ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවේ භාෂා සවිඥානකත්වය – මහාචාර්ය කෛලාසපති

විශේෂාංග

ගැමි නාටක සම්ප්‍රදාය පිළිබඳ දීර්ඝ හැදෑරීම් තුළින් උකහාගත් සාරය කැටිකොට 1956දී වේදිකාවට ගෙන ආ මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාටකය, පශ්චාත් යටත් විජිත ලංකාවේ නව සංස්කෘතික පුනර්ජීවනයක සන්ධිස්ථානමය සළකුණක් සේ බොහෝ දෙනා සළකති. නමුත් ඊට සමාන්තරව දෙමළ ජන කලා සම්ප්‍රදායයන් පිළිබඳ අනවරත හැදෑරීම් ඔස්සේ මහාචාර්ය කේ. කණපතිපිල්ලෛ හා මහාචාර්ය එස්. විතියානන්දන් විසින් කරන ලද පර්යේෂණාත්මක කලා සම්ප්‍රදානයන් පිළිබඳ අපි කිසිත් නොදනිමු. 1950 දශකයේ පේරාදෙණිය සරසවිය කේන්ද්‍ර කොටගෙන වර්ධනය වූ එකී බුද්ධිමය හා සෞන්දර්ය සම්ප්‍රදායන් ඇසුරේ බිහි වූ විද්‍යාර්ථීන් දෙදෙනෙක් පසුකාලීනව දෙමළ සෞන්දර්ය කලාව කෙරෙහිත්, විචාරවේදය කෙරෙහිත් උපමහාද්වීපිකව බල පෑ පුරෝගාමී බුද්ධිමතුන් ලෙස මතුව ආහ. ඉන් අයෙක් වන්නේ 2011දී මිය ගිය මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි ය. දෙවැන්නා, මහාචාර්ය කනපතිපිල්ලෛ කෛලාසපති ය. ’50 දශකයේදී දෙමළ සාහිත්‍ය කලාවන්ට සාධනීය මැදිහත්වීමක් කළ ප්‍රගතිශීලී ලේඛක සංගමය පිහිටුවීමෙහි ලා මුල් වූයේ මේ දෙදෙනා ය.
දෙමළ භාෂා සාහිත්‍යය හා විචාර වේදය පිළිබඳව, ශ්‍රී ලංකාවෙන් ඔබ්බෙහිද භාෂා විද්‍යාර්තීන් අතර මහත් සම්භාවනාවට පාත්‍ර මහාචාර්ය කෛලාසපති, මලයාවේ දී ලද මූලික අධ්‍යාපනයෙන් පසු යාපනයේ හින්දු විදුහලට ඇතුළත් වූයේ 1948දී ය. හින්දු විදුහලේ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළ, එම් කාර්තිගේසන්ගේ අවධානයට ශේක්ස්පියරියානු සාහිත්‍යයත්, ග්‍රීක රංග කලාවත්, රුසියානු නිර්මාණ සාහිත්‍යයත් පිළිබඳ පරිණත අවබෝධයකින් යුතු යෞවන කෛලාසපති යොමුවූයේ මේ වකවානුවේදී ය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ යාපනයේ ශාඛා ලේකම්වරයා වශයෙන් ක්‍රියාකළ කාර්තිගේසන් එහි ආරම්භක සාමාජිකයෙකු මෙන්ම පක්ෂයේ ප්‍රමුඛ බුද්ධිමතෙකු වශයෙන්ද සැළකුණු අතර කෛලාසපතිගේ දේශපාලන දැක්ම හැඩගැස්වීමෙහි ලා හෙතෙම සැළකිය යුතු බලපෑමක් කළේය.

පසුකාලීනව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වූ කෛලාසපති පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා බර්මින්ග්හැම් සරසවිය කේන්ද්‍රීයව ස්වකීය ශාස්ත්‍රාලයීය දිවිය හැඩගස්වාගනු ලැබූවද, ‘තිනකරන්’ පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රයට අවතීර්ණ වන්නට මුලින් තීරණය කළේය. සංගම් යුගයේ සහ පශ්චාද් සංගම් රොමෑන්තික යුගයේදී වර්ධනය කළ ඉපැරණි සාහිත්‍ය ආකෘති තුළ තව දුරටත් සිරගත කොට තිබූ දෙමළ නිර්මාණාත්මක පරිකල්පනයේ ගතානුගතික සීමා බිඳිමින් නූතනවාදයේ දොරටු විවර කිරීමේ පුරෝගාමී කාර්යභාරය කෛලාසපති විසින් ඉටු කරන ලද්දේ මේ සමයේදී ය. පසුකාලීනව දෙමළ ප්‍රබන්ධ සාහිත්‍යයේ ප්‍රමුඛයන් සේ නැගී ආ ඉලන්කීරන් ගනේෂලිංගම්, අගස්තියාර්, බෙනඩික්ට් බාලන් ඇතුළු බොහෝ දෙනෙක් කෛලාසපතිගේ සාධනීය බලපෑම යටතේ මතුව ආවුන් වූහ.

’70 දශකයෙන් පසු පෙරළා ස්වකීය ශාස්ත්‍රාලයීය ලැදියාවන්ට ප්‍රමුඛතාව දෙමින් පළමුව විද්‍යාලංකාරයේ දෙමළ සහ හින්දු අධ්‍යයන අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ කෛලාසපති, 1974 යාපනය සරසවිය ස්ථාපිත කරන විට එහි පළමු සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුණි. මහාචාර්ය ජෝර්ජ් තොම්සන්ගේ අධීක්‍ෂණය යටතේ ‘දෙමළ වීර කාව්‍ය’ පිළිබඳ ලියන ලද ආචාර්ය උපාධි නිබන්ධනයට අමතරව වැදගත් පර්යේෂණාත්මක කෘති හා ලිපි ලේඛණ ගණනාවක් ඔහු විසින් සම්පාදනය කරන ලදී. රබීන්ද්‍රනාත් තාගෝර් සහ භාරතීයාර්ට සමකාලීනව යාපනයෙන් මතු වූ දීප්තිමත් සාහිත්‍යධරයන් හා අධ්‍යාපනඥයන් වූ පාවලර් තුරෛයප්පා පිල්ලේ හා නවාලි සෝමසුන්දර පුලවර් වැන්නන් දෙමළ භාෂා නොදත් පාඨක ලෝකයට හඳුන්වා දෙන ලද්දේ මහාචාර්ය කෛලාසපති විසිනි.

සතළිස් නව වැනි වියේ දී අකල් හි ආ මරණයට යටත්ව 1982 දෙසැම්බර් 06 වැනිදා නික්ම ගිය මහාචාර්ය කේ. කෛලාසපතිගේ මරණයෙන් 33 වසරක් මේ දෙසැම්බරයට සම්පූර්ණ වේ. 1982 වසරේ පුනිදම් තිරුචෙල්වම් අනුස්මරණ රැස්වීම සඳහා ඔහු විසින් සම්පාදනය කරන ලද මෙහි පළවන ලිපිය ආචාර්ය සසංක පෙරේරා සහ කථිකාචාර්ය ජගත් බණ්ඩාර පතිරගේ විසින් පළමුවරට සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ 2007 වසරේදී සමාජ සංස්කෘතික තීව්‍ර අධ්‍යයනය සඳහා වන කොළඹ ආයතනය විසින් පළ කරන ලද ‘ශ්‍රී ලාංකේය සමාජය සහ සංස්කෘතිය පාඨනය කිරීම: තෝරාගත් නිබන්ධ’ කෘතියේ දෙවැනි වෙළුම සඳහා ය‍. – (සංස්කාරක කමිටුව)

පරිවර්තනය: සසංක පෙරේරා / පරිවර්තන සහාය: ජගත් බණ්ඩාර පතිරගේ

හැඳින්වීම

ශ්‍රීලංකාවේ දෙමළ ප්‍රජාවේ සංස්කෘතික සහ භාෂා සවිඥානකත්වය වර්ධනය වීම විස්තර කිරීමේදී සමාජ, ආර්ථික හා දේශපාලන කරුණු භාෂාව සහ සංස්කෘතිය සමග ඉතාමත් සියුම් ආකාරයකින් සම්බන්ධතා ගොඩනඟා ගන්නා බව මාගේ අත්‍යන්ත තේරුම් ගැනීමයි. එමෙන්ම, එවැනි සවිඥානකත්වයක් නොයෙකුත් සංකීර්ණ පදනම්වලින් පැන නඟින බව ද අප මතක තබා ගත යුතු ය. එනමුත්, මේ නිබන්ධයේදී මාගේ විෂය පථය ඉතාමත් පැහැදිලිව සංස්කෘතිකමය සහ භාෂාමය ලෙස විස්තර කළ හැකි කරුණු වෙත පමණක් අවධානය යොමුවනු ඇත. ඓතිහාසිකව බලන කල පැහැදිලි වන කරුණක් නම්, මෙරට දමිළ ජනතාවගේ සංස්කෘතික සහ භාෂා සවිඥානකත්වය සාමාන්‍ය වශයෙන් ඉන්දියාවේ සිදුවන ක්‍රියාවලීන්ගෙන් හා සුවිශේෂී වශයෙන් නිරතුරුවම දකණු ඉන්දියාවේ සිදුවන ගතිකයන්ගෙන් බලපෑම් ලබන බවයි.

මෙහිදී පැහැදිලි වන කරුණක් නම් ඉතා ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ සංස්කෘතික ක්‍රියාවලි හැඩ ගැසීමේදී ඉන්දියාවේ සිදු වූ සිදුවීම් හා ඇති වූ ප්‍රවණතා ඉතාමත් වැදගත් කාර්‍යභාරයක් ඉටු කළේය යන්නයි. ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව සම්බන්ධයෙන් බලන කල පසුගිය අවුරුදු 300ක කාලය තුළ ඉන්දියාවේ සිදු වූ ප්‍රධාන සිදුවීම් ඔවුන් වෙත සුපැහැදිලි බලපෑමක් එල්ල කළේය. මෙය දේශපාලනයට මෙන්ම සංස්කෘතියට ද එක සේ බලපායි. ආර්ය සමාජ් වැනි නව හින්දු ව්‍යාපාරවල නැඟීම, බ්‍රහ්ම සමාජ් සහ රාමක්‍රිශ්ණ මීසම ආරම්භ කිරීම, ඉන්දීය ජාතික කොංග්‍රසය පිහිටුවීම (1885), බෙංගාල ‘පුනරුදය’, ස්වදේශීය ව්‍යාපාරය (1906 – 1915) වැනි ව්‍යාපාර ශ්‍රී ලාංකේය දෙමළ ප්‍රජාවගේ භාෂා සහ සංස්කෘතික සවිඥානකත්වය ගොඩනැඟීමෙහි ලා ප්‍රබලව බලපෑවේය. මීට අමතරව දකණු ඉන්දියාවේ පැන නඟුණු නොයෙකත් කලාපීය ව්‍යාපාර ඉන්දියාව තුළම ද්‍රවිඩ ජාතිකවාදයේ මතුවීමට බලපෑ අතර භාෂා පදනම මත ඉන්දියාවේ ප්‍රාන්ත බෙදීම සඳහා වූ උද්ඝෝෂණ ද ශ්‍රී ලාංකේය දෙමළ ප්‍රජාවේ භාෂා සහ සංස්කෘතික සවිඥානකත්වය හැඩ ගැස්වීමෙහි ලා තවදුරටත් බලපෑම් කළේය.

‘ශ්‍රී ලාංකේය දෙමළ ප්‍රජාව’ සහ ‘ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව’ යන කණ්ඩායම් දෙක අතර පැහැදිලි සමාජ සංස්කෘතික වෙනස්කම් අතීතයේ මෙන්ම අද දින ද දැකගත හැකි වුවද මෙම කණ්ඩායම් දෙකම එක් එක් ආකාරවලින් සංස්කෘතික සහ ආධ්‍යාත්මික පෝෂණය සඳහා ඉන්දියාව දෙස බැලීමේ සාමූහික ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. නිසැකවම භාෂා, ආගම, මිථ්‍යා සහ ඉතිහාසය මේ ප්‍රවණතාවේ පැවැත්මට උපකාරී වී ඇත. එමෙන්ම, එය සාමාන්‍ය දෙමළ පුද්ගලයාගේ සවිඥානය තුළ බෙහෙවින් මුල් බැස ගෙන තිබේ. මේ හා සමගම එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික බලපෑම් ද මේ තත්ත්වය තේරුම් ගැනීමේදී වැදගත් වේ. මේ පුද්ගලයන් අතරින් වඩාත් වැදගත් වන්නේ ස්වාමී විවේකානන්ද (1873 – 1902) (2) සහ මහත්මා ගාන්ධි ය (1869 – 1848). ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවට සහ විශේෂයෙන් යාපනයට පැමිණි අතර එහිදී ඉමහත් සාදරයෙන් පිළිගැණුනි. මෙලෙසම දෙමළ සවිඥානකත්වයට බලපෑම් කළ තවත් පුද්ගලයෙකු නම් යාපනයට කිහිප වරක්ම පැමිණි ආනන්ද කේ. කුමාරස්වාමී ය (1877 – 1947). මෙහිදී සුවිශේෂයෙන් සඳහන් කළ යුත්තේ 1906දී යාපනයේ හින්දු විද්‍යාලයේදී කුමාරස්වාමී පැවැත් වූ දේශනයයි. එහිදී ඔහු සාඩම්බරයෙන් තම දමිළ සම්භවය (3) ගැන සඳහන් කළ අතර, දෙමළ භාෂව පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කථා කරමින් “ජාතික පරමාදර්ශ සහ ප්‍රාචීන සම්ප්‍රදායයන් රැකගැනීමේත්, ආරක්‍ෂා කර ගැනීමේත්” අවශ්‍යතාව අවධාරණය කළේය. විවේකානන්දගේ මෙන්ම කුමාරස්වාමිගේ දෙසුම ද දෙමළ භාෂාවට පරිවර්තනය කර ඉතා ඉක්මණින් (4) ප්‍රකාශයට පත් කරන ලදී.

සාමාන්‍යයෙන් පිළිගන්නා කරුණක් නම් ආසියානු රටවල් බොහොමයක දේශපාලන ජාතිකවාදය මතුවීමට පෙර ක්‍රිස්තියානි මිෂනාරි කටයුතුවලට ප්‍රතිචාර වශයෙන් දේශීය ආගමික පුනරුදයක් ඇති වූ බවයි. මෙම කරුණ වශයෙන් වැඩිදුර විස්තර කිරීම අනවශ්‍ය වුවද මතක තබා ගත යුතු කරුණක් වන්නේ අවම වශයෙන් මතුපිටින් හෝ මෙම ආගමික පුනරුදය ද්විත්ව ස්වභාවයක් ගත් බව ය. ක්‍රිස්තියානි පල්ලිවල ආගමික ප්‍රචාරණ කටයුතුවලට ප්‍රතිචාරයක් වශයෙන් දේශීය ආගම් එකිනෙකට වෙනස් ආකාර දෙකකින් ක්‍රියාත්මක විය. එක් කොටසක් තම ආගම් ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිගත් අතර ඒ සඳහා විවේචනයකින් තොරව ක්‍රිස්තියානි පල්ලිවල ඇතැම් භාවිත උකහා ගන්නා ලදී. මේ තත්ත්වය වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබුණේ බටහිරකරණයට නතු වී සිටි ඉංග්‍රීසි උගත් මැද පන්තිය තුළයි. අනෙක් කොටස මූලික වශයෙන් පුනරුදවාදී වූ අතර, සාම්ප්‍රදායික විශ්වාස හා භාවිත ආරකෂා කර ගත යුතු යැයි තර්ක කළහ. මෙහිදී තර්ක කළ හැක්කේ මෙම ප්‍රවණතා දෙකම එකිනෙකින් එතරම් ඈත් නොවූ බවත්, දක්නට තිබූ වෙනස්කම් යථාර්ථයට වඩා හුදු මතුපිට වෙනස්කම් සහිත වූ බවත් ය. ප්‍රතිශෝධනවාදීන් මෙන්ම පුනරුදවාදීන් ද හින්දු උසස් කුළ සාමාජිකයෝ වූහ. (5) මෙහිදී පුතිශෝධනවාදීහු ඉංග්‍රීසි අධ්‍යාපනය ලත් අය වූවා පමණක් නොව, තම ජීවන වෘත්තිය සඳහා ද, සමාජ තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ද ඉංග්‍රීසි භාෂාව භාවිත කළහ. මීට සාපේක්‍ෂව පුනරුදවාදීහු මූලික වශයෙන් සාම්ප්‍රදායික අධ්‍යාපනයක් ලත් අය වූ අතර තම ජීවන වෘත්තිය සඳහා සහ සමාජ සන්නිවේදනය සඳහා තම මව් බස භාවිත කකළෝය. මෙම පදනම මත යමෙකුට තවත් උපන්‍යාසයක් ගොඩනැඟිය හැක. එනම්, ආගමික පුනරුදය සහ ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ප්‍රකාශයට පත් වූයේ තල දෙකක බවයි. තම වඩාත් පුළුල් දර්ශනය නිසා සහ සාම්ප්‍රදායික නොවන සංස්කෘති වෙත වැඩියෙන් අනාවරණය වීම නිසා ප්‍රතිශෝධනවාදීහු ලිබරල් සහ වඩාත් සම්මුතිගත ස්ථාවරයකට එළඹුණහ. එමෙන්ම, ඔවුන් බොහෝ දෙනා තම ලිපි ලේඛන පළකළේ ඉංග්‍රීසි බසෙනි. යමෙකුට මෙය පැහැදිලි කිරීම සඳහා ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමි, ශ්‍රීමත් පී. රාමනාදන් සහ ශ්‍රීමත් පී. අරුණාචලම් යන අයගේ රචනා උදාහරණයට ගත හැක. ඔවුන් සියළු දෙනාම හින්දු ධර්මය සහ ඉන්දීය දර්ශනය පිළිබඳ ප්‍රබල උනන්දුවක් දැක් වූ අතර තම ලිවීමේ කටයුතු කළේ ඉංග්‍රීසියෙනි. ඇතැම් විට ඔවුහු දෙමළ බසින් යම් යම් දෑ ඉංග්‍රීසියට පරිවර්තනය කළහ. එසේ කිරීමේදී ඔවුන්ගේ සිත් තුළ යම් ආකාරයකට පාඨක ප්‍රජාවක් ගොඩනැගී සිටී අතර ඔවුන්ට අවශ්‍ය වූයේ එකී පාඨක ප්‍රජාවට තමන්ගේ සම්ප්‍රදායේ පෞරාණිකත්වය සහ උත්තරීතර බව ඔප්පු කිරීමට ය.

මීට සාපේක්‍ෂව බලන කල පුනරුදවාදීන් තම මව්බස මනා ලෙස ප්‍රගුණ කළ අය වූ අතර, ඔවුන් තම ලේඛන කටයුතු කළේද එම බසිනි. ඔවුන්ගේ පාඨකයන් වූයේ ස්වයං රැකියාවල සහ වෘත්තීන් හි නිරතව සිටි දේශීය බුද්ධි ජීවීන්‍ වූ අතර, ඔවුහු සාමාන්‍යයෙන් ඉඩම් හිමියන් සහ සමාජයේ පිළිගත් පවුල්වල සාමාජිකයන් වූහ. එනම්, මෙම ආගමික පුනරුදය සහ උද්ඝෝෂණය වඩාත් පුළුල් වූ ජාතික තලයේ මෙන්ම පරිස්ථානීය තලයේ ද දැකගත හැකි වූ අතර, ඒ තරල දෙකෙහිම එය වෙත ඇදී ගිය අනුගාමිකයන් සහ බැතිමතුන් දැකගත හැකි විය. මේ පිරිස හඳුන්වා දීම සඳහා ‘ප්‍රභූ’ යන පදය යොදන්නේ නම් ජාතික සහ පරිස්ථානීය ප්‍රභූන් (6) ලෙස වර්ග දෙකක් හඳුනාගත යුතු ය. මෙවැනි වර්ගීකරණයක් කිසිවිටකත් අන්‍යෝන්‍ය වශයෙන් සුවිශේෂී නොවන බව මතක තබා ගත යුතු අතරම එය අපගේ විශ්ලේෂණයට ද මනා ලෙස යොදා ගත හැකි ය.

දෙමළ භාෂාවේ හා සංස්කෘතියේ පුනරුදය සඳහා ආරුමුගම් නාවලර්ගේ දායකත්වය

ශ්‍රී ලංකාවේ හින්දූන් අතර ඇති වූ ආගමික පුනරුදයට මූලික වශයෙන් හේතු වූයේ ආරුමුග නාවලර්ගේ (1822 – 1979) පුරෝගාමී ක්‍රියාකාරකම් ය. ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ දමිළයන් අතර තම ආධ්‍යාත්මික උරුමය පිළිබඳ සවිඥානකත්වයක් ගොඩනැඟීමෙහි ලා නාවලර්ගේ කාර්යභාරය පිළිබඳ විස්තර කථනයක යෙදීමට මම අදහස් නොකරමි. බොහෝ දුරට උතුරු ඉන්දියාවේ ආර්ය සමාජ් සංවිධානය පිහිට වූ දයානන්ද සරස්වතී (1824 – 1883) සමග නාවලර්ව සැසඳිය හැකි ය. උතුරු ඉන්දියාවේ වෛදික ආගමට දයානන්දගෙන් ඉටු වූ සේවයම නාවලර් විසින් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ශිව ආගම සඳහා ඉටු කරන ලදී. අද වන විට ඔහුව හැඳීන්වෙන්නේ නවීන දමිළ ගද්‍යයේ පීතෘවරයා, ප්‍රසිද්ධ දේශන පැවැත්වීමේ ආරම්භකයා, ප්‍රාථමික සහ ද්වීතීය පාසල් සඳහා දමිළ පාඨ ග්‍රන්ථ ලියා පළකළ ප්‍රථම ක්‍රිස්තියානි නොවන පුද්ගලයා, පුරෝගාමී ග්‍රන්ථ විවේචක, භාෂා නවීකාරක සහ ශිව ආගමික පාසල් ආරම්භ කළ පුද්ගලයා ද වශයෙනි.

එදින හින්දු දමිළ ලෝකයේ නාවලර් දැවැන්තයෙකු වූ අතරම පූජ්‍ය පීටර් පර්සිවල්ට බයිබලය දෙමළට පරිවර්ථනය කිරීමට උද්වු කිරීමේදී ලබාගත් ගැඹුරු දැනුමද ඔහු පසුකාලීනව තම කටයුතුවලදී යොදා ගත්තේය. හින්දු දෙවිවරු සහ ශුද්ධ ග්‍රන්ථ ගර්හාවට ලක්කරමින් ලේඛන ප්‍රකාශයට පත්කළ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට විරුද්ධව නාවලර් ක්‍රියාත්මක කළේය. (7) ඔහු ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාරාත්මක අත් පත්‍රිකා ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළ අතර, ක්‍රිස්තියානි ආගම වැළඳගත් අය නැවත ශිව ආගම වෙත හරවා ගැනීමට ව්‍යාපාරයක් ද ආරම්භ කළේය. මෙහිදී ද නාවලර් සහ දයානන්නද සරස්වතී අතර සමානකම් පෙනේ. සරස්වතීගේ ‘ශුද්ධි’ නම් සංකල්පය (නැවත අත්පත් කර ගැනීම හෝ නැවත හරවා ගැනීම) හින්දු ආගමේ සිදු වූ පිපිරීම් ප්‍රතිසංස්කරණය කිරීමට උදව් විය. පුහාරාත්මක අත් පත්‍රිකා රචකයෙකු ලෙස ගත් කල නාවලර් හා සමකළ අය සිටි යේ අතළොස්සකි. ඔහුගේ අනුගාමිකයන් සියල්ලෝම පාහේ නාවලර්ගේ මෙම ප්‍රවණතාව අනුගමනය කළහ. මොවුන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූ අය නම්, ශිව සංඝාර පණ්ඩිතාර් (1829 – 1891), සේනාධිනාථ අයියර් (1848 – 1924) සහ එන්. කදිරවෙල්පිල්ලෙ (1864 – 1907) යන අය වේ. නාවලර්ගේ ක්‍රියාකාරකම් 1888දී ශෛව පරිපාලන සභාව සහ ශිව ආගම ආරක්‍ෂා කර ගැනීම සඳහා කැප වූ සංවිධානය පිහිටුවීමට ඉවහල් විය. එමෙන්ම, 1890දී යාපනයේ හින්දු උසස් පාසල පිහිටුවීමට ද ඔහු මුල් වූයේය. මෙය පසුව හින්දු විද්‍යාලය ලෙස නම් කරන ලදී. The Hindu Organ පුවත්පතේ (1899 ජූලි) පළ වූ කතුවැකියකින් මෙම කරුණ වඩාත් පැහැදිලි කෙරෙයි.

“හින්දුවරුන් වෙනුවෙන් හින්දුවරුන් විසින් පිහිට වූ පාසලක් පිළිබඳ අදහස මීට වසර 30කට පමණ පෙර ප්‍රථමයෙන්ම මතු ‍කළේ අභාවප්‍රාප්ත ආරුමුග නාවලර් තුමා විසිනි. ශිව ආගම සහ සාහිත්‍යය සඳහා ඔහු ඉටු කළ සේවය යාපන‍ය ඉතිහාසයේ එක් යුගයක් සනිටුහන් කරයි. එනමුත්, පාසලක් ඇරඹීම සඳහා ඔහු කළ මුල්ම යෝජනාව මල් ඵල නොගැ‍ණුනේ ඊට අවශ්‍ය සහයෝගය නොලැබුණු නිසා ය. අවාසනාවකට මෙන් එය අපගේ ජාතික පෞරුෂයේ කැළලක් බවට පත්ව තිබේ. කෙසේ වුවද, ඔහු ආරම්භයක් වශයෙන් වන්නාර් පොන්නායිහි පාසලක් පටන් ගත් අතර, වෙස්ලියානු මිෂනාරීන්ගේ විරුද්ධත්වය නිසා රජයේ ප්‍රදානයක් ලබා ගැනීමට ලියාපදිංචි කිරීම රජය විසින් වළකන ලදී. නාවලර්ගේ අදහසට ප්‍රායෝගිකත්වය ලබා දුන්නේ ශෛව පරිපාලන සභාව මගිනි. ඒ අනුව, 1980දී යාපන හින්දු පාසල ආරම්භ කරන ලදී.

නාවලර් විසින් ඉටුකරන ලද අද්වීතීය කාර්යභාරය ආගිමක සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රවලට පමණක් සීමා වූයේ නැත. සැබැවින්ම ඒ ක්‍ෂේත්‍රවල ඔහු කළ සේවය සුවිශේෂී මෙන්ම දීර්ඝ කාලීන බලපෑම් සහිත ඒවා ය. එනමුත් ඔහුගේ කාලයේ ජීවත් වූ අන් දමිළ ආගමික ප්‍රතිශෝධකයන් හා සසඳන විට නාවලර් සතු වූ සමාජ දැක්ම බෙහෙවින් ඉදිරිගාමී එකක් විය. යාපනයේ දිසාපති ඩබ්. සී. ට්විසිහැට් ගේ ක්‍රියාකලාපය බෙහෙවින් අපකීර්තියට පත්ව තිබූ අතර ඔහුට විරුද්ධ ව්‍යාපාරයට නාවලර් තම පූර්ණ සහාය ලබා දුනි. ඔහු 1876දී ඇති වූ දුර්භික්‍ෂයෙන් පීඩාවට පත් වූවන්ට ආහාර පාන සපයමින් සහනාධාර ද ලබා දුන්නේය. එමෙන්ම, සීමාසහිත යාපනය සහ මඩකළපුව වෙළඳ සහ කෘෂිකර්ම සමාගම පිහිටුවීමේ ප්‍රධාන බලවේගය ඔහු වූ අතර, එහි ප්‍රධාන අරමුණු වූයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මය සංවර්ධනය කිරීමයි. 1879දී ඔහුගේ මරණයට මද කලකට පෙර ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට දෙමළ නියෝජිතයෙකු ලෙස පී. රාමනාදන් පත් කරගැනීමේ ව්‍යාපාරයට ද නාවලර් ගුමා සහයෝගය දැක්වීය. මේ පුරප්පාඩුව ඇති වූයේ 1879 මැයි මස දී ශ්‍රීමත් එම්. කුමාරස්වාමි අභාවප්‍රාප්ත වීම නිසා ය. ව්‍යාපාරිකයන්, නොතාරිස්වරුන්, ඉංජිනේරුවරුන්, ගම් ප්‍රධානීන්, උඩෛයාර්වරුන් සහ උප මහේස්ත්‍රාත්වරයෙකුද ඇතුළු යාපනයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රැස්වීමක් කැඳ වූ නාවලර්, අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ජෙම්ස් ආර්. ලොන්ඩන් වෙත යැවීම සඳහා ලිපියක් සම්පාදනය කළේය. එහි අන්තර්ගතය වූයේ පී. රාමනාදන් තම ප්‍රජාවේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් පත් කරන ලෙස කළ ඉල්ලීමයි. මේ අනුව නාවලර්, රාමනාදන්ට ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙමින් ඔහුට ප්‍රසිද්ධ ජීවිතයේ ඉහළට නැඟීමට අවශ්‍ය අවස්ථාව ලබා දුන්නේය. නාවලර්ට ඔහුගේ ආගමික උනන්දු සහ ප්‍රජාවට බෙහෙවින් වැදගත් වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකට සම්බන්ධ කිරීමට හැකි වූ අතර, එතුළින් සමාජ, දේශපාලන සහ ආගමික කටයුතු මුසු කරන ලදී. දෙමළ ප්‍රජාව තුළ පසුකාලීනව ඇති වූ සංස්කෘතික පිබිදීමට මෙය මහඟු දායකත්වයක් සපයනු ලැබීය.

එනමුත් මෙහිදී අවධානය යොමුකළ යුතු තවත් පැතිකඩක් තිබේ. නාවලර් දේශන පවත්වමින් සහ ලිපි ලේඛන ප්‍රකාශයට පත් කරමින් වසඑ කිහිපයක් ගත කළේය. එනමුත් තවත් බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයේ තානාන්තර හොබවමින් සහ පසුකාලීනව ඉතාමත් විරළ ලක්‍ෂණයක් ලෙස සැළකුණු දැඩි උද්‍යෝගයකින් තම කෘති පළ කරමින් තම තමන්ගේ මුළු ජීවිත කාලයම පාහේ දකුණු ඉන්දියාවේ ගත කළහ. මේ අය අතරට සී. ඩබ්. තාමෝදරම් පිල්ලේ (1832 – 1901), වී. කනගසබේ පිල්ලේ (1855 – 1906), ටී. චෙල්ල්ප්පා පිල්ලේ, ටී. ඒ. රාජරත්නම් පිල්ලේ, ටී.ටී. කනගසුන්දරම් පිල්ලේ (1863 – 1903), ඒ. මුතුතම්බි පිල්ලේ (1858 – 1917) සහ එන්. කදිරවේල් පිල්ලේ (1874 – 1907) ඇතුළත් කළ හැක. ඔවුන් වරින් වර යාපනය වෙත පැමිණ, තම තමන්ගේ ගම්වල පාසල් පිහිට වූ අතර, ඇතැම් අවස්ථාවල වෙනත් අයට මදුරාසියේ රැකියා ලබාගැනීමට ද උදව් කළහ. මදුරාසිය හා යාපනය අතර, මෙවැනි සමීප සම්බන්ධතා ඇති වීම නව සංසිද්ධියක් විය. සැකයකින් තොරව එකම භාෂාව කථා කළ සහ සාමූහික සංස්කෘතික සම්ප්‍රදායයන් ගරු කළ මේ ප්‍රදේශ දෙකේ සිටි පුද්ගලයන් අතර බොහෝ කලක සිට සම්බන්ධතා පැවතුණි. එනමුත්, මීට පෙර තිබූ සම්බන්ධතා කඩින් කඩ සහ කලාතුරකින් සිදු වූ ඒවා විය. මේ යුගයේ වෙළඳුන්, සොල්දාදුවන් සහ තෘප්තිය හා වික්‍රමය සොයමින් සංචාරය කළවුන්ගේ ප්‍රමාණය ශාස්ත්‍රඥයන්ගේ සහ කවීන්ගේ ප්‍රමාණයට වඩා වැඩි වූවා විය හැකි ය. බ්‍රිතාන්‍ය පාලනය යටතේ නිදහසේ ඉන්දියාවට ගමන් කිරීමට තිබූ අවස්ථා පැරණි සබඳතා ප්‍රකෘතිමත් කළ පමණක් නොව, වෙනස් ගුණාත්මක තත්ත්වයක තිබූ අලුත් සබඳතා ද ජනිත කළේය. දකුණු ඉන්දියාවේ දෙමළ ප්‍රජාව සමග තම ජීවිතය ගත කරමින් සහ වෘත්තීය කටයුතුවල යෙදී සිටි මේ ශ්‍රී ලාංකේය ශාස්ත්‍රඥයන් දිශානති දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වූ අදහස් ගලනයකට පතනම් සැපයූ අතර, එමගින් නව යුතගයක් උදා කරනු ලැබීය. මේ ශාස්ත්‍රඥයෝ තමන් ප්‍රධාන ප්‍රවාහයේ දමිළ සංස්කෘතියේ සාමාජිකයන් යැයි පිළිගත් අතර එකී සංස්කෘතියෙන් උකහා ගත් තරමටම ඊට දායකත්වය ද ලබා දුන්හ.

(මතු සම්බන්ධයි)

කේ. කෛලාසපති

© කොළඹ ආයතනය

සටහන්:

1. මෙම නිබන්ධය මහාචාර්ය කේ. කෛලාසපති විසින් 1982දී පැවැත් වූ ප්‍රථම පුනිතම් තිරුචෙල්වම් සමරු දේශනයේ සංස්කරණය කළ පිටපතකි. එය ප්‍රථමයෙන් ඉංග්‍රීසි බසින් පළ කළේ කලාළය දෙමළ කාන්තා සංගමය මගිනි (1982).

2. ශ්‍රී ලංකාවට ස්වාමී විවේකානන්දගේ පැමිණීමේ ඇති වැදගත්කම තේරුම් ගැනීම සඳහා කියවන්න, කේ. කෛලාසපතිගේ ‘The Impact of Swami Vivekananda on Hinduism in Sri Lanka; Golden Jubilee Souvenir’ රාමක්‍රිශ්ණ මීසම, ශ්‍රී ලංකා කේනද්‍රය, 1980.

3. කුමාරස්වාමිගේ පියා දමිළ ප්‍රභූවරයෙකු වීම ඔහුගේ යාපනයේ ගමනට වැඩි වැදගත්කමක් දුන්නේය. තම දේශනයේදී කුමාරස්වාමි විසින් තම පියාව හඳුන්වනු ලැබුවේ ඔහුගේ කාලයේ ජීවත් වූ කැපී පෙනෙන ලාංකික දමිළයෙකු වශයෙනි.

4. මෙම ප්‍රකාශනවල පරිවර්ථකයා සහ ප්‍රකාශකයා වූයේ ඒ. ඒ. මුතුතම්බී ය.

5. ඩී. පී. මුකර්ජි, Sociology of Indian Culture (ජායිපූර්, 1979) යන තම කෘතියෙන් ප්‍රකාශ කරන්නේ ‘බ්‍රහ්ම සමාජ්, ආර්ය සමාජ් සහ ප්‍රාර්ථනා සමාජ් යන සියල්ලම උසස් කුල සඳහා සේවය කළ බවයි.’ (1979: 25 පිට)

6. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් නම් සමාජයේ අධ්‍යාපනයක් ලත් පුද්ගලයන් තමන් ප්‍රභූන් ලෙස ස්ව සවිඥනකත්වයකින් යුක්ත වීමයි. උදාහරණයක් ලෙස, The Hindu Organ (03.02.1897) පුවත්පත ස්වාමි විවේකානන්ද යාපනයට පැමිණි අවස්ථාවේ ඔහුව පිළිගැනීමට පැමිණි පුද්ගලයන් පිළිබඳව පහත සඳහන් ප්‍රකාශය කර තිබුණි. “ඉරුදින උදෑසන ස්වාමි විවේකානන්දගේ සපැමිණීම ගෞරවයෙන් බලපොරොත්තු වෙමින් හින්දු සමාජයේ ප්‍රභූ සාමාජිකයෝ සියයක් පමණ එක් රැස්ව සිටියහ.”

7. නාවලර් පිළිබඳ අමතර තොරතුරු සඳහා කියවන්න, කේ. කෛලාසපතිගේ Arumugam Navalar: The Central Years 1834 – 1848 (යාපනය, 1979). එසේම මේ සඳහා පාක්‍කියනාදන් අහිලාන්ගේ නිබන්ධයද (පඨිත තෙවන වෙළුම, 2004) සහ බර්නාඩ් බේට්ගේ නිබන්ධය ද (ශ්‍රී ලාංකීය සමාජය සහ සංස්කෘතිය පාඨනය කිරීම: 2000 – 2006, තෙවන වෙළුම 2007) පරිශීලනය කළ හැකිය.

JDS වෙබ් අඩවියෙන් උපුටා පළකිරීමකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.