රටේ පුරවැසියන්ට විවාහවීම ඇති නිදහසට සීමා පැනවීම හාස්‍යජනක මෙන්ම පිළිකුල් සහගතය. – කරු ජයසූරිය

දේශපාලන

රාජපක්ෂ ආණ්ඩුව මෙරට තරුණ පරපුරට දීමට යන නව අව්රුදු තැග්ග වන විදේශිකයින් හා විවාහ වීමේදී කිසිම රටක නැති අන්දමේ විකාර සහගත සහ වර්ගවාදි නීති පැනවීම ගැන නිවේනයක් නිතුක් කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය එය පුරවැසියන්ගේ නිදහස සීමා කිරීම සඳහා රජය ගෙන ඇති අමනෝඥ පියවරක් ලෙස හදුන්වයි.

මෙවැනි නීති පනවන ලද්දේ පැසිස්ටිවාදී දුෂ්ඨ රාජ්‍යන් විසින් පමණි. මෙම නීතිය මගින් සිදුවන්නේ තමන් කැමැති ස්ත්‍රිය හෝ පුරුෂයා සමඟ විවාහ වීමට ලාංකිකයට ඇති අයිතිය රාජ්‍ය විසින් උදුරා ගැනීමයි.

එම ප්‍රකාශය පහත පළවේ:

ශ්‍රී ලංකා පුරවැසියෙකු විදේශිකයෙක් විවාහ කරගන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇතැයි කියන චක්‍ර ලේඛය රටේ පුරවැසියන්ගේ නිදහස සීමා කිරීම සඳහා රජය ගෙන ඇති අමනෝඥ පියවරක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම එය රටේ ප්‍රතිරූපයට නිගා දෙන්නක් ලෙස ද සැලකිය හැකිය.

ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් කිසි විටෙක පුරවැසියාගේ අතිශය පෞද්ගලික නිදහසට නිති පනවන්නේ නැත. රාජ්‍ය පාලනය යනු විද්‍යාත්මක දර්ශනයක් මත පිහිටා සිදු කළ යුත්තක් මිසක කුටුම්භයන්හි සාමාන්‍ය පැවැත්මට නිති පන වන ක්‍රියාකාරීත්වයක් නොවේ. ශ්‍රී ලංකාව විවාහ වීමේ නිදහසට අදාළව පනවා ඇති මෙම නව සීමා කිරීම ශ්‍රී ලාංකික පුරවැසියන්ට දෙයාකාරයකින් සැලකීමට පදනම දැමීමකි. සත්‍ය වශයෙන්ම එය පුද්ගල නිදහසෙහි පිහිටා කටයුතු කරන එක් පිරිසකට අදාළව වෙනස්කොට සැලකීමට ගත් පියවරක් ලෙසද සැලකිය හැකි ය. ඒ අනුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට හිමිකර දී ඇති මූලික අයිතිවාසිකමක් අමු අමුවේම උල්ලංඝනය කිරීමට ගත් පියවරක් ද වනු ඇත.

එවැනි අශීලාචාර සීමාකිරීම් සිදු කරන බවට වාර්තා වන්නේ ඒකාධිපති රාජ්‍ය පාලනයන් වෙතින් පමණකි. ශිෂ්ට සම්පන්න රාජ්‍යයකින් එවැන්නක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. ඒ අනුව රජයේ මෙම සීමා කිරීම ඉතාමත් ම පිළිකුල් සහගතය. විශේෂයෙන්ම විදේශීය පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධවීම සඳහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගැනීමට තම බලය උපරිම අන්දමින් යොදා ගත් පාලනයන් ගෙන ඇති මෙම තීරණය කිසිසේත්ම සාදාචාර සම්පන්න නොවේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයේ මෙම තීරණය දැඩිව ලෙස හෙළා දකින අතර රටේ ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් පුරවැසි නිදහස ආරක්ෂා කර ගැනීමට පියවර ගනු විනා ශ්‍රී ලංකාව බාහිර සමාජයේ හාස්‍යයට ලක්වන රාජ්‍යයක් බවට පත් නොකරන ලෙසට වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *