සිංහබාහු’ හි ‘ප්‍රථම සිංහයා’ මාර්ක් ඇන්ටනී දිවි රඟමඬලින් බැසයයි

විශේෂාංග

ශ්‍රී ලංකාවට නාට්‍යය සහ රංගකලාවක් හදුන්වාදුන් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සුප්‍රකට ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහයාගේ චරිතයට මුලින්ම පනපෙවු මාර්ක් ඇන්ටනී ප්‍රනාන්දු කලාකරුවා බ්‍රිතාන්‍යයේදී අභාවප්‍රාප්තව ඇත.
”උපතින්ම කතෝලිකයෙකුවු මාර්ක් ඇන්ටනීට බොහෝවිට ක්‍රිස්තියානුවන්ට පල්ලියේ ගායනාවල භක්ති වන්දනා, වැලපුම් ගායනා හෙවත් පසම් කන්තාරු ගායන ශෛලීන් භාවිතයට ගැනීම මනා ගායන අභ්‍යාසයක් වන්නට ඇති බවත්…., මාර්ක් ‘ගල්ලෙන බිඳලා’ ගීතයේ අන්තර්ගතව පවත්නා නාඩගම් ගීතයක අඩංගු විය යුතු කාලාත්මක, අපතාලාත්මක, අගාරම් (අග කොටස් ඈද පැද කරන ගායනය) හා උරුට්ටු (මූලික තාලය දෙගුණ වීම්) ලක්ෂණ මැනවින් විශද කරන්නේ නාඩගම් ගැමි නාටක සම්ප්‍රදායට කිතුනු බැතිමත් රසාවේශය පල්ලිය ඇසුරින් අවශෝෂණය වී ඇති නිසා විය යුතු බවත්…,ශෛලිගත සම්ප්‍රදායයේ භූමිකා රංගනයේ දී ආංගික හා වාචික අභිනයක් මනාලෙස ප්‍රයුංජනය කිරීමට හැකිවීමේ විභව ශක්තිය මාර්ක් තුළ නොඅඩුව පිහිටා තිබූ බවත් සිංහ භූමිකා රූපණ කුසලතාවය (සහ) ‘සිංහයාගේ වැලපීමේ ගීතය’ (ගල්ලෙන බිදලා) නිසාම දශක ගණනාවක් මුළුල්ලේ සිංහබාහු දහස් ගණන් රසිකාගාර තුළ රොද බැඳගත් පේ‍්‍රක්ෂක ජනතාවගේ මතකයේ රැදුන බවත්…,”මාර්ක් ගේ සිංහබාහු රංග මට්ටමෙහිලා ලගාවීමට ඔහු බ්‍රිතාන්‍යයේ පදිංචියට යාමෙන් අනතුරුව හිස්වු ඔහුගේ සිංහබාහු චරිතය නිරූපනය කල අනුප්‍රාප්තිකයන්ට අපමණ වෙරක් දැරීමට වු බවත් මාර්ක් ඇන්ටනී පිලිබදව අවමංගල සටහනක් (obituary) ලියන නිශ්ශංක දිද්දෙනිය මහතා සටහන් කරයි.

10/03/22 සරසවිය පුවත්පතේ පලවූ එම ලිපිය පහතින් දැක්වේ…
දිවි රඟමඟඩලින් සමුගත් පිය සිහ රජුනි ඔබට සුබ ගමන් !

නළුවාගේ කාර්යය, රචකයාගේ හා නිෂ්පාදකයාගේ මෙන් නිර්මාණත්මක එකක් යයි මම එදාත් විශ්වාස කළෙමි. අදත් විශ්වාස කරමි. අධ්‍යක්ෂකයාට කළ හැක්කේ ඔහුට උපදෙස් දීම පමණි. තමාගේ භූමිකාව ඔහු තම නිර්මාණය කළ යුතුය. එම නිර්මාණය සිදුවන්නේ ඔහු පේ‍්‍රක්ෂකයන් හමුවෙහි රඟපාන විටය. පේ‍්‍රක්ෂකයන්ගේ හදවත් හා තමාගේ හදවත එක ස්වරයකට සදන ලද තත් කීපයක් පරිද්දෙන් අනුකම්පනය වූ විටය.
සිංහලයේ විදග්ධ නාට්‍ය සම්ප්‍රදායයේ පුරෝගාමියා වූ සේවා සම්මත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නාට්‍ය නිෂ්පාදකයකු වශයෙන් ස්වකීය නාට්‍ය විෂයාන්තර දැනුම හා චිර පරිචිත අත්දැකීම් සම්භාරය අනුසාරයෙන් පූර්වෝක්ත ප්‍රකාශය සඳහන් කොට ඇත්තේ, ඔහුගේ කලා ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයේත් බොහෝ තොරතුරු අඩංගු කර ඇති ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේය.
මා මෙවැන්නක් සඳහන් කරන්නට පෙලඹුණේ, සරච්චන්ද්‍ර සඳහන් කර ඇති පරිදි නාට්‍ය කලාව නළුවාගේ කලාවක් ද නැද්ද යන්න ගැන රචනාවක් කරන්නට නොවේ. සරච්චන්ද්‍ර නාට්‍ය නිර්මාණ සමූහය අතර අග්‍රහණ්‍ය හෙවත් ප්‍රශස්තතම නාට්‍ය නිර්මාණය ලෙසින් රසික විද්වත් සම්භාවතාවට පාත්‍ර වූ සිංහබාහු නාට්‍යයේ ‘ප්‍රථම සිංහයා’ සන්නාමයෙන් පිදුම් ලැබූ මාර්ක් ඇන්ටනී ප්‍රනාන්දු රංගධරයා ජීවිත රඟමඬලින් සමුගැනීම නිමිති කොට ඔහු වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරනු සඳහා පාඨක ප්‍රජාවට යමක් කියන්ටය. මාර්ක් ඇන්ටනී ප්‍රනාන්දු යනු කවරෙක්ද? සිංහ බාහු නාට්‍යයට ඔහුගේ සම්බන්ධය කෙසේ සිදුවීද? යනුවෙන් යමක් දන්නා අයට වඩා නොදන්නා පිරිස බොහෝ විය හැකි බව අසත්‍යයක් නොවේ.
ඔහුගේ හදිසි සමුගැනීමේ ආරංචිය මගේ කන වැකුණු මොහොතේ මා තුළ ඇති වූ කම්පාවත් ඒ නිසාම සරසවිය කතුවර අරුණ ගුණරත්නයන් මට කළ ආරාධනයෙන් මෙවැන්නක් ලියන්නට පෙළඹීමත් මගේ කෘතවේදීත්වය පළ කරන්නෙකැයි මා සඳහන් කළේ එය මා සතු යුතුකමක් ද වන නිසායි. ඒ අන් කිිසිවක් නිසා නොව සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍යකයේ නිර්මාණය කළ ‘සිංහබාහු’ භූමිකාවට අදාළ සියලුම සින්දු රාග මට ඉගැන්වූ ගුරු භූමිකාව ද ඔහු වන නිසයි. එසේ වුවද සිංහ බාහු නාටකයේ දෙවැනි නිෂ්පාදනය කරළියට නැංවු මංගල දර්ශනයේ සිට වසර විසි දෙකක් යන තෙක් වාර දහස් ගණන් දිවයිනේ මෙන්ම විදේශයන්හි ද රංගගත කළ සිංහබාහු නාටකයේ ප්‍රථම සිංහයා සමඟ මට රඟන්නට නොහැකිවීම දෛවෝපගතව මට අත් විඳින්නට සිදු වූ අභාග්‍යයක් ලෙස මම සලකමි. ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අවශ්‍යතාවක් මත එක්සත් රාජධානියේ ස්ථිර පදිංචියට යාම නිසාය. ඒ අතරතුර කාලයේ සිංහ භූමිකාව රඟ පෑ රංගධරයන් වූයේ ප්‍රවීණ නළුවන් වූ සමන් බෙංකවෙල හා ජය ශ්‍රී චන්ද්‍රජීත් දෙදෙනාය.
වසර දෙකකට පසුව එනම් 1992 අගෝස්තු මස 21 වැනි දින සිට 30 වැනි දින දක්වා අඛණ්ඩව දින 10ක් මුළුල්ලේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පැවැත් වූ සුවිශේෂිත සරච්චන්ද්‍ර නාට්‍ය උලෙළකදී (මෙම නාට්‍ය උලෙළ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රධාන ආරාධිතයන් සඳහා වූ උලෙළකි.) මාර්ක් ඇන්ටනීට සුපුරුදු සිංහ භූමිකාව රඟපෑමේ භාග්‍ය උදාවුයේ මාගේ ද අහිමිව ගිය මනදොළ උත්කර්ෂයට පත්කරවමින්ය.
මේ වන විට වසර හැටක් ඉක්මවා ඇති සිංහබාහු නාටකයේ මංගල දර්ශනය පවත්වන ලද්දේ 1961 අගෝස්තු මස 31 වැනි දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය එළිමහන් රඟමඬලේය. ඉන් පෙර මනමේ නාටකය නැරඹීමෙන් උද්දාමයට පත් වූ රසික ජනතාව සිංහ බාහු නාට්‍යය නැරඹීමෙන්, නාට්‍ය ධර්මී රංග ශෛලියේ උත්කෘෂ්ට රසභාව වින්දනය කරන්නට යෙදුණේ අපරදිග ඇරිස්ටෝටල්ගේ ශෝකෝත්පාදක හෙවත් ශෝකකෘත නාට්‍ය ශෛලීයේ සමපාත ආනන්දය, අඹු දරු සෙනෙහසින් වියෝගයට පත් සිංහයා සිය ඕරස පුත්‍ර සිංහබාහුගේ තුන්වැනි හී පහරින් කරළිය මත මිය ඇදෙන අන්දම සිංහයාට ආවේශ වූ මාර්ක් ඇන්ටනිගේ ගායන හා රංගන විලාසයේ විශිෂ්ටතාවෙන් භාව විරේචන කැතසිස් හා සාධාරණීකරණ ධර්මතා සාක්ෂාත් කර ගැනීමෙනි.
මාර්ක්ගේ ප්‍රථම සිංහ භූමිකා රංගනය හා ගායනයත් ඔහුගෙන් පසුව අනුප්‍රාප්තික සිංහ භූමිකා රංගනය කළ සමන්බොකුල වෙලට හා ජය ශ්‍රී චන්ද්‍රජීත්ටත් නළුවන් ලෙසින් ස්වකීය භූමිකාවට නැවුම් හැඩයක් ඇරූඪ කර ගැනීමට එක්තරා අන්දමක අභියෝගයක් උණාය. යනු මගේ කල්පනාවයි. අපරදිග ‘ඔපෙරා’ ගීත නාටකයට සමාන රූප නොවුවද, පෙරදිග සංගීත නාටකවල අනිවාර්ය ලක්ෂණයක් වූ ගායනය හා රංගනය මැනවින් අභිනය කරවීමට නම් නළුවෙකුට ජන්මයෙන්ම දායාද වූ සංගීත සප්තක තුනේම මනාලෙස හැසිරවීමේ කටහඬක් තිබිය යුතුය. ගමන්තාල හා උද්වේග කර නාටකීය අවස්ථා නිරූපණය කිරීමට හැකිවන පරිදි නර්තන වින්‍යාස ග්‍රහණය කර ගැනීමේ කුසලතාවක් ද පිහිටා තිබිය යුතුය. නර්තන ශාස්ත්‍රය ප්‍රගුණ කළ නළුවෙකු නොවුවද, සංගීත ශාස්ත්‍රය හදාළ නළුවෙකු නොවුවද ශෛලිගත සම්ප්‍රදායයේ භූමිකා රංගනයේ දී ආංගික හා වාචික අභිනයක් මනාලෙස ප්‍රයුංජනය කිරීමට හැකිවීමේ විභව ශක්තිය මාර්ක් තුළ නොඅඩුව පිහිටා තිබූ බවට සිංහ භූමිකා රූපණ කුසලතාවම ප්‍රමාණවත් සාක්ෂියකි. ‘සිංහයාගේ වැලපීමේ ගීතය’ නිසාම දශක ගණනාවක් මුළුල්ලේ දහස් ගණන් රසිකාගාර තුළ රොද බැඳගත් පේ‍්‍රක්ෂක ජනතාවගේ හදවත් කම්පා කළ සිංහ බාහු නාටකය ඉන් ඔබ්බටත් අනේකවිධ රසික දනන් ආකර්ෂණය කර ගැනීමේ ගාමක බලවේගයක් බවට පත්වුයේ යැයි කිවහොත් එය නොපිළිගන්නා කෙනෙකු සිටිතැයි සිතිය නොහැකිය. එහි පුරෝගාමී ගෞරවය මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දුට හිමිවිය යුතු බව දන්නා හඳුනන අය විරලවීම, අප රටේ කලාකේෂත්‍රවල හෝ එසේ නොවේ නම් වෙනත් කොතැනක හෝ සිදුවී ඇති බලවත් ඌනනයවීමක් නොවේදැයි යන්න සත්‍ය කාරණයක් නොවන්නේ ද?
මාර්ක් උපතින් කතෝලිකයෙකි. බොහෝවිට ක්‍රිස්තියානුවන්ට පල්ලියේ ගායනාවල භක්ති වන්දනා, වැලපුම් ගායනා හෙවත් පසම් කන්තාර ගායන ශෛලීන් භාවිතයට ගැනීම මනා ගායන අභ්‍යාසයක් වන්නේය. මාර්ක් ‘ගල්ලෙන බිඳලා’ ගීතයේ අන්තර්ගතව පවත්නා නාඩගම් ගීතයක අඩංගු විය යුතු කාලාත්මක, අපතාලාත්මක, අගාරම් (අග කොටස් ඈද පැද කරන ගායනය) හා උරුට්ටු (මූලික තාලය දෙගුණ වීම්) ලක්ෂණ මැනවින් විශද කරන්නේ නාඩගම් ගැමි නාටක සම්ප්‍රදායට කිතුනු බැතිමත් රසාවේශය පල්ලිය ඇසුරින් අවශෝෂණය වී ඇති නිසා විය යුතුය.
මාර්ක් මුල්වතාට මගේ නෙත ගැටුණේ පේරාදෙණි සරසවියේ මගේ නවක සිසු වසර වූ 1967 ඔක්තෝබර් මාසයේදීය. ඒ සුපුරුදු පේරාදෙණිය සරසවි නවකයින් සඳහා රංගත කරවන නාට්‍ය උලෙළේ සිංහබාහු නාටකය මා නැරඹූ අවස්ථාවේය. එය සිංහ බාහු භූමිකාවට ප්‍රවිෂ්ට වීමේ භාග්‍යය මට උදාවෙතැයි තුන්හිතකින්වත් නොසිතූ අවස්ථාවකි. නමුත් නාට්‍ය සංගීත රංගන කුසලතා හාංකවිසිය ඉව වැටෙන සරච්චන්ද්‍ර ඇදුරාණන්ගෙන් ගැලවී යාමට නොහැකිවීමේ ඉරණම් භාග්‍යය මාර්ක්ට එතුමාගේ නාට්‍ය කණ්ඩායමේ බොහෝ නළු නිළියන්ට මෙන්ම මට ද අත්විඳින්නට සිදු වූ බව කිව යුතුය.
මාර්ක් ගේ පවුලේ තොරතුරු හා වතගොත පිළිබඳ සවිස්තර කරුණු සොයා ගැනීම දුෂ්කර වී ඇත්තේ ඔහු උපන් රටේ ගත කළ කාලයට වඩා වැඩි කාලයක් විදේශගත ව ජීවත්වීම මෙන්ම ඔහුගේ දෙවන විවාහය ද විදේශයක (පිලිපීන ජාතික) කාන්තාවක් වීම හා ඒ නිසාම ගායන රංගන කුසලතා පිරිපුන් කලාකරුවෙකු ලෙස අඛණ්ඩව නිමග්නවීමේ හැකියාව ඔහුගෙන් උල්ලංඝනය වී තිබීම නිසා යැයි පිළිගන්නට සිදුව ඇත.
මාර්ක් නීති විෂය හා බද්ධ එල්.එල්.බී. උපාධිය දිනා ගත්තේ නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලයට ගෙනයාමට පෙරාතුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එය අනුබද්ධව තිබියදීය.
ඉන් අනතුරුව රජයේ නීති විද්‍යාලයෙන් (ඒබබධපදඥර චබ ඹ්චඹ) නීතිඥ සහතිකය දිනාගත්ත ද නීතිඥ වෘත්තියෙහි ව්‍යාවෘතව සිටි බවට තොරතුරු විරලය. එක්සත් රාජධානියේ දී නීතිඥ වෘත්තිය හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු වලට මැදිහත්ව කටයුතු කළ බවට තොරතුරු ඔහු මා සමීපව ඇසුරු කළ සමයේ පවසා ඇති තොරතුරුවලින් ප්‍රකට වූ බව ද සඳහන් කළ යුතුය.
ඔහුගේ පෞද්ගලික ජීවන චාරිකාවත්, සෞන්දර්යාත්මක චාරිකාවත් එකිනෙකට පරස්පරතා උද්ගත කළේ වුවද, ඒ විසදෘශතාව නිසාම දෝ වරින් වර එක්සත් රාජධානියේ සිට ලංකාවට පැමිණි බොහෝ අවස්ථාවල ඔහු ඇසුරු කළ මිතුරන් සොයා ගොස් ඇතැම් විට ඔවුන්ගේ සැප දුක සොයා බලා උදව් ඇවැසි අයට කිසියම් මූල්‍යාධාර, තෑගි බෝග පවා ප්‍රදානය කළ බව මම පෞද්ගලිකව දනිමි. ඔහුගේ ඇසුර පි‍්‍රය කළ මා පාසැල් වල හා විවිධ රාජ්‍යායතනවල හා විශේෂයෙන් පේරාදෙණිය සරසවියේ ආදී විද්‍යර්ථින්ගේ කණ්ඩායම් සාද උත්සව අවස්ථාවලදී ද මා ඔහුව මේ නාට්‍ය වේදිකාවේ ‘ප්‍රථම සිංහ ලකුණ’ කියා හඳුන්වා දුන් විට ‘එහෙනං සිංහ සෙය්‍යා දක්වන්න’ යැයි ඔහු ගැන තතු දත් අය අතීත කාමයෙන් මුසපත්ව ඉල්ලීම් කරද්දී ඉමහත් උත්කර්ෂයට පත්වන මාර්ක් සුපුරුදු ‘ගල්ලෙන බිඳිලා’ ගීතයට සමවැදී නැවුම් උද්දාමයකින් යුතුව සියලු දෙනාගේ අත්පොළසන් නාදය මැද්දේ එය රංගනය කළ අවස්ථා මට දැනුදු මැවී පෙනෙන්නා සේ දැනේ.
කාලයක් රීටා ඩොරින් ප්‍රනාන්දු නමින් ප්‍රසිද්ධව සිටි රූමත් යුවතියක් සබන් වෙළෙඳ දැන්වීම් වල අභිරූපිකාවන්ගේ ඡායාරූපවලියේ සඳහන්ව තිබුණු බව මගේ මතකයට නැඟේ. ඇය මාර්ක් ඇන්ටනිගේ වැඩිමහල් සොයුරියකි. පසුව ඇය දකුණු ඉන්දියාවේ ඇම්.ආර්. රාධා නමින් කාලයක් චිරප්‍රසිද්ධව සිටි ධනවත් නළුවාගේ බිරිඳක වුවාය. ඇයට ලැබුණු රූමත් දියණියන් දෙදෙනෙකු වන රාධිකා සහ නිරෝෂා දෙදෙනාම රසික ප්‍රසාදය දිනාගත් දකුණු ඉන්දීය සිනමා නිළියන් දෙදෙනෙකු බව දන්නා අය අප රටේ සිටිය ද ඔවුන් මාර්ක් ඇන්ටනිගේ ලේළිවරුන් දෙදෙනෙකු බව දන්නෝ නම් කී දෙනෙක් වෙත් ද?
සිංහබාහු නාටකයට අර්ධ ශතකයක් පිරුණේ 2011 වසරේදීය. ඒ නිමිත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලය මඟින් ලිපි සරණියක් ප්‍රණීත කොට ජනගත කෙරිණ. එම කෘතියේ ප්‍රථම ලිපිය ‘මගේ ජීවිත රඟහලට අලෝකයක් වූ සිංහ භූමිකාව‘ මාර්ක් ඇන්ටනි ලියා පළකළ ඔහුගේ ඒ හා බැඳුණු අත්දැකීම් සම්භාරයක් අඩංගුව ඇති සංවේදී රචනයකි. එම ලිපියේ ඔහු අන්තර්ගත කර ඇති තොරතුරු ඉතා වැදගත් වන්නේ මේ වනවිටත් ඡන්මාන්තරගත වී ඇති ඔහු යළි අපට කිසිදිනක මුණ නොගැසෙන බැවින් ඔහු ගැන ස්වායත්තව ඔහු පවසා ඇති දෑ තුළ වටිනාකමක් ගැබ්ව ඇති නිසාය.
මාර්ක් ගේ සරසවි ජීවිතයට පූර්වෝක්තව පාසැල් ජීවිතය ගෙවී ඇත්තේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේය. ඒ අවධියේදී පාසැලේ නර්තන ගායනා දී සෞන්දර්යය විෂයයන් ඉගෙනීම හෝ ඒවා කෙරේ නිරත වීම සම්බන්ධයෙන් කිසිවකට මැදිහත් නොවූ බව ඔහු ඒ ලිපියේ සඳහන් කරයි. ඔහුගේ පියා සර්පිනා වාදනයේ නිපුණයකු බව ද, ඔහුගේ සොහොයුරියක රංගමය කුසලතා දක්වා ප්‍රසාදය දිනාගත් තැනැත්තියක් ද බව ඔහු එහි සඳහන් කර ඇති කරුණු වලින් පෙනී යන්නේ පවුලේ කිසියම් සෞන්දර්මය කලා පරිසරයක් තිබූ බවය. මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු ගේ සොයුරියකගේ දියණිවරුන් භාරතයේ ජනපි‍්‍රය කෘතහස්ත කලා ශිල්පිනියන් වුවද, මාර්ක්ට සිය සහජ කුසලතා හා පවුල් පරිසරයෙන් ලැබුණු දායාදය සිංහබාහු භූමිකාව තුළින් යම් ධාරිතාවක් තුළ විශද කළ හැකි වුවද, මොනයම් හේතු නිසා හෝ සහජමය කලා කුසලතාවලින් ද හුවා දැක්වීමට තිබූ පිටුබලයේ උල්පත් ශ්‍රී ලාංකේය කලාකේෂ්ත්‍රය තුළ ගිලී යාම හේතුවෙන් එවන් කලා සම්පතකින් උපරීම සාර ඵලය ඔහුටත් රටටත් ඇති තරම් භුක්ති විඳිමේ අවස්ථා මඟ හැරී යාම ඛේදනීය අපෝහකයක් වී ඇද්දයි සිතා බැලීම නිවැරදියයි හැඟිමි.
සිංහයා භූමිකාවේ රංගන අවස්ථාවකදී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිරීක්ෂණ ශක්තියේ ඉසියුම් බව ගැන ඔහුගේ ලිපියේ සඳහන් කර ඇති එක්තරා සිදුවීමකි. මේ “සිංහබාහු යැයි හඬ නඟා පැවසීමෙන් සිය පුත්‍රයා බව හඳුනා ගන්නා අවස්ථාවේ (සිංහ බාහු නම් මපුතා නොවේ දෝ) ඔහුගේ දෙනෙතින් ගලා හැළුණු කඳුළු කන්දරාව දුටු සරච්චන්ද්‍රයන්, දර්ශනය අවසානයේ මාර්ක්ව පසෙකට කැඳවාගෙන ගොස් පිට අතගාමින්, ‘මාර්ක් මේ නාට්‍යවල කඳුළු සැලීම නාට්‍යයේ සියුම් රසයට හෙවත් කරුණ රසය ප්‍රහීනවීමට කාරණයක් වෙනවා.’ භාවාතිශය වීම නළුවෙකුගේ රඟපෑම සාර්ථක වීමට බාධාවක්” යැයි පැවසීමෙන් රඟපෑම සම්බන්ධ අද්විතීය පාඩමක් ලැබුයේ යැයි මාර්ක් සඳහන් කර ඇත්තේ, සරච්චන්ද්‍රයන්ගෙන් තමා සිංහයාගේ භූමිකා රංගනයේ විශිෂ්ටතම අවස්ථාවක් මේ යැයි මාර්ක්ගේ සිතැඟි වලට අනුව උද්දාමයෙන් සිටි නිමේෂය කැඩී බිඳී ගිය සැටි මතකයට කැඳවා ගනිමිනි.
සිය රටින් බැහැර දීපංකරයක විප්‍රවාසීව ගෙවුණු ජීවිතයේ සරතැස නිවාලීමට මහැදුුරු සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණයේ ප්‍රථම සිංහ භූමිකාවෙන් ලැබුණු අනුප්‍රාණය කොතෙක් දුරට සමත් වුවද, පෞද්ගලික ජීවිතයේ දිග එළිකළ වෙනත් කාරණාවලින් එහි මාර්යාදාවන් ලකුණු කරදීම මොන තරම් අභාග්‍ය සම්පන්නදැයි සිතේ. මාර්ක් ඇන්ටනි විශිෂ්ට සිංහයාණෙනි! මගේ සිංහ ගුරු භවතාණෙනි !! ප්‍රථම සිංහ පියාණෙනි!! ඔබට සසර සුබ ගමන්.
නිශ්ශංක දිද්දෙණිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *