ලොවට ඇවැසි ඔක්සිජන් වායුවෙන් සියයට 30ක් නිෂ්පාදනය කරන, මනුෂ්‍ය හා සත්ව ක්‍රියාකාරිත්වයෙන් නිකුත් කරන කාබන් මොනොක්සයිඞ් වායු නැවත උරාගෙන යළි ඔක්සිජන් ලෙස පිට කරන ලෝකයේ පෙනහැල්ල යයි විරුදාවලිය ලැබූ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ගිනි ගනිමින් තිබේ. බ්‍රසීලයේ නගර ඉහලින් කළු වලාකුළු විසිරී ඇති අතර එහි පරිසරය අඳුරු වී තිබේ. ඇමසන් වනයටම ආවේණික වනසතුන් දැවී අලුවී සිටින දර්ශන අන්තර් ජාලයට මුදාහැරෙමින් තිබේ. මිනිත්තුවකට ප්‍රමිතිගත පාපන්දු ක්‍රීඩාංගණයක විශාලත්වයට සරිලන බිම් කඩක් දැවෙන අතර හිතුවක්කාර පාලකයෙකු වන බ්‍රසීල පාලකයා තවමත් කටමැත දොඩවමින් සිටී. නොබෝදා සංවර්ධිත ජාතීන් ගණනාවකින් සමන්විත ජී7 සමුලුව ගිනි නිවීම සඳහා ඩොලර් මිලියන ගණනක ආධාරයක් දීමට ලක ලෑස්ති වුවත් බ්‍රසීල පාලකයා පැවසුවේ ගින්නට හේතුව ලෙස බටහිර ජාතීන් තමන්ගේ පාලනයට එරෙහිව කරන ප්‍රකාශ ගැන සමාව ගන්නේ නම් පමණක් එකී ආධාර බාර ගැනීමට සූදානම් බවයි.
ගෙවී ගිය අගෝස්තු 15 වනදා ඇරඹි මේ ගින්න ලැව් ගිනි 9500කට වඩා වැඩි යයි සඳහන් වේ. නාසා ආයතනය කියන්නේ අභ්‍යාවකාශයේ සිට පවා මේ ගින්න නැරඹීමට තරම් විශාල එකක් බවය.
ලොව විශාලතම හා වඩාත්ම ජෛව විවිධත්වයක් සහිත නිවර්තන වැසි වනාන්තරවලින් සමන්විත ඇමසන් වනාන්තරයේ තනි මහා ගස් බිලියන 390ක් හා අනෙකුත් ගස් වර්ග 16,000ක් ඇතැයි කියනු ලැබේ. කෘමීන් මිලියන 2.5ක්, කුරුල්ලන් හා ක්ෂීරපායින් වර්ග 2000ක් ජීවත්වේ. වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයනා, සූරිනම්, ප්‍රංශ ගයනාවට මායිම්ව ඇමසන් වනාන්තරයේ සුළු ප්‍රමාණයක්ද, වනාන්තරයෙන් 60%ක් බ්‍රසීලයටද, පේරු රාජ්‍යයට 13%ක්ද කොලොම්බියාවට 10%ක් ද අයත් වේ. ඇමසන් ද්‍රෝණිය වර්ග කි.මී. 7,000,000 පුරා පැතිර පවතී.
ගෝත්‍ර 400 ගණනකට අයත් ආදි වාසින් දහස් ගණනක් ඇමසන් වනයේ කොටසක්ව ඒමත සිය සහජීවනය සකස් කර ගනිමින් ජීවත් වේ.
ඇමසන් වනාන්තරයේ විනාශයට ප්‍රධාන හේතුව මිනිස් ජනාවාස කරණය සහ වගාවන්ට හා අධිවේගී මාර්ග තැනීමට ඉඩම් එළි පෙහෙළි කිරිම හා ගිනි තැබීමයි.
අවාසනාවට ඇමසන් වනාන්තර ද්‍රෝණිය අයත් සෑම රටක්ම පාහේ අස්ථාවර දේශපාලනය, දිළිඳුකම, මගින් පීඩා විඳින රටවල්ය. එහෙත් මේ වනාන්තර පද්ධතිය මුදා හරින ඔක්සිජවන් මුළු ලෝකයේම පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයකි.
ඇත්තටම මෙවැනි පොදු ලෝක උරුමයන්ට ඒවාට හිමි ආරක්ෂාව ලබා දීමට ඒවා අයත් රටවලට නොහැකියි.
1945 දෙවන ලෝක යුද්ධය නිමාවීමත් සමග ලෝකයේ රාජ්‍යයන් ජාතිකත්වය මත නැවත නම් කෙරුණා. ඊශ්‍රායලය නමින් අලුත් රටක් බිහි වුණා. දෙවන ලෝක යුද්ධයම හේතුවක් නොවුනත් එකක්ව තිබූ මහා භාරත දේශය ඉන්දියාව, පාකිස්ථානය පසුව බංගලා දේශය නමින් රටවල් තුනක් වුණා.
දැන් පරිසර බලපෑම් හේතු කොට ගෙන රාජ්‍යයන්ගේ ස්වරූපය නැවත සකස්වීමට කාලය ඇවිත්. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක සාමය අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවිමත් පසුව එය, ආර්ථිකය, මානව අයිතීන්, සෞඛ්‍ය, පරිසරය, අධ්‍යාපනය ආදි විෂයයන් අළලා සිය වගකීම් වෙනුවෙන් උප ආයතන බිහි කරගත්තා. ලෝකයේ අභ්‍යන්තරික වාර්ගික ගැටුම් සමනය කර ගැනීමට එකී රාජ්‍ය සමත් නොවන විට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ඒ කටයුතුවලට මැදිහත් වී සාර්ථක ප්‍රතිඵල නෙලා ගෙන තිබෙනවා.
දුගී ජන අනුපාතය ඉහළ යමින් රාජ්‍ය ණය බරින් පෙළෙන ආසියාවේ අප්‍රිකාවේ, ඇමසන් කලාපයේ වැනිසියුලා වැනි රාජ්‍යයන්ට පරිසරයට හා එයට අවශ්‍ය පරිමිතීන්ට සරිලන ආරක්ෂාවක් දිය නොහැකියි. අනෙක් අතට ඒවාට අදාළ විනාශයන්ට වැඩියෙන් වග කිව යුත්තේද රට කරවන පාලකයන්මයි. එහෙත් ලෝකයේ කොයි තැනක පිහිටා තිබුණත් වනයේ රැකීම හෝ විනාශය ලෝකයේ ගෝලීය උණුසුමේ් මට්ටම තීරණය කිරීමට බලපානවා. ඒ ඒ වනාන්තර වැනි ලෝක උරුම පද්ධතිීන්ට නිසි ආරක්ෂාව දිය නොහැකි රටවල එවැනි සදාතනික උරුමයන්ට ආරක්ෂාව සපයාදීම එක්සත් ජාතීන් විසින් පවරා ගත යුතුය.
භූතානය යනු ලෝකයේ පරිසරය ආරක්ෂා කරමින් සතුටින් ජීවත්වන රාජ්‍යයක්. එහෙත් ඔවුන්ටද ගෝලීය උණුසුමින් ගැලවී සිටීමට නොහැකියි. ඇමරිකාව හා චීනය ගෝලීය උණුසුම වැඩි කිරිමට අදාළ වැඩිම විෂ වායු විශ්වයට මුදා හරින රටවල් දෙකයි. එහෙත් ඔවුන් එමගින් උපයන ධනයට සමානුපාතිකව විනාශ කරන ලෝක පරිසර පද්ධතිය වෙනුවෙන් වැය බරක් දරන්නේ නෑ. මේ අසාධාරණය පිටු දැකීමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට වඩා අනාගතවාදීව බැලිය යුතුයි.
වාසනාවකට වගේ අප ජීවත්වන කැනඩාව පරිසර සංවේදී රාජ්‍යයක්. එය මහ ගස්වලට ලොකු සතුන්ට විතරක් නොවෙයි කුඩා පැලෑටිය කුඩා කෘමීන් රැක ගැනීම දක්වා සංවේදීයි. ඔවුන්ගේ ඒ ප්‍රතිපත්තිවලට සංවේදී බව කැනඩාවේ දියුණුවේ එක් පදනම් ගලක්.
පරිසරය රැක ගැනීම පාලකයන්ගේ රටට ඇති ආදරය, ඔවුන් සතු ශිෂ්ට සම්පන්න බව විදහා දක්වන්නක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රමුඛ දේශපාලකයෙක් වසර සිය ගණනක් පැරණි ගංගා රක්ෂිතයක පිහිටි කුඹුක්ගස් ගණනාවක් අභිනවයෙන් ඉදිකරන තම මාලිගාවේ පොළොවට බිමට යෙදීම සඳහා කැපීමට මාන බලද්දී එය වැලකුණේ පරිසර සංවිධානවල මැදිහත්වීම නිසාය.
සිංහරාජය ඇතුලු මහා වැසි වනාන්තරවලත් මහවැලි ගඟ ඇතුලු ගංගා රක්ෂිතයන්හි හෝටල් ඉදිකිරීම, ඒවාට අපද්‍රව්‍ය මුදාහැරීමත් සිදු වෙනවා. මේ ඉදිකිරීම් බොහොමයක ඍජු අතියිකාරයන් ලංකාවේ දේශපාලකයන්.
පරිසරය ආරක්ෂා කිරීම යනු අපේ දුවා දරුවන්ටත් ඊළඟ පරම්පරාවන්ටත් ලබා දෙන පොදු ධනයයි. ඇත්තටම ඔවුන්ට ලබා දෙන ජීවිත දානය වනුයේ පරිසරය රැක දීමයි.
ගිනිගනිමින් පවත්නා ඇමසන් වනය වසර මිලියන දෙකකට වඩා පැරණි බවයි කියවෙන්නේ. ඒ අනුව ගින්නට හසුවී ඇද වැටෙන මහ ගස් වනාහි වෘක්ෂ රාජයන් ලෙස හැඳින්විය හැකියි.
ඇමසන් වනාන්තරයේ ගින්න ඇරඹී ඇත්තේ බ්‍රසීලය පැත්තෙන් බවයි කියවෙන්නේ. බ්‍රසීලය ඇමසන් මහවනයද ඇතුලු බහු විධ සම්පත් සහිත රාජ්‍යයක් වුවත් ලොකයේ ලොකුම මුඩුක්කු සංචිතය ඇත්තේද ඒ රටේ. අපරාධ බහුල එම රටේ පාලකයෝ බොහෝ විට සිය පාලනයෙන් පසු දූෂන චෝදනා නිසා ඊළඟට යන්නේ හිර ගෙදරටයි. ඒ කාරණයේදී නම් බ්‍රසීලය ශ්‍රී ලංකාවට වඩා දියුණුයි.
බ්‍රසීලයේ අර්බුද විනයානුකූලව විසඳීමට බ්‍රසීල ජනතාව විසින් හිටපු හමුදා නිලධාරියකු වූ දක්ෂිණාංශික ජෙයාර් බොල්සොනාරෝ බලයට පත් කර ගත්තා. මේ ඇමසන් වනය මේසා පරිමාණයෙන් ගිනි ගනිද්දීත් ඔහුගේ උද්ධච්ච කතාවලින් වැටහෙන්නේ ඔහුට විනාශයේ අනාගත ප්‍රතිඵල ගැන වැටහීමක් නැති බවයි.
අවසාන වශයෙන් කිව යුත්තේ පරිසරය සුරැකීම යනු දේශාපලනයේම අනු අංගයක්. දේශපාලනයේ ගුණ අගුණ පරිසර ආරක්ෂාවට හෝ එහි විනාශයට බලපානවා.