මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන කලා උළෙල මෙවර පැවැත්වුණේ විසිපස්වන වරටය. ලංකාවේ පාසලක් විසින් පවත්වන උසස්ම කලා උළෙල මේ බව බොහෝ උදවියගේ අදහසය. මුල් කාලයේ පවතින ආණ්ඩුවේ ප්‍රධානීන් ගේ ප්‍රධානත්වයෙන් පැවැතුණු මෙම අගනා උළෙල පසුව ශිෂ්‍ය ඉල්ලීම මත කලාකරුවන්ගේ හෝ බුද්ධිමතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමේ සම්ප්‍රදායක් ඇරඹිණ. ඒ අනුව මෙවර ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ සංගීත නිපුන් සනත් නන්දසිරිය. විශේෂ අමුත්තා වූයේ වැදිනායක වන්නිල ඇත්තෝ ය. ඉතිහාසයේ කවරදාකවත් නොවූ අයුරින් ප්‍රධාන අමුත්තා උත්සවයේ පැයක් පමණ සිට ‘වැඩක් ඇත’ කියා ආපසු ගියේය. එහෙයින් ප්‍රධාන අමුත්තාගේ හා විශේෂ අමුත්තාගේ භූමිකා දෙකම ඉෂ්ට සිද්ධ කිරීමට සිදුවූයේ වැදිනායක වන්නිල ඇත්තන්ටය. එතුමන්ගෙන් මනා ශිෂ්ට සම්පන්න හැසිරීම ශිෂ්‍යයන්ට, ආදි ශිෂ්‍යයන්ට, ගුරුවර දෙමාපියන්ටත් අපූර්ව අත්දැකීමක් වූයේ ‘සනත් නන්දසිරි ගිය එකම හොඳ’ යයි සිතෙන අන්දමට ය.
අප මෙම කතාව පූර්විකාවක් ලෙස සටහන් තැබුවේ ඉදිරියේදී කරන සාකච්ඡාව පහසු කිරීමේ අටියෙනි. ලංකාවේ වැදි පරපුර සංස්කෘතිකමය අලංකාරයක් රටට ගෙන දෙනවාට අමතරව රටේ අනන්‍යතාව පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීමේ උරගලක් ද වන්නේය. සෙලිග්මාන් හා වෛද්‍ය ආර් එල් ස්පිටල්, මහාචාර්ය පුංචි බණ්ඩා මීගස්කුඹුර වැනි වියත්හු මේ ජනවර්ගයාගේ ජීවිතය හා ඔවුන් වටා ගොනු වූ අනන්‍යතාවයන් පිළිබඳ පර්යේෂණ කොට ඒවා ජන සමාජය වෙත මුදා හැරියහ.
මීට වසර දෙසීයක් පමණ පැරණි ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් තුනක් එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යා අංශයේ පර්යේෂණ සඳහා යොදා ගෙන අනතුරුව ගෞරව බහුමානයෙන් යුතුව එහි තැන්පත් කොට තිබිණ. විශ්ව විද්‍යාල පාලකයන් විසින් එය අවශ්‍ය නම් හිස්කබල් අයත් ජනවර්ගයන් වෙත ප්‍රදානය කිරීමට කැමැති යයි ප්‍රකාශ කෙරුණේ එම හිස්කබල් අයත් ජනවර්ගයේ වර්තමාන නායක වන්නිල ඇත්තන් වෙත ය. එතුමන්ගේ කැමැත්ත වූයේ ‘මේ ඇටකටු වසර ගණනාවක් එඩින්බරෝවල තිබුණත් ඔවුන්ගේ ආත්ම ශ්‍රී ලංකාවේ අප සමඟ රැඳී සිටියා. ඔවුන්ගේ ආත්මයන් සමඟ මේ ශරීර කොටස් නැවත එකතු වීම අපට මහා සතුටක්. එහෙයින් ඒවා අපට දෙන්න ’යනුවෙනි.
ශ්‍රී ලංකාවේ ආදිතමයන් තමන් බවට වැදි ජනයා කරන ප්‍රකාශය නිවැරදි බව හිස්කබල් ඔස්සේ පර්යේෂණ කළ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් තහවුරු කරති. ලංකාවේ වැදි ජනයා සිය මුල් යුගයේදී වැසි වනාන්තර තුළ දඩයම් කරමින් තනිව ජීවත් වූ (නොමුහුන්) ජන කොටසක් බව ද ඔවුහු පෙන්වා දෙති.
මීට දස වසරකට පමණ පෙර දඹානේ වැදි ජන කෞතුකාගාරයක් විවෘත කෙරිණි. ඒ සඳහා එවකට මුල් වූ විද්වතා වූයේ මානව වංශ විද්‍යා පර්යේෂකයෙකු වූ උදුල බණ්ඩාර අවුසදහාමි ය. එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් යළි ලැබුණු ලංකාවේ ආදිවාසී හිස්කබල් එම කෞතුකාගාරය තුළ ඔවුන්ගේ අනෙකුත් පෞරාණික භාණ්ඩ සමඟ අනාගතයේ දී තැන්පත් කෙරෙනු ඇත.
ලංකාවේ වැදි ජන උරුමය ,ඉඩම් අහිමි වීම, සිය පාරම්පරික ජීවන රටාව දැනටමත් අහිමිවීම, සාම්ප්‍රදායික වත්පිළිවෙත් සියල්ල නුතනකරණය හා සිවිල් යුද ගැටුම් හේතුවෙන් තවත් පරම්පරා දෙකක් ඇවෑමෙන් විනාශමුඛයට යනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
ලංකාව සාපේක්ෂ වශයෙන් කුඩා රටකි. අනෙක් අතට මුහුදු මාර්ගික මර්මස්ථානයක පිහිටි දූපතකි. ජනවර්ග මිශ්‍රවීම, ආගන්තුක දේශයන්ගෙන් පැමිණෙන ජනයාගේ පදිංචිවීම ආදී කාරණා හේතුවෙන් අමිශ්‍ර ජනවර්ගයක් මෙවැනි රටක බලාපොරොත්තු වීම අපහසුය. එහෙත් ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව ජීවත් වූ වැදි ජන වර්ගය අඩුවෙන්ම ජන මිශ්‍රණයකට භාජනය වූ ලංකාවේ වෙසෙන ජන කොටස යයි කිව හැකිය. ලෝකයේ බොහෝ රටවල ජීවත්වන ආදිවාසීන් සතු පරිනාමීය වශයෙන් වන පොදු ශරීර හා ව්‍යුහාත්මක ලක්ෂණ වැදි ජනතාව සතුය.
ලෝකයේ බොහෝ රටවල ආදීවාසීන් බටහිර යටත්විජිතකරණයේ දී සමුල ඝාතනයට ලක්විය. ඔවුන් සිය පරිසරය සමීපව ඇසුරු කරමින් සකසාගත් සංස්කෘතික ජීවන රටාව හා ජන විශ්වාෂ ආදිය විජිතවාදීන් විසින් විනාෂ කොට දැමීය. කැනඩාවේ පවා ආදිවාසී ජනයා සමූල ඝාතනයට ලක්විය. සස්කැචුවාන් ප්‍රාන්තයේ සිදු වූ එවැනි මහා ඝාතනයක 134 වන සංවත්සරය යෙදී තිබුණේ පසුගිය නොවැම්බර් මාසයේදීය. ඒ පිළිබඳ පාප විමෝචනයක් පළමු වරට සිදු කරමින් කැනඩාවේ අග්‍රාමාත්‍යවර ජස්ටින් ටෲඩෝ ඓතිහාසික හා මානුෂික පියවරක් තබා සිය සංවේදී නායකත්ව ගුණ පෙන්වීය.
ඕස්ටේ්‍රලියාවේ, කැනඩාවේ, මැක්සිකෝව හා බොහෝ ආසියා අප්‍රිකා ,ලතින් ඇමෙරිකානු රටවල යටත් විජිතකරණය හමුවේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාවාසකරණය හමුවේත් ආදිවාසීන් විඳි දුක් ගැහැට අපමණය. ඔවුන්ගේ සංස්කෘතිය, දේපල මුළුමනින්ම විනාශ කර දැමුණි. සියටැල් වැනි ආදිවාසී නායකයන් ඔවුන්ගේ විනාෂය අබිමුව නැගී සිටි නායකයන් ලෙස ලෝක පූජිත වී ඇත. ඕස්ටේ්‍රලියාව, කැනඩාව ආදී රටවල ධවල රාජ්‍යයන් ගොඩ නගා ඇත්තේ ඒ සංස්කෘතීන් හා ඒ සංස්කෘතීන්ට අයත් ජීවිතද සමූල ඝාතනය කරමිනි.
උතුරු ඇමරිකානු රටක් වන මැක්සිකෝවේ ආදිවාසී ජන වර්ගයන් (මායාවරුන්) පරිහරණය කළ භූමිභාගයක් දැකබලාගැනීමට මේ ලේඛකයාට අවස්ථාව ලැබුණි. මායාවරුන් තමන්ගේම වූ මහා ශිෂ්ටාචාරයක් ගොඩනගා තිබුනි. එය දියුණු කලාවෙන් ද, ගොඩනැගිලි, මාර්ග, ජල කළමනාකරණ, පරිපාලන, අනාගත පර්යාලෝකනය ආදී සියලූ විෂයයන්ගෙන් පරිපූර්ණ වූවකි. මායන් කැලැන්ඩරය ඔවුන් සතු වූවකි. එහෙත් ස්පාඤ්ඤ යටත් විජිතවාදීන් විසින් ඒ සියල්ල විනාශ කොට දමා තමන්ගේ ආගම භාෂාව ඇතුළු ස්පාඤ්ඤ දේවල් ඒ ජනතාව මත පටවා ඇත.
පේරු, බොලිවියා ආදී දකුණු ඇමෙරිකානු රටවල තත්ත්වය ද එයාකාරය.
අපේ වැදි ජනයා මහා සම්ප්‍රදායක් බිහි නොකළ නමුත් අගනා චූල සම්ප්‍රදායක් බිහි කර ඇත. ඒ නිසාම ඔවුන් යටත් විජිතවාදීන්ගේ සැලකිල්ලට ලක් නොවූ අතර එයම පෙරලා ඔවුන්ගේ ආරක්ෂාව ද තහවුරු වීමට හේතුවක් විය. අපේ රටේ කාටත් හොරා වැනසී යා හැකිව තිබූ වැදි ජන උරුමය රටට ලෝකයට හඳුන්වා දුන්නේ ද යටත්විජිතවාදීන් ය. සෙලිග්මාන් බි්‍රතාන්‍ය ජාතිකයෙක් වන අතර ස්පිට්ල් නෙදර්ලන්ත ජාතිකයෙකි.
ලංකාවේ වැදි ජන වර්ගය අනුවර්ග ගණනාවකින් යුක්ත ය. මඩකලපුව ආශ්‍රිත එක් වැදි ජනවර්ගයක් වැදි දෙමළ මිශ්‍ර භාෂාවක් වහරන අතර වන්නිල ඇත්තන් ප්‍රමුඛ අනෙකුත් වැදි ජන වර්ග වැදි සිංහල සම්මිශ්‍ර භාෂාවක් වහරති.
වන්නිලැත්තෝ ප්‍රතාපවත් එමෙන්ම කඩවසම් මිනිසෙකි. ලෝකයේම අමිශ්‍ර ජාතීන්ට හිමි උරුමයක් වන තැනින් තැන වැවුණු රැවුල (ඝණ රැවුලකට හිමිකම් නොකීම) හිසේ ඉදිරිපස දෙපැත්තේ කොන්ඩය අඩුකම ප්‍රකට ආදිවාසීි මානව ජන ලක්ෂණ නොඅඩුව තිබුණත් ඔහු තීක්ෂණ ය. තම වර්ගයා ගැනත්, අවට සමාජය ගැනත්, අවබෝධයෙන් යුක්ත ය. තන්වැසි නුවණින් යුක්ත ය.
වන්නිලැත්තන්ගේ පියාණන්ද (තිසාහාමි) මේ ලියුම්කරු කිහිපවිටක් හමුවී තිබේ. ඔහු ද මීට නොදෙවැනි ය. තිසාහාමි වන්නියලැත්තන් තරම් සංචාරය ප්‍රිය නොකරන පුද්ගලයෙකි. ඔහුද වන්නියලැත්තැන් මෙන්ම ඇතැම් විට ඊටත් වඩා ඉවෙන් අත්දැකීමෙන් හා අවබෝධයෙන් බොහෝ දෑ දැන හඳුනා ගත්තෙකි.
වන්නියලැත්තන් ද පාසල් නොගියේය. එහෙත් ඔහුට වැදි භාෂාව මෙන්ම සිංහල ද වැහැරීමට හොඳින්ම හැකියාව ඇත. ජාත්‍යන්තර සභාවක සමානයෙකු ලෙස හැසිරීමට ඇවැසි ඉංග්‍රීසි දැනුම ද ඔහු සතුය.
මේ සියල්ල මෙසේ වුවත් වන්නියලැත්තන්ටද සාංකාවක් තිබේ. ඒ තම ජනවර්ගයේ අනාගතය ගැනයි.