ලක් පොළොවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ජනතා පුත්‍රයා ඩඩ්ලි

විශේෂාංග

නිදහස් ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වී සිවුවරක්ම අගමැති පදවිය දැරූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාගේ 112 වැනි ඡන්ම දිනය අදට (19) වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

එතුමා උපත ලැබුවේ 1911 ජුනි මස 19 වැනිදාය.

1952 මාර්තු 22 වැනිදා හදිසියේම මෙලොවින් සමුගත් ජාතියේ පියා මහාමන්‍ය ඩී..එස්. සේනානායක මහතාගේ දෙටු පුත් ඩඩ්ලි සිවු වරක්ම මෙරට අගමැති ධුරයට පත් වුවා පමණක් නොව අවංක කෘතහස්ථ නායකත්වයක් මෙරට දේශපාලනය තුළ සනිටුහන් කරමින් බත් දුන් පියා ලෙසද විරුදාවලි ලබමින් සමාදරයට හා ගෞරවනීයත්වයට පාත්‍රවූයේය. එතුමා හදවතින්ම ප්‍රකාශ කළ වදනක් වූයේ ‘සක්විති රජකම ලැබුණත් රට පාවාදෙන්නේ නැත’ යන්නය.

ජාතියේ පියාගේ අතිජාත පුත්‍ර ඩඩ්ලි හා රොබට් තම පියාගේ අඩි පාරේ යමින් මුලික හා ද්විතියික අධ්‍යාපනය හදාරන්නට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට යමින් විද්‍යාලයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂ පිති හරඹයක නිරත වෙමින් ක්‍රීඩා කණ්ඩායමේ නායකයා බවටත් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායකයා බවටත් පත් වූයේය.

ඩඩ්ලි ක්‍රීඩාවේ දක්ෂයෙකි. පිහිනුම් ශූරයකු මෙන්ම ජල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙසත් දීර්ඝ කාලයක් කටයුතු කළේය. එම වකවානුව තම සංගමය දීප්තිමත් කාලයක් බවට පත් කරන්නටද එතුමා සමත් විය. එතුමා හොකී හා මලල ක්‍රීඩකයකු ලෙසද සම්භාවනාවට පාත්‍ර වූයේය.

ක්‍රීඩකයකු වූවාසේම උසස් අධ්‍යාපනයටද ඔහු අනලස්ව කටයුතු කර උසස් අධ්‍යාපනයට යොමු වී අනාගත නායකයකු වීමට අවශ්‍ය වන්නාවූ සියලු සුදුසුකම් සපුරාලීය. එතුමා ලන්ඩන්හි මිඩ්ල් ටෙම්ප්ල් උසස් අධ්‍යාපන ආයතනයෙන් නීතිඥ වෘත්තියට අදාළව බැරිස්ටර්වරයකු ලෙස විශිෂ්ට ලෙස සමත් වී ලංකාවට පැමිණියේය.

අධ්‍යාපනය නිමාකළ එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්වූවත් 1946 වන තෙක් වසර ගණනාවක්ම සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස ජන හද දිනාගනිමින් තම සේවාව ඉටුකළේය. 1946දී ඩඩ්ලි තම පියාගේ අඩිපාරේ යමින් කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ සේවාව සපුරාලන්නට ඇති අදිටනින් එවක කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වූයේය. 1952 තම දයාබර පියාණන් වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ හදිසි අභාවය තෙක් ක්‍රියා කළ එතුමා 1952 දී ආණ්ඩුකාර සෝල්බරි සාමිවරයා විසින් නිදහස් ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරගන්නා ලදී. එතැන් සිට 1970 දක්වා වන කාලයේදී එතුමා මෙරට සිවුවරක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

ජනවරම් ලද ඩඩ්ලි හැමවිටම ජනතාවාදී ලෙස රට මෙහෙයවමින් දේශයේ සමෘද්ධිය හා සංවර්ධනය ඉලක්ක කොට මෙහෙයවන්නට ක්‍රියා කළේය. හරිත විප්ලවය දියත් කරමින් රට සහලින් ස්වයං පෝෂණය කරන්නට එතුමා අප්‍රතිහත ධෛර්යක් දැරුවේය. මේ වකවානුව තුළ කෘෂි නවෝදයක් තුළින් රට සංවර්ධන ඉලක්ක කරා යන්නට අපේක්ෂා කළාක් මෙන්ම ජනතාවට නොමිලේ සහල් සලාකයක් ලබා දෙමින් බත් දුන් පියා ලෙස විරුදාවලි ලැබුවේය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා මුලික කටයුතු අවසන්කොට තිබුණ ගල්ඔය ජනපද ව්‍යාපාරය බහුකාර්ය ව්‍යාපාරයක් ලෙස නිමා කරන්නට ඩඩ්ලි ක්‍රියාකළ ආකාරය සැමගේම ප්‍රසංශාවට හේතුවක් විය. දේශීය මෙන්ම විදේශීය අරමුදල් සපයා ගනිමින් එදා මහවැලි සංවර්ධන ව්‍යාපාරය සඳහා පිඹුරුපත් සකසා පොල්ගොල්ල ජලාශය ඉදිකරන්නට 1968 දී මූලික අඩිතාලම දැමුවේ ඩඩ්ලි සේනානායක මහතාය.

දේශිය කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම කාර්මික හා තාක්ෂණික සංවර්ධනයද එතුමාගේ ඉලක්කය විය. ඩඩ්ලි රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ ඊරියගොල්ල මහතා ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඇරැඹිය. කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනයට පාසල් තුළින්ම අවශ්‍ය අඩිතාලම දමමින් අවශ්‍ය දැනුම ලබාදීමට ක්‍රියාකරන්නට සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවද එවකට සිටි වාමාංශික වංක දේශපාලකයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාව නොමග යවමින් ඇති කළ අමනෝඥ ක්‍රියාකලාපයන් හේතුවෙන් අපේක්ෂිත අධ්‍යාපනයේ නව නැම්ම රටට ළඟා කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය. එදා තාක්ෂණ අධ්‍යාපනය ඒ අයුරින් හෝ අවශ්‍ය වෙනස්කම් කරමින් කරගෙන යාමට ඉඩ සැලසුනේ නම් අද වනවිට ආසියාවේ කාර්මික සංවර්ධනයේ ඉහළ හිනිපෙත්තටම අප ශ්‍රී ලංකාව ගෙන යාමට බොහෝ විට ඉඩකඩ තිබුණි.

ඩඩ්ලි බුදු දහම සුරක්ෂිත කිරීමටත් පෝෂණය කිරීමටත් හදවතින්ම බැඳී සිටි නායකයෙකි. එදා ඩී.එස්. සේනානායක මහතා රුවන්වැලි සෑරදු සංරක්ෂණය කමිටුවේ කටයුතු කළ අයුරු දැක බලා ඇති ඩඩ්ලි සේනානායක මහතා එම පිළිසකර කටයුතු තම පියාගේ අභාවයෙන් පසුවද නොපිරිහෙලා කරගෙන ගියේය.

මහියංගණ සෑරදුන් චෛත්‍යයේ කොත පලඳවා කටයුතු නොපිරිහෙලා කරගෙන යාමට එතුමා තුළ ඉමහත් කැපවීමක් තිබුණි. අනුරපුර නගර සංවර්ධන කටයුතු විධිමත් පරිදි කරගෙන යාමට අතහිත දුන් එතුමා ඩී.එස්. සේනානායක මහතාගේ අනුග්‍රහයෙන් ගොඩ නැඟුණු සල්ගල ආරණ්‍ය සෙනසුන මැනවින් පවත්වාගෙන යාමට සියලු අයුරින් සහයෝගය ලබා දුන්නේය.

තවත් වෙහෙර විහාර රැසක් තම පෞද්ගලික අධීක්ෂණය යටතේ ගොඩනගමින් කටයුතු කරන්නට ක්‍රියා කළේය. ඩඩ්ලි සේනානායක මහතා කාලයක් තිස්සේම ක්‍රියා කළේ බුදුදහම ලෝකය පුරා ප්‍රචලිත කිරීමටය. ජර්මනියේ බුදුදහම ප්‍රචලිත කිරීමට එතුමා පෞද්ගලිකවම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

ජනවාර්ගික සංහිඳියාව ඉතා අගය කළ එතුමා සිංහල දෙමළ මිත්‍රත්වය ගොඩ නැගීමට වෙහෙසුණ නායකයෙකි. එදා ඒ අරමුණ ඔස්සේ ක්‍රියාකළ එතුමා මතු දිනයක කිසියම් ගැටුමක් නිර්මාණය වියහැකි බවට තිබූ පසුබිම සමනය කිරීමේ ක්‍රමවේදයන් අගය කළාක් මෙන්ම ඒ අරමුණ ඔස්සේ විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීමට පසුබිම් සැකසීමටද කටයුතු කළේය.. එහෙත් අවස්ථාවාදී දේශපාලනය ඊට හරස් විය. එහි ප්‍රතිඵලය වූයේ පසුකාලෙක අන්තවාදී තවත් කලහකාරී පිරිසකට රට විනාශ කිරීමට මග පැදීමකි.

ඩඩ්ලි සේනානායක මහතා දේශපාලනය කළේ ජාතියේ පියාගේ අතිජාත පුත්‍රයකු ලෙසයි. එතුමා අගය කළේ ජනතාවය. එතුමාගේ ආදරය කරුණාව බැඳීම තිබුණේ බුදුදහමට හා සමානාත්මතාවාදයටය. අද දේශපාලකයන් මෙන් මුදල් හා බලය හඹා යන පටු අරමුණු එතුමා තුළ නොවූ බව සක්සුදක් සේ විද්‍යමාන විය.

එතුමා 1973 අප්‍රේල් මස 13 වැනිදා දැයෙන් සමු ගන්නා විට සත්තකයේ පැවැතියේ රුපියල් 500 කටත් වඩා අඩු මුදලක් සහිත බැංකු ගිණුමකි. අවංකත්වය හා මහත්මා දේශපාලනයට මහඟු ආදර්ශයක් වුණ එතුමා ලක් පොළොවේ ශ්‍රේෂ්ඨතම ජනතා පුත්‍රයකු ලෙස අභිනන්දනයට සදා පාත්‍ර විය යුතුම නායකයකු බව අවිවාදයෙන් පිළිගත යුතුය.

ඩඩ්ලි සේනානායක ගුණ සමරු කමිටුවේ විධායක සභික ආචාර්ය අයි. දිසානායක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *