1982 පෙබරවාරි 16 වනදා රැය මුළු මහත් ශ්‍රී ලංකාවටම නොසන්සුන් රැයක් වූයේ ඊට පහුවෙනිදා ශ්‍රී ලංකාව ටෙස්ට් රටක් ලෙස නම් දරන්නට ලක ලෑස්ති වි සිටි නිසාය..
ක්‍රීඩකයින් සඳහා වෙන්වූ කාමරවල සියල්ලන්ම සුව නින්දේය..
ඩොග් ඩොග්..!
අමුතු සද්දයක් ඇසී පාන්දරම සිදත් වෙත්තමුණි අවදි වන්නේ නිදාගන්නටවත් දෙන්නැති එකා මොකාදැයි බලන්නටය…
ඇස් ඇර බලන සිදත්ට දැකගන්නට ලැබෙන්නේ අරුම පුදුම දසුනකි..
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් කඩුළු රකින්නා ලෙස හෙට වාර්තා පොත් අතරට යන්නට සිටින තම කාමර සගයා කඩුළු රකින අත් ආවරණද දමාගෙන ‘ ඔට්ටපාළු බෝලයක්’ බිත්තයට දමා ගසා අල්ලමින් සිටිනු දුටු සිදත්ට කට වහන් ඉන්නට බැරිවිය…
” ඔය මොකක්ද යකො කරන්නෙ මේ රෑ ”
“අා මේ හෙට මැච් එකට ප්‍රැක්ටිස්..මේ බෝලෙ බිම වැදුනම එක එක පැතිවලට කැපිල යනව..මේකෙන් පුරුදු උනාම් ස්පින් බෝලින් වලට කීප් කරන්න ලේසියි”
ඕන එකක් කරගද්දෙන් කියා සිදත් නැවත අැස් පියා ගන්නේ හෙට තරඟය ගැන සිතාය..
පසුවදා ලොවක් ඉදිරියේ මේ සුවිශේෂි කඩුළු රකින්නා දුර්ලභ දස්කම් පාන්නට විය..
විටෙක වේග පන්දුවට වුවද කඩුල්ල අසල හිස් ආවරණ නොමැතිව කඩුළු රැකීමට තරම් ඔහු නිර්භය විය..
එකල ලොව හොඳම කඩුළු රකින්නන් ලෙස සැලකූ ඇලන් නොට් හා රොඩ්නි මාෂ් ට අභියෝගයක් එල්ල වී ඇත්දැයි විචාරකයින් පවා අදහස් දක්වන්නට විය..
ඔහු නමින් හෙට්ටිආරච්චිගේ මහේෂ් ගුණතිලකය…
1952 අගෝස්තු 16 වනදා, එනම් 69 වසරකට පෙර අද වැනි දිනක, කෑගල්ලේදී උපත ලබන මහේෂ් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලෙන් ක්‍රිකට් හදාරා ජාතක කණ්ඩායමට ඇතුළු වූයේ ඉහත කී අසහාය දක්ෂතාවය නිසාමය..
ඔහු ඉක්මන්ය. ක්ෂණික පාද හැසිරවීම නිසා පන්දුව කොහේට කැරකුනත් ඔහු එය පිටුපසය..
ඔහුගේ දෑතට ලේසියට පන්දුව මඟහැරෙන්නේ නැත..
ඔට්ටපාළු බෝල පුහුණුවෙන් තම දෑත් සුරක්ෂිත කරගත් මේ තරුණ ක්‍රීඩකයා තම පාද චලන ඉක්මන් කරගන්නට භාවිතා කරන්නේ Skipping Rope එකකි…
කුඩා කළ පටන් බොක්සිං ක්‍රීඩාවට ප්‍රිය වූ මහේෂ්ගේ වීරයා මොහොමඩ් අලීය..
මොහොමඩ් අලී තම පාද චලන හැකියාව දියුණු කරගන්නට භාවිත කළ Skipping Rope පුහුණුවීම් ක්‍රියාවලිය මහේෂ් තම කඩුළු රැකීමේ භූමිකාව සඳහා භාවිත කළේය..
සුරක්ෂිත දෑතක් හා හොඳ පාද දෙකක් සහිත කඩුළු රකින්නෙකු ගැන ආපහු හොයන්නට දෙයක් නැත.
” He is regarded by many as the finest wicket-keeper produced by the Island nation ”
ලෝක ප්‍රසිද්ධ Espn වෙබ් අඩවිය අදටත් මහේෂ් ගැන හඳුන්වන්නේ එලෙසය..
හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙක්ය.ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් කඩුලු රකින්නා උපාධිදාරී කඩුලු රකින්නෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුළු රැකීම තවත් වසර ගණනාවකට සුරක්ෂිත යැයි විචාර ලියැවෙමින් පවතින යුගයක මේ දක්ෂ කඩුළු රකින්නාට ටෙස්ට් තරඟ 5ක් හා එක්දින තරඟ 6ක් පමණක් ක්‍රීඩාරමින් අර්ධ ශතකයක් උඩපන්දු 10ක් සහ ස්ටම්ප් කිරීම් 07ක් ඔහුගේ නමින් ලියවෙදී, තම තරඟ දිවිය නවත්තන්නට වන්නේ 82 දකුණු අප්‍රිකානු කැරලිකාර සංචාරයට සහභාගී වීමේ වරදටය..
ඔහුගේ අඩුව පුරවන්නට ශ්‍රීලංකාවට තවත් වසර 10ක් බලාසිටින්නට සිදුවූ අතර අවසානයේ රොමේෂ් කළුවිතාරණ එම හිඩැස පිරවූයේය..
තීරණයේ හරි-වැරදි බව කුමක් වුවත් එදා මැන්ඩෙලාගේ රටට ක්‍රිකට් ගෙනයාමට ගොස් ක්‍රිකට් හමාර කළ අය අතරින් මහේෂ් ගුණතිලක යනු වටිනාම ක්‍රිඩකයෙකු බව නම් නොඅනුමානය..
©✍️ලුසිෆර්
ස්තුතිය – ස්නෝවි මුහුණු පොත් පිටුවට
