1933 දී බම්බලපිටියේ විශාඛා විද්‍යාලයට නව විදුහල්පතිනියක් පත්කර ගැනීමේ ලැයිස්තුවේ ඉහළින්ම සිටියේ ඩෝරීන් යංග් නැමැති ඉංග්‍රීසි ජාතික යුවතියකි. ඩෝරින් ඒ වන විටත් මාතර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිනිය හැටියට වසර තුනක් සේවය කර ජාතික මට්ටමේ අවධානයක් දිනා සිටියාය. විශාඛා විදුහලේ පාලක මණ්ඩලයට ඩෝරීන් යංග් නව විදුහල්පතිනිය ලෙස පත්කර ගැනීමට දැඩි වුවමනාවක් තිබුණත් බරපතළ ප්‍රශ්න කීපයක් ඇය සම්බන්ධයෙන් මතුවී තිබුණේය. ඉන් පළමුවැන්න ඉංග්‍රීසි ජාතික යුවතියක් වූවත්, ලන්ඩන් අර්ථ ශාස්ත්‍රාලයෙන් උපාධියක් දිනා සිටියත් ඇය ලංකාවේ බි්‍රතාන්‍ය අධිරාජ්‍ය විරෝධී දේශපාලනයේ නායිකාවක්ව සිටින්නීය. බි්‍රතාන්‍ය ආණ්ඩුව සේවා මුක්ත යුධ භටයන් වෙනුවෙන් මහජන මුදල් එකතු කෙරෙන පොපිමල් දිනයට සූරියමල් විකුණා මේ රටේ දිළින්දන් නඟා සිටුවීමට වෙහෙසෙන්නීය. එම සූරියමල් ව්‍යාපාරයේ සභාපතිනිය වී සිටින්නේ මේ තරුණ විදුහල්පතිනියයි. ඊටත් බරපතළ කාරණය වන්නේ සුරියමල් ව්‍යාපාරයේ ක්‍රියාකාරී නායකයෙක් මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටින එකම හා බලවත්ම අධිරාජ්‍ය විරෝධියා වූ දොස්තර සුගීෂ්වර වික්‍රමසිංහට ඇති සමීප සබඳතාවයයි.
මේ කරුණු සලකා බැලු විශාඛා විද්‍යාලීය පාලක මණ්ඩලය පොරොත්තු ලේඛනයේ ඉහළින්ම තිබුණු ඩෝරීන් යංග් ගේ නම කටුගා දැමුවේය. රටේ ජනප්‍රිය හා බලවත්ම බෞද්ධ බාලිකා විදුහලේ විදුහල්පතිනිය කිරීම ප්‍රතික්ෂේප වූ ඩෝරීන් ළමා වියේ පටන්ම පරම විඥාණාර්ථ මතවාදයේ අනුගාමිකාවක් බව මේ පාලක මණ්ඩලය නොදැන සිටින්නට ඇත. නමුත් ඩෝරීන් එංගලන්තයේ බි්‍රස්ටල් හී ප්‍රකට ‘ආචාරධාර්මික සමාජවාදී‘ මත දරණ ලේබර් පක්ෂයේ ක්‍රියාකාරිකයන්ගේ පවුලකින් පැවතෙන අධිරාජ්‍ය විරෝධී දේශපානය වෙනුවෙන්ම ලංකාවට පැමිණි රැඩිකල් යුවතියක් බව දැන සිටින්නට ඇත. තමන්ගේ සෙවනේ වැඩෙන බාලිකාවන්, සමුහය විදුහලේ සමාරම්භක ආයෝජකයන් ගේ දේශපාලන මතවාදය හෙවත් යටත් විජිත ආණ්ඩුව සමඟ ඇති හවුල බිඳ දමනු දැමීමට මෙහෙයවනු ඇතැයි බියවන්නට ඇත.
ඩෝරීන් යංග් ගේ දෙමාපියෝ යටත් විජිත ක්‍රිස්තියානියේ සතුරෝ වූහ. මේ නිසා තම දියණිය ඉගැන්වීමට යැව්වේ යුරෝපයේ පරම විඥාණාර්ථවාදීන් නේවාසික පාසලක් වූ එංගලන්තයේ හාර්ට්ෆර්ඩ්ෂයර් පළාතේ ලෙච්වර්ත් හි ශාන්ත ක්‍රිස්ටෝපර් නේවාසික පාසලටය. සමාජවාදය ද පරමවින්ඥාණාර්ථවාදය ද හිසින් ගත් ඈ ඊළඟට ගියේ ලන්ඩන් අර්ථශාස්ත්‍රාලයටය. එය එකල අධිරාජ්‍ය විරෝධී දේශපාලනයේ යෙදෙන ආසියාතික ශිෂ්‍යයන්ගේ ප්‍රකට තිප්පොලකි. ඩෝරීන් සරසවියේ සිටිද්දීම ඉන්දීය නිදහස් සටනේ ක්‍රියාකාරීනියක් වූවාය. උපාධිය ලැබීමෙන් පසු ඇයට ඉන්දියාවට ගොස් එහි නිදහස් සටනට එකතු වීමට මගක් සෙව්වාය. නමුත් ඉන්දියානු සරසවි මිතුරන්ගෙන් ඇයට එබඳු උපකාරයක් ලැබුණේ නැත. ඔවුන් අතරේ සිටි ලාංකිකන් ඩෝරීන්ට ලංකාවට ඒමට ඇරයුම් කලහ. මේ වෙනුවෙන් වඩාත් වෙහෙසුනේ ලන්ඩනයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධියක් හදාරමින් සිටි සුගිශ්වරය. ඔහු ඇයට මාතර සුජාතා විදුහලේ රැකියාවක් සුදානම් කර දුන්නේය. ඒ අනුව 1930 ඩෝරීන් යංග් ලංකාවට ආවාය. රැකියාව පැවැත්මට යොදා ගනිමින් සෙසු කාලය අධිරාජ්‍ය විරෝධී දේශපාලනයට කැප කළාය.
සූරියමල් විකුණා ලබන මුදල් මැලෙරියාවෙන් දුකට පත් ජනයා වෙනුවෙන් සහන සැලසීමට යද්දී ධනවත්, කරුනාවන්ත දොස්තර සුගීශ්වර ඇගේ බලවත් අවධානයට හසු වුණාය. ඔහු ඒ වන විටත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මොරවක නියෝජිතයාය. අකුරැස්සේ අතුරලියේ නස්නාරංකැටිය වලව්වේ මහා දේපොළක උරුමක්කාරයා මෙන්ම කීර්තිමත් වෛද්‍යවරයෙක් වූවත් ඒ සියල්ල පොදු ජනයාගේ යහපත සඳහා වූ සමාජවාදය වෙනුවෙන් කැපකර සිටියේය. ඒ වෙනුවට ස්වකීය දැනුම යෙදුවේ අසරණ මැලේරියා රෝගීන්ට ප්‍රතිකාර කරන්නටය. සාරියක් ඇඳ සිංහල කතා කරන්නට පුරුදුවී සිටි සිංග්ලිශ් ඩොරින් යං, ඩෝරීන් වික්‍රමසිංහ වීම වෙනුවෙන් විශාඛා විදුහල්පතිකමට වඩා දෙවල් අත්හරින්නට පුළුවන් කමක් තිබුණි.
මේ සුරියමල් ප්‍රේමය 1933 අප්‍රියෙල් 26 වෙනිදා විවාහයක් ලෙස මල්පල ගැන් වුණේය. ඩොරීන්ට විශාකාව වෙනුවට ආනන්ද බාලිකාවේ විදුහල්පති කම ලැබුණේය. ඒත් වසර තුනකි. ආනන්ද බාලිකාවේ විදුහල්පතිනියගේ නිල නිවස අධිරාජ්‍ය විරෝධීන් ගේ නිල නොවන කාර්යාලයක් වෙද්දී යලිත් ඩොරීන්ට රැකියාව අහිමිවිය. ඈ එතැන් පටන් බොරැල්ලේ ස්වාධීන බාලිකා විදුහලක් පටන් ගත්තාය. නවීන අධ්‍යාපනය එහි බාලිකාවන්ට දුන්නාය.
1935 දෙසැම්බරයේ ලංකාවේ මුල්ම දේශපාලන පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය ඩෝරීන් වික්‍රමසිංහ පෙරමුණේම සිටියාය. 1947 ලංකාවේ මුල්ම කාන්තා පෙරමුණ තනද්දී ඈ එහි ප්‍රධාන නායිකාවක් වූවාය.
ඇගේ සූරියමල් ප්‍රේමය වෙනුවෙන් දරුවන් තනද්දී කෑගල්ලේ රොඩී වංශික ජනයාගේ දැරියක් ද ගෙනැවිත් දරු තනතුරේ තබාගෙන හැදුවාය. ඒ කමලා වික්‍රමසිංහගේ කතාව පසුවට තබමු. ඩෝරීන් යංග් වික්‍රමසිංහ සූරියමල් පෙමට දිවිය කැපකර වසර 2000 මැයි 26 වෙනිදා මේ බිමේම මිහිදන් වූවාය.
නන්දන වීරරත්න