සිරාම සිරා කතු වැකියක්

දේශපාලන

ඉස්සර අපි පාසල් යන අවධියේ අපේ සිංහල භාෂාව උගන්වන ගුරුවරුන් ; නිවැරදි සිංහල භාෂාව ගැන ඉගෙනුම ලැබීමට ඇත්ත පත්තරේ කතු වැකිය කියවන ලෙස නිතරම සිහිපත් කළේය .
එකල එහි කතුවරයා බී .ඒ සිරිවර්ධනය .
ඇත්ත පත්තරේ බී .ඒ.සිරිවර්ධනයගේ භාෂාව ඉතාමත් උසස් ගෞරවනීය එකක් විය
වියත් බසත් පොදු ජන බසත් එක්කල එකක් විය .
මේ එකල එහි පළ වූ කතුවැකියකි .
මේ සිංහල අපගේ රටයි
—————–=-=-===———-
ලංකාව වනාහී උත්තරාක්ෂ හයත් දහයත් අතරේ ද ,
නැගෙනහිර දේශාංක අසූවත් අසූ දෙකත් අතරේ ද ,ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොහොත් භාරතෙහි කදුලු බිදුව යන විරුදාවලිය සේ ලැබූ වර්ග සැතකපුම් 25 2532 ක් වූ සොබාවික හා අස්වාභාවික සියලු සම්පතින් අනූන දෙවියන් වහන්සේ ගේ .අපූර්ව තම නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි දූපතකි .
දෙවියන් වහන්සේ ලෝ වටා ස්වභාවික සම්පත් බෙදා දෙන දා ලංකාව පෝලිම කඩාගෙන ඉස්සරහට පැන සියල්ල යහමින් ලබා ගත් බව කියති
.
එබැවින් අපට සියලු ස්වභාවික සම්පත් නොඅඩුව තිබේ .
කඳු වලින් හතර වටේට ගලන ගංගා තිබේ .
අව්ව වැස්ස තිබේ .
නියං තිබේ .
ගං වතුර තිබේ .
ස්වභාවික දායාදයෙන් අපි ආත්ම තෘප්තියට පැමිණියෙමු
අපිම හදා ගත් දායාදයෙන් අපි ආත්ම අභිමානයෙන් පිපෙමු .
දෙදහස් පන්සියයක ශිෂ්ඨාචාරයක් ,සභ්‍යත්වයක්, සංස්කෘතියක් තිබේ .
වැව් පොකුණු දාගැබ් තිබේ .
ගල් කණු සෙල්ලිපි තිබේ .
මේ සියල්ල අප වෙනුවෙන් රැක බලා ගැනීමේ කොන්ත්‍රාත්තුව සක් දෙවියාට පැවරී ඇත.
සක් දෙවියෝ එතුමන්ගේ සබ් කන්ට්‍රැක්ටර් හැටියට විෂ්ණු දෙවියන් පත් කර ගත්හ .
එබැවින් දැන් අපට ඒ දෙදෙනා වහන්සේ ප්‍රමුඛ තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් ගේ ඇල්ම බැල්ම තිබේ ..
රටෙක දියුණුව මනින්නේ ,රට වැසි මිනිසුන්ගේ දියුණුවෙනි.
මිනිසුන් ගේ දියුණුව මනින්නේ ,කෑම ,ඇඳීම , වාසස්ථාන යන ප්‍රධාන කරුණු තුනෙනි.
ඒ තුන ඇතිනම් දියුණුවේ අනිත් අංග ඉබේම සිදුවෙන බැවිනි.
අපිට කන්න හැම් , බේකන් ,මස් මාංශ ,කේජු බටර් කේක් චොක්ලට් තිබේ
අයිස් ක්‍රීම් ,පොප්සිකල් තිබේ .
මස් මාළු තිබේ .
අල බතල තිබේ .
දෙල් කොස් තිබේ .
පාන් , රොටි තිබේ .
තෝසේ වඩේ තිබේ .
දංකුඩ තිබේ .
ඉඳුල් තිබේ .
දත්මිටි තිබේ .
වෙඩි උණ්ඩ තිබේ .
බොන්න ෂැම්පේන් , විස්කි , බ්‍රැන්ඩි තිබේ .
පොල් , ගල් තිබේ .
කසිප්පු තිබේ .
ටොනික් , ලැමනේට් තිබේ .
ප්ලේන් ටී තිබේ .
ඇල් වතුර තිබේ .
හුළං තිබේ ..
පොලිඩෝල් තිබේ.
අඳින්න ටෙරිලින් , ටෙට්ට්‍රොන් ,නයිලෝන් තිබේ .
කැශ්මියර් මනිපූරි තිබේ .
කොට්න් , හෑන්ඩ් ලූම් තිබේ .
කළු කෝට් තිබේ .
බෙල් කලිසම් තිබේ .
වැරහැලි තිබේ .
නිදාගන්න මාලිගා තිබේ .
නිල නිවාස තිබේ .
බංගලා තිබේ .
තට්ටු නිවාස තිබේ .
මුඩුක්කු පැල්පත් තිබේ .
මහා පාර ,පේමන්ට් එක තිබේ.
කොටුවේ ස්ටේසමේ ඉස්තොප්පුව තිබේ ..
ළමයි හම්බවෙන්නේ නර්සින් හෝම් තිබේ .
වදන වාට්ටු තිබේ .
ඉගෙන ගන්න , සැන්තෝමස් රෝයල් ආනන්ද තිබේ .
සිල්වා මහත්තයාගේ ඉස්කෝලෙ තිබේ .
බේත් ගන්න ,විශේෂඥ දොස්තරගේ චැනල් ප්‍රැක්ටිස් එක තිබේ ..
දුන්න ,මලා වෙදාගේ බෙහෙත් ශාලාව තිබේ …
ගමන් බිමන් යන මස්ඩා කාර් එක තිබේ .
අලුක් කාලේ බස් එක තිබේ .
මේවායින් කැමති එකක් තෝරා ගන්න ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබේ .
එබැවින් දැන් අපි සැවොම එකතු වී ගයමු .
මේ සිංහල අපගේ රටයි . අප උපදින මැරෙන රටයි. මුළු ලොව මේ රටට යටයි .
(මෙම කතු වැකිය 1969 පළ වූවකි .)
අදටත් මේ කතු වැකිය වලංගු ද යන්න ඔබම සිතා බැලිය යුත්තකි .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *