වසංගතයෙන් ධනය ඉපයීම- රූපකමය කවුළුවක්- ලියනගේ අමරකීර්ති

දේශපාලන

කොරෝනා මර්දන අරමුදලට එකතු වූ කෝටි ගණන් මුදල් වැය වූයේ කෙසේදැයි ලංකාවේද ප්‍රශ්න නැගී තිබේ. වසංගතය මර්දනය ආශ්‍රිත නොයෙක් කටයුතුවලින් මුදල් ඉපැයීමේ අවස්ථාව නොයෙක් දෙනාට ලැබී තිබෙන බව ඇත්තය. ලංකාවේ ඒ වැඩ ගැන කරුණු ටික ටික හෙළි වෙමින් තිබේ. ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් කොරෝනාව ගරානාවක් කරගත් ආකාරය ගැන ඉතා හොඳ ලිපි ලියවෙමින් තිබේ. මේ එන්නේ මහාචාර්ය ඨිති භට්ටාචාර්ය විසින් ලියන ලද ලිපියක් ඇසුරින් කළ කෙටි රචනයකි. ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක වන ඇය මෙම ලිපිය ලිව්වේ Spectre සඟරාවටය.


( Tithi Bhattacharya, Professor of South Asian History, Purdue University)

ජනසංහාරක දේශපාලකයන්

ඇය සිය ලිපිය ආරම්භ කරන්නේ මෙසේ කියමිනි: “ඉන්දියාවේ සිදුවන්නේ මහා ජන සංහාරයකි. එය කරන්නේ ඒ වැඩවලට හොඳ පළපුරුද්දක් ඇති මිනිසෙකි.” ඒ මිනිසා යනු ඇගමැති නරේන්ද්‍ර මෝදිය. ඉන් පසු ඇය තව ප්‍රවාදයට හේතු විස්තර කරයි.

පසුගිය වසරේ කොරෝනා පළමු රැල්ල ආ පසු රට වසා දැමිණි. ආසාධිතයන්ගේ ගණන අඩු විය. මේ මාර්තු මාසයේ මෝදි වෛරසයට එරෙහිව තම යුද්ධය ජයග්‍රහණය කළ බව නිවේදනය කළේය. මහා භාරතයේ මහා යුද්ධය දවස් 18 කින් අවසන් වූ අතර තම කොරෝනා යුද්ධය දවස් 21 කින් අවසන් වනු ඇති බව ඔහු කීවේය.

ලංකාවේ වීරෝදාර ජයග්‍රහණ ගැන කියාපෑම්ද නිකමට සිහිකරගන්න.

ඉන්දියාව කොරෝනා යුද්ධය ජයග්‍රහණය කළ බව කියා සිටි අතර ඒ වන විට නිෂ්පාදනය වෙමින් තිබුණු එන්නත ගැන ආණ්ඩුව උදම් ඇනුවේය. එන්නත් මාත්‍රා මිලියන 55ක් රටවල් 62කට ඒ වන විටත් විකුණා ඇති බව ආණ්ඩුව කීවේය. හින්දුත්ව ජාතිකවාදය සහ ධනවාදය අතර විවාහය හරි අපූරුවට සිදුවිය. අපේ ජාතිකවාදයේ දැවැන්ත ව්‍යාපාරිකයන් ගැන මොහොතකට සිතන්න.

කොරෝනා එන්නත යුරෝපය, ඇමරිකාව වැනි ගෝලීය උතුරුකර රටවල නොමිලේ ලබා දුන් අතර ඉන්දියාවේ එසේ නොවිණි. Serum Institute of India යනු ඉන්දියාවේ ප්‍රධානතම එන්නත් නිෂ්පදකයාය. මේ වසරේ ජනවාරි මාසයේදී එම ආයතනය ඉන්දියානු ආණ්ඩුවට මාත්‍රා මිලියන 100ක එන්නත් තොගයක් වික්කේය. ඒ විශේෂ මිලක් යැයි හැඳින්වූ ඉන්දියානු රුපියල් 200ක හෙවත් ඩොලර් 2.74කටය. ඉන් පසු ඔවුහු එහි මිල වැඩි කළහ. පෞද්ගලික වෙළඳපොළෙහි මාත්‍රාවක් රුපියල් 1000ක හෙවත් ඩොලර් 13.68කට විකිණිණ.

එම එන්නත නිෂ්පාදනය කළ එස්අයිඅයි නම් පෞද්ගලික සමාගමේ ලොක්කා ලෝකයේ සිටින ධනවත්ව මිනිසුන්ගෙන් කෙනෙකි. ඔහුගේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 13ක් යැයි ගණන් බලා ඇත. ඔහුගේ නම සයිරස් පූනවාලාය. සටකපට ව්‍යාපාරික ඉවක් ඇති ඔහුගේ පුත් අදර් පූනවාලා මෙම වසංගතය විශාල ධනයක් උපයන්නට අවස්ථාවක් යැයි පසුගිය වසරේම දැක්කේය. තමන් එන්නතක් නිෂ්පාදනය කිරීමේ පෙරමුණ ගන්නා බව ඔහු ජාත්‍යන්තර මාධ්‍යයට කී විට ලෝකයේ තවත් ආයෝජකයෝ මුදල් යෙදවූහ. බිල් ගේට්ස්ලාද ඒ අතර වූහ. ඉන්දියානු ජනතාව රැවටීම පිණිස ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් නිතර කියන දෙයක් ඔහුද කීවේය. “මේ එන්නත බටහිරට දෙන්න කලින් අපේ රටේ ජනතාව වෙනුවෙන් යොදනවා.” එය නැගලා ගියේය. ඇත්තටම සිදු වූයේ එය නොවේ. මුලින් මුලින් එම ආයතනයෙහි නිපද වූ එන්නත්වලින් 80%ක් අලෙවි කෙරුණේ පිට රටටය. ඒ විශාල ලාභ තීරුවක් සහිතවය. ඉන්දියානු මරණ එන්න එන්නම ඉහළ යන විට එන්නත අපනයනය තහනම් කෙරිණි.

අතිවිශාල කොරෝනා ධනය

එහෙත් ඒ වන විටත් මාස පහක් තුළ සයිරස් පූනවාලාගේ මුළු වටිනාකම 85%කින් ඉහළ ගොස් තිබිණි. ඉන්දියානු චිතකවලින් නැගෙන දුම් ඉන්දියානු අහස අඳුරු කරන විට අදර් පූනවාලා රටින් පැන්නේය. ඔහු ලන්ඩන් නගරයේ පිහිටි මහා මන්දිරයක් සතියකට ඩොලර් 70000කට කුලියට ගත්තේය. එය ලංකා රුපියල් කීයක්දැයි දැන ගැනීමට 200න් වැඩි කරන්න.

මහාචාර්ය ඨිති භට්ටාචාර්ය ඉන්දියාව මෙවන් අශීලාචාර ධනපතියන් බිහි කිරීම දක්වා ආ ගමනද සිහි කරයි. ඇය දකින හැටියට දැන් ඉන්දියාවේ සිද්ධ වන මරණවලට නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව කෙළින්ම වගකිව යුතුය.

එහෙත් මේ විනාශයේ මුල ඇත්තේ වෙන තැනකය. 1980 ගණන්වල සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශ මත විශාල පාරවල්, විශාල වේලි, විශාල ගණනක් කාර් ආදිය අවශ්‍ය යැයි සිතා කටයුතු කළ ආණ්ඩු ජීවිත ආරක්ෂා කිරීමේ සැබෑ අවශ්‍යතා වන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වැනි දේ නොසලකා හැරියහ. ඒ ක්ෂේත්‍රවලට පෞද්ගලික අංශවල ආක්‍රමණය සිදු විය. 1991 දී කොංග්‍රස් ආණ්ඩුව ආර්ථිකය විවෘත කිරීමෙන් පසු අර වැනි අත්‍යවශ්‍ය සේවා වෙත පෞද්ගලික ආයෝජකයෝ බුරුතු පිටින් ආහ.

නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැගිණි. විශාල ව්‍යාපාරිකයන් බදු සහන ලැබිණි. ආණ්ඩුව මිලිටරි ශක්තිය වෙනුවෙන් අතිවිශාල වියදම් කළේය.අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල ආයෝජනය නොසලකා හැරිණි. මහා සංවර්ධන යෝජනා ක්‍රම හෙවත් විශාල ආයෝජන නිසා ඉන්දියානුවන් මිලියන 50කට පමණ උන්හිටි තැන් අහිමි විය.

ඒ නිසා එතෙක් මෙතෙක් සියලු ආණ්ඩු මේවාට වග කිව යුතුය. ඒ අතින් එය ලංකාවේ කතාවමය.

මිලිටරිකාරයන්ගේ වියදම්

අද ඉන්දියාව ලෝකයේ තුන්වෙනි ඉහළම මිලිටරි වියදම්කාරයා වන අතර වෛද්‍යවරුන්ගේ ප්‍රතිශතය 1000කට දශම 8කි. රෝහල් ඇඳන් ප්‍රතිශතය 1000කට දශම 7 කි. එහෙත් ඒ රටේ පෞද්ගලික සෞඛ්‍ය සේවය (පෞද්ගලික රෝහල්, විද්‍යාගාර ආදී) ලෝකයේ හොඳම පෞද්ගලික සේවා 20ට අයිති වේ. මේ නවලිබරල් ප්‍රතිපත්ති මත දශක තුනක් රටේ ආර්ථිකය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය. ඔබටත් අපේ නවලෝකලා, ආසිරිලා, ලංකා ඉස්පිරිතාල ආදිය සිහිවන්නේ විය හැකිය. අපිත් බැරි බැරි ගාතේ රාජ්‍ය වියදම්වලින් විශාල ප්‍රමාණයක් මිලිටරියට වියදම් කරමු.

රජයේ රෝහල්වල ඉඩ නැති නිසා කොරෝනා නිසා පෞද්ගලික රෝහලකට ඇතුළු වූ මා දන්නා පවුලක හතර දෙනෙකුගේ සම්පූර්ණ බිල රුපියල් මිලියනය පැන්න බව වාර්තා විය. ඒ ඒ පවුල විශ්‍රාම වයසේදී හැදෙන්නට ඉඩ ඇති හෘදයාබාධ ආදියෙන් ආරක්ෂා වන්නට ඉතිරි කරගත් මුදලින් විශාල කොටසකි. ඊ ළඟට හෘදයාබාධය ආවොත් ආසිරියට හෝ නවලෝකයට හෝ තවත් එවැනි නමක් ඇති තැනකට ගෙවන්නට ඔවුන්ට මුදල් නැත. මෙවැනි කතා ගණනාවක් දැන් අසන්නට ලැබේ.

ගව මුත්‍ර, ධම්මික පැණි සහ පවිත්‍රා මුට්ටි

ලංකාවට සමාන තවත් බොහෝ දේ ඉන්දියාවේද සිදුවේ. අපේ ඇමතිවරුන් ධම්මික පැණිය පස්සේ දිවූ සේම, ගංගාවලට මුට්ටි අත ඇරිය සේම ගොම සහ ගව මුත්‍ර මගින් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා විය හැකිය යන අදහස ප්‍රචලිත කරන භාරතීය ජනතා පක්ෂයේ ජාතිකවාදීහුද සිටිති. ඒ අතින් අපේ කට්ටිය එච්චර නරක නැත.

ලංකාවට සමාන තවත් දෙයක් ඉන්දියාවේ සිදුවේ. මෝදි කොවිඩ් මර්දන අරමුදලක් පිහිට වූයේය. ඊට විශාල වශයෙන් මුදල් එකතු විය. ඉන් සියයට 70ක් පමණ මහජන අවශ්‍යතා වෙනුවෙන් වැය කරන ලද බව කියවේ. එහෙත් ඒ මුදල් වියදම් ආකාරය පිළිබඳ කිසිදු වගවීමක් නැත. ඒ වියදම් ඉන්දියානු රජයේ විගණනයටද යටත් නොවේ.

මා මේ ඉන්දියානු කතාව කෙටියෙන් විස්තර කළේ ඉන්දියාව ගැන දැනගන්නටම නොවේ. එය රූපකයක් සේ ගෙන අපවම දකින්නටය. අප රට මෙහෙය වනු ලබන්නේද අද ඉන්දියාව මෙහෙය වන අන්දමේම ආර්ථික ප්‍රතිපත්ති මාලාවකිනි. මෝදිගේ හින්දුත්වවාදය(ජාතිකවාදය), මෝදිගේ මිලිටරිවාදය අප රටද තිබේ. පූනවාලා පවුල වැනි ව්‍යාපාරික වළල්ලක් අපේ ආණ්ඩුවද වට කරගෙන සිටියි. ඔවුන් පූනවාලලාට වඩා වෙනස් වන්නේ ඉලක්කම්වලින් මිස ප්‍රතිපත්තිවලින් නොවේ. මෙය හුදෙක් මේ ආණ්ඩුවට පමණක් සීමා වූවක් නොවේ. අද රනිල් වික්‍රමසිංහ බලයේ සිටියේ නම් මලික් සමරවික්‍රම සහ ඔහුගේ රංචුව කොරොනාවෙන් ගරානාව කරන්නට ඉඩ තිබිණි. රවී කරුණානායකලා තවත් කෝටිපතියන් වන්නට ඉඩ තිබිණි. ඒ අතින් බැසිල් යනු පුද්ගලයෙකු නොව සංකල්පයකි. “හොඳම” බැසිල් ඉන්නේ මේ ආණ්ඩුවට වුවත් හැම ආණ්ඩුවේම බැසිල්ලා සිටිති.

මේ විෂම චක්‍රය බිඳින මං අපට සොයා ගත නොහැකි නම් කොරෝනා අවසන් වුවත් අප සදාතන වංසගතයක හිර වූ රටක් ලෙස පවතින්නේය. දූෂිත දේශපාලක, ව්‍යාපාරික රංචුවක් විසින් මෙහෙය වන නව ලිබරල් ධනවාදය නමැති වසංගතය එයයි. එහි ස්වරූප ගැන තවත් විස්තර මහාචාර්ය භට්ටාචාර්යගේ ලිපියෙහි එයි.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය බ්ලොග් අවකාශයට සපයන ලද ලිපියකි. එයට පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය.

https://amarakeerthi.blogspot.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.