ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න දෙමළ ඩයස්පෝරාවෙන් දේශපාලන පක්ෂයක්

දේශපාලන

මෙරට සංවර්ධනය උදෙසා ඩයස්පොරාව දායක කර ගැනීම සංහිඳියාවට මඟපාදන සුබවාදී පියවරක් බව විශ්ලේශකයින් පෙන්වා දෙන අතරතුර ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ මෙය ලැජ්ජාවට කරුණක් බවයි.

මේවන විට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අවතීරණ වීම උදෙසා දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට ද දෙමළ ඩයස්පොරාව පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන්වා ගැනීමේ අරමුණින්, මේවන විට තහනම් කර ඇති ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවත් කරයිද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

දෙමළ ඩයස්පෝරාව “මව්බිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇතැයි දෙමළ ඩයස්පෝරාවේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක නිමලන් විශ්වනාදන් බී.බී.සී ය වෙත පැවසීය.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා තරග කිරීමට සුදානම් වන බව ඔහු සඳහන් කරයි.

දැනට ශ්‍රී ලංකාව තුළ මතුව ඇති විදේශ විනිමය අර්බුදයට කඩිනමින් විසදුම් ලබා දීමේ හැකියාව දෙමළ ඩයස්පෝරාවට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට සුදානම් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

දේශපාලන පක්ෂය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිය හරහා මෙරට දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට අමතරව මෙරට වෙසෙන සිසුන්ට යුරෝපය ඇතුලු බටහර රටවල අධ්‍යාපනය ලැබීමට සහ රැකියා අවස්ථා ලබා දීමට දෙමළ ඩයස්පෝරාව සුදානම් බවයි.

තවද ශ්‍රී ලංකාවේ අපනයනය ශක්තිමත් කර විදේශ රටවල පිහිටි සුපිරි වෙළඳසැල් සඳහා මෙරට නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කිරීමට ද දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ලබා දීමටද බලාපොරොත්තුවේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාකාරීව පැවති කාලය තුලදී තම අරමුදල් එම සංවිධානයට ලබා දුන් නමුත් 2006 වසරේ සිට එම අරමුදල් එල්.ටී.ටී.ඊ. සංවිධානයට ලබා දීම අත්හිටවු බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව දැනට ඉතිරිව ඇති සියයට 70%ක පමණ විදේශ විනිමයක් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට යෝජනා වී ඇති අතර මෙහිදී ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 15ක මුදලක් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට දෙමළ ඩයස්පෝරාව සුදානම් වෙයි.

ඒ සඳහා අවශ්‍ය ආයෝජන කිරීමට යුරෝපයේ මෙන්ම බටහිර රටවල සිටින ලක්ෂ 17කට ආසන්න දෙමළ ජනතාවක් සුදානමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය ඒ සඳහා සහයෝගය ලබා දෙන්නේ නම් එම විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ලබා දීමට ඔවුන් කැමැත්ත පළකර තිබේ.

දැනට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට සාර්ථකව මුහුණ දීමටත්, විදේශ සංචිත වර්ධනය කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරන බව විශ්වනාදන් කියා සිටියේය.

ඔහු පැවසුවේ, තම සංවිධානය මැදිහත් වී වසර 3ක් ඇතුලත ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාමට අවශ්‍ය වේදිකාවක, සැලසුම් රැසක් රජය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට දියුණු කිරීමට අවශ්‍යතාවය තිබුණත් ඇමති මණ්ඩලයට ඒ සඳහා උවමනාවක් නොමැති බව ඔහුන්ගේ හැසිරීමෙන් පෙනී යන බව විශ්වනාදන් සඳහන් කළේය.
තමන් කිහිප අවස්ථාවකදීම මෙරට විදේශ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රධාන පෙළේ මැති ඇමතිවරු කිහිපදෙනෙකුම හමු වී ඇතත් ඔවුන් සෑම මොහොතකම කොමිස් මුදල් බලාපොරොත්තු වූ බවත් එසේ කොමිස් මුදල් නොලැබීම නිසා උදාසීනව හැසිරෙන බවත් ඔහු පවසා සිටියේය.

එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන ඒම පිළිබඳව ගැටළුවක් වී ඇති නිසා ජනාධිපතිවරයාගේ අවධානය මෙන්ම මැදිහත්වීමක් සිදුවිය යුතු බව දෙමළ ඩයස්පෝරාවේ සම්බන්ධීකාරක නිමලන් විශ්වනාදන් වැඩිදුරටත් සඳහන් කළේය.

දෙමළ ඩයස්පෝරාවේ සිටින සෑම අයෙකුම පාහේ පසුගිය යුද ගැටුම් ඇතිවූ කාලයේ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට සංක්‍රමණය වූ ද්‍රවිඩ ජනතාව බවට ඔහු පැවසීය.

“රට ගොඩ නැඟීමට එක්ව කටයුතු කරමු “

දෙමළ ජාතික සන්ධානය සමඟ මාර්තු (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කර සිටියේ රජය සමග එක්ව කටයුතු කරන ලෙසයි.

දේශපාලනිකව වෙනස් මතයක් තිබුණද , ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එක්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය. තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියා කරමින් ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

තවදුරටත් එක් ව කටයුතු කිරීමෙන් උතුරු – නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටු කර, රට සංවර්ධනය කරා ගෙන යා හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමඟින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සඳහන් කළේය.

රටක් ලෙස අප එකතු විය යුතුයි. එක රටක්, එක ජාතියක් ලෙස ක්‍රියා කරමින් පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව සම්බන්ධන් කියා සිටියි. ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත් වනු දැකීමට තමන් කැමැත්තෙන් පසුවන බව ද ආර්. සම්බන්ධන් පැවසීය.

දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදා ගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම, නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක් විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම, උතුරු – නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානයට යොමු කෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, අලී සබ්‍රි, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිදාර්ථන්, එම්.ඒ. සුමන්දිරන්, චාල්ස් නිර්මලනාදන්, ශානක්‍යයන් රාජපුත්‍තිරන්, තවරාජා කලෙයි අර්සන් සහ මාවයි සේනාධිරාසා යන මැති ඇමතිවරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

උතුරු – නැගෙනහිර සංවර්ධන අරමුදලක්

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම පිළිබඳ අවධානය යොමුවී ඇත. විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පොරාව සතු මුදල් මෙරට ආයෝජනය පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් කියා සිටියේ “ඩයස්පොරාවේ හුඟක් දෙනෙක් මෙතනට ඇවිල්ලා ආයෝජනය කරන්න කැමතියි.අනික දැන් ඒක කරනවා නම් මම කිව්වා සමහර ඩයස්පොරා සංවිධාන තහනම් කරලා තියෙනවා දැනට. ඉතින් එහෙම තහනමක් තියාගෙන රජයට බැහැ ආයෝජනය කරන්න කියලා ඉල්ලන්න.”

දැනට වාර්තා වන පරිදි ඩයස්පොරා සංවිධාන 05කට හා පුද්ගලයින් 300කට අධික සංඛ්‍යාවකට රජය විසින් තහනම් පනවා ඇති අතර සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසා සිටියේ නැවත වරක් මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි.

“ඒ තහනම ඉවත් කරා නම් බලය බෙදීමේ ක්‍රමය සම්බන්ධයෙන් අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන්. අපිට විශ්වාසයි හුඟදෙනෙක් එයි මෙතනට ෆොරින් එක්ස්චේන්ජ් ගෙනල්ලා ආයෝජනය කරන්න.”

ඔහු පවසා සිටියේ ආයෝජන ගෙන්න ගන්න ඕන වාතාවරණය සකස් කරන බවට රජය පොරොන්දු වූ බවයි.

කෙසේවෙතත් දෙමළ ජාතික පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියාසිටියේ “ජාතික ආරක්ෂාව කියලයි තහනම් කළේ, ඒකත් අමතක කරලා තහනම ඉවත් කරන්න කටයුතු කරන්න සූදානම් කියලා ඔවුන් පවසනවා නම් මේකට හේතුව ජාතික ආරක්ෂාව නෙමෙයි, මෙතන ජාතිවාදය විතරයි තියෙන්නේ.”

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අද ආර්ථික වශයෙන් විනාශයට පත්වෙලා තියෙන අවස්ථාවක යම්කිසි ආකාරයකට ඩයස්පොරා සංවිධානවල තහනම ඉවත් කිරීමට පවා රජය දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමට එකඟව අදහස් පළකර ඇති බවයි.

ඉන්දියාවේ ප්‍රසාදය

රජය හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාව ගැන ඉන්දියාව තම ප්‍රසාදය පළ කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ආර් සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීය.

රජය සහ TNA අතර මාර්තු 25 රැස්වීම කෙරෙහි අවධානය යොමු කරමින් TNA නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත නවතම වර්ධනයන් පිළිබඳව විස්තර කළහ. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඩයස්පෝරා ආයෝජන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සියලු අන්තර්ක්‍රියා වලදී රජයේ-ටීඑන්ඒ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ධනාත්මක වර්ධනයන් පිළිගත්තේය. එක්සත් ශ්‍රී ලංකා රාමුව තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දීය රජය නිරන්තරයෙන් සහාය දක්වන බව ඔහු අවධාරණය කළේය.

උතුරු නැගෙනහිර ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉන්දියාවේ සංවර්ධන හවුල්කාරිත්වයේ දායකත්වය ද සියලු රැස්වීම්වලදී ඇගයීමට ලක් විය.

ඩයස්පෝරාවෙන් ආධාර උපකාර ලබා ගැනීමට සූදානම් වීම ලැජ්ජාවට කරුණක්

ඩයස්පෝරාවෙන් ආධාර උපකාර ලබා ගැනීමට සූදානම් වීම ලැජ්ජාවට කරුණක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මාවනැල්ලේදී පසුගියදා ප්‍රකාශ කළේය.

උන්වහන්සේ පෙන්වා දුන්නේ “සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් අපිට දකින්න ලැබෙන්නේ රජය තවත් උගුලකට යොමු වෙමින් පවතින බවයි .දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ශ්‍රී ලංකාව සංවර්ධනයට ලබාගත හැකි බවත් ඒ සදහා අතරමැදියන් හැටියට ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙන බවට යන කතාව මහත් සැකයට භාජනය වනවා”

“රජය පත්වී තිබෙන මේ අතිශය දුර්වල තත්ත්වයේ දී මේ අවස්ථාව උපයෝගී කරගෙන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ බලය ව්‍යාප්ත කර ගන්න ඩයස්පෝරාව බලනවා. රට දෙකඩ කිරීමට ත්‍රස්තවාදී සිදුවීම් සිදු කළ, වෙනම රාජ්‍යයක් ලබාගැනීමට කටයුතු උත්සාහ කළ, අනුබල දුන් සංවිධාන විශේෂයෙන්ම තහනම් සංවිධානයක් හැටියට සම්මත වෙලා තියෙන යුගයක දෙමළ ඩයස්පෝරාවෙන් ආධාර උපකාර ලබා ගැනීමට සූදානම් වීම ලැජ්ජාවට කරුණක්” උන්වහන්සේ කියා සිටියේය.

“ගේන සල්ලි කළු ද සුදු ද කියලා බලන්න එපා”

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටියේ, දෙමළ ඩයස්පොරාව සහ සිරගත කරන ලද එල්.ටී.ටී.ඊ සමාජිකයින් පුනුරුත්තානපනය සම්බන්ධයෙන් මීට සාකච්ඡා වුවුත් එය අන්තවාදී සහ ත්‍රස්තවාදී ස්වරූවයක් ගත් බවයි.

ඔහු අවධාරණ කළේ “ඒක කළ යුතුයි. කවුරුන් හෝ කළ යුතුනේ. ගිය ආණ්ඩුවෙන් කරද්දි දිගින් දිගට විරුද්ද වුණා සංඝරත්නය සහ සිංහල ජාතික සංවිධාන විසින්. මීනීමරුවෝ සමාව දීලා එලියට එන වෙලාවේ. ඒ මිනිස්සු කවදහරි නිදහස් කරන්න ඕනේ. සාදාකාලිකව හිරේ දාල තියන්න බැහැ.” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඔහු කියා සිටියේ “යම් කෙනෙක් අර්ථකතනය කරන්න පුළුවන් මේක දෙමළ ජාතිවාදය, ත්‍රස්තවාදය ඉලිප්පෙන විදහට. මම නම් හිතන්නේ මේක හොඳ දෙයක්. ඒ දේ කළ යුතුයි.”

මහාචාර්ය අමින්ද මෙත්සිලි අවධාරණය කළේ “ඩයස්පෝරාව කිව්වම විදෙස් ගතව සිටින ලාංකිකයොනේ. දෙමළ ඩයස්පෝරාව වුනත් මේ රටේ මිනිස්සු. ඔවුන් නැවත මේ රටට ගෙන්ව ගෙන, ඒ අයගේ ආයෝජන ගෙන්වා ගැනීමේ කිසිදු වරදක් නැහැ. හැබැයි ඒ හැම එකක්ම මහ බැංකුව හරහා, නිවැරදි මාර්ගයෙන් ලංකාවට එන විදිහට වැඩ කරන්න ඕනේ.”

“ආණ්ඩුව දැන ගන්න ඕනේ ඒ මුදල් අවභාවිත නොකර ආයෝජනයට යොමු කරන්න.” ඔහු කියා සිටියේය.

“අපි සිංගප්පුරුවට යන කොට ඔවුන් අහන්නේ නැහැ අපි ගේන සල්ලි කළු ද සුදු ද කියලා. ඔවුන් බලන්නේ කොච්චරක් අරන් එනවද කියලා. නමුත් අපි ඕනෑවට වඩා සූජාතභාවයක් හොයනවා නේ.”

“ඒ ගේන සල්ලි කළු ද සුදු ද කියලා බලන්නේ නැතිව කටයුතු කිරීමයි වැදගත්” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

“මේ වෙලාවේ ඒක හොඳ තීරණයක් ඩයස්පෝරා එකට ආරාධනා කිරීම සහ එකෙන් අපේ රටේ සම්මුතියක් ඇති කරන්න පුළුවන්. සධාකාලික ප්‍රතිවිරුද්ධවාදී වෙන්න බැහැනේ. ඔහු වැඩිදුරටත් පැවසීය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා කියා සිටියේ “උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනයට අරමුදලක් තිබ්බොත් හොඳයි. හොඳ අදහසක් ඒක.”

“හැබැයි කව්ද මොනිටර් කරන්නේ. පාර්ලිමේන්තුව ද මහ බැංකුව ද, පළාත් පාලන ආයතන මගින් ද කියලා බල්නන ඕනේ. උතුරු – නැගෙනහිර පළාත්වල තත්ත්වය අනුව ඒ පළාත් දියණු කරන්න අරමුදලක් අවශ්‍ය” බවද ඇය පැවසුවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *