යුක්රේන රුසියානු අර්බූදය: නේටෝ යනු කුමක් ද? රුසියාව එය නුරුස්සන්නේ ඇයි?

දේශපාලන

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම, නේටෝව සිය වසර 73ක ඉතිහාසය තුළ මුහුණ දුන් විශාලතම අභියෝගයකි.

යුද්ධය සිදුවන්නේ නේටෝ භූමියේ නැගෙනහිර මායිමේ වන අතර සන්ධානයේ බොහෝ සාමාජිකයින් රුසියාව ඊළඟට තමාට පහර දෙනු ඇතැ යි බියට පත්ව සිටියි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, සහ ජර්මනිය ද ඇතුළු නේටෝව අමතර හමුදා බලඇණි නැගෙනහිර යුරෝපය වෙත යවමින් සිටියි.

කෙසේ වෙතත්, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපදය පවසා ඇත්තේ යුක්රේනයට හමුදා බලඇණි යැවීමේ සැලසුමක් නොමැති බව යි.
නේටෝව යනු කුමක්ද?
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ (North Atlantic Treaty Organisation/NATO) යනු එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය ඇතුළු රටවල් 12ක් විසින් 1949 දී පිහිටුවන ලද යුදමය සන්ධානයකි.

කිසියම් සාමාජික රාජ්‍යයකට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් එල්ලවූ විට එකිනෙකාගේ සහායට පැමිණීමට මෙහි සාමාජිකයන් එකඟවී සිටියි.

එහි මුල් අරමුණ වූයේ යුද්ධයෙන් පසු යුරෝපය තුළ රුසියානු ව්‍යාප්තිවාදයේ තර්ජනයට එරෙහිවීම ය.

1955 දී සෝවියට් රුසියාව නේටෝවට ප්‍රතිචාර දැක්වූයේ, ‘වෝර්සෝ ගිවිසුම’ නමින් නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් රටවල තමන්ගේම හමුදා සන්ධානයක් නිර්මාණය කරමිනි.

1991 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් පසු, වෝර්සෝ ගිවිසුම් රටවල් ගණනාවක් පැති මාරුකර නේටෝ සාමාජිකයින් බවට පත්විය. සන්ධානයට දැන් රටවල් 30ක් එක්ව තිබේ.

යුක්රේන අර්බුදයට නේටෝව සෘජුව මැදිහත් නොවන්නේ ඇයි?
යුක්රේනය නේටෝවේ සාමාජිකයෙකු නොවන බැවින් සන්ධානය එහි ආරක්ෂාව සඳහා පැමිණීමට බැඳී නැත.

එය “හවුල්කාර” රටක් පමණක් වන අතර, අනාගතයේ යම් අවස්ථාවක දී නේටෝවට එක්වීමේ හැකියාවක් ඇතැ යි ඉන් අදහස් වේ.

නේටෝ රටවල් පැහැදිලි කර ඇති තවත් කරුණක් වන්නේ, තම හමුදා යුක්රේනයේ රුසියානු හමුදාවන් හා ගැටුණහොත් එය රුසියාව සහ බටහිර අතර ගැටුමකට තුඩුදිය හැකි බව යි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේ ය: “ඇමරිකානුවන් සහ රුසියාව එකිනෙකාට වෙඩි තබාගැනීමට පටන් ගතහොත්, එය ලෝක යුද්ධයකි.”

නේටෝව සහ යුක්රේනය සමග රුසියාවේ වත්මන් අර්බුදය කුමක්ද?
යුක්රේනය යනු රුසියාව සහ යුරෝපා සංගමය යන දෙකටම මායිම්ව පිහිටි පැරණි සෝවියට් ජනරජයකි.

එහි වාර්ගිකව රුසියානු ජාතිකයින් වන විශාල පිරිසක් වෙසෙන අතර, රුසියාව හා සමීපව බැඳෙන සමාජ හා සංස්කෘතික සබඳතා පවතියි.

උපායමාර්ගිකව ගත්කල, යුක්රේනය රුසියාවේ පිළිකන්න ලෙස රුසියානු රජය විසින් සැලකෙන අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෑතක දී ප්‍රකාශ කළේ යුක්රේනය සැබවින්ම රුසියාවේ කොටසක් බව යි.

කෙසේ වෙතත්, යුක්රේනය මෑත වසරවල දී බටහිර ලෝකය දෙසට වැඩි අවධානයක් යොමුකරමින් සිටියේ ය. යුරෝපා සංගමය සහ නේටෝව වෙත එක්වීමට එහි ඇති ඉලක්කය පිළිබඳව එරට ව්‍යවස්ථාවේ සඳහන් වේ.

එය දැනට නේටෝ “හවුල් රටක්” වේ. මෙයින් අදහස් කරන්නේ අනාගතයේ දී යුක්රේනයට මෙම සන්ධානයට සම්බන්ධවීමට ඉඩ ලබාදිය හැකි බවට අවබෝධයක් ඇති බව යි.

මෙය කිසිදා සිදුනොවන බවට බටහිර බලවතුන්ගේ සහතිකය රුසියාවට අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ එහි සහචරයින් එසේ නොකරන්නේ ස්වෛරී ජාතියක් ලෙස තමන්ගේම ආරක්ෂක සන්ධාන ගැන තීරණය කිරීමට යුක්රේනයට නිදහස තිබිය යුතු බව පවසමිනි.
රුසියාවේ අනෙක් අවශ්‍යතාවන් මොනවා ද?
රුසියාව අනවසරයෙන් අත්කර ගැනීම සඳහා බටහිර බලවතුන් නේටෝ සන්ධානය භාවිතා කරන්නේයැ යි ජනාධිපති පුටින් චෝදනා කරන අතර, නැගෙනහිර යුරෝපයේ නේටෝ හමුදා ක්‍රියාකාරකම් නතර කරන ලෙස ද පවසයි.

නේටෝව නැඟෙනහිර දෙසට ව්‍යාප්ත නොකරන බවට 1990 දී දුන් සහතිකය එක්සත් ජනපදය කඩකළ බව පුටින් දිගු කලක් තිස්සේ තර්ක කළේ ය. නමුත් එක්සත් ජනපදය පවසන්නේ තමන් එවැනි පොරොන්දුවක් ලබා නොදුන් බව යි.

නේටෝව පවසන්නේ රුසියානු දේශසීමාවට මායිම්ව පිහිටන්නේ එහි සාමාජික රටවලින් කුඩා සංඛ්‍යාවක් පමණක් බවත්, එය ආරක්ෂක සන්ධානයක් බවත් ය.

රුසියාව සහ යුක්රේනය සම්බන්ධයෙන් නේටෝව අතීතයේ දී සිදුකර ඇත්තේ කුමක් ද?
2014 මුල දී යුක්රේනියානුවන් ඔවුන්ගේ රුසියානු හිතවාදී ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමෙන් ටික කලකට පසු, රුසියාව යුක්රේනයේ දකුණු ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳාගත්තේ ය. රුසියාව නැගෙනහිර යුක්රේනයේ විශාල ප්‍රදේශයක් අල්ලාගත් රුසියානු-ගැති බෙදුම්වාදීන්ට ද සහාය දුන්නේ ය.

නේටෝව ඊට මැදිහත් නොවූ නමුත්, පළමු වරට නැගෙනහිර යුරෝපීය රටවල් කිහිපයක සිය මිත්‍ර හමුදා ස්ථානගත කිරීමෙන් ප්‍රතිචාර දැක්වූයේ ය. රුසියාව නේටෝ භූමිය ආක්‍රමණය කළහොත් ක්‍රියාත්මකවීම මෙම බලකායන්හි අරමුණ යි.

එයට එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, සහ පෝලන්තය යන රටවල විශාල සේනාංක ප්‍රමාණයේ බහුජාතික යුධ කණ්ඩායම් හතරක් සහ රුමේනියාවේ බහුජාතික බලකායක් අයත්වේ.
සාමාජික රටවල දේශසීමා උල්ලංඝනය කරන ඕනෑම රුසියානු ගුවන් යානයක් අතරමඟ දී නැවතීම සඳහා, නේටෝව බෝල්ටික් ප්‍රාන්තවල සහ නැගෙනහිර යුරෝපයේ සිය ගුවන් පොලිස් සේවය ද පුළුල්කර ඇත.

රුසියාව පවසා ඇත්තේ මෙම බලඇණි ඉවත්කර ගත යුතු බව යි.

වත්මන් අර්බුදය සම්බන්ධයෙන් නේටෝව සිදුකර ඇත්තේ කුමක්ද?
නේටෝවේ නැඟෙනහිර දේශසීමා ශක්තිමත් කිරීම සඳහා, එක්සත් ජනපදය පෝලන්තයට සහ රුමේනියාවට අමතර භටයන් 3,000කට ආසන්න ප්‍රමාණයක් යවා ඇති අතර තවත් සන්නද්ධ භටයන් 8,500ක් සූදානම් කර ඇත (යුක්රේනයේම කිසිදු භට පිරිසක් යෙදවීමට සැලසුමක් නැත).

එසේම, එක්සත් ජනපදය ජැවලින් යුද්ධ ටැංකි නාශක මිසයිල සහ ස්ටිංගර් ගුවන් යානා නාශක මිසයිල ඇතුළු ඩොලර් මිලියන 200ක් වටිනා ආයුධ යවා ඇති අතර, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ආයුධ යුක්රේනයට සැපයීම සඳහා අනෙකුත් නේටෝ රටවලට අවසර දී ඇත.

එක්සත් රාජධානිය යුක්රේනයට කෙටිදුර ටැංකි නාශක මිසයිල 2,000ක් සපයා ඇති අතර, තවත් භටයන් 350ක් පෝලන්තයට යවා, අමතර භටයින් 900කින් එස්තෝනියාවේ ශක්තිය දෙගුණකර ඇත.


එක්සත් රාජධානිය රාජකීය ගුවන් හමුදාවේ තවත් ජෙට් යානා දකුණු යුරෝපයට යවා ඇති අතර, අනෙකුත් නේටෝ යුධ නැව් සමග නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ මුර සංචාරය කිරීමට රාජකීය නාවික හමුදා යාත්‍රාවක් ද යවා ඇත.

නේටෝව, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඇති වන ඕනෑම මානුෂීය අර්බුදයක දී සහාය ලබාදීමට සූදානමින් සිටින ලෙස ද භට පිරිස් 1,000කට නියෝගකර ඇත.

ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ප්‍රංශය, සහ නෙදර්ලන්තය ද නැගෙනහිර යුරෝපයට සහ නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ප්‍රහාරක ජෙට් යානා සහ යුධ නැව් යවා තිබේ.

නේටෝව දැන් සූදානම් වන්නේ කුමකට ද?
නේටෝව යුධ ගුවන් යානා සහ නැව් සියගණනක් සීරුවෙන් තබා ඇති අතර, රුසියාවට සහ යුක්රේනයට මායිම් වන නේටෝ දේශසීමාවන්හි භට සංඛ්‍යාව වැඩි කරනු ඇත.

නේටෝවට, භටයන් 40,000ක් දක්වා සිටින සිය ‘ප්‍රතිචාර බලකාය’ සක්‍රිය කළ හැකි අතර, පෝලන්තයේ සහ බෝල්ටික් ජනරජයේ දැනටමත් පිහිටුවා තිබෙන ආකාරයටම රුමේනියාව, බල්ගේරියාව, හංගේරියාව, සහ ස්ලෝවැකියාව යන රටවල ද අමතර යුධ කණ්ඩායම් පිහිටුවීමට හැකිය.
BBC අනුග්‍රහයෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *