”කන්දේ හැපුන මහ වනන්තරේ
ඩී සී 8 ගුවන් යන්තරේ.
මරුවා ආ කල මිතුරේ
බේරෙන්න බෑ සසරේ
කාගෙද මට වරද නොතේරේ,”
ඇන්ටන් ජෝන් විසින් හැත්තෑව දශකයේදී ගායනා කරන ලද ගීතයට හේතු පාදක වූයේ මීට හතළිස් පස් වසරකට පෙර සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී අනතුරට පත් ගුවන් යානය සහ එහි ගමන් කළ මගීන්ය.
පහත දැක්වෙන්නේ 1974 දෙසැම්බර් 04 දින ජීවිත 191 බිලි ගත් ඒ මහා ඛේදවාචකය පිළිබඳ මතක සටහනකි.
සප්ත කන්‍යා කඳු වැටිය පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර විදුලිය බලාගාරය පිහිටි නෝටන් බි්‍රජ් නගරය පසුකර බිංදුව කණුව පිහිටි ඩබල් කටින් නමැති මංසන්ධියෙන් වමට හැරි ඉදිරියට ගමන් කරන විට අලංකාර ලක්ෂපාන දිය ඇල්ල ඇස ගැටේ. එම මාර්ගයේ ඉදිරියට ඇදෙන විට දකුණු පසින් ඇත්තේ සප්ත කන්‍යා කඳුවැටියයි. එක කුස උපන් සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා ඇති කඳු හතක් නිසා සප්ත කන්‍යා ලෙස ඕ නම් ලැබුවාය.
දවසේ වැඩි කාලයක් මිහිදුම් සළුවක සැගවී සිටින සප්ත කන්‍යා කඳු වැටිය කඳු තරනය කරන්නන්ගේ පාරාදිසයකි.
මීට හරියටම හතලිස් පස් වසරකට පෙර බදාදා දිනක රාත්‍රී 10 පසු වී කෙටි වෙලාවකට පසුව මහා ගිගුරුම් හඬක් කණ වැකුණු අයුරු ඇතැම් ගම්වැසියෝ අදටත් සිහිපත් කරති.
ඒ ඉන්දුනීසියාවේ සුරාබයා නුවර සිට මක්කම බලා බැතිමතුන් රැගෙන පියාසර කරමින් තිබුණු ‘මාටින්එයාර්‘ සේවයට අයත් මැක්ඩොනල් ඩග්ලස් DC-8 වර්ගයේ ගුවන් යානය කඳු වැටියේ ගැටුණු හඬය.
මහා ගිනි ජාලාවක් නංවමින් විනාශයට පත් යානයේ සුන්බුන් වෙත ළඟා වූ ගම්වැසි තරුණයන්ට අවට විසිරී තිබුණු ශරීර කොටස් දැක ගත හැකි වූ බව පැවසේ.
පසුදින උදෑසන වන විට විශාල පිරිසක් අනතුර සිදු වූ ප්‍රදේශය ආසන්නයට පැමිණ ඇති අතර ඇතැම් පුද්ගලයන් යානයේ ඉදිරි වූ කොටස් මතක සටහන් වශයෙන් රැගෙන ගිය ආකාරය ඇතමෙක් අදටත් සිහිපත් කරති.
පසුව හමුදාව සහ පොලිසිය කොටස් රැගෙන යාම වැළැක්වීමට පියවර ගෙන තිබිණි.
එලෙස රැගෙන ගිය ගුවන් යානයේ කොටස් අදටත් ඇතැම් පුද්ගලයන් සන්තකයේ ඇති ආකාරය දැක ගත හැකිය.
අනතුර සිදු වූ ස්ථානය වෙත පැමිණි මරණයට පත් මගීන්ගේ ඥාතීන් හැඩු කඳුලින් සිය ආදරණීයයන් හඳුනා ගැනීමට ගත් උත්සහය සාර්ථක නොවීය.
මගීන් 182 දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු එහි ගමන් කර තිබිණ.
මරණයට පත් පිරස අතර කාන්තාවන් 59 ක් සිටි බව පසුව අනාවරණය වූ අතර මියගිය පිරිසගේ ශරීර කොටස් එකතු කර කඳුවැටිය පාමුලම මිහිදන් කරනු ලැබිණි. පසුව ඔවුන් සිහි ගැනිවීමට ස්මාරකයක් එහි ඉදි කෙරිණ.
ගුවන් යානයේ ටයරයක් නෝටන් බි්‍රජ් පොලිස් ස්ථානය ඉදිරිපිට තැන්පත් කර ඇත.
ඇසින් දුටු දේ
ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ කෙතේතැල්ලෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එවක තිස් තුන් හැවිරිදි තරුණයකු වූ ඔහු අනතුර සිදු වූ දින රාත්‍රියේ විමලසුරේන්ද්‍ර විදුලිය බලාගාරයේ සේවයේ නිරතව සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයෙකි.
”රෑ 10.15 ට විතර පොලවත් එක්ක හෙල්ලුනා. පහුවදා උදේ මම එනකොට හමුදාවේ කට්ටියක් හම්බ වුණා. ඒ අයත් එක්කම ගල යටට ගියා. ඒ යනකොට දැක්කේ මිනිස්සුන්ගේ කෑලි ගස්වල එල්ලෙනවා. මට ඒක බලන්න බෑ. මම ගෙදර ගියා. දවස් දෙක තුනකට පස්සේ ආයේ ආවා. එතකොටත් කලු පෙට්ටිය හොයමින් සිටියා,” යනුවෙන් ඔහු කියා සිටියේය.
”මමත් හමුදාවේ කට්ටියත් එක්ක ගල මුදුනට ගියා. ඒ ගිය වෙලාවේ ගලක් යට තිබුණු කෑල්ලක් පෙන්නුවා. පස්සේ කඹයක් දාලා හමුදාවේ අය මාව එතෙන්ට බැස්සුවා. ඒක කලු පෙට්ටියේ කෑල්ලක්. එතනදි මාව ලිස්සලා ගිහින් ගහක රැඳුනා. කලු පෙට්ටියේ ඉතිරි වුණ රෝල් කොටස හොයලා දුන්නෙ මම තමයි.”
සප්ත කන්‍යා කඳුවැටිය පාමුල පිහිටි කොත්තුල්ලෙන මුරුත්තැන්න ගම්මානයේ පදිංචිකරුවකු වන සුමනදාස සිය අත්දැකීම විස්තර කළේ මෙලෙසය.
එවක 21 වෙනි වියේ පසු වූ ඔහු එදින රාත්‍රියේ පැවති ප්‍රිය සාදයකට සහභාගි වී සිටින අතරතුර යම් හඬක් ඇසී තිබේ.
”ගිනි පත්තුවෙමින් ආව ගුවන් යානයක් මේ කන්දේ හැපුනා. ඒ කන්දේ තියෙන්නේ බට පඳුරු. ඒවා ගිනි ගන්න ගත්තා. පහුවදා අපි බලන්න ගියා. යනකොට ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තිබුනා. මළ සිරුරු කොටස් ටිකක් ගෙනත් කඳු පාමුල භූමදානය කළා. අනික් එවා එහෙම්ම තිබුනා,” යයි පවසමින් සුමනදාස සිය මතකය අවදි කළේය.
”අපි යනකොටම හෙලිකොප්ටරයක් ආවා. ඒක දළු මඩුව ළඟ තමයි ගොඩ බෑවේ. ඒ වුනාට එක ආයේ උඩ නග්ගන්න බැරි වුනා. ඊට පස්සේ බලන කොට එකේ කාර්මික දෝශයක්. ලන්සි මහත්තයෙක් ඇවිල්ලා දවස් ගානක් එතන තියාගෙන හැදුවා. අපි උදව් කලා එකේ වැඩවලට. ඒ වෙනුවෙන් අපිට සුදු ලාම්පු තෙල් බෝතල් තුන ගානේ දුන්නා. අපිට ලොකු දෙයක් ඉතිං ඒක. අපේ ගෙවල්වලත් පාචිච්චි කළේ ලාම්පු තෙල්නේ.”
”හමුදාවේ අය කොත්තැල්ලෙන ඉස්කොලේ තමයි නැවතිලා හිටියේ. ඒගොල්ලෝ හෙව්වේ කලු පෙට්ටිය. ඒකෙ ටේප් කෑලි වගයක් තමයි හම්බවෙලා තිබුනේ. ඒ ගොල්ලෝ ඒක අරගෙන ගියා. එතනදි අමබදුවේ කියලා මේ ළඟ තේ වත්තේ හිටිය මනුස්සයෙක් ජැක් එකකට යටවෙලා මැරිලා තිබුණා.”
අනතුර සිදු වී දශක හතරකට වැඩි කාලයක් ගත වී ඇතත් මිනිස් ජීවිත 191 ක් බිලිගත් ඛේදවාචකය පිළිබඳ එවක තරුණ වියේ පසු වූ වැඩිහිටි ගම්වාසීන්ට ඇත්තේ පැහැදිලි මතකයකි.
ඇතැම් වසරවල දෙසැම්බර් 04 වෙනිදාට මිය ගිය මගීන්ගේ ඥාතීන් මෘත දේහ මිහිදන් කළ ස්ථානයට පැමිණ ඔවුන් සිහිපත් කර ආගමික වතාවත් සිදු කරන බවත් ගම්වාසීහු පවසති.