“වර්ණවත් කත”, බාබරා සන්සෝනි මැතිණිය දිවිහැර යයි

කලා

“වර්ණවත් කත”, බාබරා සන්සෝනි මැතිණිය දිවිහැර යයි
බාබරා සන්සෝනි මැතිණිය ඉපදුනේ මහනුවර. 1928 අප්‍රේල් විසිදෙවැනි දින. ඒ ලංකා සිවිල් සේවයේ ආර්.වයි. ඩැනියෙල්ට සහ බර්තා ඩැනියෙල් ට දාව. බාබරා ලංකාවේ විවිධ සංස්කෘතික අත්දැකීම් මධ්‍යයේ හැදී වැඩුණේ ඇගේ පියා සහකාර දිසාපතිවරයා ලෙස රැකියාවේ නියැලීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඔහුගේ ‍රැකියා අවශ්‍යතා නිසා මඩකලපුව, මන්නාරම, මාතර, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලට යාමට සිදුවූ අතර, බාබරා ට ද එක් නගරයකින් තවත් නගරයකට අනුපිළිවෙලින් යාමට සිදුවුණා. ඇය අධ්‍යාපනය ලැබුවේ දකුණු ඉන්දියාවේ කොඩෙයිකානාල් හි පාසලක වන අතර ඉන් පසුව ඇය 1945 දී උසස් අධ්‍යාපන සහතිකය සඳහා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ වසරක් ඉගෙනුම ලැබුවා. පසුව ඇය එංගලන්තයේ රීජන්ට් වීදියේ පොලිටෙක්නික්හි වසර පහක් අධ්‍යාපනය ලබා තිබෙනවා. 1952 දී බාබරා හිල්ඩන් සන්සෝනි සමඟ විවාහ වූ අතර ඔවුන්ගේ දරුවන් වන සයිමන් සහ ඩොමිනික් සන්සෝනි. 1979 සිය ස්වාමිපුරුෂයා ගේ අභාවයෙන් පසු 1981 දී බාබරා වෛද්‍ය රොනල්ඩ් ලෙව්කොක් සමඟ විවාහ වුණා. ඇය සමාන අදහස් ඇති කලාකරුවන්, නිර්මාණකරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ගෙන් සමන්විත මිතුරු ප්‍රජාවක් සමඟ ගතකල අතර බොහෝ දෙනෙක් දන්නා ශ්‍රී ලාංකීය කලා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රතිමූර්තිය ලෙස සලකනු ලබන ජෙෆ්රි බාවා වැනි නිර්මාණකරුවන්ද.උල්රික් ප්ලෙස්නර් සහ ලකී සේනානායක වැනි අයද ඒ අතර සිටියා.
1960 ගණන්වල ලේඛිකාවක් ලෙස බාබරා සන්සෝනි ද සිලෝන් ඩේලි මිරර් පුවත්පතේ ඇගේම සතිපතා විශේෂාංග පිටුවක් ආරම්භ කළා, එහිදී ඇය දරුවන් සඳහා නිර්මාණය කළ කථා ප්‍රකාශයට පත්කළ අතර විවිධ සිදුවීම් සහිත පරිසරයක සතුන් සහ ජීවීන් ඒවායේ චරිත බවට පත්වුණා. ඒවා සඳහා ඇගේම චිත්‍ර එකතු කරමින්, තමන්ගේ ප්‍රීතිමත් ළමා කාලය ඒ තුලින් පිළිබිඹු කළ බවයි පැවසෙන්නේ. ඒවා විශේෂයෙන් හාස්‍ය උපදවන සුලු කතා වූ අතර අහිංසකත්වය සහ දක්ෂතාවය. ඉන්පසුව, මෙම නිදර්ශන සහ පද එකතු කරන ලද පොත් දෙකක් ‘මිසී ෆු සහ ටිකිරි බණ්ඩා’ (2002), ‘මිසී ෆු ඉන් යාල’ (2015) සහ ‘ප්‍රෙස් විත් ද ටෝස්’ (2003) යන නම්වලින් පළවුණා. බාබරා 1960 දී ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද ශාන්ත බ්‍රිජට් මොන්ටිසෝරියේ පඩිපෙළ දිගේ කුරුල්ලන් සහ තුරුලතා සිතුවම් කළා. හැටේ දශකයේ මුල් භාගයේ සිට බාබරා ජාතික ප්‍රදර්ශන නියෝජනය කරමින් ආසියාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ සහ උතුරු ඇමරිකාවේ ඇගේ චිත්‍ර ප්‍රදර්ශනය කර තිබෙනවා. එසේම එක්සත් රාජධානියේ සහ බෙයාෆුට් ගැලරියේ ඒකල ප්‍රදර්ශන කිහිපයක් පවත්වා තිබෙනවා.
1960 ගණන්වල මුල් භාගයේදී යහපත් එඬේරාගේ කන්‍යාරාමය භාරව සිටි කිතුනු සහෝදරියන් රෙදි වියන මධ්‍යස්ථානයක් සැලසුම් කිරීමට උපකාර කිරීම සඳහා බාබරා ගේ උපකාර ලබාගන්නවා. බාබරාට වර්ණය කෙරෙහි ඇති උනන්දුව නිසා දැන් සායම් කළ නූල් සහ රෙදිපිළි සමඟ කටයුතු කිරීමට හා තේරුම් ගැනීමට අවස්ථාව එහිදී ලැබෙනවා. “මගේ උනන්දුව සහ කුතුහලය ඇතිවන්නේ වර්ණ සහ වර්ණ අතර සම්බන්ධතා තුළ, නමුත් මගේ පුහුණුව තිබුණේ චිත්‍ර ඇඳීමට. කෙනෙකුට සරල අත් යන්ත්‍ර රෙදි වීවීමේ යන්ත්‍රයකින් චිත්‍ර අඳින්න බෑ. එබැවින් කුරුල්ලෙකු, ගසක්, ගඟක සංකීර්ණ දසුනක් – වර්ණ ඇති ඕනෑම දෙයක් මා උද්දීපනය කරනවා. රෙදි වියනෙහි ඇති සීමාවම මට වර්ණ ගැඹුරින් හා ගැඹුරින් ගවේෂණය කිරීමට බල කළා. මගේ අවධානය වෙනතකට යොමු කිරීමට මෝස්තර හෝ අලංකාර ආකෘති නොමැත. මේ අනුව, කහ පැහැති තැඹිලි පැහැති නූලක් හරස් කිරීමෙන් නව රන්වන් වර්ණ උපතක් සිදුවෙන බව මට අවබෝධ කරගන්න හැකිවුණා.” කියා ඇය සම්මුඛ සාකච්ඡාවකදී පවසනවා.
1964 දී ආරම්භ වූ බෙයාර්ෆුට් හි සභාපතිනිය සහ ප්‍රධාන නිර්මාණකරු ලෙස, එවකට ප්‍රාදේශීයව අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයට සත්ත්ව හා වෘක්ෂලතාවලින් ආභාෂය ලැබූ බාබරාගේ පැහැදිලි මෝස්තර රාමුව ඇය එකතුකලා. බෙයාෆුට් රෙදි වියන්නන් සඳහා බාබරාගේ ප්‍රධාන සැලකිල්ල වුණේ කුසලතා වර්ධනය කර ගැනීම සහ නුපුහුණු ශ්‍රමය ලෙස සූරාකෑමෙන් ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම. ඇය විසින් මාරි ඥානරාජ්, ප්‍රීති හපුවත්ත සහ නිලූෆර් වික්ටෝරියා ඇතුළු නිර්මාණකරුවන් කණ්ඩායමක් ඇතිකළ අතර, ඔවුන් සෑම රෙදි වියන්නෙකුම හොඳම සහ ඉහළම තත්ත්වයේ අතින් වියන ලද රෙදි නිර්මාණය කිරීම සඳහා හොඳින් පුහුණු කර තිබෙනවා.
ඇයගේ මැදිහත් වීමෙන් ආරම්භ කරන ලද බෙයාෆුට් ගැලරිය, ච්ත්‍ර ශිල්පීන් සිය චිත්‍ර ප්‍රදර්ශන කර අලෙවිකිරීම සඳහා ක්‍රියාත්මක වෙන මාහැඟි සෞන්දර්ය මධ්‍යස්ථානයක්.
බාබරා සන්සෝනි, ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ සාහිත්‍ය වෙනුවෙන් අවශ්‍ය මූලාශ්‍ර ලෙස සම්පාදනය කරන ලද දිවයින පුරා ඇති පැරණි ගොඩනැඟිලි යළි ඇඳීමෙන් ශ්‍රී ලාංකේය සෞන්දර්යය, එහි ජනතාව සහ එහි සුවිශේෂී අර්ථකථනයන් සඳහා ශ්‍රී ලාංකේය කලාවට සහ සංස්කෘතියට ඇති කළ දායකත්වය අතිමහත්. ඇයගේ චිත්‍ර, සාහිත්‍ය සහ සිතුවම් තුළින් ඇය ප්‍රකට කළ පරිකල්පන සුවිශාලත්වය අතිමහත්. බාබරා සන්සෝනිගේ නිර්මාණාත්මක කතන්දර කලාකරුවන්, කර්මාන්තකරුවන් සහ දරුවන් වෙනුවෙන් පෙනී සිටීම, නව්‍යතාවය සහ ආශ්චර්යයන් සඳහා පොළඹවා ඇති අතර ඇගේ වර්ණය, හැඩය සහ ස්වරූපය පිළිබඳ සංජානනය උත්තරීතර සුන්දරත්වය සහ සම්පූර්ණ ජීව ශක්තිය පිළිබඳ දැක්මක්. බාබරා සන්සෝනිගේ කලාත්මක බව මිනිස් ආත්මය තුළ තැන්පත් වී ඇති ප්‍රමෝදයේ සහ අව්‍යාජත්වයේ ගිලී ඇති තේජස පිළිබිඹු කිරීමක් බවයි රසාකාමීන් පවසන්නේ.
ඇය සිය සෞන්දර්යාත්මක දිවිසැරිය නිමාකරන විට 94වන වියේ පසුවූවා.
© කපිල එම්. ගමගේ
මූලාශ්‍ර සහ ඡායාරූපය – අන්තර්ජාලයෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *