වෛද්‍ය ගායක වෛද්‍යසේකර

කලා

ගසක් මුදුනේ සිට මතු වුයේ කොවුල් නාදයකි. එය නිහඩ පරිසරය සිසාරා යනු ඇත. හැම දෙසවනක්ම මොහොතකට ඒ දෙස සවන් යොමා ඇත . නොඑසේනම් ඉබේටම සවන් යොමු වනු ඇත. ඉන්පසු එම හඩට වශී වෙනු ඇත. ඒ වශී වීම ජීවිත කාලය පුරාවටම බැදී හදවත රිදවනු ඇත. පාරනු ඇත. සනසනු ඇත. මුසපත් කෙරෙනු ඇත.
” 🎶 ආශා දෑසින්,දකිනා සිහිනේ මිහිර මැකී යනවා
ඒ සිහිනේ දුටු, තනිකම ඉපදී හද තුල තෙරපෙනවා
ආ මග දෑලේ පිපි මල් පරවී නෑ පල හටගන්නේ
සිතුවිලි මීමැසි පොදි නැත මීබැද උන්මය රිදවන්නේ 🎶 ”
ගස මුදුනේ සිට මතුවූ කොවුල් නාදය පරයන හඩකින් සත්සර නැංවූ ඒ ගී හඩ ද හදවත රිදවනු ඇත. පාරනු ඇත. සනසනු ඇත. මුසපත් කෙරෙනු ඇත.
ඒ කොවුලා දේවානන්දය.. දේවානන්ද වෛද්‍යසේකරය.
” 🎶 මොකද මැණිකේ හනික යන්නේ –
තාම නැහැනේ රෑ වෙලා- තාම නැහැනේ රෑ වෙලා 🎶 ”
ඔහු ගයන්නේ දෙසවනටද ? නැතිනම් ආමන්ත්‍රණය කරනුයේ හදවතටදැයි එකවර තෝරා බේරා ගැන්මට නොහැක්කේ එය සවනට වැදුණු පමණින් රිංගන්නේ හදවත තුලටය. එතැනින්ද නොනැවතී ඇට ,ලේ මස්,නහර තුලට ද රිංගා අපව මෝහනයට පත් කරයි.
” 🎶 සද පායා සිනාසී -ඔබගේ මුහුණේ උදා වී ඒ
රස පෑවූ ගමේ මනහාරි – මගේ මන හාරි -මගේ මැණිකේ 🎶 ”
සිතන්න මේ හඩට පෙම් නොබදින්නේ කව්ද? එතකොට කව්ද මේ දේවානන්ද වෛද්‍යසේකර.? කව්ද මේ රෑ වෙලා නැහැ කිය කිය හනිකෙට යන මැණිකෙව නවත්තගන්න හදන උප්පරවැට්ටි කාරයා.
අපි හොයමු…..
50 දශකය තුල ගුවන්විදුලි වෙළද සේවයේ,මාසික රැගුම් යයි වැඩ සටහනක් අතිශයින්ම ජනප්‍රිය වී තිබුණි. දේවානන්ද නම් තරුණයෙක් ගුවන් විදුලි පරිශ්‍රයේ “ටැග් “ගැහි ගැහී සිටියේ,තමන්ගේ දක්ෂතාවයක් උරගා බැලීමටය. ඒ ඔහු කුඩා කල සිටම සංගීතය හැදෑරු නිසාය. කෙසේ හෝ මෙම තරුණයාට ගුවන් විදුලියේ මාසික රැගුම් වැඩ සටහනේ ගීතයක් ගැයීමට ලැබුණි. ඒ ඔහුගේ ගායන ජීවිතයේ ඇරඹුමයි. ඉන් පසු ඔහු සරල ගී කීපයක් ගැයුවේය. එම අමුතුම භාවනාත්මක හඩට ශ්‍රාවකයන් ඇදී ආයේය.
” 🎶 වාසනාවේ රිදී පහණ – අරන් මගේ පැලට එන්න
ආදරයේ පහන් වැටිය – දල්වාලා එලිය දෙන්න 🎶 ”
එවන් මධුර සුමධුර ගීත ඉන් පසු ඒ හඩින් බිහිවන්නට විය.
දේවානන්දට ඉන්පසු දැඩි ඉල්ලුමක් ඇති විය. සංගීත සංදර්ශන වලින්ද ඇරයුම් එන්නට විය. එහෙත් වෘත්තීය ගායකයෙකු වීමට ඔහුට අවශ්‍යතාවයක් නොතිබුණි. විනෝදයට කරන දෙයින් මුදල් ඉපයීමටද එතරම් කැමැත්තක් තිබුනේ නැත. ඒ ඔහුට වෛද්‍යවරයෙකු වීමේ අවශ්‍යතාවය තිබු හෙයිනි. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා විටත් ඔහු ගීත ගැයුවේය. ජී.ඩී.ඇල්.පෙරේරාගේ “සාමා”චිත්‍රපටයේ “ආශා දෑසින් දකිනා සිහිනේ ” ගීතය ගැයීමට ඔහුට අවස්තාව ලැබුනේ ඔය අතරේදීය. ස්වර්ණ ශ්‍රී බණ්ඩාරගේ පද රචනයට, ජයතිස්ස අලහකෝන් ගේ තනුවට, ඩබ්ලියු. ඩී .අමරදේවයන්ගේ සංගීතයට දේවානන්ද වෛද්යසේකරට එම ගීතය ගැයීමේ භාග්‍ය ලැබූ අතර, එය ඔහුගේ ගායන දිවියේ හැරවූම විය.
” 🎶 නීල නුවන්- මානෙල් මල් -නීල නුවන්- මානෙල් මල්
ඇයගේ වත පුන්සද වෙයි
ගමනින් නාලිය පරදන –
ටිකිරි ලියා ,ටිකිරි ලියා, කලෙත් අරන් ලිදට ගියා. 🎶 ”
වෛද්‍ය වරයෙකු ලෙස සේවය කරන අතරම ඔහු සුන්දර එමෙන්ම අර්ථවත් ගීත කීපයක් ශ්‍රාවකයන්ට තිළිණ කළේය .
” 🎶 මගේ අත් දෙකින් දොර ඇරලා- ඔබ පාරදීශයට ගෙන යන්නම්
කළුගල් මුරහල් යදමුත් බිදලා- මගේම දෑතින් ඇරලන්නම් ”
විකුම් ප්‍රිය පෙරේරා ගේ පද රචනය හා ආනන්ද වෛද්‍යසේකර ගේ තනුව හා සංගීතයට දේවානන්ද වෛද්‍යසේකර ගායනා කල මෙම ගීතයට අමතරව
” 🎶 හිරු ඇවිත් නැත 🎶 ” – ” 🎶 පෙම් මදිරාවේ 🎶 ” ” 🎶 තරුවැල් පායා දිලේ 🎶 ” යන ගීතයන්ද ශ්‍රාවකයන්ට ප්‍රිය විය.
එහෙත් ඒ සැමටම වඩා ඔහුගේ ගීත දෙකක් අතිශයෙන් ජනප්‍රිය විය. . ඒවා චිත්‍රපට ගීත වූ අතර – එකක් ” ජි.ඩී .එල් පෙරේරාගේ “දහසක් සිතුවිලි” විය.
නිමල් වික්‍රමසේකර ගේ පද රචනයට, ජයතිස්ස අලහකෝන් ගේ තනුව හා සංගීතයට ගැයුණු
” 🎶 සතුට විලයි සැපත මලයි -නෙළුවොත් මල අතින් එකයි -.
පමා වුනොත් මල පරවෙයි- ඉරට යටින් හඳට යටින්
කාලය පැන යනවා 🎶 ”
හා අනෙක් ගීතය
ධර්මසිරි ගමගේ ගේ පද රචනයට , ඩබ්ලියු .ඩී.අමරදේවගේ තනුව හා සංගීතයට , ඉන්ද්‍රානි පෙරේරා සමග “තරංගා” චිත්‍රපටයට ගැයූ
” 🎶 පවන් සුසුම් දැලින් වෙළී -ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම්- නින්නාද නැංවූ තරංගා 🎶
යන ගී යුගල වෛද්‍යසේකරයන්ව සදාකාලිකව ඔසවා තැබීය.
දේවානන්ද වෛද්‍යසේකර ගේ හැම ගීතයකම තිබුනේ විශ්මජනක චමත්කාරයකි. ඒ හඩේ තිබු විසල් බව ,හා පෞරෂත්වය එම ගීත පුරා නොඅඩුව ගැබ්වී තිබුණි. “සතුට විලයි සැපත මලයි ” ගීතය “රොක් ඇන්ඩ් රෝල් ” ශෛලය ට ගැයුණු අතර “පවන් සුසුම්” හී තිබුනේ භාවමය තනුවක්ය. දේවානන්ද වෛද්‍යසේකර, මේ ශෛල්‍යය දෙකට සරිලන සේ තම හඩ මුසු කලේ එකකට එකක් නොපරිදින ලෙසය. නිතගින්ම ඔහු අමරදේවයන්, නාරද දිසාසේකරයන් “කැටගරියට ” වැටුණි. අමරදේවයන් ඉතාමත් අගය කල ගායකයන් දෙදෙනෙක් වේ නම්,කෙනෙක් නාරද දිසාසේකරය. අනෙක් කෙනා දේවානන්ද වෛද්යසේකරය.
මට නම් දේවානන්ද වෛද්‍යසේකර යනු අමරදේවයාණන් හා නාරද දිසාසේකරයන් අතර ඇති හිඩැස පිරවූ තවත් ගාන්ධාරවරයෙකි .
-ශෝන් මැක්ස්මස් දිසානායක-
(මෙම ලිපිය 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ මා මුහුණු පොතට ලියා එක් කළ ලිපියකි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *