විශ්‍රාම සැළසුම

කලා

උඩ පහල යන තිරය
හිටිහැටියෙ නතර වෙයි
නෙත ගැටුණු විට
හුරුබුහුටි පුංචි නිවසක්…
අඳිමි මම සැලැස්මක්
මගේ මනසින්…
සිටිනා එකම පුතුත්
පෙලවහක් කරගත් පසු
කුමට හිස් කාමර පිරුණු
තට්ටු නිවසක් අපට…?
අඳිමි එක කාමරයක්;
ඒ හා බැඳුණු නාන කාමරයක්
පුංචි සෝපාවකට ඉඩ ඇති
පුංචිම පුංචි සාලයක්…
පුටු දෙකක් මේසයක් තැබිය හැකි
පොඩි කෑම කාමරයක්…
කබඩ් පේලියක් අල්ලපු
හුරුබුහුටි කුස්සියක්…
ඉස්තෝප්පුවෙ පුටු දෙක,
එකක් ඔයාට – පත්තර කියවන්න.,
අනෙක මට
කුරුළු ලෑල්ලට එන
ලේනුන්, ගිරවුන් හා දොඩන්නට…
පුංචි බුදු කුටියක් හදමු
මල් පහන් පුදන්නට
බණ නම් ඇහැකි නොවැ
යූ ටියුබ් එකෙන් අහන්න…
මල් ගස් දෙක තුනක් හිටවමු
අහැටත් ප්‍රියයිනෙ ගහකොළ …
බිත්තිවල පාට,
ටයිල්ද, ටයිටේනියම්ද,
දොර ජනෙල් කීයද
ඒව නම් හිතුවේ නෑ තවම…
ඒත් මං ආසයි
වෛවර්ණ බඩු තියෙන
සුදු පාට ගෙදරකට….
වැඩ රාජකාරි එක්ක
දරුවට නම් එන්න බැරිවෙයි
රැයක්වත් නවතින්න…
ලෙඩ වුණොත් අපි දෙන්න
හොයාගමු කාව හරි උදව්වට …
තව පොඩි කාමරයක් එකතු කරනව මං
නාන කාමරයක් එක්කම…
ඔය මදෑ හොඳටම ,
වතුපිටි නම් ඕනෙ නෑ ලොකුවට…
පුංචි ඉඩමක් හොයාගමු
පුතාටත් ලඟ-
ඉස්ප්‍රිතාලෙටත් දුර නැති තැනක…
– අයන්ති ප්‍රනාන්දු
(මුහුණු පොත් අවකාශයෙනි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *