ලොතරැයිපත් මිලදී ගෙන ජයග්‍රහණය උරගා බැලීමට බොහෝදෙනා පුරුදුව සිටිති. ලොතරැයි ජය ලැබී කෝටිපතියන් වූ කිහිපදෙනෙක්ද ලංකාවේ වෙසෙති. අද පවතින ලොතරැයි සඳහා පූර්වාදර්ශය ලැබුණේ මෙරට ප්‍රථම ලොතරැයිය වූ ආරෝග්‍යශාලා ලොතරැයියෙනි. ආරෝග්‍යශාලා ලොතැරැයියේ අරමුණ වී තිබුණේ එවකට තිබූ ආරෝග්‍ය ශාලා සඳහා අරමුදල් සොයා ගැනීමය.
ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම් ඇදීමෙන් වාසනාවන්තයා බවට පත් වූයේ කෑගල්ලේ ගලිගමුව බිසෝවෙල පදිංචි කිරිඅප්පු මහතායි. ඔහුට මෙම දිනුම ඇදී ඇත්තේ මීට දසක හයකට පමණ පෙරයි. එනම් 1955 වසරේ සැප්තැම්බර් මාසයේය. ලංකාවේ පළමු ලොතරැයි දිනුමේ ප්‍රථම ජයග්‍රාහකයා ලෙස පත් වෙන විට ඔහු ගලිගමුව නගරයේ තේ ස්ටෝරුවේ කම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර එම ජයග්රහණයෙන් පසුව වතු පිටි, හරකා බාන, වාහන මිලයට ගත් කිරිඅප්පු මේ වෙන විට ජීවතුන් අතර නැත. කිරිඅප්පු මහතාගේ දරුවන් සහ දැනට අවුරුදු 82 ක් වෙන බිරිඳ තවමත් ජීවත් වෙන්නේය. දසක 6 කටත් වැඩි කාලයකට පෙර සිදු වූ මෙම ලොතරැයි ජයග්‍රහණයේ කතාව සොයා ගෙන අපි ගලිගමුවේ බිසෝවෙලටත් දැනට ඔවුන් පදිංචි මාවනැල්ල ලෝල්ලේගොඩ නිවස වෙතටත් ගියෙමු.
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල පසු කරමින් ගලිගමුව නගරයට ළඟා වෙන්නේ මීටර් 800 පමණ වූ තරමක වංගු සහිත කොටසක් පසු කිරීමෙන් පසුවයි. ඒ ගමනේදී අපට අඹන්පිටිය තේ කර්මාන්ත ශාලාව හමුවෙන අතර මෑතක සිට එහි පරණ ස්වරූපය වෙනස් කොට සංචාරක ආකර්ෂණයට ලක් වෙන ලෙස නවීකරණය කළත් තේ කර්මාන්ත ශාලාව එහි ඇත. මෙම ස්ථානයේ සිට කිලෝමීටර් 2 ක පමණ දුරකින් බිසෝවල ගම්මානය පිහිටා ඇති අතර මෙම ගමේ කිරිඅප්පුගේ සම වයසේ තරුණ වැඩිහිටි බොහෝ දෙනෙක්ම මෙම තේ කර්මාන්ත ශාලාවේ සේවය කළ බව දැනට ජීවතුන් අතර සිටින ගමේ වයෝවෘද්ධ අය පවසති.
මෙහි සේවයේ යෙදී සිටින අතරවාරයේ තේ බීමට අසල කඩයට ගිය විට ලොතරැයි රැගත් වෙළෙන්දෙකු වට කරගෙන සුවිප් මිලයට ගනිමින් සහ සුවිප් තෝරමින් බොහෝ දෙනෙක් සිටි අතර එක් සුවිප් ලොතරැයියක මිල ශත 50 ක් විය.
මේ ලොතරැයියේ දිනුම ලැබුණොත් රුපියල් ලක්ෂයක මුදලක් ලැබෙන බව වෙළෙන්දා ඒ වූ පිරිසට පවසන්නට වූ අතර මෙම විශාල මුදල ජයග්‍රහණය පිළිබඳව විශාල බලාපොරොත්තු නොමැති වුවත් කිරිඅප්පුද ශත 50 ක මුදලක් වියදම් කර ලොතරැයියක් මිලයට ගෙන ස්ටෝරුවේ වැඩ අවසන් වී නිවසට ගොස් බිත්තියේ ගෝන අංතට්ටුවේ පිටුපස එය රඳවා ඇත. කිරිඅප්පු කියූ දේවල් ගැන තම මතකය අවදි කරමින් බිරිඳ අපට මෙසේ පැවසුවාය.
මේ ලොතරැයි දිනුම අපේ මුදලාලිට 1955 සැප්තැම්බර් මාසයේ ඇදුනා කියලා තමයි කියන්නේ. එතකොට මුදලාලි තනිකඩයෙක්. අපි දෙන්නා විවාහ වුණේ 1959 ඔක්තොම්බර් 21 වැනිදා යැයි ද ලොතරැයිය ඇදිලා අවුරුදු හතරකට පස්සේ යැයි ද මේ වෙන විට 82 වියේ පසුවෙන රාජකරුණාලාගේ පුංචි එතනා කියයි.
පුංචි එතනා විසින් තම ස්වාමියාට “මුදලාලි” යැයි පවසන්නේ කුමක් නිසාදැයි මා මුලින්ම ඇයගෙන් විමසූ විට ඇය පැවසුයේ ලොතරැයිය ඇදුනාට පස්සේ බොහෝ දෙනෙක් සුවිප් මුදලාලි කියලා නිතරම කියන්න ගත්තා. මමත් ඒ නිසා අපේ කිරිඅප්පුට කතා කළේ “මුදලාලි” කියලායි ඇය සිනා මුසු මුහුණින් කීවාය.
මම විවාහ වුණේ යෝජනාවකට අනුවයි. අපේ පවුලේ මල්ලියි මායි විතරයි. ඒ කාලේ මම උස්සාපිටිය මාවතගොඩ ස්කෝලේ ඉංග්‍රීසි භාෂාවෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය උසස් ලෙස සමත් වී එච්.එස්.සී. විභාගයට ඉගෙන ගන්න සිටියේ. ඉගෙන ගෙන රැකියාවකට යන්නත් ඔන්න මෙන්න තමයි හිටියේ. නමුත් අපේ දෙමාපියන් මේ යෝජනාව ආවාට පස්සේ මුදලාලිට විවාහ කර දෙන්න තීරණය කරලා 1959 ඔක්තොම්බර් 21 වැනිදා විවාහ කරලා දුන්නා.
මුදලාලි එච්චර කලබල නැති හොඳ මනුෂ්‍යයෙක් කියලා මමත් බැලූ බැල්මටම තේරුම් ගත්තා. ඒ අනුව තමයි මේ විවාහය සිද්ධ වුනේ. එතකොට මට අවුරුදු 23 යි. ඒ වෙන කොට මුදලාලි ඒ තරම් ඉගෙනීම අතින් පාසල් අධ්‍යාපනයක් ලබලා තිබුණේ නැති වුණාට අපේ අම්මලා තාත්තලා බල කළා කිරිඅප්පු බඳින්න කියලා. මුදලාලිට ඒ දවස්වල අක්කර විස්සක ඉඩමක් මොරිස් මයිනර් කාර් එකක්හෙම තිබුණු නිසා අම්මලා මුදලාලිට කරකාර බන්දලා දෙන්න අකැමැත්තක් දැක්කුවේ නැහැ. අපි විවාහ වෙලා දවස් හතරක් මගුල් කෑවා.
මගේ මංගල උත්සවය බලන්න බොහෝ දෙනෙක් ආවා. හොඳ ජයට විවාහ උත්සවය තිබුණා. මම පහත රට සාරිය ඇඳලා වේල් එක දාලා තමයි හිටියේ. පුංචි එතනා එම විවාහ උත්සවයේ විස්තර අපිට සතුටින් පැවසුවාය.
විවාහයෙන් පසුව කිරිඅප්පු විසින් පුංචි එතනා ගලිගමුව බිසෝවෙල පිහිටි මහ ගෙදරට කැන්දාගෙන ගිය අතර එහි ටික කාලයක් ගත කිරීමෙන් අනතුරුව ඇයත් සමග මාවනැල්ලේ ලෝල්ලේගොඩ වත්තට කැන්දාගෙන පැමිණි බව ද පවසයි. එම ඉඩමේ නිවස සකස් කරන්නට වැලි ගත්තේ මේ ඉස්සරහා තියෙන ඔයෙන්. නිවසට අවශ්‍ය ගස් අපේ හෙම්මාතගම මහ ගෙදර වත්තෙන් ගෙනාවා. ඒ කාලේ හැටියට ඒ ගෙදර වැඩ අවසන් කරන්න අපිට රුපියල් පන්දාහක මුදලක් තමයි ගියේ. ඇය කීවාය.
මේ දෙපොලට දරුවන් තිදෙනෙක් සිටින අතර ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ වැඩිමහල් පිරිමි දරුවෙකි. මේ වන විට පිරිමි දරුවා මිය ගොස්ය. පුංචි එතනා මේ වෙන විට බාල දියණියගේ නිවසේ කාලය ගත කරන අතර වැඩිමහල් ගැහැනු දැරිය නුවරඑළිය ප්‍රදේශයට විවාහ වී සිටී. ඇයද රජයේ රැකියාවක් කරන අතර මේ වන විට නිවසේ සිටින බාල දියණිය වන එම්.පී. කල්‍යාණි කුසුමලතා ද පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කොට භීෂණ කාල වකවානුවේ එයින් ඉවත් වී ඇත. ඇයට දැන් වයස අවුරුදු 54 කි.
කිරිඅප්පු ගලිගමුවේ බිසෝවල ඉන්නකොට ලොතරැයිය දිනුම් ඇදුනාට පස්සේ එයාගේ පවුලේ 11 දෙනෙක් විතර හිටපු සහෝදරයන්ටත් වතු පිටි කුඹුරු මේ ලොතරැයිය ඇදුණු සල්ලිවලින් අරන් දීලා. අපි දැන් මේ ඉන්න මාවනැල්ල අරණායක පාරේ ලෝල්ලේගොඩ වත්ත ඉඩමේ අක්කර 20 කට වැඩි කොටසක් ඒ දවස්වල අරගත්තා. දැන් නම් කෝටි ගණනක් වෙන මෙහි වටිනාකම එදා මිල වුණේ අක්කර 20ටම රුපියල් 45000 ක මුදලක්.
මට මතකයි මුදලාලි කියලා තියෙනවා ඒ දවස්වල බිසෝවෙල ඉන්න කාලේ අඹන්පිටියේ තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන කොට මාසික පඩිය රුපියල් සීයයක් පමණ කියලා. ඒ කාලයේ හැටියට ඒ මුදල විශාල මුදලක් ඇය කීවාය.
මෙම ලොතරැයිය දිනුම් ඇදීම සිදු කළාට එහි ජයග්‍රාහකයා ගලිගමුව ප්‍රදේශයේ අයෙක් වෙන බව තේ ස්ටෝරුවේ කිරිඅප්පු සමග වැඩ කරන අයෙක් පවසා ඇති අතර තවමත් එහි ජයග්‍රහකයා මුදල ලබා ගැනීමට ගොස් නැති බවද කිරිඅප්පුට පවසා තිබේ.
තමන්ද ටිකට් පතක් මිලයට ගත් බව සිහියට හා කිරිඅප්පු එදින හවස් කාලයේ තේ ස්ටෝරුවේ වැඩ අවසන් වී නිවසට ගොස් තමන් ගත් ලොතරැයිය නිවස පුරා සොයා බැලුවත් ඔහුට එය ගෝන අං තට්ටුව අස්සේ රඳවපු බව මතකයට ආවේ නැත. පසුව ඔහු එදින රාත්‍රී නින්දට ගොස් කල්පනා කරමින් සිටියදී ගෝන අං අස්සේ රඳවනු ලැබූ ලොතරැයිය මතක් විය. එදින රාත්‍රියේදීම නින්දෙන් අවදි වී එය ගත් ඔහු පසුදා කෑගල්ල නගරයට ගොස් නගරයේ පිහිටි කඩයක මුදලාලි කෙනෙකුට දී එහි අංක පරික්ෂාවට ලක් කර තිබුණි. එය පරික්ෂාවට ලක් කරන විට පුදුම සහගත දෙයක් ඔහුට සිදු වි තිබුණි. ඒ ඔහුගේ ලොතරැයියට ලංකාවේ පළමු දිනුම ඇදී ඇති බවය. අංක සියල්ල ගැළපී තිබුණි. එහිදී කිරිඅප්පුට කිසි දිනක නොවූ සතුටක් ඇති වී ඇත.
එම මුදල කොළඹ තිබූ එවක කාර්යාලයට ගොස් කිරිඅප්පු ලබාගෙන ඇති අතර කිරිඅප්පුගේ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් එකල පුවත් පතකද ලිපියක් පළ වී තිබුණි. එහි මෙසේද සඳහන් වී තිබුණි. රුපියල් 97,343.50 ක පළමු දිනුම ගලිගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි ඒ මහතා 11 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියායි. එය දැවැන්ත මුදලක් ලෙස ඒ කාලයේ හඳුන්වා තිබුණු නිසා ලොතරැයි මණ්ඩලයේ නිලධාරින් කිරිඅප්පුගෙන් අසා ඇත්තේ මෙම මුදල වියදම් කරන්නේ කෙසේ ද කියාය.
මෙම ජයග්රහණයෙන් පසුව කෑගල්ලේ හතර වට ජනප්‍රිය වූ මේ තරුණ චරිතය වෙනුවෙන් මංගල යෝජනා රැසක්ද ඉදිරිපත් වූ බව අසන්නට ලැබුණු අතර සමහර දෙමාපියන් මේ සල්ලිකාර තරුණයාට තම දූ වරුන් සරණ පාවා දීමට මංගල යෝජනාද රැසක්ම ඉදිරිපත් කර තිබුණත් ඔහුගේ හිත ගිය හෙම්මාතගම පුංචිඑතනා ආදරණීය බිරිඳ වශයෙන් විවාහ කර ගත්තේය.
අද වෙන විටත් මාවනැල්ල නගරයේ සිට කිලෝමීටර් 5 ක පමණ දුරක් යන විට මා ඔය අසබඩ උස් බිම්කඬේ පිහිටි නිවස සහ එම වත්ත බොහෝ දෙනෙක් හඳුන්වන්නේ සුවිප්වත්ත යනුවෙනි. මෙම ඉඩම මිලයට ගත් දා සිටම වත්තේ මිශ්‍ර බෝග වගාව සිදු කර ඇති අතර සරුසාර කුඹුරු යායෙන් විශාල අස්වැන්නක්ද ලබා ගෙන ඇත. දිනපතා කිරිඅප්පුගේ වත්තේ මුදලට සේවකයන් වතු පිටියේ වැඩ කරන අතර ඒ සඳහා ගලිගමුවේ බිසෝවෙල ගමේ තරුණයෝ සහ වැඩිහිටියෝද ඒ අතර වූහ. කුඹුරු යායේ ගොයම් පැළ සිටුවීමට හා ගොයම් කැපීමේ කටයුතුවලට පුංචිඑතනාගේ හෙම්මාතගම ගමෙන්ද බොහෝ දෙනෙක් එහි පැමිණියහ.
මාවනැල්ලේ ලෝල්ලේගොඩ කුඹුරේ ලාස් 16 ක් පමණ තිබුණු බවත් ඒ කාලයේ බුසල් 80 ක 90 ක හොඳ අස්වැන්නක් එහි තිබුණු බවත් පුංචි එතනා කීවාය.
“ඒ කාලේ අද වාගේ නෙවෙයි. මොනවා හැදුවත් හොඳ සරුසාරට අස්වැන්න තියෙනවා. ඒකට දැන් අවුරුදු හත අටක ඉඳලා මිදුලේ මොනවා හරි හදලා තිබුණත් ඌරන්, ඉත්තෑවන්ගෙන්, රිලවුන්ගෙන් කරදර. ඉස්සර මට මතකයි බතල, මඤ්ඤොක්කා ඇතුලු අල වර්ගම අපේ වත්තේ සෑහෙන්න තිබුණා.
අම්මාගේ මේ කතාවට දියණිය කල්‍යාණි කසුම්ලතා මහත්මියද අදහසක් එකතු කරමින් මෙසේ පැවසුවාය.
අපේ තාත්තාට ලයිසන් තුවක්කුවක් තිබුණා. ඉස්සර මෙච්චර සත්තු ඇවිත් වගාවට හානි සිදු වුණේ නැති වුණාට එන සත්තු කිහිප දෙනා වුණත් මෙල්ල වුණේ මේ තුවක්කුව නිසා. අද නම් තාත්තා නැති නිසා අපි ඒක නැවත භාර දීලා තියෙන්නේ දියණිය කීවාය.
මේ සාකච්ඡාවේදි අපට දැන ගැනීමට හැකි වූයේ කිරිඅප්පු විසින් ඉත්තෑවන්, මී මින්නන්, හාවන් යන සතුන් ඉඳහිට දඩයම් කරන බවයි. ඔහුගේ ප්‍රියතම ආහාරය කොස් හා මස් වන බව ද දැන ගැනීමට හැකි විය. පුංචි එතනා කීවේ සත්තු දඩයම් කළා වාගේම සත්තුන්ට මහත් වූ කරුණාවක්ද දක්වන බවයි. ඒ නිසාම ඔහු තම වගාවට අවශ්‍ය වන ගවයන්, එළුවන් හා කුකුලෝ ඇති කළ බවත් සුරතලයට මුගටියෙකුද ඇති කළ බවත් පැවසීය. කිරිඅප්පු නිවසේ විවේකීව සිටින විට සහ ආහාර ගන්නා විට මුගටියා කර මත නිදා ගන්නා බවද කියයි. මීට අමතරව ගිරව් සැළලිහිණියන්ද නිවසේ සුරතලයට ඇති කර තිබිණි.
දියණිය කල්‍යාණි කුසුම්ලතා මහත්මිය අපිට මෙසේද පවසන්නට වූවාය.
තාත්තා ජීවත් වෙලා ඉන්නකොට අපිට ඉඩම් ලියලා දුන්නා. එක්කෙනෙකුට අක්කර තුන ගානේ. අම්මාට අක්කර දෙකක් ලීවා. ඉතුරු ඉඩම් කිහිපයක් වික්කා. එහෙම කරන්න හේතුව තමයි තාත්තාගේ ඉඩම්වලට ගෙවන්න තිබුණු බදු බර තාත්තාට දරාගන්න බැරි වුණ එක. ආදායම් බද්දට අමතරව මාසයකට රුපියල් 800 ක ධන බද්දක්ද ඒ කාලේ ගෙවන්න වූ නිසා තාත්තා ඉඩම් කිහිපයක් වික්ක බව ඇය අප සමග පැවසුවාය.
මගේ තාත්තා සර්ප වෙදකමට දක්ෂයෙක්. එයාට ඒ වෙදකම ආවේ පරම්පරාවෙන්. ඒ දවස්වල අපේ මේ ගෙදරට සර්පයෝ දෂ්ඨ කරපු අය එක්කරගෙන දිවා රාත්‍රී ගොඩාක් අය එනවා. ඒ සඳහා බෙහෙත් කළේ තාත්තා මුදල් බලාපොරොත්තුවෙන් නෙවෙයි. තාත්තාට බෙහෙත් ගලක් තිබුණා. බිරිඳ පුංචි එතනාද මේ කතාව අසාගෙන සිට පැවසුයේ සර්පයෝ දෂ්ට කරපුවාම රෑ දෙගොඩ හරියෙත් මුදලාලි හොයාගෙන මිනිස්සු එනවා කියලායි.
මගේ තාත්තාට වාහන තිබුණා. කොළපාට මොරිස් මයිනර් කාර් එකක්. ඒකේ නොම්බරේ තමයි ෑඛ 3225. මේකේ තාත්තා ඒ දවස්වල වෙඩින් හයර් පවා ගියා. තාත්තා හොඳ රියදුරෙක්. තාත්තාගේ අභාසය නිසාම මටත් දැන් ලයිසන් එකක් තියෙනවා. තාත්තාගේ කාර් එක දැන් නම් නැහැ. ලංකාවේ කොහේ හරි කාගේ ළඟ හරි දැන් ඇති. මේ මොරිස් මයිනර් කාර් එක මාගේ තාත්තා මිය යන විට කාර් එකට අමතරව එල්ෆ් වෑන් එකකුත් තිබුණා. ඒකේ අපි වන්දනාවෙත් ගිහින් තියෙනවා. යැයිද ඇය පැවසුවාය.
මගේ තාත්තා මිය යන කොට අවුරුදු 72 යි. මිය ගියේ 2003 අප්‍රේල් 29 වැනිදා. මිය යන විට තාත්තාට අංශභාග රෝගී තත්ත්වය තිබුණා. තාත්තාට සුවිප් එක ඇදුණාට පස්සේ එයා ඒ මුදල් නාස්ති කර ගන්නේ නැතිව ඒ කාලේ කරපු දේවල් අදටත් මම ඇතුලු තාත්තාගේ සහ අපේ පරම්පරාවේ අයගේ ඉදිරි ගමන් මගට ලොකු සහනයක්.
අද කාලයේ නම් කෝටි ගණන් මුදල් ත්‍යාග ලොතරැයිවලින් හිමි වන සමහර අය ඒ මුදල් නැති නාස්ති කර ගන්නේ පුදුම විදිහටයි. ඒ අතරින් සමහර දෙනෙක් පමණයි මෙයින් නියම ඵල නෙළා ගන්නේ. ජීවිතයේ වැඩක් ඇති දෙයක් කර ගන්නේ. ලංකාවේ මුල්ම ලොතරැයියේ ජයග්‍රාහකයා වූ කිරිඅප්පුද එවැනි කෙනෙකි. ඔහු ඒ කාලේ ලැබුණු මුදල නිසි ලෙස කළමනාකරණය කොට පරම්පරා ගණනාවක හිත සුව පිණිස එය යොදවා තිබීම වැදගත් වූ කළමනාකරණ ප්‍රතිපත්තියක් සේම සමාජයට ආදර්ශයකි. ඔහු පාසලේ හතර වසර තෙක් අධ්‍යාපනය හැදෑරුවත් ඔහුගේ බුද්ධිය ඒ කාලේ හැටියට ඉතා වැදගත් යැයි මේ කතාව අසා ගෙන ඔහු කළ ක්‍රියාකාරකම් දෙස බලද්දි අපට වැටහෙන්නේය.
මෙම ආරෝග්‍යශාලා ලොතරැයිය 1955 වසරේ ලංකාවේ පළමු ලොතරැයිය ලෙස එහි දිනුම් ඇදීම එම වසරේ සැත්තැම්බර් මස 15 වැනි දින කොළඹ නගර ශාලාවේදී සිදුකර ඇති බව සඳහන්ය.
සටහන ඡායාරූප
මාවනැල්ල හෙම්මාතගම
සමන් විජය බණ්ඩාර