සරත් කුමාරසිංහයන්ගේ සත්සර 2019

කලා නොනිමි මතක පොත සියලුම ලිපි

මෙය අගෝස්තු 10 දින මිසිසාගා හි මාසා ප්‍රෙන්ටිප් රංග ශාලාවේ පැවැති සංගීතවේදී සරත් කුමාරසිංහයන් විසින් ඉදිරිපත් කරන ලද සත්සර 2019 පිළිබඳ විමර්ශනයකි. මෙය, මෙම ශිල්පියා විසින් කැනඩා ප්‍රේක්ෂක-ශ්‍රාවකයන් හමුවේ කරන ලද අටවැනි ඉදිරිපත් කිරීමයි. මෙවර එය විවිධ ප්‍රගතිශීලී අංගවලින් සමන්විත වූ බව මගේ අදහසයි.

ප්‍රධාන වශයෙන්ම එය ඉතා මැනවින් ප්‍රතිචාර දක්වන ලද ප්‍රේක්ෂක සමූහයක් ඉදිරිපිට කර ලද ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රසංගයකි. ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයට අනුව මෙබඳු (Melodramatic) ප්‍රසංගයක් ඔහු ඉතා සංවේදී රංගමය කුසලතා ගීතමය අංග සහ වාදක මණ්ඩල ප්‍රතිභාවන් එකට මිශ්‍ර වූ කදිම අවස්ථාවකි. සත්සර 2019 තුළ ඉහත අංග සියල්ල ගැබ් වී තිබුණි.

දෙවනුව, මෙම සංදර්ශනය නැරඹීම සඳහා කැනඩාවේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුටම ආරාධනා කර තිබුණි. ඒ අය අතුරින් මිසිසාගා නගරාධිපතිනිය වන බොනී ක්‍රොම්බි මැතිනියත්, මිසිසාගා – මෝල්ටන් ප්‍රාදේශීය මන්ත්‍රීවරයාත් පිළිබඳ සනිටුහන් කළ යුතුම වේ. මොවුන් මෙදින ආරාධනා පිට රැස්ව සිටියේ ලාංකික සංස්කෘතියෙහි එක් උත්කෘෂ්ඨ සංසදයක් වන සංගීත, වාදන වලට ඇහුම්කන් දෙමින් ලාංකීය සංස්කෘතිය පිළිබඳ ඉගෙන ගැනීමට සහ අගය කිරීමට ය. ශ්‍රී ලංකා සංස්කෘතිය යනු විවිධාකාර සංගීත කලා අංග වලින් සම්පන්න යක්ෂ, නාග, ආදිවාසීන්ගේ සහ සිංහල – බෞද්ධ, හින්දු – දෙමළ, මුස්ලිම් ඇතුළු යුරෝපීය පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි සංස්කෘතීන්ගෙන් වසර දහස් ගණනක් පෝෂණය ලැබූ සජීවි අංගයකි.

“ලංකාවේ වැඩි දෙනෙක් මිනීමරුවන්ය” යනුවෙන් හඳුන්වන්නට උත්සාහ දරන ඇතැම් ත්‍රස්තවාදයට බර කණ්ඩායම් කැනඩාව තුළ උත්සාහ දරන මෙවන් අවදියක, ලංකාවේ බහුතරය විශේෂයෙන්ම සිංහල කතා කරන උදවිය සාමකාමී, හිතකාමී සහ සහයෝගිතාවයෙන් ජීවත්වන අය බව ඉගෙන ගැනීමට මෙම සංදර්ශනය උපස්තම්භක වූ බව නොරහසකි. ඔවුන් ඉතා සංවේදී වූ පුද්ගලයන් බවද මෙහිදී අවබෝධ වන්නට ඇත. තෙවනුව, මෙම සංදර්ශනය ඔස්සේ ශාස්ත්‍රීය හා අර්ධ ශාස්ත්‍රීය සිංහල ගීත සමඟ හින්දු හින්දුස්ථානි රාග රාගධාරී සංගීතයේ මිහිරි නාද පද්ධති මිශ්‍ර කර ඉදිරිපත් කරන්නට කුමාර සිංහයෝ සමත් වූහ. මෙම ප්‍රසංගය පාදක වාදක මණ්ඩලයේ වැඩි දෙනෙක් හින්දුස්තාන් සංගීත සම්ප්‍රදාය වැළඳගත් දක්ෂ ඉන්දියානු ශිල්පීන් වූහ.

සරත් තම එස්රාජය ඔස්සේ දෙමළ ගීතයක් ද වාදනය කළේ ඔහුගේ විවිධ දක්ෂතා අප හමුවේ තබමිනි.
සංදර්ශනය ආරම්භ වූයේ ජයමංගල ගාථා වාදනයෙනි. එය වාදනය වූ අයුරින් හදවත උණුසුම් බවට පත් වූවා පමණක් නොව, සිත සැදී පැහැදී ගිය බවද නොරහසකි. ඊට අමතරව තව ගීත පහළොවක් පමණ සරත්කුමාරසිංහ තම එස්රාජයෙන් වාදනය කළේය. ඉතා විශේෂ ස්ථානයක් ගත්තේ ඔහු වාදනය කළ ලෙනාඞ් කොහේන් ගේ හලෙලුයා යන ද්‍රවිඩ ගීතයයි. සරත් එම වාදනය ඔස්සේ නව සංගීතයක් නිර්මාණය කළේය.

ප්‍රේම්කීර්ති ද අල්විස් ගේ ප්‍රබන්ධයක් වූ වික්ටර් රත්නායක ගායනා කරන ආදරයේ උල්පත වූ අම්මා ගීතය එස්රාජය ඔස්සේ වාදනය කරන විට අප සමාධියකට සම වැදුණු බව බොහෝ දෙනෙකුගේ අදහස විය. වචන නැතිව පවා ගීත රස විඳිය හැකි බව සරත් ඔප්පුකර පෙන්වූයේ ය. උතුරු ඇමරිකාවේ එස්රාජය වාදනය කළ හැකි වාදකයන් ඉතා ස්වල්පය. සරත් ඒ අය අතරට එක්වන ඉතා දක්ෂ සහ තීක්ෂණ දැනුමක් ඇති සිංහල සංගීතඥයෙකි. සත්සර 2019 සමරුවට අදහස් පළ කරන ඔහු විඩාබර සිත නිවා පහන් වෙනු පිණිස මෙම සංදර්ශනය ඉදිරිපත් කරන බව පවසයි.

මෙය ඕනෑම කලාකරුවකුට බරපතළ අභියෝගයකි. ප්‍රේක්ෂකයා අතර සිටින වැඩි දෙනෙක් එස්රාජය පිළිබඳ නොදන්නා විට සහ ශාස්ත්‍රීය ගීත වලට නුහුරු නුපුරුදු වූ විට මෙය ඉතා විශාල අභියෝගයක් වන්නේ ය. එහෙත් තම ඉදිරිපත් කිරීම් මගින් මෙම අභියෝගයට මුහුණ දුන්නේ අපගේ අපේක්ෂාවන් ඉහළ මට්ටමින් සපුරාලමිනි. විනාඩි 20 කට පසු විරාමයෙන් ඉක්බිතිව ව අප නැවත එක් රැස් වුයේ සංදර්ශනයේ ගායන ඛණ්ඩයට සවන් දීම සඳහාය.

මෙම දෙවන කොටසේ සිංහල හා හින්දි ගීතය ගායනා කරනු ලැබිණි. එම ගීත සඳහා සංගීතය සැපයූයේ වෛද්‍ය මහේෂ් සිරිසේන, ලොට්රි ද සූසා, සුමුදු පොන්සේකා, කාවින්ද වීරසේකර, ලායා අලස්, සහ කුසල් කුමාරසිංහ යන වාද්‍ය ශිල්පීන්ය. මීට අමතරව කාවින්ද වීරසේකරගේ ගුරුවරයා වූ ඉන්දියානු තබ්ලා වාදකයා වාදනයෙන් පෙන්නවූ දක්ෂකම ඔහු වෙත සෑම දෙනාගේම අවධානය යොමු වීමට ප්‍රධාන හේතුවක් වූයේය.

මෙම දෙවැනි කොටසේදී අයිරා ඕපාත, රෝස් ලොකුලියන සහ ශ්‍රැති කොග්නොල්කා නමැති ඉන්දියානු ගායිකාවද සරත් කුමාරසිංහයන්ට එක්වූයේය. සිංහල ගායිකාවන් තමන්ගේ සුපුරුදු ගායනා දක්ෂතා ඉදිරිපත් කරන අතර ශ්‍රැති විසින් අලංකරණය කල යුය ගිත කවදත් සිතෙහි නොමැකෙන සලකුණු තැබූ බව නොරහසකි. නෙවිල් රත්නසිරි හා සරත් කුමාරසිංහයන් අතර සිදුවූ ගීතමය සංවාදයද අලුත් අංගයකි.

සරත් ඉදිරිපත් කළ ගීත අතර ‘සොඳුරිය ඔබගේ මුහුණ මලක් නම්’ යන වික්ටර් රත්නායකගේ ගීතය පිළිබඳව සඳහන් කළ යුතුම වේ. මෙය හින්දුස්ථානි රාගධාරී සංගීතයට බෙහෙවින් නැඹුරු වූ ශාස්ත්‍රීය ගීතයකි. සෑම ගායකයෙකුටම මෙවැනි ගීතවලට සාධාරණයක් කිරීම පහසු දෙයක් නොවේ. එහෙන් සරත් කුමාරසිංහයන්ගේ හඬ තුළ එම ගීතයේ ගැබ් වී ඇති තැන්පත්කම මෙන්ම ප්‍රතිසන්ද්වනියත් ඉතා මැනැවින් ගෙන හැර පාන්නට සරත් සමත් වූයේ යැයි මම සිතමි.

මෙම සංදර්ශනය හුදු වාදක සමූහයන් හා ගායනා සමූහයක් වශයෙන් සැලකීමට නොහැකි වේ. ශාස්ත්‍රීය හා අර්ධ ශාස්ත්‍රීය සංගීතය දන්නා, නොදන්නා සැමටම පිරිනමන ලද සංවේදී ත්‍යාගයකි. වාදක මණ්ඩලය හුදු ගීත වාදනය කළේ නැත. ඔවුහු ඉතා මැනැවින් උචිත පෙරවදන, අතුරු වාදන සහ සංධ්වනි ඛණ්ඩ හැම ගිීතයකමට එක් කරමින් ප්‍රේක්ෂකයා පිනවන ආස්වාදයක් ලබා දුන්නේය. සරත් කුමාරසිංහයන් ඇතුළු ඔවුන් හැම දෙනම ඉතා අනර්ඝ මට්ටමක සංගීත ප්‍රදානයන් අපට පිරිනැමූහ.

සිංහල භාෂාව තේරුම් නොගත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු වගේම ඉන්දියානු රසිකයන් 15 පමණ අප ප්‍රේක්ෂකාගාරයේ වාඩි වී සිටි අතර ඔවුන්ගේ ඉරියව්වලින් පෙනුනේ ලංකාවේ පවතින ඉහළ පෙළේ සංගීත සම්ප්‍රදායන් පිළිබඳව ඔවුන් වැටහීමක් ලබාගන්නට උත්සාහ කළ බවය. මෙබඳු සංදර්ශණයකදී ප්‍රසංගයේ පොතේගුරුන් ගේ විශාල වගකීමක් වන්නේ සිංහල බසින් වගේම ඉංග්‍රීසි භාෂාවෙන්ද වැඩි වාරගණනක් එම විශේෂාංග පිළිබඳව කරුණු ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කළ යුතු බවයි.

මෙම ප්‍රසංගයේ සාර්ථකත්වය පිටුපස සිටියේ අන් කිසිවෙකු නොව සරත් ගේ දයාබර බිරිඳ වන චම්පා කුමාරසිංහයන්ය. සත්සර 2019 බහු සංස්කෘතික වාදය පෙළහර කොට පෙන්වා දුන් බහුවිධ අංග මැනැවින් සංකලනය කොට ඉදිරිපත් කල සන්ධ්‍යා ත්‍යාගයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *