සකුබස් වියත් ගණ – මැද දුල් මහරු මිණ මහාචාර්යාණී රත්නා හන්දුරුකන්ද

විශේෂාංග

පේරාදෙණිය සරසවියේ සේවාර්ජිත මහාචාර්යාණී රත්නා හන්දුරුකන්ද සිරිමතිය පිළිබඳ අප තබන මේ සටහන ඇය විසින් සිරිලක තුළ මෙන් ම විදෙස්හි ද බෞද්ධ සංස්කෘත භාෂාශාස්ත්‍ර වෛෂයික අධ්‍යයනය, අධ්‍යාපනය සහ පර්යේෂණය විෂයෙහි දශක ගණනාවක් තිස්සේ නිහඬ ව ම සපයන ලද මහාර්ඝ සම්ප්‍රදානය වෙනුවෙන් පිදෙන අසෙනිය කුසුම් කණිකාවකි.
මහනුවරට සමීප මුල්ගම්පොළ නගර මධ්‍යයේ ම රීව්ස් ගාර්ඩ්න් පෙදෙසෙහි තැනුණු “නිසල” නමැති සොඳුරු නිසංසල නිවසෙහි අද ඕ සිය දිවියේ සන්ධ්‍යාභාගයේ සුව විඳිමින් පසුවන්නී ය. එහෙත් “කාව්‍යශාස්ත්‍රවිනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම්” (කවි සතර වින්දනයෙන් නැණැත්තන්ගේ කල් ගෙවෙයි) යන සුප්‍රකට සංස්කෘත ආභාණකය සනාථ කරමින් හන්දුරුකන්ද මහැදුරුතුමියගේ කාලය ගතවන්නේ ඇතැම් දිනෙක පේරාදෙණිය සරසවියේ හෝ අවට සංවිධානය කෙරෙන කිසියම් ශාස්ත්‍රීය කර්තව්‍යයකට හෝ උත්සවයකට සහභාගි වෙමිනි. නැතහොත් ඈ දැක, සතුටු සාමීචියෙහි ද යෙදී, ස්වකීය අධ්‍යයන විෂයෙහි උපදෙස් සහ ඔවදන් ලබනු රිසින් ඇගේ නිවසට ම පැමිණෙන දෙස්-විදෙස්, ගිහි-පැවිදි ශිෂ්‍යපරිෂද් මධ්‍යයේ ය. එසේත් නැතහොත් දූරකථනය ඔස්සේ හෝ මර්ලින් පීරිස්, ගණනාථ සහ රංජිනී ඔබේසේකර යුවල, පී.බී. මීගස්කුඹුර, කේ.එන්.ඕ. ධර්මදාස, පී.ඩී. ප්‍රේමසිරි, තිලකා මෙත්තානන්ද, පියසීලි විජේමාන්න ආදී ඇගේ වෘත්තීය ජීවිතයේ සමකාලීන සහ කනිෂ්ඨ මිතුරුමිතුරියන් සමග සාරසංවාද සහ සාදකථා ආදියෙහි නිරත වෙමිනි. ඉතා මෑතක් වන තුරු සෑම සතියක ම බුදදින පේරාදෙණිය සරසවියේ පස්මහලින් සැදි පුස්තකාගාරය සොයා ඒමත්, ඒ අවස්ථාවන්හි දී සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලයේ කාමරයට පිවිස මඳ වේලාවක් ගත කිරීමත්, ශාස්ත්‍රපීඨයේ සන්ථාගාරයේ දී ඇගේ හිතෛෂීන් හමු වී යාමත් ඈට රුචි වී තිබිණි. නිතර පතපොත කියැවීමේ වෙහෙස තවදුරටත් ඇගේ දෙනෙත නො ඉවසතත්, අදත් නිසල නිවසේ විසිත්ත කාමරයෙහි මිටි මේසය මත ඇගේ හිතවතුන් සහ සිසුන් විසින් තිළිණ කොට එවන ලද නව ග්‍රන්ථ සහ ප්‍රකාශන, ආරාධනාපත්‍ර සහ ලිපි ආදියේ නම් අඩුවක් නො දැකිය හැකි ය.
සියවස් කිහිපයක් තිස්සේ සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ප්‍රාමාණික ඥානයක් මෙරට පැවැතියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර බව සත්‍යයකි. පාරිවේණික අධ්‍යාපන පද්ධතිය තුළ අවියෝජනීය විෂය පථයක් වූ සංස්කෘත භාෂාශාස්ත්‍ර ගිහි සිසුන්ගේ ද්විතීයික අධ්‍යාපනයේ ද, ගිහිපැවිදි දෙපිරිසේ ම තෘතීයික අධ්‍යාපනයේ ද විෂයක්ෂේත්‍රයක් බවට පත් වූයේ ශ්‍රී ලංකාව නිදහස ලබන්නටත් පෙර සිට ම ය. මේ සම්බන්ධ මෙරට වර්තමාන තත්ත්වය හා සසඳා බලන කල්හි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එසමයෙහි කාන්තාවන් ද පාලි සහ සංස්කෘත යන සම්භාව්‍ය ප්‍රාචීන භාෂා උගැන්මෙහි උද්‍යෝගිමත් වී සිටීම යි. එවන් අධ්‍යයන සම්ප්‍රදායක සාරඵලයක් වශයෙන් බිහි වූ, එමෙන් ම එදාමෙදා තුර සංස්කෘත භාෂාව විෂයෙහි විශ්වවිද්‍යාලයීය විඥාපක මහාචාර්ය (Chair Professor) ධුරයක් දැරූ ප්‍රථම සහ එක ම ශ්‍රී ලාංකේය ධීමතිය ලෙස රත්නා හන්දුරුකන්ද මෙනෙවියගේ නාමය වෙසෙසින් සනිටුහන් වෙයි. ලංකා විශ්වවිද්‍යාලයේ සම්භවයත් සමග ම ස්ථාපනය කරන ලද මෙරට ප්‍රථම සංස්කෘත විඥාපක මහාචාර්ය ධුරය ද හොබවන ලද්දේ ජර්මානු ජාතික බෙටී හයිමාන් (1888 – 1961) මැතිනිය විසින් බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය.
කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ප්‍රාචීන භාෂාධ්‍යයන පිළිබඳ මූලික පඨනය සිදු කොට, 1951 දී විශ්වවිද්‍යාලය ප්‍රවේශය පිණිස ශිෂ්‍යත්වයක් දිනා ගත් තුරුණු රත්නා හන්දුරුකන්ද යුවතියට ලංකා සරසවියේ පේරාදෙණිය පරිශ්‍රයේ දී සංස්කෘත භාෂාශාස්ත්‍ර හා තත්සම්බන්ධ ඥානපරාස ගවේෂණය පිණිස සහය වූවෝ ඕ.එච්. ද ඒ. විජේසේකර, ජයදේව තිලකසිරි, එම්.එච්.එෆ්. ජයසූරිය, සිරි ගුණසිංහ සහ කෛලාසපති කුරුක්කල් යන ප්‍රාඥයෝ ය. එමතු ද නො ව ගුණපාල මලලසේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, ආනන්ද කුලසූරිය, ජෝතිය ධීරසේකර (පසු ව පූජ්‍ය හන්තානේ ධම්මවිහාරි හිමි) ආදී යුගකාරක මහාචාර්යවරු ද ඇගේ සරසවි දිවිය නැණකුසුමින් සැරසූහ. විශ්වවිද්‍යාලයේ ප්‍රථම වර්ෂයේ පරීක්ෂණයෙන් ම ඈ හෙළි කළ විශිෂ්ට ශූරතාව සංස්කෘත භාෂාව විෂයෙහි වෛද්‍ය සී. ඒ. හේවාවිතාරණ ත්‍යාගය සහ මුරුගේසර් තම්බය්යා ත්‍යාගය, පාලි භාෂාව විෂයෙහි මුදලිඳු වෛද්‍යසේකර ත්‍යාගය සහ මානවශාස්ත්‍ර විෂයෙහි Muncherji Framji Khan ත්‍යාගය ඇතුළු හරසර සරණියකින් ම ඇගැයිණි. සිවුවසරක ඇවෑමෙන් වර්ෂ 1955 දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පරීක්ෂණයෙන් ඉතා විශිෂ්ට ලෙස උත්තීර්ණ වී, ප්‍රථම පඞ්ක්ති සාමර්ථ්‍යයත්, ත්‍යාග රැසකුත් දිනූ ඇයට ප්‍රාචීන අධ්‍යයන පීඨයෙන් පර්යේෂණ ශිෂ්‍යත්වයක් ද පිරිනැමුණි. එහි ඵලය භුක්ති විඳීමින් ඈ ලද ජයග්‍රහණය වූයේ 1957 දී සම්පූර්ණ කරන ලද ශාස්ත්‍රපති උපාධිය යි. ලංකා රජයෙන් පිරිනැමුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යත්වය ද දිනූ හන්දුරුකන්ද මෙනෙවිය තදනන්තර ව දර්ශනසූරී උපාධි අධ්‍යයන පිණිස මහා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූවා ස්වකීය ඇදුරිඳුන් වූ ඕ.එච්. ද ඒ. විජේසේකර මහතාණන්ගේ අනුදැනුම සහ උපදෙස් මත යි. මහා බ්‍රිතාන්‍යය බලා පිටත්වන්නට පෙර ම කේම්බ්‍රිජ් සරසවියේ එවකට සංස්කෘත පිළිබඳ විඥාපක මහාචාර්ය පදවිය දැරූ ලෝකප්‍රකට විද්වතෙකු වූ සර් හැරල්ඩ් වෝල්ටර් බෙයිලි (Sir Harold Walter Baily 1899 – 1996) මෙරටට පැමිණි මොහොතක විජේසේකර නිවස්නෙහි දී හමුවන්නට ලැබීම ද ඇයට එකී නිවැරදි තීරණයට එළඹෙනු පිණිස බලපාන්නට ඇත.
ලොව පුරා නන්දෙසින් පැමිණ ඥාන ගවේෂණයෙහි නියුක්ත විවිධ තරාතිරමේ වියතුන්ගෙන් උතුළ, කැම් නදීබඩ හරිත ගොමුවෙහි උත්තුංග ව අරා නැගී සිටි කේම්බ්‍රිජ් සරසවිය 1957 වසරේ දී මේ තුරුණු ධීමතියගේ ආගමනය සමාදරයෙන් ම පිළිගත්තේ ය. ප්‍රථම උපාධිය සඳහා වෛදික සහ ලෞකික සංස්කෘත භාෂා ද, තදනුබද්ධ සාහිත්‍යය ද හදාළ නමුදු බෞද්ධ සංස්කෘත සාහිත්‍යය ඇගේ නැණැස විශේෂයෙන් පැහැර ගත් නැවුම් ඥානප්‍රශාඛාවක් වූයෙන් සිය දර්ශනසූරී උපාධියේ පර්යේෂණ පිණිස එය ම ගැඹුරින් හදාරන්නට ඇයට අවශ්‍ය විය. උසස් උපාධියක් සඳහා කේම්බ්‍රිජ් සරසවියේ විද්‍යාර්ථියෙකු සූදානම් කෙරෙන ත්‍රිපාද පරීක්ෂණය (Tripos examination) වෙනුවෙන් දෙවසරක කාලයක් බෞද්ධ සංස්කෘත සහ සම්භාව්‍ය තිබ්බත යන භාෂා ද, භාරතීය කලාව සහ පුරාවිද්‍යාව ද යන විෂයත්‍රය හදාළ හන්දුරුකන්ද මෙනෙවිය 1959 වර්ෂයේ දී අතිවිශිෂ්ට ලෙස ඉන් සමත් වූවා ඇගේ පෙර ගමන්මගේ දිශානතිය සලකුණු කරමින් මතු නො ව කේම්බ්‍රිජ් සරසවියේ ප්‍රාචීන අධ්‍යයන ක්ෂේත්‍රයේ සුපතළ වියතුන්ගේ ද විශේෂ අවධානය සහ ගෞරව බහුමානය හිමි කර ගනිමිනි. එහි දී ලද ප්‍රථම පඞ්ක්ති සාමර්ථ්‍යයට අමතර ව, සිය අධ්‍යයන ක්ෂේත්‍රය තුළ සුනිශිත ප්‍රඥාපාටවයක් ප්‍රකට කළ විද්‍යාර්ථීන් විෂයෙහි පිරිනමන ලද ත්‍යාග සහ ශිෂ්‍යත්ව කිහිපයකට ම හිමිකම් පාන්නට ද ඕ සමත් වූවා ය. ග්‍රීක සහ ලතින් භාෂා සහිත සම්භාව්‍ය භාෂා අධ්‍යයන, ප්‍රාචීන අධ්‍යයන, භාරතීය සහ ඉරාණීය අධ්‍යයන යන විෂය ක්ෂේත්‍රවල විශිෂ්ටයෙකු ඇගැයෙන කීර්තිමත් රැප්සන් ශිෂ්‍යත්වය (Rapson Scholarship) ඉන් එකකි. මහැදුරු බෙයිලිට පෙර කේම්බ්‍රිජ් සරසවියේ සංස්කෘත පිළිබඳ විඥාපක මහාචාර්ය පදවිය සැරසූ E.J. Rapson (1861 – 1937) වෙනුවෙන් පිහිටුවන ලද අරමුදලින් එකී ශිෂ්‍යත්වය අද දක්වා ම පිරිනැමෙයි. සංස්කෘත භාෂාධ්‍යයන විෂයෙහි වෙසෙස් සුරුවෙකුට පමණක් ලැබෙන බ්‍රදර්ටන් අනුස්මරණ ත්‍යාගය (Brotherton Memorial Prize for Sanskrit) තවෙකකි. ගුජරාටයේ භව්නගර්හි මහාරාජ පදවිය දැරූ Raol Sir Takhtsinhji විසින් 1893 දී පිහිටුවන ලද, භාරතීය භාෂාශාස්ත්‍ර විෂයෙහි පිරිනැමෙන භාඕනගර් ස්වර්ණමුද්‍රිකාව (Bhaonagar Medal), ප්‍රාචීන පුරාවිද්‍යාව විෂයෙහි වූ තෝමස් යන්ග් ස්වර්ණමුද්‍රිකාව (Thomas Young Medal) මෙන් ම කේම්බ්‍රිජ් සරසවියේ න්‍යූනැම් විද්‍යාලයෙන් (Newnham College) පිදෙන එමිලි රිග්බි ශිෂ්‍යත්වය (Emily Rigby Scholarship) සහ මේරියන් කෙනඩි ශිෂ්‍යත්වය (Marion Kennedy Studentship) ද සිය බුද්ධිමය ශ්‍රමයේ ඵල වශයෙන් ඈ අත්පත් කර ගත් අනෙක් ජයග්‍රහණ අතර වෙයි. සිරිලක විද්වතුන් විදේශීය සරසවිවල දී අතිමහත් කැපකිරීම් කොට හිමි කර ගන්නා ශාස්ත්‍රීය වෛශිෂ්ට්‍යය ඇගයූ එවක ලංකා රජය ද සිය ශිෂ්‍යත්වය තවත් තෙවසරකින් දිගු කොට හන්දුරුකන්ද මෙනෙවියගේ දර්ශනසූරී උපාධි පර්යේෂණ කටයුතු ප්‍රවර්තනය සහ ප්‍රවර්ධනය සඳහා කාරුණික අනුග්‍රහය දැක්වී ය. ඒ එවකට පේරාදෙණිය සරසවියේ සම්භාව්‍ය භාෂා විෂයෙහි විඥාපක මහාචාර්ය ධුරය ද, කලක් ප්‍රාචීන අධ්‍යයන පීඨාධිපති ධුරය ද අලංකෘත කළ, ලන්ඩන්හි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන නිලධාරි තනතුර ද ඉසිලූ ජේ.එල්.සී. රොඩ්රිගෝ මහතාණන්ගේ ද නිර්දේශය මත ය. මෙවන් ප්‍රසාද සහ අනුග්‍රහ සමුදායකින් ම පිදුම් ලබමින් තමාගේ පර්යේෂණ ව්‍යාපෘතියෙහි නිරත වූ රත්නා හන්දුරුකන්ද විද්වතිය සිය දර්ශනසූරී උපාධි නිබන්ධය වශයෙන් කේම්බ්‍රිජ් සරසවියට ඉදිරිපත් කළා බෞද්ධ සංස්කෘත සාහිත්‍යයේ හමුවන අවදාන කෘතියක සංස්කරණයක් සහ පරිවර්තනයක් ද සහිත තුලනාත්මක අධ්‍යයනයකි. පසුව 1967 දී ලන්ඩන්හි Luzac ප්‍රකාශන සමාගම විසින් එය Manicudavadana: being a translation and edition, and Lokananda: a transliteration and synopsis යන හිසින් Sacred Books of the Buddhists ග්‍රන්ථමාලාවේ සූවිසිවන වෙළුම ලෙස ප්‍රකාශනය කෙරිණි.
එසමයෙහි ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණයෙන් ඉතා උසස් ලෙස සමත් වූ විද්‍යාර්ථීන් වෙත රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වය (Government University Scholarship) ප්‍රදානය කරන ලද නමුදු ඔවුන් අතර කාන්තා නියෝජනය අල්ප වී ය. තරුණ හන්දුරුකන්ද මෙනෙවියට පසු ව ඊළඟ වර්ෂ දෙකෙහි දී එකී ශිෂ්‍යත්වය දිනා පශ්චාත් උපාධි පර්යේෂණ පිණිස ලන්ඩන් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයන්ට ඇතුළු වූ අනෙක් කාන්තාවන් දෙදෙනා නම් පිළිවෙළින් ධම්මේශ්වරී කරුණාරත්න (පසු ව වික්‍රමසිංහ) සහ මහේශ්වරී ජේසුදාසන් (පසු ව අරුචෙල්වම්) ය. පශ්චාත් උපාධි අධ්‍යයන නිමවා පෙරළා පැමිණි ඔවුන් අතරින් ධම්මේශ්වරී කරුණාරත්න විශ්වවිද්‍යාලයීය ආචාර්ය වෘත්තිය අපේක්ෂා නො කොට කොළඹ විශාඛා විද්‍යාලයේ සේවයට බැඳුණු නමුදු හන්දුරුකන්ද සහ අරුචෙල්වම් දෙපළ නැවත පේරාදෙණියෙහි සේවය පිණිස එක් වූවෝ ය.
විශිෂ්ට ශාස්ත්‍රීය පර්යේෂණයක අනන්‍යසාධාරණ ඵලය ලෙස කේම්බ්‍රිජ් සරසවියෙන් උපයා ගන්නා ලද දර්ශනසූරී උපාධියත්, නව ඥානගවේෂණ මාර්ගයක් විවර කර ගැනීමේ සන්තුෂ්ටියත්, සිය නැණසතර සිරිලක ශාස්ත්‍රාර්ථීන් වෙත සම්ප්‍රදානය කිරීමේ මහදාශයත් රැගෙන 1962 වසරේ දී පෙරළා පැමිණි ආචාර්ය හන්දුරුකන්ද මෙනෙවිය මහැදුරු ගුණපාල මලලසේකර සිරිමතුන්ගේ ප්‍රධාන කර්තෘත්වයෙන් යුත් බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රථම ශ්‍රේණියේ සහකාර කර්තෘවරියක වශයෙන් සේවයට බැඳුණා ය. තදනන්තර ව නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳ දක්ෂිණ ආසියාතික ආයතනයේ ද, ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හි දී සම්පාදනය කරන ලද විචාරාත්මක පාලි ශබ්දකෝෂ ව්‍යාපෘතියේ ද මඳ කලක් සේවය කොට, 1966 දී ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයේ සංස්කෘත අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරියක් ලෙස පත් වීම වනාහි ආචාර්යවරියකගේ භූමිකාවට ඇය පිළිපන් අවස්ථාව වශයෙන් සනිටුහන් වෙයි. එතැන් පටන් විවිධ තනතුරු සහ වගකීම් උසුලමින් 1980 වසරේ දී සහය මහාචාර්යාණී පදවියෙනුත්, 1992 වසරේ දී ජ්‍යේෂ්ඨ මහාචාර්යාණී පදවියෙනුත් පිදුම් ලැබූ ඇගේ රුචිය වූයේ පේරාදෙණිය සරසවියේ සංස්කෘත සහ ප්‍රාචීන අධ්‍යයනයන්හි නිරත මහත් ශිෂ්‍ය-ප්‍රශිෂ්‍ය ගණයා වෙත නො මසුරු ව ද, අනලස් ව ද ශාස්ත්‍රීය මාර්ගෝපදේශනය සැපයීම ය. එමතු ද නො ව, ශාස්ත්‍රෝද්ග්‍රහණය සහ ඥානප්‍රචාරණය ම ස්වයංවරයෙන් තෝරා ගත් හන්දුරුකන්ද මෙනෙවියගේ සමස්ත වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය කැප වූයේ තමාගේ අධ්‍යයන-අධ්‍යාපන ලාලසාව විසින් හෙළිපෙහෙළි කරන ලද මුඛ්‍යදිශා සහ අන්තර්දිශාවන් ඔස්සේ පිය නගනු පිණිස ම යි. සිය පූර්වගාමියා වූ මහාචාර්ය ජයදේව තිලකසිරි මහතාණන්ගේ විශ්‍රාම ගැනීමත් සමග ම රත්නා හන්දුරුකන්ද මෙනෙවිය සංස්කෘත පිළිබඳ විඥාපක මහාචාර්ය ධුරයට පත් වූවා 1982 ජනවාරි මාසයේ දී ය. 1954 වර්ෂයේ සිට පේරාදෙණිය පරිශ්‍රයේ පිහිටි ලංකා විශ්වවිද්‍යාලය, 1972 වසරේ දී ලක් සරසවියේ පේරාදෙණිය මණ්ඩපය සහ 1978 දී කේවල විශ්වවිද්‍යාලයක් වශයෙන් ස්වාධීනත්වය ලැබ පේරාදෙණිය සරසවිය යනුවෙන් පරිණාමයට පත් වූ එකී රමණීය ශාස්ත්‍රාලයේ දී ඒ ඒ යුගයන්හි දී මහේශ්වරී අරුචෙල්වම්, වෝල්ටර් මාරසිංහ, පූජ්‍ය වරාගොඩ පේමරතන හිමි, පූජ්‍ය පහමුණේ සුමංගල හිමි, පූජ්‍ය ඇටිපොළ මහින්ද හිමි, පූජ්‍ය මඩදෙණියේ පුඤ්ඤරතන හිමි ඇතුළු ඇදුරු මඬුල්ලක් සංස්කෘත අධ්‍යාපනය වෙනුවෙන් රත්නා හන්දුරුකන්ද මහාචාර්යතුමිය සමග එක් වූවෝ ය. පේරාදෙණිය සරසවියෙහි ද, විදෙස් සරසවි මෙන් ම උසස් අධ්‍යාපන සහ පර්යේෂණ ආයතන ගණනාවක ද දෙතිස් වසරක පමණ දිගු සේවාවකින් අනතුරු ව 1998 වර්ෂයේ සැප්තැම්බර් මස දී මහාචාර්යාණී රත්නා හන්දුරුකන්ද මෙනෙවියගේ විශ්වවිද්‍යාලයීය මෙහෙවර නිමැවුණු නමුදු, ඉන් වසරක් ගත වන්නටත් මත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සනාතන සභාවේ අනුමැතිය මත එහි කවුන්සිලය සේවාර්ජිත මහාචාර්යාණී (Professor Emerita) පදවිය ඈ වෙත පිරිනමමින් නිසි බුහුමන් දක්වන්නටත්, ඇගේ නාමය සිය කීර්ති කදම්බය දුලවන ගෞරවාභිධානයක් ලෙස තබා ගන්නටත් කටයුතු යෙදී ය.
දශක කිහිපයක් තුළ රත්නා හන්දුරුකන්ද මහැදුරුතුමිය විසින් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාද්වයෙන් ම විරචිත ශාස්ත්‍රීය ලේඛන සම්භාරය ඇගේ තීක්ෂ්ණ සහ සමබර පර්යේෂණ ශික්ෂණය ද, එහි ලා අවැසි ම සංයමය සහ විවේකබුද්ධිය ද නො වළහා හෙළි කරන්නේ ය. බර්ලින්, ශාන්ත පීටර්ස්බර්ග් (එවකට ලෙනින්ග්‍රැඩ්), තෝක්යෝ, නිව්යෝර්ක්, හාවර්ඩ් ඇතුළු සරසවි සමූහයක ආරාධිත මහාචාර්යවරියක සහ පර්යේෂිකාවක වශයෙන් ඇය ලද පර්යේෂණ, අධ්‍යයන සහ අධ්‍යාපන අනුභූතීන්ගේ සාරඵල ද ශාස්ත්‍රීය ප්‍රකාශනවල ස්වරූපයෙන් ඉදිරිපත් වී තිබේ. එක්සත් ජනපදයේ හාවර්ඩ් සරසවියේ සංස්කෘත පිළිබඳ වේල්ස් විඥාපක මහාචාර්ය පදවියෙහි වර්තමානයේ කටයුතු කරන Michael Witzel සහ ජර්මනියේ මාබර්ග් සරසවියේ භාරතවේදය පිළිබඳ විඥාපක මහාචාර්ය ධුරය දැරූ Michael Hahn (1941 – 2014) යන වියතුන් සමග නේපාලයේ කත්මණ්ඩු නුවර නේපාල-ජර්මානු අත්පිටපත් සංරක්ෂණ ව්‍යාපෘතියට (Nepal-German Manuscript Preservation Project) සම්බන්ධ ව මඳ කලක් කටයුතු කරන්නට ද ඇයට අවස්ථාව ලැබිණි. ජර්මනියේ බොන් නගරයේ Indica et Tibetica Verlag ප්‍රකාශකයන් 1984 වසරේ දී Monographien zu den Sprachen und Literaturen des indo-tibetischen Kulturraumes ග්‍රන්ථමාලාවේ සිව්වැන්න ලෙස ප්‍රකාශයට පත් කළ Five Buddhist legends in the Campu style: from a collection named Avadanasarasamuccaya නම් සාරසංග්‍රහයත්, එහි ම පහළොස්වැන්න ලෙස 1988 වර්ෂයේ දී එලි දැක්වූ The Supriyasarthavahajataka නම් කෘතියත්, ජපානයේ තෝක්යෝහි The International College for Advanced Buddhist Studies නම් ආයතනය විසින් 2000 වසරේ දී ස්වකීය Studia philologica Buddhica ග්‍රන්ථමාලාවේ සොළොස්වැනි වෙළුම වශයෙන් පළ කරන ලද Three Sanskrit texts on Caitya worship: in relation to the Ahorātravrata නමැති කෘතියත් ඒ අතර විශේෂයෙන් කැපී පෙනෙන බව කිව යුතු ය. එසේ ම, ස්වකීය පර්යේෂණ වපසරිය වූ බෞද්ධ සංස්කෘත සාහිත්‍යයෙන් ඔබ්බට ද පිය නගා, ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රාලයීය ප්‍රාචීන භාෂාශාස්ත්‍ර අධ්‍යයනයෙහි සහ අධ්‍යාපනයෙහි ඉතිහාසය ආදී විස්තෘත විෂයපථ පවා ඉතා උද්‍යෝගිමත් සහ සියුම් ලෙස පිරික්සා, තොරතුරු සමාහාර කොට මතු පරපුරට දායාද කරනු ලැබ ඇති අයුරු ඇගේ ලේඛන පිරික්සා බලන්නෙකුට ඉඳුරා ම පැහැදිලි වනු ඇත.
නිතර ප්‍රසන්න මන්දස්මිතයෙන් යුතු රත්නා හන්දුරුකන්ද සිරිමතියගේ කුඩා භෞතික රූපකාය පසුපසින් නැගී බැබළී සිටින උත්තුංග ප්‍රඥාපෞරුෂයේ ඖදාර්යය හුදෙක් ආකස්මික ලාභයක් නො වේ. ඉසියුම් විචාරබුද්ධියෙන් සහ ඉවසීමෙන් යුතු ව දශක ගණනාවක් පුරා බෞද්ධ සංස්කෘත සාහිත්‍යය නම් රත්නාකරය මථනය කොට මිණිකැට නගා ගනු පිණිස ඈ දරන ලද වෙහෙස අතිමහත් බව නිසැක ම ය. ග්‍රන්ථ සංස්කරණයක දී හෝ වේවා, පරිවර්තන කාර්යයක දී හෝ වේවා, එසේත් නැතහොත් විචාරවත් රචනයක දී හෝ වේවා ඈ විසින් දක්වනු ලැබ ඇති සූක්ෂ්ම අවධානය, ප්‍රාගුණ්‍යය සහ සංයමය වනාහි විද්වජ්ජන පරිශ්‍රමය දන්නා කිසිවෙකුට ලඝුකොට තැකිය හැක්කක් නො වේ. පාලි, සංස්කෘත, සිංහල ආදී භාෂාත්මක පාඨයක් රෝම අක්ෂරයෙන් ලියා දැක්වීමේ දී භාවිත විශේෂ සංකේත පද්ධතියෙන් එකක් හෝ, ඇතැම් වැකියක නිරාකුලතාව රකින එකදු විරාම ලක්ෂණයක් හෝ, වාක්‍යාර්ථයක සංදිග්ධතාව ඇති කරනු සමත් එකදු වදනක් හෝ ඇගේ සුනිශිත දෘෂ්ටියෙන් ගිලිහී නො යයි. උවමනා තොරතුරු සංවිධානාත්මක ලෙස රැස්කිරීම ද, රාශීභූත ව පවතින නමුදු නුවුවමනා දත්ත නිර්ලෝභී ව ඉවත හෙළීම සහ සිය ඉලක්කය සාධනය කර ගනු පිණිස සකස් කිරීම ද, ඉහළ ම ශාස්ත්‍රීය ශික්ෂණයක් පෙන්වමින් සිය පර්යේෂණයන්හි සාරඵල ව්‍යක්ත ව අභිවහනය කිරීම ද එකී ප්‍රශංසාර්හ ලේඛනකලාව ඔස්සේ ප්‍රකට වන බව ඇගේ කෘති කියැවූවෝ දනිති. එළඹි සිහි ඇති ව හන්දුරුකන්ද මහැදුරුතුමිය සමග කෙරෙන සංවාදමාත්‍රයක දී පවා කිසිවෙකුට නො වරදවා හැඟී යන්නේ ඈ කෙතරම් සාවධාන ව, සංවිධිත ව, තර්කානුගාමී ව සවන් දෙන්නී ද යන්න යි.
හන්දුරුකන්ද ධීමතියගේ සුස්මරණ ශක්තිය පිළිබඳ වෙසෙසි සඳහනක් නො කොට ඇගේ විස්මයාවහ පාණ්ඩිත්‍යය පිළිබඳ ව කෙරෙන කිසිදු විවරණයක් සම්පූර්ණ නො වේ. ශාස්ත්‍රීය කරුණු පමණක් නො ව දශක ගණනාවක මතක කොවේ සහ මහවේ පුරා පැකිළීමක් තොර ව ම එක්වන් සුරුබවකින් හැසිරෙන්නටත්, මග නො වරදවා නැවත ආරම්භස්ථානයට සැපත් වන්නටත් ඕ සමත් වන්නී ය. පැරණි මතකයක් ඇසුරින් තතු පැහැදීමේ දී නිශ්චිත පුද්ගල නාම සහ ස්ථාන නාම මෙන් ම නිවැරදි දිනවකවානු සහිත සිද්ධි සිහියට නගා දෙනු පිණිස ඈ සතු කෞශල්‍යයෙන් සහ බුහුටිබවින් අප විස්මයට පත් වූයේ වරක් දෙවරක් නො වේ. ඇගේ ධීශක්තිය එතරම් පිරිසුදු ය; නිරාකුල ය; අකලංක ය. යමක් හෝ යමෙකු පිළිබඳ විමසත වඩවඩාත් පැහැදිලි වී නැගී එන ස්මරණ ධාරා ඇයට ප්‍රාමෝද්‍යය ගෙන එන බව එකල්හි ඇගේ වත පුරා නැගෙන ස්මිතයන්ගෙන් ද, පිබිදුණු වදනින් ද, උදාත්ත භාෂණයෙන් ද මනා ව ම විශද වෙයි.
ලොව සුපතළ කිත්යසස් ඇතත් සරල ඇවතුම් පැවතුවලින් හොබනා, ළදැරියක මෙන් නිහතමාන ගුණයෙන් ගිහිණි මේ පඬිවරිය සිය මව මෙන් නැතහොත් සොයුරියක මෙන් අදරින් ම රැක බලාගෙන ඇගේ නිසල නිවසෙහි ම චිරකාලීන ව හිඳින්නී මැණිකේ මෙනෙවිය යි. ඈ ඉදි කොට දෙන රසවුළුවලින් සහ තේපැනින් මතු නො ව හන්දුරුකන්ද සිරිමතියගේ රසබසින් සහ අසන්නා සිනා ගන්වන සුලු අතීත සිදුවීම් ස්මරණාවලියෙන් ද, සහෘද පරිෂද්හි සුවදුක් විමසුම් පෙරටු කොට ගත් සරස සල්ලාප ආදියෙන් ද, යහ ඔවදනින් ද සංග්‍රහ සත්කාර නො විඳ ආපසු ආවෝ නැත්තාහ. ඥානදානයේ නො සංසිඳුණු ආශාව, ආචරණයේ සාරල්‍යය, මාත්සර්යයෙන් තොර ත්‍යාගශීලීභාවය සහ විනීතතාව ද නිසා ඇගේ කාරුණික ඇසුර පතා අදටත් සතිපතා ම පාහේ ඇගේ නිවහනට යන්නා වූ විදේශීය භික්ෂුණීන් වහන්සේලා කිහිපදෙනෙකු ම සිටින බව ද අසන්නට ලැබිණි.
බෞද්ධ සාහිත්‍යය විෂයෙහි, විශේෂයෙන් ම සංස්කෘතයෙන් විරචිත තත් සාහිත්‍යය විෂයෙහි, මෙරට කීර්තිමත් වියත්තු බොහෝ දෙනා හන්දුරුකන්ද මහැදුරුතුමියගේ ශිෂ්‍යවරයෝ වෙති; නැතහොත් ඍජු හෝ වක්‍ර ලෙස ඇගේ පාණ්ඩිත්‍යයෙන් පල ලැබූවෝ වෙති. ඇගේ නැණමහිමයේ පිරිවිතරත්, අපිස්ගුණයත්, කාරුණ්‍යයත් ඔවුන්ගේ අව්‍යාජ වර්ණනාවටත් බහුමානයටත් ලක් වනු දැකීම ද, ඇසීම ද තුටු එළවන්නේ ය. 2001 වර්ෂයේ සිට දෙවසරක කාලයක් පේරාදෙණිය සරසවියේ සංස්කෘත පිළිබඳ විඥාපක මහාචාර්ය ධුරය හෙබැවූ ආචාර්ය පූජ්‍ය වරාගොඩ පේමරතන නාහිමි, සෝමාවතී රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි, පේරාදෙණිය සරසවියේ ම සංස්කෘත පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සනත් විජේසුන්දර මහතා මෙන් ම කලක් එහි සේවානියුක්ත ව හිඳ වත්මන්හි නේපාලයේ ලුම්බිණි සරසවියේ සංස්කෘත පිළිබඳ ආරාධිත මහාචාර්ය පදවියක් දරන ආචාර්ය පූජ්‍ය නේපාලයේ සංකිච්ච හිමි ආදීහු සරසවියේ දී හන්දුරුකන්ද ඇදුරුතුමියගෙන් සකුසතර ගැඹර දුටු වියතුන් අතර පෙරමුණේ හිඳිති. ශාස්ත්‍රාභිවෘද්ධිය සහ ආයතනාභිවෘද්ධිය වෙනුවෙන් ඇගේ අනුපම මෙහෙවරත්, කුළුණුගුණ මහිමයත්, ඇවැසි තැන ශක්තිමත් තීරණ වෙත නො සැලී එළැඹීමේ උදාර ලීලාවත් ඔවුන් නිරතුරු ව ම සිහිපත් කරන්නේ ගෞරවාදරයෙනි.
දශක කිහිපයක් තුළ ඈ විසින් සමාදරපූර්වක ව එක්රැක් කරන ලද එක ම ධනය වූ විෂයබද්ධ ග්‍රන්ථ සම්භාරයත්, ඇගේ ම ශාස්ත්‍රීය ලේඛන සමුච්චයත් දැන් පේරාදෙණිය සරසවියේ ප්‍රධාන පුස්තකාලයේත්, අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේත් තැන්පත් ව ඇගේ වියත් මෙහෙවර ප්‍රවර්තනය සහ ප්‍රවර්ධනය පිණිස සැදීපැහැදී සිටින්නේ ය. මාලතීමාධව නම් සංස්කෘත දෘශ්‍යකාව්‍යයේ දී භවභූති කිවිඳුන් පවසන පරිදි ලෝකය පුළුල් හෙයින් ද, කාලය අපරිමිත හෙයින් ද රත්නා හන්දුරුකන්ද විද්වතියගේ ඥානධනභාරයට රිසි ලෙසින් පිවිසෙනු පිණිස, නුමුළා ව එහි කිමිදෙනු පිණිස, ඉන් පොහොසත් ව විස්කම් පානු පිණිස කෙදිනක හෝ, කවර දෙසින් හෝ ආප්ත විද්‍යාර්ථියෙකු හෝ විද්‍යාර්ථිනියක පැමිණෙනු ඇත.
මුල්ගම්පොළ පිහිටි එතුමියගේ නිවස්නෙහි එකත්පස් ව හිඳින්නා වූ 081-2202195 අංකය දරන දූරකථනය ඇගේ ශිෂ්‍ය-ප්‍රශිෂ්‍ය ගණයාගේ ද, ජ්‍යේෂ්ඨ, සමවයස්ක සහ කනිෂ්ඨ සහෘදයන්ගේ ද, ඇගේ නැණපහනින් ආලෝකය ලැබූ විමලමනස්ක සජ්ජනයන්ගේ ද සුහද වදනක් පතා පෙරමග බලා සිටින බව ද මෙහි සටහන් කරනු කැමැත්තෙමු. මේ වසර අග දී අසූසත් වැනි වියට එළැඹුණු අස්මදාචාර්යාණී රත්නා හන්දුරුකන්ද සිරිමතියට ආයුරාරෝග්‍ය සම්පතින් අනූන සුවදිවියක් ම වේවා !
.
.
රෝහණ ‍‍සෙනෙවිරත්න රාවය පුවත්පතෙන් උපුටා ගැණුනකි.
පේරාදෙණිය සරසවිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *