රුසියාවේ සම්භවයේ මුල් අවධියේ අග නගරය වූයේ යුක්රේනයේ කියෙව් ය පුටින්ගේ වත්මන් ම්ලේච්ඡ ප්‍රහාරය මිලිටරි වශයෙන් සාර්ථක වුව හොත් එම නගරය ඇතුළු යුක්රේනය යළි ආරම්භක “ගල් යුගයට” යනු ඇත. එදා එහි චිරප්රසිද්ධ රජා වූ ඉගොර්ගේ තැන ගනු ඇත්තේ හමපඩ ගැහුණ පරණ කේ.ජී.බි.කාරයකු වූ ලේ පිපාසිත පුටින් ය. භූමිය ඔහු සතු වන නමුදු කෝටි සංඛ්‍යාත යුක්රේනියානුවන්ගේ හදවත් තුළ සිය පරම සතුරා ලෙස යුග යුග ගණන් පුටින් වෛරයට පාත්‍ර වනු ඇත. මේක නිසා එම අවමානයට සහ යුද්ධයට වග කිව යුතු නොවන රුසියාවද පාත්‍ර වනු ඇත. එදා කුමින් නමැති තුර්කිවරුන්ගේ ආක්‍රමණයට එරෙහිව යුද වැදි යුක්රේනියාන්වන්ගේ (රුසියානුවන්ගේ) රජා වූ ඉගෝර් ගේ මුවට , ඒ පිළිබඳ ව මහා කාව්‍යයක් ලියූ බෝයාන් කිවියා නැඟූ වදන් කීපයක් පහත පළ වේ:
ඉගෝර් නෙත් හෙළුවේය හිරු දෙස දීප්තිමත්
දුටුවේ ය ඔහු සිය සකල රණ විරුවන්
ගනඳුර තුළ දැවටී සිටිනු
ඇමතීය ඉගෝර් සිය රණ විරුවනට
“සොයුරනි, රණවිරුවනි, යෙහෙකි සටන තුළ මියැදීම
සිරකරුවකු බවට පත් වනවාට වඩා
නැඟ ගනිමු අපි අපේ අජානීය අසුන් මත
නෙත් හෙළමු නිල්වන් දොන් නදිය දෙස
අවැසිය මෙමා හට බිඳ දැමීමට හෙල්ලක් කුමන දේශසීමාවෙදී
මගේ රුසියන්වරුනි, අවැසිවේ මෙමා හට
ඔබ සමග එක්ව දොන් නදී ජලය පානය කිරීමට මගේ හෙල්මටයෙන්
නොඑසේව දමා ඒමට එහි මගේ හිස
(පිටු 169/71)
-තුල්සිරි අන්ද්‍රාදි