සාහිත්‍ය තෝතැන්න බිහිවුණේ මෙහෙමයි

කලා

රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වශයෙන් පැවැති ගුවන් විදුලි සේවය 1967 ජනවාරි 5 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත්විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කලාව (Art), සාහිත්‍යය (Literature), සෞන්දර්ය (Aesthetics), සංස්කෘතිය (Culture), ආගමික චින්තනය (Religous Thoughts) සහ දැනුම (Knowledge) මානවයාගේ ඥාන පථය පෘථුල කිරීමෙහිලා මහත් සේ බලපෑම් කරන බව සංස්කෘතික මානව විද්‍යාව පෙන්නා දෙයි.

1821 දෙසැම්බර් 16 වැනිදා Colombo Calling (කොළඹින් කතා කරමි) යනුවෙන් ඇරැඹුණු ලංකා ගුවන් විදුලි සේවය ආරම්භ කළ මුල් අවදියේ මෙම සංස්කෘතික සංකල්පය බිහි වී නොතිබුණ ද එම සංකල්පයේ අභිලාෂයන් සැපිරීමට ක්‍රියා කර ඇත.
ලංකා ගුවන් විදුලිය ආරම්භ කරනු ලැබුවේ අධිරාජ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා බව සැබෑය. ඉංගිරිසි භාෂා මාධ්‍යයෙන් ආරම්භ වූ මෙම නව විද්‍යුත් සන්නිවේදන විධියෙන් ඔවුන් ඇමතූ බ්‍රිතාන්‍ය හා බ්‍රිතාන්‍ය නොවන ඉංගිරිසි බස දත් ශ්‍රාවකයන් අරඹයා අධ්‍යාපනික, සංගීතමය සහ සෞන්දර්යාත්මක වැඩසටහන් ප්‍රචාරය කරන ලද බව සඳහන් වෙයි.

1927 මුල් භාගයේදී බී.බී.සී.යෙන් ගෙන්වන ලද වයර්ලස් ඩ්‍රාමා (ගුවන් විදුලි නාට්‍ය) සංගීතාංග, සංධ්වනි, ඔපෙරා ගීත මෙන්ම දැනුම විනෝදය ගෙන දෙන වාචික වැඩසටහන් ද ප්‍රචාරය කර තිබේ.

කොටින්ම BBC වැඩසටහන් තේමාව සේ සැලකෙන ලොවට විවර වූ කවුළුවක් (Window Open to the wide world) යටතේ ළමා, කාන්තා, නාට්‍ය, විචිත්‍රාංග, සංගීත, ප්‍රවෘත්ති ආදිය එදා ගුවන් විදුලි න්‍යායපත්‍රයට අන්තර්ගත විය. ඇතැම් නාට්‍ය ජේ.එස්.පී. පැටර්සන්ගේ මෙහෙයවීමෙන් කොළඹ ආධුනික නාට්‍ය සංගමය (Colombo Amateur Club) මගින් ලංකාවේ නිෂ්පාදනය කළ බව සී.එල්.පී.ගුණවර්ධන ‘Colombo Calling’ ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

සිංහල වැඩසටහන් නිර්මාණය ආරම්භ කිරීමෙන් පසු මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමය, ගාල්ලේ මහින්ද විද්‍යාලය, කුරුණෑගල රජයේ සේවක සංගමය අනුබද්ධ නාට්‍ය කණ්ඩායම් නාට්‍ය ඉදිරිපත් කර තිබේ. ජේ.ආර්. ජයවර්ධන (පසුව ජනාධිපති) රචනා කළ ‘සමාජ සේවකයා’ නම් වූ ගුවන් විදුලි නාට්‍යයේ ප්‍රධාන චරිත රචකයා ද, එලීනා ජයවර්ධන, මහාචාර්ය ගුණපාල මලලසේකර, සී.ඒ. ෆොන්සේකා සහ යූ.ජී.පී. ද සිල්වා සෙසු චරිත නිරූපණය කර ප්‍රචාරය කර තිබේ.

1935 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගුවන් විදුලි කමිටු වාර්තාවේ සඳහන් වූයේ “The Broadcasting Service Should at all times conducted in the best possible manner and to the best advantage of the people” යනුවෙනි. ගුවන් විදුලිය හැම විටම ජනතාවට ප්‍රතිලාභ අත්කර දීමේ අභිලාෂය ඇතිව මෙහෙයවිය යුතු බවයි, එම වාර්තාවෙන් නිර්දේශ කරනුයේ.

සංස්කෘතික මානව විද්‍යාඥයන් දක්වන කලාව, සාහිත්‍යය, සෞන්දර්ය, සංස්කෘතිය, ආගමික චින්තනය සහ දැනුම ලබාදීමෙන්, ජනතාවගේ ඥාන පථය පෘථුල කිරීමේ අභිලාෂය “ජනතාවට ප්‍රතිලාභ අත්කර දීමේ” ශික්‍ෂා පදය තුළ අන්තර්ගත වී ඇතැයි සැලකීම යුක්තියුක්තය.

යටත් විජිත ආකෘතිය තුළ වුව ද සම්භාව්‍ය සාහිත්‍ය කෘති ගණනාවක් රේඩියෝ නාට්‍ය ලෙස ප්‍රතිනිර්මාණය වී තිබේ. හෙන්රික් ඉබ්සන්, මැක්සිම් ගෝර්කි, ගී ද පෝපසාං, ලියෝ ටොල්ස්ටෝයි, ඔස්කාර් වයිල්ඩ් ආදී ලේඛකයින්ගේ කෘති ආශ්‍රිත නාට්‍ය ශ්‍රාවකයාට අසන්නට ලැබිණි. පර්ල් එස්. බක්ගේ The Good Earth ‘සාරභූමි’ නමින් ද, ඇන්ටන් චෙකෝෆ්ගේ The Proposal ‘මඟුල් ප්‍රස්තාව’ නමින් ද, ඩොස්ටොව්ස්කිගේ Crime and punishment ‘අපරාධය හා දඬුවම’ නමින් ද ප්‍රචාරය වී තිබෙන බව ඒ පිළිබඳ පර් යේෂණ කළ ආචාර්ය සේන නානායක්කාර පෙන්වා දෙයි.

ලංකාවේ බහුතර සිංහල ශ්‍රාවක ප්‍රජාව අමතන සංස්කෘතික ධාරාවේ වැඩසටහන් මාලාවක ආරම්භය සිදු වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගුවන් විදුලිය පෝෂණය කිරීමේ ක්‍රියාදාමයට සම්බන්ධ වීමත් සමගය. 1950 අගෝස්තු මාසයේ ආරම්භ කළ ‘යෞවන සමාජය’ සිංහල භාෂීය ගුවන් විදුලි නාට්‍යයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ප්‍රයත්නයක් ද බොහෝ කුසලතා පිරි යෞවනයන්ට සිය නිර්මාණ එළිදැක්වීමේ මණ්ඩපයක් ද විය.

1951 දී සරච්චන්ද්‍රයන් විසින් පී. වැලිකල ගුවන් විදුලියට සම්බන්ධ කළෙන් රේඩියෝ නාට්‍ය කලාවේ පිබිදීමක් ඇති විය. මාර්ටින් වික්‍රමසිංහගේ ‘රෝහිණී’, ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වාගේ ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’, ඇස්. පියසේනගේ ‘මාරක ගින්න’, ලෙනාඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගම’ ආදී නවකතා රේඩියෝ නාට්‍යයට නැඟිණි. ශබ්ද මාධ්‍යයට ගැළපෙන ඖචිත්‍යපූර්වක සංවාද, නාට්‍යමය අවස්ථා, අවස්ථානුකූල බාහිර ශබ්ද පට, වෘත්තීය හඬ ශිල්පීන්ගේ සහභාගිත්වය නිසා උසස් ගණයේ රේඩියේ නාට්‍ය කලාවකට මේ අවදියේදී අඩිතාලම වැටුණේය.

1955 දී තේවිස් ගුරුගේගේ යෝජනාවක් පරිදි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විසින් ‘මනෝහාරී’ ගීත නාටකය රචනා කරන ලද්දේය. පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතවත් කළ ‘මනෝහාරී’ ගුවන් විදුලියට සංගීතමය නවාංගයක් විය. මහාචාර්ය සරච්චන්ද්‍ර 1955 දීම සද්ධර්මාලංකාරයේ ස්වර්ණතිලකා කතා වස්තුව පදනම් කරගෙන ගුවන් විදුලියට ‘පෙමතෝ ජායතී සොකෝ’ රචනා කළේය.

ඉනික්බිති ‘වැල පලුවයි – කපුටො රැලයි’, ‘නෑදෑයෝ’, ‘ගත්කරු පිස්සුව’ නම් ස්වාභාවික සංවාද නාටක ද 1969 දී වෙසක් පෝ දින ප්‍රචාරය කිරීමට සුභා තෙරණිය, තමන් කෙරෙහි වසඟ වූ තරුණයාට ඇස ගලවාදීමේ පුවත අසුරින් ගීතමය නාට්‍යයක් ද රචනා කරයි. ඔහු මෙය රචනා කරන්නේ 1969 වෙසක් පෝ දින ප්‍රචාරය කිරීම පිණිසය. තාත්වික නාට්‍ය සඳහා නාට්‍යෝචිත වාචිකාභිනය භාවිත කරන සරච්චන්ද්‍ර, ‘ගොන්මං කිකිණිය’ රචනා කරන්නේ පෙමතෝ ජායතී සොකෝ රචනා කළ නාට්‍යමය කාව්‍ය භාෂාවෙනි. මේ නාට්‍යය රචනයේ දී ඔහු ජුංජි කිනෝෂිතෝගේ ‘ට්වයිලයිට් ක්රේන්’ නම් කෘතියෙන් ද ආභාසය ලබාගනී.

සරච්චන්ද්‍රයන් හඳුන්වා දුන් ‘රඟසොබා’ සහ ‘කල්පනා’ වැඩසටහන් ද යෞවන සමාජය, ශාස්ත්‍රීය සංග්‍රහය සහ රේඩියෝ නාට්‍ය සේම ශ්‍රාවක ඥාන ප්‍රසාරණයට හේතු විය.

වාචිකාභිනය ප්‍රමුඛ කොටගත් ගුවන් විදුලි නාට්‍ය රචනා කරමින් එහි තිබිය යුතු සැබෑ ස්වරූපය සෙසු රචකයන්ට පහදා දුන් අතර ටී.ඊ.ඇස්. ලීලානන්ද, ඒ.පී. ගුණරත්න ආදීන් ගුවන් විදුලි නාට්‍ය රචනයට යොමු කළේය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මැදිහත් වීම ලංකා ගුවන් විදුලියේ සංස්කෘතික වැඩසටහන් පෝෂණය වීමෙහි ලා සිදු කළ මෙහෙවර අති විශාලය. රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ලංකාගමනයේ දී කළ දේශනයෙන් ලත් ප්‍රබෝධයෙන්, අපේ සංස්කෘතියේ සුලමුල සෙවීම උදෙසා ශාන්ති නිකේතනයට ගිය කලාකරුවන් අතර ප්‍රමුඛ කෙනෙකි, මහාචාර්ය සරච්චන්ද්‍ර.

“ජාතියක සංස්කෘතික අභිලාෂයන් බිඳවැටීම, එම ජාතියේ ආත්මය විනාශයට පත්වීමයි. ජාතියක නිර්මාපකයා වූ කලී චිරන්තනව වැඩුණු නෛසර්ගික බුද්ධි මහිමයයි. තමන්ට ආවේණික සංස්කෘතික සම්භවයෙන් වියෝ වන ජාතියක්, සිය පෞරුෂයත් අනන්‍යතාවත් වනසා ගනී.” රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ මේ උධෘතය සරච්චන්ද්‍රයන්ගේ සංස්කෘතික චින්තනය කෙරෙහි අනිවාර්යයෙන්ම බලපෑ බව අපට උපකල්පනය කළ හැකි සාධක, සරච්චන්ද්‍ර සංස්කෘතික මෙහෙවරේ දී පැහැදිලිව දැකිය හැකිය.

1930 පියසේන නිශ්ශංකගේ කර්තෘත්වයෙන් පළ වුණු සිළුමිණ පත්‍රයේ ශාස්ත්‍රීය හා ඓතිහාසීය අතිරේකය නමින් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පිටු 8ක සංස්කෘතික විෂය කරගත් අතිරේකයක් පළ විය. සිළුමිණ ‘ශත දහයේ විශ්වවිද්‍යාලය’ ලෙස එදා ගිහි පැවිදි උගතුන් විසින් හඳුන්වනු ලැබුවේ මේ අතිරේකය නිසාය. මෙය ආදර්ශයට ගත් සරච්චන්ද්‍ර, ගුවන් විදුලියේ ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ නම් වැඩසටහන 1951 ජුනි 24 වැනිදා ආරම්භ කළේය.

මේ බව මහාචාර්ය සරච්චන්ද්‍ර 2000 අප්‍රේල් 17 වැනිදා සිළුමිණට 70 වසරක් සපිරීම නිමිත්තෙන් පළ කළ අතිරේකය වෙනුවෙන් කළ සාකච්ඡාවේදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ට පවසා ඇත. ඔස්තාද් බිස්මිල්ලා ඛාන්ගේ ෂෙනායි වාදනයක් තේමා වාදනය ලෙස ගෙන සංගීත, නාට්‍ය සාහිත්‍යාදී කලාවන් පිළිබඳ ශාස්ත්‍රීය සාකච්ඡාවනට ශාස්ත්‍රීය සංග්‍රහය තෝතැන්නක් විය.

ජාතික ගුවන් විදුලියේ සංස්කෘතික මෙහෙවර කොතරම් ද යත් කාව්‍ය විචාරය සඳහා ද නූතන සාහිත්‍යයෙහි අගය විමසීම සඳහා ද යෝග්‍ය විචාර කලාවක් සකස් කිරීමෙහිලා ලියැවුණු පුරෝගාමී ග්‍රන්ථය ලෙස සැලකෙන සරච්චන්ද්‍රගේ සාහිත්‍ය විද්‍යාව 1949 දී පළ වන්නේ ගුවන් විදුලිය නිසාය.

(​මෙම ලිපියේ තව කොටසක් ලබන සතියේ පළවේ)

තිලකරත්න කුරුවිට බණ්ඩාර

Lankadeepa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.