වර්ණ­වත් ඉනි­මක සදා­ත­නික මත­කය

විශේෂාංග

රී ලාංකේය ක්‍රීඩාලෝලී හදවත් මත වර්ණවත් මතක කදම්බයක් ඉතිරි කරමින් බන්දුල වර්ණපුර නම් අද්විතීය මිනිසා ඉකුත් 18 වැනිදා පෙරවරුවේ 68 වසරක් වූ සිය දිවි ඉනිම අවසන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. සුවහසක් සෝ සුසුම්, බුහුමන් මැද 19 වැනිදා සවස කොළඹ බොරැල්ල ආදාහනාගාරයේදී ඔහු දැයෙන් සමුගත්තේය.

බන්දුල වර්ණපුර සහ ක්‍රිකට් යනු දෙකක් නොව එකක් වන තරමට ඔහු මෙරට ක්‍රිකට් ලෝලීන්ට සමීප වූ ස්වර්ණමය යුගයක් තිබිණි. ජීවිතයෙන් සමුගන්නා තුරුම වරින් වර ඒ මතක අවදි කරන්නට සමත් වූ බන්දුල වර්ණපුර ශ්‍රී ලංකේය ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසිනි. 1981 වසරේ ජුලි 21 වැනිදා ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සරවනමුත්තු ක්‍රීඩාංගණයේදි (ඕවල් ක්‍රීඩාංගණය) ශ්‍රී ලංකා පිල සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට මුහුණ දුන් බන්දුල වර්ණපුර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ රැස් කරමින් මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය.

ප්‍රතාපවත් ක්‍රීඩකයකු, ක්‍රිකට් පුහුණුකරුවකු, විශිෂ්ට විස්තර විචාරකයකු, තරග විනිසුරුවරයකු සහ දක්ෂ පරිපාලකයකු ආදී භූමිකා රැසකට පණ දුන් ඔහු ඒ සියල්ල පරයමින් සහෘදයන් අතර ප්‍රකටව සිටියේ ඍජුව කතා කරන, තීන්දු තීරණ ගන්නා එඩිතර හදවතක් සහිත අභීත මිනිසකු ලෙසටය. ඔහුගේ හදිසි නික්ම යෑම පිළිබඳ පසුගිය දිනවල ලියැවුණු, කියැවුණු බොහෝ දෑ අතර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මුහුණු පොතට එක්කළ සටහනකින් බන්දුල වර්ණපුර ට බුහුමන් පළකර තිබුණේ ´වර්ණවත් ඉනිමට ආචාරය´ ලෙසිනි.

බන්දුල වර්ණපුරගේ ජීවිත ඉනිම ආරම්භ වූයේ 1953 වසරේ මාර්තු 1 වැනිදා රඹුක්කනදී ය. විශේෂඥ වෛද්‍යවරයකු වූ ඔහුගේ පියා ජාතික රෝහලේ ප්‍රකටව සිටියේ ´ඩොක්ටර් ප්‍රනාන්දු´ නමිනි. බන්දුලගේ සොහොයුරන් වූ සරත් සහ උපාලි ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර ඔවුන් භාවිත කළේ ප්‍රනාන්දු යන පෙළපත් නාමය වුවද බන්දුල භාවිත කළේ වාසගමේ කොටසක් වූ වර්ණපුර නම ය. බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් ජීවිතය ආරම්භ කරද්දී 1964-1969 කාලයේ එම විද්‍යාලයේ විදුහල්පතිව සිටි ගුණපාල වික්‍රමරත්නයන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා විශේෂ උනන්දුවක් දැක්වීය. එවකට සීගිරිය පාසලක උගන්වමින් සිටි උපාධිධාරී ක්‍රීඩා ගුරුවරයකු වූ ප්‍රේමසර ඈපාසිංහ 1968 වසරේදී නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස පත්කර ගැනීමට ගුණපාල වික්‍රමරත්න කටයුතු කළේ නාලන්දය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළ නැංවීමේ අරමුණිනි. තමාගේ දක්ෂ සිසුවකු වූ බන්දුල වර්ණපුරගේ හදිසි වියෝවෙන් කම්පාවට පත්ව සිටින ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ ඒ මතක ආවර්ජනය කළේ සංවේගයෙනි.

මංගල ටෙස්ට් ක්‍රිකට් තර­ග­යේදී පන්දු­වට මුහුණ දෙන බන්දුල වර්ණ­පුර

“මම නාලන්දේ ක්‍රීඩා භාර ගුරුවරයා විදිහට වැඩ කරද්දි බන්දුල වර්ණපුර අවුරුදු 14න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළා. 1957 දී මමත් නාලන්දා විද්‍යාලයේ ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කළා. බන්දුලයි මායි අතර අපූරු සමානකමක් තිබුණා. 1947- 1982 දක්වා කාලයේ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු විදිහට හිටියේ ජෙරී ගුණරත්න මහත්මයා තමයි මට ක්‍රිකට් ඉගැන්නුවේ. ඒ වගේම බන්දුලට මුලින්ම ක්‍රිකට් ඉගැන්වුවේත් එතුමා. බන්දුලගේ දක්ෂකම් දුටුවාම ලංකාවේ පළමු වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මගේ පාසලෙන්, නාලන්ද විද්‍යාලයෙන් ම බිහිකරන්න මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවුණා. අබුසුවාඩ් කියන්නේ ඒ කාලේ තේරීම් කමිටුවල සභාපතිත්වය දැරූ මගේ සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම මගෙ සමීපතම මිතුරෙක්. මම ඔහුට කිව්වා¨ අබූ මට කොහොමහරි බන්දුල ලංකාවේ පළමුවැනි ටෙස්ට් කැප්ටන් කරලා දෙන්න ¨කියලා. ඒකට ගැළපෙන දක්ෂකම් බන්දුල ළඟ අඩුවක් නැතිව තිබුණා. මගේ බලාපොරොත්තුව ඉටු කරමින් ලංකාවේ පළමු වැනි ටෙස්ට් නායකයා ලෙස බන්දුල පියවරෙන් පියවර ඉහළට යද්දි මම ඔහු ගැන ගොඩක් ආඩම්බර වුණා.“

ප්‍රේමසර ඈපාසිංහයන් ඒ අතීත මතක අතර ඇවිදින්නේ දොම්නසිනි. දොම්නස, බන්දුල වර්ණපුර නමැති තමාගේ ප්‍රිය ශිෂ්‍යයා මේ තරම් කලින් දිවි ඉනිම අවසන් කිරීමය.

1971 වසරේ නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ බන්දුල වර්ණපුර 1972 වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය. 1975 වසරේදී පළමු එක්දින ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමේ භාග්‍යය ද ඔහුට හිමි විය. ඒ, 1975 වසරේ ජූනි 7 වැනිදා එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවැති බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගය සඳහා සහභාගි වෙමිනි. 1979 වසරේදී එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැති තරගයේදී නායක අනුර තෙන්නකෝන් ආබාධයකට ලක්වීම නිසා බන්දුල වර්ණපුරට ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරීමට අවස්ථාව සැලසිණි. එය මේ දක්ෂ, ඡවසම්පන්න තරුණයාගේ බඹරය වැල්ලේ කැරකුණු අවස්ථාවක් බවට පත්වූයේ ලංකාවට ඓතිහාසික ජයක් හිමිකර දෙමිනි. එවකට ටෙස්ට් වරම් නොලැබූ රටක් විසින් ටෙස්ට් කණ්ඩායමක් පරාජයට පත් කරනු ලැබූ පළමු අවස්ථාව ලෙස එය අන්තර්ජාතික ක්‍රිකට් වාර්තාපොතට ද එක්විය.

ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මෙහෙයවූ අසහාය නායක, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග බන්දුල වර්ණපුර ගේ ප්‍රතාපවත් නායකත්ව පෞරුෂය සිහි කළේ මෙලෙසිනි.

‘බන්දුල අයියා මුලින්ම හමුවෙද්දි මම අවුරුදු 15න් පහළ ළාබාල ශිෂ්‍යයෙක්. ආනන්ද -නාලන්දා ක්‍රිකට් තරගවලදි බන්දුල අයියව මම දැක්කේ දැවැන්ත චරිතයක් විදිහට. බන්දුල අයියා එක්ක පළමුවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙද්දි ලැබූ අත්දැකීම් ක්‍රීඩකයෙක් විදිහට වගේම පසුකාලයේදී නායකයෙක් විදිහට වැඩ කරද්දිත් මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. බන්දුල අයියා අපි වගේ තරුණ ක්‍රීඩකයන්ව හැම වෙලාවෙම ආරක්ෂා කළා. බන්දුල අයියගේ නායකත්වය යටතේ මට වැඩි කාලයක් ක්‍රීඩා කරන්න බැරිවුණත් මම ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වුණත් ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයක් කළ ඔහුට ලංකාවේ ක්‍රිකට් ගැන විශාල ආදරයක්, හැඟීමක් තිබුණා. ක්‍රිකට් ගැන බය නැතුව කතාකරන්න, අඩුපාඩු වැරදි පෙන්නලා දෙන්න තරම් හයිය කොන්දක් තිබුණ බන්දුල අයියා නැතිවීම මගෙත් අතපය කඩලා දැම්මා වගේ පාඩුවක්.‘

මංගල ටෙස්ට් තර­ග­යේදී කාසියේ වාසිය උර­ගෑ­මට එංග­ලන්ත නායක
කීත් ෆ්ලේවර් සමඟ පිටි­යට පිවි­සෙන බන්දුල වර්ණ­පුර

1980 දශකය බන්දුල වර්ණපුරගේ වර්ණවත් දශකය බවට පත්වූ අතර ක්‍රීඩා ලෝලීන් අතර පමණක් නොව පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවා ජනප්‍රිය ම ක්‍රීඩකයා ඔහු විය. කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ දෙටු ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී ප්‍රසන්න හෙන්නායක බන්දුල වර්ණපුරගේ සමීප මිතුරෙකි; රසිකයෙකි. බදුල්ලේ පාසලකින් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ඔහුට කොළඹ ආනන්ද, නාලන්ද සහ රාජකීය යන විද්‍යාල තුනෙන් එකකට ඇතුළත් වීමට ලැබුණු අවස්ථාවේදී ඔහු නාලන්දා විද්‍යාලය තෝරා ගන්නේ බන්දුල වර්ණපුර ඔහු අතිශයින් ඇලුම් කළ ක්‍රිකට් ක්‍රීඩකයාගේ පාසල නාලන්දාව වූ නිසාය. වැඩිමහල් සහෝදරයකු සහ සමීපතම මිතුරකු සේ තමාට ළෙන්ගතුව සිටි බන්දුල වර්ණපුර ගැන ප්‍රසන්න හෙන්නායකගේ සිතේ ඇත්තේ සොඳුරු මතක සමුදායකි.

‘ඒ කාලේ මම ඇතුළු පාසල් ක්‍රීඩකයන් බන්දුල වර්ණපුර ක්‍රීඩා කරන එක තරගයක්වත් නොබලා අතෑරියේ නැහැ. බන්දුල වැඩිපුරම ජනප්‍රිය වුණේ 1972 ආනන්ද- නාලන්ද බිග්මැච් එකේදී ලකුණු 118ක් නොදැවී ක්‍රීඩා කරමින් පී. එම්. ජයතිලක ක්‍රීඩකයා ලකුණු 111ක් ලබාගනිමින් ඊට අවුරුදු 44කට කලින් තැබූ වාර්තාවක් බිඳ හෙළීම නිසයි. එදා අපි බන්දුලව කරේ තියාගෙන ග්‍රවුන්ඩ් එක වටේ ගියා. නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට්වල ස්වර්ණමය යුගය තිබුණේ ගුණපාල වික්‍රමරත්න, සුමනදාස අතුකෝරල කියන විදුහල්පතිවරුන් යටතේ. ජෙරී ගුණරත්න, නෙල්සන් මෙන්ඩිස්, ප්‍රේමසර ඈපාසිංහ , ලයනල් මෙන්ඩිස් වැනි ක්‍රීඩා ගුරුවරු සහ පුහුණුකරුවන් ඒ තත්ත්වය ඇතිකරන්න විශාල පිටිවහලක් වුණා. බන්දුල විවාහ වුණේ ඔහුගේ මිතුරෙක්ගේ සහෝදරියක් වූ හේමමාලි අරඹේවෙල සමඟ. මධුර, මාධව, ගීතානි ඔවුන්ගේ දූ දරුවන්. බන්දුලගේ පුතුන් දෙදෙනාම නාලන්දා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළා. එක පුතෙක් හරි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා දකින්න බන්දුගේ හිතේ ලොකු ආශාවක් තිබුණත් යම් යම් හේතු මත එය ඉටුවුණේ නැහැ. දකුණු අප්‍රිකානු සංචාරය සම්බන්ධ සිදුවීමෙන් පසු ඔහු ක්‍රිකට් පරිපාලනයට යොමුවුණා. ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සිටියදී ඔහු බොහෝ රටවල ක්‍රිකට් ආරම්භ කළා. ඇෆ්ගනිස්ථානය එවැනි එක් රටක්. බන්දුල ක්‍රිකට් නිසා මුදල් ඉපයුවේ නැහැ. ඔහු ඉපැයුවේ මිනිස්සු. බ්ලුම්ෆීල්ඩ් ක්ලබ් එකේ මැච් බලන්න ඒ දවස්වල වැඩිපුර ආවේ ඉහළ පැළැන්තියේ අය නෙවෙයි. සාමාන්‍ය පන්තියේ මිනිස්සු. බන්දුල කියන්නේ දුප්පත් මිනිස්සුන්ගේ මනුස්සයෙක්.‘

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් වන දුලිප් මෙන්ඩිස්, අජිත් ද සිල්වා ඇතුළු බන්දුල වර්ණපුරගේ සමකාලීන ක්‍රිකට් සගයන් සියලුදෙනාම ඔහුගේ වියෝවෙන් දැඩි කම්පාවට පත්ව සිටී. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණිට ද බන්දුල වර්ණපුර ගැන මතක බොහෝය.

‘1977 ටෝනි ග්‍රෙග් ලංකාවට ආව වෙලාවේ ගුවන්විදුලි වැඩසටහනකට සහභාගි වෙමින් කියලා තිබුණා සුනිල් ගවස්කාර්ට පස්සේ ඉන්දියාව, ලංකාව කියන රටවල් දෙකෙන්ම දැකපු හොඳම පිතිකරු බන්දුල වර්ණපුර කියලා. බන්දුල දක්ෂ ක්‍රීඩකයෙක්. මම ඔහුගෙන් දැකපු විශේෂම දේ ඔහු අලුත් ක්‍රීඩකයන්ව හොඳින් බලාගත්තා, ඔවුන්ව ආරක්ෂා කළා. කාටවත් අනවශ්‍ය පීඩනයක් දෙන්නෙ නැතිව හැමදේම හරියට සැලසුම් කළා.‘

හිටපු වේගපන්දු පුහුණුකරුවකු වන අනූෂ සමරනායක පැවසුවේ දක්ෂ ක්‍රිකට් පරිපාලකයකු වූ බන්දුල වර්ණපුර වියෝ වීමේ ප්‍රබල පාඩුව සිදු වූයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට බවය.

‘මට මතකයි නුවර ක්‍රීඩාංගණය හදන දවස්වල හෝටලයක ඉන්න පුළුවන්කම තියෙද්දි බන්දුල කන්ටේනර් පෙට්ටියක් ඒ. සී කරගෙන ඒකේ තමයි ක්‍රීඩාංගණය හදලා ඉවර වෙනකම්ම නතරවෙලා හිටියෙ. ඒ තරම් කැපවීමක්, ආදරයක් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඔහුගේ හිතේ තිබුණා.

වර්ණ­පු­ර­යන්ගේ දේහය බොරැල්ල සුසා­න­භූ­මි­යේදී නාල­න්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් පිළි­ගත් අයුරු සහ අර්ජුන, අරවින්ද ඇතුළු හිටපු ටෙස්ට් ක්‍රීඩකයන් දේහය රැගෙන යමින් (ඡායාරූප – සුදත් මලවීර)

බන්දුල වර්ණපුර මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ නොමැකෙන චරිතයක් බවට පත්වුවද ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග සංඛ්‍යාව 4ක් සහ එක්දින තරග සංඛ්‍යාව 12කට සීමා විය. 1983 වසරේදී ආන්දෝලනාත්මක දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීම හේතුවෙන් බන්දුල වර්ණපුර ඇතුළු ක්‍රීඩකයන්ට වසර 25ක තරග තහනමක් පැනවුණු අතර වසර කිහිපයකට පසුව එම තහනම ඉවත් විය. එසේ වුවද එම සිදුවීමෙන් පසු මෙම පෙරළිකාර ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවිය වෙනස් මාවතකට යොමු විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය තුළින් ක්‍රිකට් පරිපාලනයට එක්වූ බන්දුල වර්ණපූර ජීවිත ගමන නිමාකරන විටද එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. හිටපු විශිෂ්ට පිතිකරුවකු සහ පන්දු රකින්නකු වූ රොෂාන් මහනාම උප සභාපති ලෙස කටයුතු කළේය. බන්දුල වර්ණපුර මෙන්ම රොෂාන් මහානාම ද ආදි නාලන්දියකු වන අතර ඊටත් වඩා සුවිශේෂී සම්බන්ධයක් බන්දුල සහ රොෂාන්ගේ ක්‍රිකට් මතක අතර වේ. 1972 වසරේ පැවති ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ ඉහළම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 118ක් රැස් කරමින් බන්දුල වර්ණපුර තැබූ වාර්තාව ඉන් වසර 12කට පසු බිඳ දමනු ලැබුවේ රොෂාන් මහනාම ය.

‘මගේ ක්‍රිකට් ජීවිතය ආරම්භයේ සිටම බන්දුල අයියා මට විශාල ආශිර්වාදයක් වුණා. විවිධ අභියෝග නිසා ක්‍රීඩාව අතහැර යෑමට සිතමින් සිටි අවස්ථාවල ඔහු මට බොහෝ මඟපෙන්වීම් කළා. තරුණ ක්‍රීඩකයකු වූ මට බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදුන්නා වගේම තරග තීරකවරයකු ලෙස අයි.සී.සී යට අපේක්ෂකයෙකු ලෙස මගේ නම ඉදිරිපත් කිරීමටත් ඔහු මූලික වුණා.‘

රොෂාන් මහානාම තම ආදරණීය ජ්‍යෙෂ්ඨයාගේ මතක සිහි කළේ කෘතවේදීවය. ජීවිත තණතිල්ලේ අවසන් ඉනිම සනිටුහන් කොට දැයෙන් සමුගත් බන්දුල වර්ණපුර ගැන කිව යුතු දේ බොහෝවුවත්,

ප්‍රේමසර ඈපාසිංහ ඉංග්‍රීසි බසින් පැවසූ කවියක සිංහල අරුතැති වදන් පෙළකින් මෙම සටහන අවසන් කරමි.

‘ලකුණු දමන පුද්ගලයා පැමිණ ඔහුගේ නම ඉදිරියේ ලකුණු සටහන් කරන විට වැදගත් වන්නේ ඔහු දිනුවාද පැරදුණා ද යන්න නොව ඔහු මහත්මයකු ලෙස තරගවල යෙදුණාද යන්නයි‘.

බන්දුල වර්ණපුර ඒ වදන් පෙළට සාධාරණයක් ඉටු කළ බව ඔහුගේ වියෝව වෙනුවෙන් තැවෙන ක්‍රීඩාලෝලීන් ඇතුළු සහෘදයන් සාක්ෂි දරනු ඇත.
සුරේඛා නිල්මිණි ඉලංගකෝන්

ඡායාරූප – ප්‍රසන්න හෙන්නායක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *