සිංහලේ අවසන් පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු අල්ලාගැනීම

විශේෂාංග

සිංහලේ අවසන් පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු අල්ලාගැනීම සඳහා 1815 පිටත් වූ කණ්ඩායම සමඟ ගිය භාෂා පරිවර්තයෙකු වූ ඞී. වී. ඒ. දියෙස් (D. V. A. Dias) හෙවත් තුප්පහි මුලාදෑනියා විසින් තබන ලද සටහනක්, නිට්ටඹුවේ නම්බාදළුව විහාරයේ වැඩ විසූ වරකාපොළ රතනසාර ස්ථවිරයන් විසින් 1955 වසරේ ඔක්තෝම්බර් මාසයේ ‘ශ‍්‍රී ලංකා’ සඟරාවට යොමු කර තිබුණි. එය හුදී ජන සංවේග පිණිස මෙහි ලා දක්වමි.
-නිමේෂ තිවංකර සෙනෙවිපාල ගේ මුහුණු පොතෙනි

”1815 මැද මහනුවර අන්තිම සිංහල රජු සැඟවුණු තැනින් අල්ලාගෙන ඊම පිණිස ගිය මහ පිරිසේ තුප්පහි නිලය දැරූ මම, එක්නැලිගොඩ මොහොට්ටාලත් සමඟ වෙලේ ඇවිදින්නට පිටත් වුනාය. ඔහු සමඟ සපරගමුවේ පන්සියයක් පමණ සෙනඟ ද ඉඹුලන්වල ආරච්චි සහ යටිපහුවේ කංකානම ද සමඟ යන විට වයස දහයක දොළහක කොළුගැටයෙක් දුවනවා දැක එලවාගන ආවාම මහත් භයෙන් වැඳගෙන, ”දෙවි හාමුදුරුවෝ වැඩ සිටින තැන් මම පෙන්වා දෙඤ්ඤං” කීවාය. එතකොට එක්නැලිගොඩ මොහොට්ටාල මේ කොළුවාගේ තුනටියේ වැල් පොටක් බන්දවා අල්ලාගෙන ඉස්සර කරගෙන අපි සෑම දෙනා ම ගියා ය. ටිකදුරක් ගිය පසු ”ඔන්න දෙවි හාමුදුරුවෝ මාළිගාවට ඉහළින් තිබෙන ගහ” යි නුග ගහක් පෙන්නුවා ය. එතනට අපි ළංවුණු විට පියා තිබුණු ගෙයි දොර ළඟ ආරච්චිගෙයි ගෑණු දෙන්නෙක් සිටියා ය. මිදුලේ සැතපෙනගෙයි අප්පුහාමි කෙනෙක් ලංසයක් ගෙන සක්මන් කරමින් සිට ”හා… එක්නැළිගොඩ රාළ… කොයි යනවා ද?” ඇසුවාම ”අපිත් මෙහාට ආවා තමයි” කී විට සැතපෙනගෙයි අප්පුහාමි අතේ තිබුණ ලංසයෙන් එක්නැළිගොඩට ඉතා ම සැරෙන් ඇන්නා ය. ඒ ඇනුම ඔහුගේ වාසනාවෙන් නොවැදී ලංසේ බිම ඇනී කැබලිවලට කැඞී ගියා ය. එවිට සපරගමුවේ මිනිස්සු ඔහු අතින් අතට ඉහළට ගත්තා දුටුවා මිස ඔහුගේ ශරීරට මක්වුණා ද නොදනිමි. එවිට එක්නැළිගොඩ ගෙයි දොර ළඟට ගොස් රජ්ජුරුවන්ට දොර අරින්ඩ කීවා ය. රජ්ජුරුවෝ දොර නෑර ”එක්නැළිගොඩ අපේ නෑයා ද?” ඇසුවා ය. ”ඒ මම තමා… දොර අරින්ඩ. යම් යුද්ධ ආයුධ ඇත්නම් එළියට දමන්ඩ” කිවුවා ය. එතකොට සොරොව්වකින් රිදී වැඩ කළ වඩන තුවක්කු තුනක් ද ක‍්‍රිස් දෙකක් ද එළියට දැම්මා ය. එහෙත් රන් කඩුව එළියට දමන්ඩ කිව් නමුත් නොදැම්මා ය. එතකොට එක්නැළිගොඩගේ කීම පිට මිදුලේ තිබුණු වංගෙඩි ගෙන දොරට ගැසුවා ම දොර පැලී ගියා ය. ඉන්පසු හබරගමුවේ මිනිස්සු ගෙට වැද කෝලහාල කොට දේවීන් වහන්සේලාගේ ඇඳුම් පැළඳුම් කඩාගෙන රෙදි හතර රියන පිටින් දොරට දැම්මා ය. එවිට දේවීන්නාන්සේලා දෙනම ඒ මේ අත බෙලි කපාපු කුකුළෝ වගේ පෙරලෙමින් සිටින අතර ගෙට නොවැදී කිසිවක් නොකර මගේ මිනිස්සු දෙන්නාත් සමඟ සිටි මම ”අම්මයියාර් නීංග පයප්පංඩ වාංඩම් ඉංගාලේ වාංගෝ” කීමි. එවිට ඔවුන් දෙදෙනා ”නාංග කාපාත්ති කෝංගෝ” වචනයෙන් මගේ දෙවුරේ එල්ලී ගත්තා ය. විනාඩි කීපයක දී මගේ රෙදි ලේ පෙවී තිබී බලනකොට බිසවුන්නාන්සේලාගේ කුන්ඩලාභරණ කඩා ගනිද්දී කන් ඉරා දමා තිබුණා ය. ඒ ලේවලින් මගේ රෙදි තෙමුණා ය. ඒවායින් වූ තුවාලවලට ඉඹුලන්වල රාළ ලවා බෙහෙත් කොටවා ලේ හිටෙව්වෙමි. රජ්ජුරුවන් වහන්සේ බලාත්කාරයෙන් එළියට දමා ”වර තොගේ අප්පාට බාර දෙන්ට”යි පරුෂ වචන එක්නැළිගොඩ කීවා ය. ”මා මරන්ඩ ඕනෑනම් මරාපල්ලා, කැමති දෙයක් කරපල්ලා, මට පයින් යන්ඩ බැරිය” යි රජ්ජුරුවෝ කීවා ය. ”දෙවිහාමුදුරුවෝ, ස්වාමින්වහන්සේ, දෙමාපියෝ ය කියූ රජ්ජුරුවන් වහන්සේ බැඳ අපහාස වශයෙන් නෙරක්කු කිරීම යුතු නැත” යි කීමි. එතකොට එක්නැළිගොඩ මට බොහො ම තදබලයෙන් ”ඔතන කීම ගන්ඩ අපි මෙහෙ ආවා නොවෙ” යි කියා රජ්ජුරුවන් බඳින්ඩ ජෝඩු වුණා ය. මෙසේ රජ්ජුරුවන්ඩ කරන අපහාස වෙහෙස මහත් වික්ෂෝපයෙන් බලා කණගාටුව දරාගන්ඩ බැරුව මගේ කරේ සාලූව ගලවා ”මේකෙන් බඳින්ඩ” කියා ඒක දුනිමි. රජ්ජුරුවන් ඇල්ලූ බව ඩොයිලි උන්නාන්සේට ලියා අරින පිණිස කඩදාසි සහ පොත්ලොක්කූර ගන්ඩ උත්සාහ කළ මුත් දේවීන්නාන්සේලා දෙන්නා මගේ උර දෙකේ එල්ලී සිටි නිසා නුපුළුවන්ව යටිපහුවේ කංකානමට කියා මගේ සාක්කුවෙන් අරගෙන ඔහුගේ පිටේ තබා මෙසේ ලීමි. ඒ නම්, ”ඩොවිල් උන්නාන්සේ බලාගන්නා පිණිසයි. සිංහලේ රජ්ජුරුවෝ අපට අසුවුණා ය. එක්නැළිගොඩ රජ්ජුරුවන්ඩ බොහෝ නෙරෙක්කු කොට අපහාස වශයෙන් බැඳගෙන එනවා ය. දෝළා ගණනකුත් ගෙන තමුන්නාන්සේ කඩිනමින් මෙහි එන්ඩ ඕනෑ ය. රජ්ජුරුවෝ සහ බිසවුන්නාන්සේලා නිර්වස්ත‍්‍රව වාගේ සිටින නිසා රෙදිත් ගේන්ඩ ඕනෑය.” යනු යි. මේ ලියුම බොහො ම ඉක්මනින් යටිපහුවේ කංකානම අත යැවුවා ය. සිංහල පැයක් යන්ට පෙර කර්නල් හාර්ඩි හුක් ඇතුළු භට පිරිසක් පැමිණ බිම එල එලා තල්ලූ කරගෙන රජ්ජුරුවෝ ඇදගෙන ගිය සපරගමුවේ මිනිස්සුන්ට කස පහරවල් ගසා එළවා දමා අස්සයන් පිටින් බැස තොප්පි ගලවා රජ්ජුරුවන්ඩ දණ නමස්කාර කොට සැප පහසු විභාග කළා ය.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.