‘බව තරණය‘
පළමු මුද්‍රණය: 1973 නොවැම්බර්
(මගේ මෙම ‘බව තරණය‘ නවකතා විවේචනය 1974 පෙබරවාරි 17 වැනිදා ‘ජන සතිය‘ පුවත්පතේ පළමු වැනි වරට පළ වූයේ ‘බව තරණය‘ නවකතාවේ පළමු වැනි මුද්‍රණය පිටවී හරියටම තෙමසක් ගතවීමත් සමගමය.*
යථාර්ථවාදී චරිත චිත‍්‍රණයක්
මාර්ටින් වික‍්‍රමසිංහගේ ‘බව තරණය‘ නවකතාවෙහි එන සිදුහත්ගේ හා බුදුන්ගේ චරිතය යථාර්ථවාදී චිත‍්‍රණයකි.. එම චරිතයන්ට වික‍්‍රමසිංහ දෙන අර්ථ විවරණයද යථාර්ථවාදය පදනම් කොට ගත්තකි. මෙම චිත‍්‍රණය මෙන්ම විවරණයද මෙරට වත්මන් පැවිදි වග හා ගිහි වග සතු ගතානුගතික ආගමික සංකල්පයත් සාමාජික සංකල්පයත් චංචල කිරීමට සමත්වී ඇත. ‘බව තරණය‘ අරබයා මෙරට පැවිදි වග හා ගිහි වග කළ නිර්දය විවේචනයන්ගෙන් ඒ බැව් හෙළිවෙයි.
බෝසත් සංකල්පය හිසින් ගත් මෙරට පැවිදි වග මෙන්ම ගිහි වගද සිදුහත් හා බුදුන් පිළිබඳ වික‍්‍රමසිංහගේ චරිත චිත‍්‍රණය නොඉවසති. පුද්ගලවාදයේ හෙවත් මමංකාරවාදයේ චිරස්ථිතිය පතන සමාජ සංකල්පය හිසින් ගත් එසේම ඊට අනුබල දෙන මෙරට පැවිදි වග මෙන්ම ගිහි වගද සිදුහත් හා බුදුන්ගේ චරිතයට වික‍්‍රමසිංහ දෙන යථාර්ථවාදී අර්ථ විවරණය පිටු දකිති. මේ විරෝධය අන්ධ භක්තිය හා සමාජ අසාධාරණය ආත්මකොට ගත් කවර සමාජයකින් වුව මතු වී ඒම සහේතුකය.
සිදුහත් බෝසතකු කළේත් බුදුන් පෙළහර පාන්නකු කළේත් සකු දේව කථා සාහිත්‍යය අනුකරණයෙන් බොදු දේව කථා සාහිත්‍යයක් නිපදවූ පැවිදි වග නොවේද? එහි ලා ඔවුන් අනුගමනය කළේ අද්භූතවාදය මිස යථාර්ථවාදය නොවේ. මෙවැනි අලංකාර සාහිත්‍යයකින් ආස්වාදය ලැබූ මෙරට පැවිදි වග මෙන්ම ගිහි වගද සිදුහත් හෝ බුදුන් හෝ පිළිබඳ යථාර්ථවාදී චරිත චිත‍්‍රණයක් හා අර්ථ විවරණයක් නොඉවසීමත් පිටු දැකීමත් පුදුමයක් නොවේ.
බුදුන් ඉවත හළ අද්භූත වාදයට හා අලංකාර වාදයට පැවිදි වග වහල් වීමත් ඔවුන් අතින් බුද්ධ චරිතය අද්භූත චරිතයක් වීමත් කලක පටන් වික‍්‍රමසිංහගේ නිර්දය විවේචනයට හසු විය.සිදුහත් චරිතයත් බුද්ධ චරිතයත් අරබයා යථාර්ථවාදී චිත‍්‍රණයක් මෙන්ම විවරණයක්ද කිරීමට වික‍්‍රමසිංහයන් උනන්දු කළේ ඉහත කී ස්වකීය මතය බැව් පැහැදිලිය. ඔහු විසින් චිත‍්‍රිත සිදුහත් චරිතය දෙස අප බැලිය යුත්තේද ගතානුගතික ආගමික සංකල්ප හා සාමාජික සංකල්ප ඉවත ලමිනි. යථාර්ථවාදී දෘෂ්ටිකෝණයකිනි. එය කවර කලකටත් වඩා මෙකලට උචිතය.
වික‍්‍රමසිංහ විසින් නිර්මිත සිදුහත් ධීරෝදාත්ත පුරුෂයෙකි. යසෝදරාවද ධීරෝදාත්ත කාන්තාවකි. කුල පීඩනයට පන්ති පීඩනයට මෙන්ම අන්ධ විශ්වාසයනටද පොදු ජනකාය ගොදුරු කර සිටි අසාධාරණ සමාජයකටත් ඊට පිටු දුන් චින්තනයටත් එරෙහිව නැගී සිටිය හැක්කේ පුරුෂ ධීරයකුටය. වික‍්‍රමසිංහ චිත‍්‍රණය කළ සිදුහත් එවැනි පුරුෂ ධීරයෙකි. ඔහුගේ පරමාර්ථය වූයේ පොදු ජනකායට සෙත සලසන දෙලොවටම එකසේ උචිත විමුක්ති මාර්ගයක් සෙවීමය. මෙහිලා ඔහු තම පුද්ගල සන්තුෂ්ටිය එකහෙළා පරිත්‍යක්ත කොට ලීය. එය ඔහුගේ උදාරත්වයට හේතු විය. සිදුහත්ගේ ඒ උදාර පරමාර්ථය අගය කරමින් තමාගේ පුද්ගලික සන්තුෂ්ටිය එකහෙළා පරිත්‍යක්ත කොටලා ඔහුට දිරි දිය හැකි බිරියක් වෙතොත් ඕතොමෝද ධීරෝදාත්ත කාන්තාවක් නොවන්නීද? වන්නීමය. වික‍්‍රමසිංහ චිත‍්‍රණය කළ යසෝදරාවද එවැනිම ධීරෝදාත්ත කාන්තාවකි.
‘බව තරණය‘ නවකතාවෙහි චිත‍්‍රිත සිදුහත්, අභිනිෂ්ක‍්‍රමණය කළේ පොදු ජනයා පෙළමින් රජ සැප විඳි ශාක්‍යයන්ගේ පන්තියෙන් මිස පොදු ජන සමාජයෙන් නොවේ. ඔහු පොදු ජන සමාජයේ විමුක්ති දායකයා වූයේ එහෙයිනි. අසමාන සමාජ ක‍්‍රමය මෙන්ම අර්ථ ක‍්‍රමයද නිසා හටගත් සමාජ අයුක්තියෙන් හා අසාධාරණයෙන් පරිපීඩිත පොදු ජනකායකගේ විමුක්තිදායකයකු ලෙස සිදුහත්ගේ චරිත චිත‍්‍රණය කිරීමත් විවරණය කිරීමත් වික‍්‍රමසිංහගේ ශේෂ්ඨත්වයට හේතු වෙතියි මම සිතමි.
බුදුදහමෙහි ඉගැන්වෙන කර්ම වාදය වාසියට ගෙන අසමාන සමාජ ක‍්‍රමයත් අර්ථ ක‍්‍රමයත් (ශාක්‍ය කුලය වැනි පන්තියක සෙත සුව පිණිස* නිරුපද්‍රිතව පවත්වාගෙන යෑමට අනුබල දෙන චින්තනයක් මෙරට වත්මන් සමාජය තුළ මුල් බැස ගෙන ඇත. සිදුහත් හා බුදුන් පිළිබඳ වික‍්‍රමසිංහගේ ස්වාධීන චරිත චිත‍්‍රණය මෙන්ම චරිත විවරණයද එකී චින්තනයට එරෙහිව නැගූ විරුද්ධවාදයක් වැන්න.
මෙම ශාක්‍ය කුලවාදී චින්තනයට මෙරට වත්මන් පැවිදි වග හා ගිහි වග සතු අන්ධ භක්තිවාදයත් අද්භූත සාහිත්‍යවාදයත් ඉමහත් රුකුලක් වෙයි. පොදුජනකායගේ විමුක්තිදායකයකු ලෙස සිදුහත්ගේ හා බුදුන්ගේ චරිත චිත‍්‍රණය කිරීමත් විවරණය කිරීමත් එම චරිත කෙලසීමක් වශයෙන් දකින මෙරට වත්මන් පැවිදි වග හා ගිහි වග දැන හෝ නොදැන පුද්ගලවාදය හෙවත් මමංකාර වාදයේ චිරස්ථිතියට අනුබල දෙති. සිදුහත් විසූ එකල මෙන් අප වෙසෙන මෙකලද පොදු ජනකාය පෙළමින් රජ සැප විඳින ශාක්‍යයන්ගේ පංතිය එකක්මය. මෙම පන්තියට උපත දුන් චින්තනයේ ආත්මය පුද්ගල වාදය හෙවත් මමංකාර වාදය මිස අනිකක් නොවේ. සිදුහත් මෙන්ම බුදුන්ද විරුද්ධවාද නැගුවේ මෙම පුද්ගල වාදයට හෙවත් මමංකාරවාදයට එරෙහිවය.
මුලින් තමා උපන් දේශයේ පොදු ජනකාය විඳින දුක් පීඩා දැක කලකිරුණු සිදුහත් එකී පොදු ජනයා පෙළමින් රජ සැප විඳි ශාක්‍ය පංතියෙන් අබිනික්මන් කොට පසුව බුද්ධත්වය ලබා මුළු මහත් පීඩිත ලෝකයාගේම විමුක්තිදායකයා හෙවත් ශාන්තිනායකයා වූ අයුරු දැක්වෙන වික‍්‍රමසිංහගේ ස්වාධීන චරිත චිත‍්‍රණයත් චරිත විවරණයත් ලේඛකයකු වශයෙන් ඔහු තුළ පිහිටි බුද්ධකාලීන සමාජ විඥානය පමණක් නොව සමකාලීන සමාජ විඥානයද මැනවින් ප‍්‍රකට කරයි. බුද්ධකාලීන සමාජයත් සමකාලීන සමාජයත් අතර පවත්නා පන්ති සාම්‍යය දැක්වෙන චරිත චිත‍්‍රණයක් හා චරිත විවරණයක් මගින් නියත ලෙස හෙළි වන්නේ ඓතිහාසික යථාර්ථයේ සමරූපතාවයි.
අද්භූතවාදී චරිත ලෙස නොව යථාර්ථවාදී චරිත ලෙස සිදුහත් හා බුදුන් පිළිබඳ චරිත චිත‍්‍රණය කිරීමෙහිලා වික‍්‍රමසිංහ පාඨකයන්ගේ හදවතත් බුද්ධියත් එකමුතු කිරීමට සමත් වීදැයි සෙවීම ‘බව තරණය‘ ඇගයීමෙහිදී වැදගත් වෙයි. ‘බව තරණය‘ නවකතාවෙහිලා වික‍්‍රමසිංහගේ චරිත චිත‍්‍රණ ශක්තියත් සියුම් භාවකත්වයත් වඩා ප‍්‍රබල ලෙස ප‍්‍රකට වන්නේ සිදුහත් හා යසෝදරා යන චරිත දෙක තුළින් යැයි මම සිතමි. ඔහුගේ ස්වාධීන චින්තනය සජීවී ලෙස දැකිය හැක්කේද එම චරිත යුගලයේ අධ්‍යාත්මයන් තුළිනි. දුක් පීඩා විඳින පොදු ජනකායට විමුක්තිය ලබාදීමේ පරමාර්ථය උදෙසා පුද්ගල ආශාවන් කැප කළ සිදුහත්ගේත් තම සැමියා නිසා උපන් දැඩි ඇල්ම එකී පරමාර්ථය උදෙසාම කැප කළ යසෝදරාවගේත් අධ්‍යාත්ම අරගලය චිත‍්‍රණය කරන වික‍්‍රමසිංහ එමගින් පාඨකයන්ගේ හදවතත් බුද්ධියත් සියුම් ලෙස එකමුතු කිරීමට සමත් වී ඇතැයි මම සිතමි. එසේ වුවද එවැනි අධ්‍යාත්ම අරගලයකින් පසු සිදුහත් තම මමංකාරය නසා බුද්ධත්වය ලබන අවස්ථාවත් ඉක්බිතිව විස්තර කෙරෙන බුදුන්ගේ ජීවන ප‍්‍රවෘත්තියත් වික‍්‍රමසිංහ අතින් චිත‍්‍රණය වී ඇති අයුරු ප‍්‍රශස්ත යැයි කීම දුෂ්කරය.
සිදුහත්ගේ චරිතයේ ශේෂ්ඨතම අවස්ථාව ඔහු බුද්ධත්වය ලැබීමයි. ඔහු බුද්ධත්වය ලැබුවේ මමංකාරය නැසීමෙනි. මමංකාරය නැසීමෙහිලා සිදුහත් කළ උග‍්‍ර අධ්‍යාත්ම අරගලය මාර යුද්ධයක් වැන්න. මමංකාරය නැසූ සිදුහත් බුදු වීමෙන් පසු තම සමයවාදීන්ටත් විරුද්ධවාදීන්ටත් එකසේ කරුණාව දැක්වූ අයුරුත් කුලය, පන්තිය හා සමාජ තත්ත්වය නොබලා මිනීමරුවන්ට ගණිකාවන්ට කුලහීනයන්ට අසරණයන්ට යොදුන් ගණන් මග පයින්ම ගෙවා ගොස් පිහිට වූ අයුරුත් එවැනි අය තම සසුනට වැද්ද ගත් අයුරුත් මේ සියල්ල කිරීමෙහිදී අපමණ දුක් ගැහැට හා නින්දා අපහාස වින්ද අයුරුත් ඉතා ප‍්‍රකටය. පොදු ජන හිත සුව පිණිස බුදුන් කළ ඒ පරමාර්ථ සේවාව බුද්ධ චරිතය පිළිබඳ යථාර්ථවාදී විවරණයකදී අතිශය වැදගත් වෙයි. සිදුහත්ගේ හා යසෝදරාගේ අධ්‍යාත්ම චරිත චිත‍්‍රණයෙහිලා වික‍්‍රමසිංහ ප‍්‍රකට කළ ස්වාධීන කල්පනා ශක්තියත් සියුම් භාවකත්වයත් බුදුන්ගේ චරිත චිත‍්‍රණයේදී අප‍්‍රකාශවීම ‘බව තරණය‘ නවකතාවෙහි දුර්වලත්වයට හේතු වී ඇතැයි සිතමි. බුද්ධ චරිතය කෙරෙහි පාඨක හදවත් පහන් කරලීමටත් පාඨක බුද්ධිය එකලූ කරලීමටත් එයින් බාධා පැමිණෙයි.
අධ්‍යාත්ම මාර යුද්ධයක් කිරීමෙන් සිදුහත් බුද්ධත්වය ලබන අවස්ථාව මීට වඩා ප‍්‍රබල අයුරින් නිර්මාණය වී නම් එය ‘බව තරණය‘ නවකතාවේ ශේෂ්ඨත්වයට හේතුවනු නියතය . එසේම දුක් පීඩා විඳිමින් ජීවත් වන පොදු ජනකාය උදෙසා බුදුන් තුළ උපන් මහා කරුණාවත් ඔවුන් එයින් මුදවාලීම පිණිස බුදුන් කළ පරාර්ථ සේවයත් එහිදී බුදුන් වින්ද දුක් ගැහැට හා නින්දා අපහාසත් විවිධ සිද්ධි හා අවස්ථා මගින් භාවික ලෙස නිර්මාණය වී නම් ‘බව තරණය‘ නවකතාවෙහි අගය ශත ගුණයකින් වැඩි වනු නිසැකය. එහි එන බුදුන්ගේ චරිත චිත‍්‍රණය ඇතුළත් කොටස හුදෙක් විඥානවාදී ධර්ම සංකල්ප පිළිබඳ තර්ක වාදයන් උදෙසා කැපකිරීම බුදුන්ගේ අධ්‍යාත්ම ශේෂ්ඨත්වය වසාලන්නක් යැයි මම සිතමි. බුදුන්ගේ සත්වකරුණාවත් උදාරත්වයත් හෙළි කිරීම සඳහා වික‍්‍රමසිංහ උපයෝගී කොට ගෙන ඇති එකම ප‍්‍රකට සිද්ධිය පටාචාරා පිළිබඳ ප‍්‍රවෘත්තිය පමණි. එහෙත් එය බුදුන්ගේ චරිත චිත‍්‍රණයේ දුර්වලත්වය දුරු කිරීමට සමත් වී යැයි කීම උගහටය.
තම සිරුරින් වරෙක ගිනිත් වරෙක දියත් එක විට නිකුත් කරමින් යමා මහා පෙළහර පාන්නකු ලෙස අද්භූතවාදී බෞද්ධ කතාකාරයන් අපට හඳුන්වා දී ඇති බුදුන්, දීඝ නිකායෙහි එන, මහා පරිනිබ්බාන සූත‍්‍රයෙහිලා විස්තර කොට ඇත්තේ අසූ විය පිරුණු , හිස නිකට පැසුණු , අබල දුබල වුණු අත පය ඇති , මහලූු බුදුවරයාණන් කෙනකු වශයෙනි. ලෝහිත පක්ඛන්දිකා රෝගයෙන් පරිපීඩිතව ඉතාමත් දුර්වලව පිරිනිවනට වඩින ඒ බුදුහු පයින්ම ගෙවා යන මග එක තැනක නැවතී පවස ඉවසා ගනු බැරිව තමා වෙත හුන් අනඳ හිමියන් අමතා පැන් පොදක් ගෙනෙන ලෙස යදිති. එවෙලේම ගමන් ගත් ගැල්සක් නිසා බොර වී ගිය ජලය ඇති කුඩා දිය වළකින් පාදා ගත් පැන් ටිකක් කොළ ගොටුවකට ගෙනා අනඳ හිමියෝ එය බුදුනට පිළිගැන්වූහ. බුදුහුද එය පානය කිරීමෙන් පවස නිවා ගත්හ. මහා පරිනිබ්බාන සූත‍්‍රයෙහි විස්තර වන බුදුන්ගේ චරිතය වූකලී යථාර්ථවාදී චරිත චිත‍්‍රණයකි. එසේම එය පාඨකයාගේ හදවත කම්පා කරවන ආකාරයෙන් චිත‍්‍රිත වූවක්ද වෙයි. මාර්ටින් වික‍්‍රමසිංහ විසින් ‘බව තරණය‘ නවකතාවෙහි සිදුහත් හා බුදුන් අරබයා ඉදිරිපත් කරන ලද යථාර්ථවාදී චරිත චිත‍්‍රණය නොඉවසන වත්මන් පැවිදි වග හා ගිහි වග මහා පරිනිබ්බාන සූත‍්‍රයට අඳ ඇස් ඇත්තෝය.
නිමි.
මවිසින් ලියන ලද එම ‘ජනසතිය‘ විචාරය අරබයා මාර්ටින් වික‍්‍රමසිංහයන් දැක්වූ පහත පළවෙන විවෘත විචාර ප‍්‍රතිචර්යාව 1974 ප‍්‍රකාශිත ‘පරිණාම වාදය හා බෞද්ධ විඥානවාදය‘ නමැති ඔහුගේ අභිනව කෘතියෙහි සංඥාපනය තුළ අන්තර්ගත වුණි.
”මා මේ දර්ශනවාදීය නිබන්ධ ලියුවේ 83 ඇවිරිදි වියට පැමිණි පසුය. මගේ 84 වන විය ඇරඹෙන්නේ 1974 මැයි මස අවසානයේය. මගේ ‘බව තරණය‘ විවේචනය කළ එක් යතිවරයෙක් හැත්තෑවිය ඉක්මවූ පසු කිසිවකු පොත් නොලිය යුතු යැයි තෙපළේය. බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත‍්‍රය දේශනා කෙළේ 80 වියෙහිදීය. එය උන්වහන්සේ විසින් යථාර්ථවාදීය රීතිය ගුරුකොට ගෙන තම ජීවන චරිතයෙහි ඇතැම් තැන් අවංකවත් ඍජුවත් හෙළි කරනු සඳහා දේශනා කරන ලද්දකි.
”‘බව තරණය‘ ගැන දීර්ඝ විවේචනයක් ලියූ ආචාර්ය( ගුරුවරයා යන අරුතෙනි* කරුණාරත්න අමරසිංහ සිදුහත් චරිතයට බෙහෙවින් පසසා බුදුවූ පසු පොදුජනයා උදෙසා උන්වහන්සේ කළ උතුම් සේවය විස්තර කෙරෙන්නේ ඉතාම කෙටියෙනියි දොස් නඟමින් මෙසේ ලියුවේය.
”තම සිරුරින් වරෙක ගිනිත් වරෙක දියත් එක විට නිකුත් කරමින් යමා මහා පෙළහර පාන්නකු ලෙස අද්භූතවාදී බෞද්ධ කතාකාරයන් අපට හඳුන්වා දී ඇති බුදුන්, දීඝ නිකායෙහි එන, මහා පරිනිබ්බාන සූත‍්‍රයෙහිලා විස්තර කොට ඇත්තේ අසූ විය පිරුණු , හිස නිකට පැසුණු , අබල දුබල වුණු අත පය ඇති , මහලූ බුදුවරයාණන් කෙනකු වසයෙනි. ලෝහිත පක්ඛන්දිකා රෝගයෙන් පරිපීඩිතව ඉතාමත් දුර්වලව පිරිනිවනට වඩින ඒ බුදුහු පයින්ම ගෙවා යන මග එක තැනක නැවතී පවස ඉවසා ගනු බැරිව තමා වෙත හුන් අනඳ හිමියන් අමතා පැන් පොදක් ගෙනෙන ලෙස යදිති. එවෙලේම ගමන් ගත් ගැල්සක් නිසා බොර වී ගිය ජලය ඇති කුඩා දිය වළකින් පාදා ගත් පැන් ටිකක් කොළ ගොටුවකට ගෙනා අනඳ හිමියෝ එය බුදුනට පිළිගැන්වූහ. බුදුහුද එය පානය කිරීමෙන් පවස නිවා ගත්හ. මහා පරිනිබ්බාන සූත‍්‍රයෙහි විස්තර වන බුදුන්ගේ චරිතය වූකලී යථාර්ථවාදී චරිත චිත‍්‍රණයකි. එසේම එය පාඨකයාගේ හදවත කම්පා කරවන ආකාරයෙන් චිත‍්‍රිත වූවක්ද වෙයි. මාර්ටින් වික‍්‍රමසිංහ විසින් ‘බව තරණය‘ නවකතාවෙහි සිදුහත් හා බුදුන් අරබයා ඉදිරිපත් කරන ලද යථාර්ථවාදී චරිත චිත‍්‍රණය නොඉවසන වත්මන් පැවිදි වග හා ගිහි වග මහා පරිනිබ්බාන සූත‍්‍රයට අඳ ඇස් ඇත්තෝය.”