කර 6ක් වගාකර තිබෙනවා. කාදිනල්තුමාත් තමා පුත්තලම පැත්තේ කරන වගාවක් ගැන මට පවසා තිබෙනවා. නිල්වන් ගොයමයි රන්වන් සිවුරයි අපේ උප සංස්කෘතියක්. මෙය ගංගාරාමේ නාලිකාවක් නෙවෙයි. දැයේ නාලිකාවක් විදියටයි ගෙනියන්නේ.”

වරකාගොඩ ඥානරතන අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහ නා හිමියෝ මෙහිදී රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටවූහ.

දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනු නා හිමියන්,මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්, ගංතුනේ අස්සජි අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහ නා හිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Lankadeepa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *