තිලක් සේනාසිංහ
දේව වරමින් ශාස්ත‍්‍ර කියන බව සඳහන් ස්ථාන කෙරෙහි පවත්නා ජන ආකර්ශනයේ යම් ප‍්‍රවර්ධනයක් මෑත කාලය තුළ සිදුවෙමින් පවතින බවට පිළිගත හැකි තොරතුරු ලැබෙමින් තිබේ. ඊට ආසන්නතම හේතුව වශයෙන් දැක්විය හැක්කේ ගෝලීය වසංගතයක් වශයෙන් පැතිර පවතින කෝවිඞ් 19 රෝග තත්වය යටතේ තමන්ගේ සහ තම පවුල් වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය සේම ආර්ථික යහපැවැත්ම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ පැන නැඟී ඇති අවිනිශ්චිත හා අනාරක්ෂිත භාවයයි.ඒ අතර මෙම රෝග තත්වය සහ එය පිටු දැකීම සම්බන්ධයෙන් කාලි දෙවඟන වෙතින් පිටිවහලක් ලද හැකිය යන මිථ්‍යා ආකල්පය රාජ්‍ය නායක කාරකාදීන්ගේ අනුග‍්‍රහයෙන් රට පුරා ව්‍යාප්ත වීම ද මෙම උනන්දුවට හේතු වී ඇති බව පෙනෙයි.
මෙලෙස දේව වරමින් ශාස්ත‍්‍ර කියන ස්ථාන බොහොමයක් එක් එක් දෙවිවරුන්ගේ නම ද සඳහන් කොට තිබේ. ඒ කාලි වරමින්, දැඩිමුණ්ඩ වරමින්, ගම්බාර සූනියම් වරමින්, කඩවර වරමින් ආදී වශයෙනි. එම පුවරු අතරේ කතරගම හෝ පත්තිනි දේව වරමින් යනුවෙන් සඳහන් දැන්වීම්ද දැකිය හැකිමුත් විෂ්ණු දේව වරමින් සමන් දේව වරමින් යනුවෙන් සඳහන් පුවරු දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ ප‍්‍රමුඛතම දෙවියා වන ‘ශක‍්‍ර දේව වරමක්’ ගැන පැවසෙන එකම නාම පුවරුවක්වත් නැත.
මෙලෙස දේව වරමින් ශාස්ත‍්‍ර කියන ස්ථාන බොහොමයක එක් එක් දෙවිවරුන්ගේ නම් ද සඳහන් කොට තිබේ. ඒ අතර වැඩිපුරම දක්නට ලැබෙනුයේ කාලි දේව වරමින් ශාස්ත‍්‍ර කියන බව පැවසෙන තැන් ය. මීට අමතරව දැඩිමුණ්ඩ, ගම්බාර සූනියම් කඩවර ආදී වරම් වලින් ශාස්ත‍්‍ර කියැවෙන බව පැවසෙන පුවරු ද දක්නට තිබේ.එම පුවරු අතරේ කතරගම හෝ පත්තිනි දේව වරමින් යනුවෙන් සඳහන් පුවරු ද ඇති මුත් විෂ්ණු,සමන්,නාථ යන දෙවි වරුන්ගේ නම් දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ ප‍්‍රමුඛතම දෙවියා වන ‘ශක‍්‍ර දේව වරමක්’ ගැන පැවසෙන එකම නාම පුවරුවක්වත් මා නම් දැක නැත. එමඟින් අපට වැටහෙන එක් දෙයක් තිබේ.
එනම් මෙලෙස වරම් දීම සම්බන්ධයෙන් අප රටේ අදහනු ලබන ක්ෂාන්තිවාදී ලක්ෂණවලින් යුතු ප‍්‍රමුඛ පෙළේ දෙවිවරුන්ට වඩා යක්ෂ සම්භවයකින් යුතු දෙවන පෙළ දෙවි දේවතාවන් ඉදිරියට ”වැඩම කොට” සිටින බවකි. එමෙන්ම එම දේව වරම හා සබැඳි ආරූඪ වීමේ දී ක්ෂාන්තිවාදී දෙවි වරුන්ගේ ආරූඪයන්ට වඩා යක්ෂ සම්භවයකින් යුතු දෙවි වරුන්ගේ ආරූඪයන් වඩාත් භාවාත්මක,ප‍්‍රදර්ශනාත්මක හා ප‍්‍රාසාංගික වීම ද මෙම නැඹුරුවට හේතු වී බව පෙනෙයි. මෙම දේව වරම් ලැබීමේ දී පුරුෂ පක්ෂය අබිබවා කාන්තා පක්ෂය පෙරට පැමිණීම ද ඉතා පැහැදිලිවම දක්නට ලැබෙන්නකි. දේව වරමින් ශාස්ත‍්‍ර කියන ‘පියවරුන්ට වඩා ‘මෑණිවරුන්’ බහුල ලෙසම දැකිය හැක්කේ එබැවිනි. එමෙන්ම මොවුන්ගෙන් වැඩි පිරිස ජීවිතයේ යොවුන්විය ඉක්මවූවන් බව ද පෙනෙයි. සමාජමය පසුබිම අනුව මොවුන්ගෙන් බහුතරය අඩු හෝ නොවිධිමත් ආදායම්ලාභී පහළ මධ්‍යම පන්තියට අයත් වෙති. මෙරට ග‍්‍රාමීය සමාජ ස්ථරයෙන් වැඩිපුර දක්නට ලැබෙන මොවුන්ගෙන් සුළුතරයක් නාගරික අඩු හෝ නොවිධිමත් ආදායම්ලාභීන් අතරින් මතුව ඇති බව පෙනෙයි ඉහත සඳහන් සමාජ ස්ථරයන්ගෙන් බැහැරව මෙවන් දේව වරම්ලාභීන් වාර්තා වන්නේ නම් ඒ ඉතා සුළු වශයෙනි. මෙලෙස දේව වරම් ලැබූවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් කරුණු විමසා බැලීමේදී පෙනී යනුයේ ඔවුන්ගෙන් වැඩි පිරිස ජීවිතයේ යොවුන් වියේදී විවිධාකාර පෞරුෂ, පවුල්, සමාජමය ගැටලූ අර්බුදවලට මුහුණ පාන ලද්දවුන් බව ය.
කුමන හෝ හේතුවක් මත සිය පවුල් දිවිය බිඳවැටුණු හෝ අසාර්ථක වූ ‘මෑණිවරු’ ද මෙම පිරිස් අතර සිටිති. වරක් මා එම කරුණ සම්බන්ධයෙන් එවන් දේව වරම් ලැබූ බව පැවසෙන මෑණි කෙනකුගෙන් විමසූ විට මා නිරුත්තර කරමින් ඇය කියා සිටියේ ”පත්තිනි මෑණියන්ටත් පවුල් ප‍්‍රශ්න තිබුණා” යන්න ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් මූලික ව කිව හැක්කේ ශාස්ත‍්‍ර අසන්නවුන් තමන් වෙතින් අසන ප‍්‍රශ්න වලට දිය හැකි ”රෙඩි මේඞ්” පිළිතුරු කට්ටලයක් මොවුන් සතුව තිබෙන බවකි.
පුරා තිස් වසරක පමණ කාලයක් තිස්සේ වරින් වර මා විසින් කරනු ලැබූ අධ්‍යයනයනට අනුව මෙම මැණිවරුන්ට දේව වරම් හිමිවන ක‍්‍රම කිහිපයකි. තම ජීවිතයට එළැඹි අනේක විධ දුක් කරදර දෙවියන් හමුවේ නිරන්තයෙන් කියා සිටින අතරේ ඇය එම දුකින් මුදාලනු පිණිස දේව වරමක් දිය හැකි බව දෙවියන් විසින් ඇය වෙත පවසා හිඳීම ඉන් එක් ක‍්‍රමයකි. ඇතැම් විට එම කාන්තාවට නිතර පෙනෙන සිහිනයක් ලෙසින් මෙම පණිවුඩය ලැබෙන අතර තවත් විටෙක හිටිහැටියේ පත්වන ආරූඪයක් මගින්ද දෙවියන්ගේ මෙම පණිවුඩය ඇය වෙත හිටිහැටියේ සන්නිවේදනය විය හැක.
ඉහත සඳහන් කවර හෝ ලෙසකින් දේව වරමක් ඇති බව වටහා ගන්නා කාන්තාව හෝ පිරිමියා එය ලබා ගැනීම පිණිස එම දෙවියන් හා සම්බන්ධ ප‍්‍රධාන දේවාලයට යාම පිළිගත් සම්ප‍්‍රදායයි. එහිදී එම දේවාලයේ ප‍්‍රධාන කපු හෝ පූජක තැනට තමන් පැමිණි කාරණය පැවසූ විට එම දේව වරම හිමි තැනත්තාට හෝ තැනැත්තියට එම වරම ප‍්‍රදානය කිරීම ඒ දේවාලයේ ප‍්‍රධාන කපුවා හෝ පූජකවරයා විසින් කළ යුතුව තිබේ. එහෙත්, ඒ සම්බන්ධ ප‍්‍රායෝගික පක්ෂය ඊට සපුරාම වෙනස්ය. එනම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන දේවාල බොහෝමයක පාලක පක්ෂය හෝ කපු මහතුන් එබඳු වරම් ගැනීමට පැමිණෙන්නවුන් සතපහකට වත් ගණන් නොගැනීම ය. ඒ නොතැකීම කොතෙක් ද යත් පසුගිය කාලයේ හලාවත මුන්නේෂ්වරම භද්‍ර කාලී කෝවිලේ ”ආරූඪ වීම තහනම්” යනුවෙන් දැන්වීම් පුවරුවක් ද සවි කොට තිබිණ. එය කාලි මෑණියන් ගේ ”අන පරිදි” සවි කරන ලද්දක් දැයි දැන ගනු පිණිස මා එහි ඥානසුන්දරම් පූජක වරයාගෙන් විමසූ විට ඔහු ගත් කටටම කියා සිටියේ ”ඔය බොරු වැඩ වලට අපි සපෝට් දෙන්නේ නෑ”යනුවෙනි.
පසුව මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමසුමකදී නවගමුව පත්තිනි දේවාලයේ කපු මහතකු මා හා කියා සිටියේ එම වරම් ලබා දීම ඒ ඒ පුද්ගලයන්ගේ මියගිය ඥාතීන් විසින් සිදු කරනු ලබන්නක් මිස ඊට පත්තිනි මෑණියන්ගේ හෝ වෙනයම් දෙවිවරුන්ගේ කිසිදු සබැඳියාවක් නොමැති බවකි.‘‘ කිසිම දෙවියෙක් මිනිස් ශරීරයකට ආරූඪ වෙන්නේ නෑ. එහෙම වුණොත් ඒ වෙලාවෙම ඒ තැනැත්තාගේ ඔළුව හත්කඩකට පුපුරලා යනවා. දේව බලය ඒ තරම් ප‍්‍රබලයි. ඇත්තෙන්ම ඒ විදිහට ආරූඪ වෙන්නේ මියගිය ඥාතීන්ම තමයි. නමුත් ඒ ඥාතීන් අතර දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල සේවය කරන අය’ ඒ සම්බන්ධයෙන් එලෙස දේව වරම් ලබා ගන්නවුන්ගේ පාර්ශ්වයේ අය ද එසේ කියති.
ඉහත සඳහන් දෙවිවරුන් සම්බන්ධ ප‍්‍රධාන දේවාලවල තත්ත්වය එසේ වුවද, එලෙස දේව වරම් ඇත්තවුන් හට එම වරප‍්‍රසාදය හිමිකරගත හැකි වෙනත් පෞද්ගලික දේවාල තිබේ. මෙලෙස දේව වරමක් ඇති බවට ඉඟි පළවන අයකු එවන් දේවාලයකට ගොස් එවැන්නක් කී විට එම දෙවියන් සඳහා සංවිධානය කෙරෙන සුවිසල් පූජාවකට යටත්ව එම දේව වරම ප‍්‍රදානය කරවීමේ කොන්ත‍්‍රාත්තුව එම දේවාල පාලකයෝ භාර ගනිති. එවිට එම දේවාලයේදී එම කපුවා හෝ එම වරම් හිමි තැනැත්තා ආරූඪයට පත්කොට එම වරමේ ස්වභාවය සහ ඉන් ගත හැකි ප‍්‍රයෝජන පිළිබඳ දෙවියන්ගේ ස්ථාවරය පැහැදිලි කර දෙනු ඇත. නමුදු ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන අතර ඇතැම් විට එය රුපියල් ලක්ෂ ගණනක්ද විය හැක. ඉන්පසු එම තැනැත්තාට පෞද්ගලික දේවාලයක් ඇරඹීමේ ‘දේව වරම’ හිමි වෙයි. මෙය හරියට රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වී උපාධියක් ගැනීම සඳහා සුදුසු කම් නොලද අයෙකුට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් එම වරම උදාකර ගැනීමට ලැබෙන අවස්ථාව මෙනි.
මෙලෙස දේව වරම් ලැබ ශාස්ත‍්‍ර කියන සියල්ලෝම ආරූඪයට පත් නොවෙති. එලෙස ආරූඪත්වයට පත් වූ ශාස්ත‍්‍ර කියන්නෝ ද ඇතැම් විටෙක දෙවියන්ගේ නාමයෙන් කියන ශාස්ත‍්‍රය තුළින්ම පට්ටපල් බොරු දෙසා බාන අන්දම මා ද අනේක වාරයක් ”රස විඳ” ඇත්තෙමි. මීට වසර විස්සකට පමණ පෙර කාලි අම්මාගේ ආරූඪයෙන් ශාස්ත‍්‍ර කියන තැනකට ගොස් අපේ වැඩිහිටි ඥාතියෙකුගේ නමක් කියා ඔහුගේ”ප‍්‍රාණ කාරයා” ගෙන් මට පිහිටක් ලබා ගත නොහැකි දැයි කාලි අම්මාගෙන් අසා සිටියෙමි. අප රටේ ගුප්ත ශාස්ත‍්‍ර සම්බන්ධ ව්‍යවහාරයේ දී ජීවත් වන හෝ මිය ගිය අයකුගේ ආත්මයක් හැඳින්වීම පිණිස මෙම ප‍්‍රාණ කාරයා යන වදන යෙදෙයි. එවිට කාලි අම්මා ආරූඪ වූ සාත්තර මෑණියන් කියා සිටියේ ”දරුවා, ඔය කියන ප‍්‍රාණ කාරයාගෙන් උඹලට කැඹුරුමක් තියනවා නම් තමයි. ඒත්, තාම එහෙම දේකට ඒ ප‍්‍රාණ කාරයාගේ ආත්මේ බලවත් මදි. ඒකා ඔය තාමත් අහසේ පාවෙවී ඉන්නේ. ඒත් උඹලා ඒ වෙනුවෙන් මට පූජාවක් තියලා කන්නලව්වක් කළොත් මං ඔය ප‍්‍රාණකාරයව මගේ දේව සමාගමට ගන්නම්. එතකොට ඒකා උඹලට පිහිට වෙයි යනුවෙනි.අවසානයේ ඒ පූජාව සම්බන්ධයෙන් විමසූ මට ඒ සඳහා වන පූජා භාණ්ඩ වලට රුපියල් දස දහසක් පමණ වැය වන බව දැන ගත හැකි විය. එහෙත්,පිටතින් ගන්නා එම පූජා භාණ්ඩ වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් තමන් තුළ විශ්වාසයක් නොමැති බැවින් එම පූජා භාණ්ඩ වලට අවශ්‍ය මුදල තම කාර්යාලයට දී ලදු පතක් ගන්නා ලෙස ද එම ශාස්ත‍්‍ර මෑණියෝ මගෙන් ඉල්ලා සිටියහ. නමුදු මා එම ශාස්ත‍්‍රය අසා ආපසු එන අතරේ ඒ ඥාතියා හෙවත් ප‍්‍රාණ කාරයා ”ගම් මට්ටමින්” ඇඟ පත ටිකක් රත් කරගෙන අපේ ගමේ සිල්ලර කඩයක් ඉදිරියේ වාචාල කතා කියමින් සිටින අයුරු මට දැක ගත හැකි විය. නමුදු මගේ එම ඥාතියා මෙන් ජීවත් ව හිඳින්නෙකු සම්බන්ධයෙන් නොව සැබැවින්ම මිය ගිය අයෙකු සම්බන්ධයෙන් මෙවැනි විමසීමක් කළ හොත් ඒ තැනැත්තා ”කොරහේ නෑවීමේ කලාව” මේ සාත්තර මෑණිවරු සුපිරියටම දනිති.
”හැබැයි ඔතන මෙහෙම දේකුත් තියනවා. ඔය විදියට ශාස්ත‍්‍ර කියන අයට සමහර විට ‘‘ආරූඪ වෙන්නේ ප‍්‍රබල දෙවිවරුන්ගේ දේව සභාවල ඉන්න පහත්ම පෙළේ අය, ඒ අතරේ පේ‍්‍රතයෝ, කුම්භාණ්ඩයෝ වගේ අයත් ඉන්න පුළුවනි. අන්න එහෙම අය ආරූඪ වුණාම තමයි සාස්තරවලට ඔහොම බොරු කියවෙන්නේ. අනික මොන තරම් වැදගත් ප‍්‍රභූවරයකු යටතේ වුණත් පහත් පෙළේ සේවකයෝ ඉන්න බැරිකමක් නැහැනේ, මෙතනත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මොකද අපි ඒ අයගේ අයිඩෙන්ටිටි කාඞ් චෙක් කරන්න කියලයැ” එලෙස දේව වරමින් පැවසෙන ශාස්ත‍්‍ර මගින් පට්ටපල් බොරු කියැවීම සම්බන්ධයෙන් එම පාර්ශ්වයෙන් නිදහසට කරුණු දක්වනුයේ එලෙසිනි.
ඒ කෙසේ හෝ යමකු මෙලෙස ආරූඪයට පත් වීම ඉහත සඳහන් අනුරාධපුර කාන්තාවගේ කතාවේ මෙන් මොළයේ ජෛව රසායනික විෂමතා හැරුණු කොට ඒ තැනැත්තාගේ යටි සිතේ බලපෑමකට අනුව සිදුවන්නක් බව කිව යුතු ය. ඒ විනා වෙනත් බාහිර ගුප්ත බලවේගයක් සිරුර තුළට ඇතුළු වීම කෙසේවත් සිදු නොවන බව මේ වන විට විද්‍යාත්මක වශයෙන් මනාව අනාවරණය වී තිබේ. එමෙන්ම යම් යම් පුද්ගලයන් තම ජීවිතයේ මුහුණ දෙන ගැටලූ අර්බුද මත පැන නඟින මානසික ගැටුම නම් වන සාධකය හමුවේ ඒ තැනැත්තා ප‍්‍රකෘති පෞරුෂයෙන් අත්මිදී වෙනත් පෞරුෂයකට පිවිසීම මෙහිදී සිදුවන බව තහවුරු කරන නවීන මනෝ විද්‍යාව එය හඳුන්වනුයේ විඝටන අපවර්තනය යන නමිනි. ඒ අනුව මනෝ චිකිත්සක ප‍්‍රතිකාර මගින් සමනය කළ යුතු එවන් මානසික අර්බුද සාම්ප‍්‍රදායික ජන සමාජයන් තුළ යම් යම් කළමනාකරණයන්ට ලක්වීමෙන් ඒවා මුල්කොට ‘‘දේව වරමින් ශාස්ත‍්‍ර කීම’’ නම් වෘත්තියක් හෙවත් වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. මෙය අප රටේ මෙන්ම ආසියා, අප‍්‍රිකා මහද්වීපවල සාම්ප‍්‍රදායික ජන සමාජයන්හි බහුල වශයෙන් සිදු වන්නක් බව පෙනේ. එමෙන්ම තමන්හට දේව වරමක් ලැබුණු බවට මානසික සංඥා ලැබීම භින්නෝන්මාදය යන සයිකෝසීය මානසික රෝගයේ මූලික ලක්ෂණයක් ද විය හැක. නමුදු එවැනි රෝග ලක්ෂණ දේව වරම් ලැබීම ලෙස ‘‘කළමනාකරණය’ කළ නොහැක. ඒ එම රෝගයේ ලක්ෂණ වරින්වර විෂම ස්වරූපයන් ගන්නා බැවිනි. නමුදු තම ජීවිතයේ විවිධ ගැටලූ, අර්බුද මුල්කොට එවන්, මානසික ගැටුම්වලට ලක්වන සමහරුනට ‘දේව වරම් ලැබීම’ මත ශාස්ත‍්‍ර කීමෙන් තම ජීවනෝපාය සළසා ගැනීමට අවකාශ ලැබේ. එමෙන්ම ඒ තැනැත්තාගේ මානසික ගැටලූව දුරුවී මනැස ප‍්‍රකෘතිමත් වීම මත එම ආවේගය හෝ ආරූඪය අහිමි වී යාම ද බොහෝ විට සිදුවන්නකි. එහෙත්, එම තත්ත්වයට මුහුණ දෙන ‘මෑණිවරුන්’ වුව ඉන්පසුව ද තම දේව වරමින් ශාස්ත‍්‍ර කීම එලෙසින්ම පවත්වාගෙන යනු ලබනුයේ කෘත‍්‍රිම ආරූඪයක් හෙවත් සමාරෝපණ තත්ත්වයක් යටතේ ය. අප සමාජය තුළ කාලි අම්මලාගේ පැවැත්ම තහවුරු වනුයේ හුදෙක් මෙම සමාජ මනෝ විද්‍යාත්මක පදනම මත බව මනඃකල්පිත කාලි අම්මා පිළිගත්තත් අප සමාජයේ බහුතරය පිළිනොගන්නා බවට සහතික වන්නට මට පුළුවන. මානව විද්‍යාඥයන් අර්ථ දක්වන ආකාරයට කාලි යනු හින්දු ත‍්‍රිමුර්තියට අයත් ශිව ගේ අව ගුණ විදහා දැක්වෙන අවතාරයකි. නැතහොත් ස්වරූපයකි. ශිව ශිෂ්ඨත්වය නියෝජනය කරන අතරේ කාලි අශිෂ්ටත්වය නියෝජනය කරන්නීය. යම් කලෙක ශිව ගේ බලය බිඳ වැටී ශිව ”ශව” හෙවත් මළ සිරුරක් වූ පසු කාලි ඔහුගේ සිරුර මතට නැඟ නිරුවතින් රැුඟුම් පාන්නීය. අද අප දකින කාලි රූප සමහරක ඒ අවස්ථාව විදහා දැක් වේ.එම කතා ප‍්‍රවෘත්තියේ එන දාර්ශනික අරුත අනුව වර්තමානය ශිව ශව බවට පත් කාලි අම්මලාගේ යුගයක් බව ශ‍්‍රී ලාංකේය අපට කිසිවෙකුත් අමුතුවෙන් කියා දිය යුතු නැත.