7 ජූලි 2023
මෙරට යටත් විජිත අතීතය සිහිපත් කරන විශේෂිත දුම්රියක් වන වයිස්රෝයි ස්පෙෂල් ( Viceroy Special ) දුම්රියෙන් මනස්කාන්ත ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ට 38 වසරකට පසු අවස්ථාවක් උදාවිය.
මෙම ඇල්ල ඔඩිසි චාරිකාව සංවිධාන කර තිබුණේ, ශ්‍රී ලංකාවේ නිදහස මෙන්ම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට 75 වසරක් සපිරීම සනිටුහන් කරමින්ය.
විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංචාරය සංවිධානය කර තිබුණි.
ඇල්ල ඔඩිසී දුම්රිය සංචාරය සඳහා විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 27 දෙනෙකු එක්වෙයි
සංචාරයට එක්වූ විදෙස් තානාපතිවරු කවුද ?
ඇල්ල ඔඩිසී දුම්රිය සංචාරය සඳහා විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 27 දෙනෙකු එක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේය.
කොළඹ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්, ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ප්‍රංශ තානාපති ජීන්-ෆ්‍රන්සුවා පැක්ටෙට්, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටේපන්ස්, ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ මහ කොමසාරිස් ආචාර්ය රොජර් ගෝපෝල්, ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි, බෙල්ජියම් තානාපති යර් වැන්ඩර්හසෙල්ට්, පේරු ජනරජයේ තානාපති ජැවියර් මැනුවෙල් පොලිනිච් වෙලාර්ද් ඒ අතර වූ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්ට අමතරව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනකු ද සංචාරයට එක්ව තිබේ.
ජුලි මස 01 වෙනිදා සිට ජුලි මස 03 වෙනිදා දක්වා සිදුකෙරුණු මෙම සංචාරය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ කල්පවත්නා සබඳතා තවදුරටත් පිළිඹිබු කිරීමක් ලෙස සැලකෙයි.
සංචාරයට එක්වු කොළඹ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්
සංචාරය කළේ කොහෙද?
චාරිකාවේ නිරත විදෙස් රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානීන්ට ශාන්ත ක්ලෙයාර් ඇල්ල, ජෛව විවිධත්වයෙන් යුත් නකල්ස් කඳුවැටිය සහ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටි පට්ටිපොල, 20 වන සියවසේ විශ්මය ජනක ඉදිකිරීමක් වන ඇල්ල ආරුක්කු නවයේ පාලම සහ දෙමෝදර දුම්රිය ගැටය දැක බලා ගැනීමට ද අවස්ථාව උදාවිය.
කොළඹ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් සමග දෙමෝදර ආරුක්කු නමයේ පාලම අසලදී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින දූත මණ්ඩල ප්‍රධානීන්
පේද්‍රෝ තේ වතුයායෙදී ලෝකප්‍රකට “ සිලෝන් ටී” තේ හී රස බැලීමට ද මෙම විදේශ දුත මණ්ඩල ප්‍රධානීන්ට අවස්ථාව හිමි වුණි.
38 වසරකට පසු විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් උඩරට ට රැගෙන ගිය වයිස්රෝයි දුම්රිය
වයිස්රෝයි ස්පෙෂල් දුම්රිය සිය මුලික ගමන ලෙස මීට වසර 38 කට පෙර එනම් 1985 වර්ෂයේ දී මෙරට සේවයේ නියුතු දුත මණ්ඩල නිලධාරීන් රැගෙන කොළඹ සිට මහනුවර බලා සංචාරයක නියැළුණු බව හිටපු විදේශ සේවා නිලධාරියෙකු වන අරුණ කුලතුංග බීබීසී සිංහල වෙත පැවසීය.
” මේකේ අතීත කතාවකුත් තියනවා. වයිස්රෝයි ස්පෙෂල් දුම්රියෙ මුලික ගමන සිදුකළේ 1985 දී. මේකේ මුලික ගමන ගියේ විදේශ දුත මණ්ඩල රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක්. මම එදා ඒ ගමනට මාධ්‍යවේදියෙක් ලෙස එක්වුණා.”
“එදා ගමන ගියේ කොළඹ සිට මහනුවර බලා. ඒක දවසක සංචාරයක්.” ඔහු පැවසුවේ ය.
අතීත යුගයේ භාවිතා කළ දුම්රිය සංඥා ක්‍රියාවලියක් සහ තවමත් මෙරට දුම්රිය මාර්ගවල ඉතා සූක්ෂම ලෙස පිළිපදින සංඥා ටැබ්ලට් පද්ධතිය නැරඹීමටද ඔවුන්ට අවස්ථාව සැළසුණි.
කදිරගාමර් – මංගල ඇමතිවරුන්ගෙන් පසු අපට අත්හැරුණු වගකීම
ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු විදේශ මණ්ඩල දූත පිරිස් සඳහා මෙවැනි සංචාර ලංකාව තුළ අඛණ්ඩව සිදුනොවුන ද මෙවැනි කටයුතු සිදුකිරිම ඉතා වැදගත් යැයි ඔහු පැවසුවේය.
“ඕකට කියන්නේ පබ්ලික් ඩිප්‍ලෝමසි කියලා. ලක්ෂ්මන් කදිරගාමර් සහ මංගල සමරවීර ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරුන්ගේ කාල සීමාවේ ඇරෙන්න පබ්ලික් ඩිප්‍ලෝමසි කියන එකට කිසිම කෙනෙක් වැඩ කරලා නැහැ.”
“එතකොට ඒකට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි දේශපාලනික වශයෙන් අපි එච්චර දියුණුවක් වෙලා තිබුනේ නැහැ. විදේශ ඇමතිවරුන්ගේ මේ වගේ පබ්ලික් ඩිප්‍ලෝමසි එකට යන්න. අනිත් එක් තමයි පබ්ලික් ඩිප්‍ලෝමසි කියන එකට යන්න අපේ බියුරෝ එකේ ගොඩක් අය කැමති නෑ. ඇයි ඒ අයට වැඩ වැඩි වෙනවානේ.”
“ඔන්න ඔය කාරණා දෙක හින්දා අපි පබ්ලික් ඩිප්‍ලෝමසි කියන එක වර්ධනය කරලා නැහැ ලංකාවේ.”
“මේ වගේ එකක් වෙන එක ඇත්තටම පබ්ලික් ඩිප්‍ලෝමසි කියන එකට හොඳ දෙයක් කියලා මම දකිනවා. ”
“අපි ඩිප්‍ලෝමැටික් කට්ටිය එක්ක ලියුම් විතරක් යවලා වැඩ කරන්නේ නැතුව, කට්ටිය එකතු කරන් විනෝදයක් ලබන ගමන් කොළඹින් පිට මෙහෙම රටක් තියනවා කියලා ඒ අයට පෙන්වන්න පුළුවන්.” ඔහු පැවසුවේ ය.
දූත මණ්ඩල ප්‍රධානීන් නුවරඑළිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද හමුවී සුහද පිළිසඳරක නිරත විය
විදේශ රාජතාන්ත්‍රිකයින් සමග ඇති කර ගන්නා සහයෝගය වැදගත්
බහු දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාව මෙරට රාජතාන්ත්‍රික සේවයේ නියුතු දුත මණ්ඩල නිලධාරීන් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගීම ඉතා වැදගත් බවත් මෙවැනි සංචාරයන් ඊට මනාව උපකාරී වන බවත් හිටපු විදේශ සේවා නිලධාරියෙකු වන අරුණ කුලතුංග වැඩිදුරටත් පැවසුවේ ය.
ඔහු පැවසුවේ මෙම චාරිකාව මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම රාජතාන්ත්‍රික වශයෙන් ද නව සහයෝගිතාවයක් ඇති වන බවය.
(BBC Sinhala)