යුක්රේන ආක්‍රමණය: “රුසියානු කොන්දේසි පිළිගන්නේ නම් ආක්‍රමණය අවසන්කෙරෙනු ඇත”

දේශපාලන

යුක්රේනය රුසියානු කොන්දේසිවලට එකඟවන්නේ නම් “ඕනෑම මොහොතක” මෙහෙයුම් නතරකළ හැකිබව රුසියාව පවසා තිබේ.

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසන්නේ, යුක්රේනය ක්‍රිමියාව රුසියානු ප්‍රදේශයක් ලෙසත්, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන රාජ්‍යයන් ලෙසත් පිළිගත යුතුබව යි.

මීට අමතරව, යුක්රේනය සිය ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතර, ඕනෑම කණ්ඩායමකට (උදාහරණයක් ලෙස නේටෝ වැනි) එක්වනබවට සිදුකෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ යුතුබව පෙස්කොව් ප්‍රකාශ කරයි.

රුසියාව යුක්රේනයෙන් “හමුදාකරණය ඉවත්කිරීම” අවසන් කරනබවත්, මෙම කොන්දේසි සපුරා ඇත්නම් රුසියානු හමුදා ක්‍රියාමාර්ගය “මොහොතකින් නතරවනු ඇතිබවත්” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

රුසියාව තවදුරටත් යුක්රේන භූමියට හිමිකම්පෑමට උත්සාහ නොකරනබව ද ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා අවධාරනය කරයි.

යුක්රේන සහ රුසියානු පාර්ශවයන් අතර තෙවන සාකච්ඡා වටය පැය කිහිපයකින් පැවැත්වීමට නියමිත ය.

යුක්රේන නිලධාරීන්ට අනුව, මෙම සාකච්ඡාවන් කියෙව් වේලාවෙන් ප.ව. 4ට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 07.30ට) ආරම්භවීමට නියමිතව ඇත.

යුක්රේන රුසියානු අර්බූදය: නේටෝ යනු කුමක් ද? රුසියාව එය නුරුස්සන්නේ ඇයි?
රුසියාවේ විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව්, එළඹෙන බ්‍රහස්පතින්දා (මාර්තු 10 දා) තුර්කියේ ඇන්ටාලියාහි දී යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා හමුවීමට අපේක්ෂා කරයි.

මෙම හමුව යෝජනා වී ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින පසුබිමක යි.

යුක්රේනය පවසන්නේ නගර කිහිපයක ජනයා වාසය කරන ප්‍රදේශවලට දිගින් දිගටම රොකට් ප්‍රහාර එල්ලවී ඇතිබවත් හා, කියෙව් අගනුවර දැඩි ප්‍රහාරයකට මුහුණදිය හැකිබවත් ය.

පසුගිය පැය කීපය තුළ යුක්රේනයේ සිදුවූ දේ මෙසේ යි:

යුක්රේනයේ දැඩි ප්‍රතිරෝධයත්, රුසියානු හමුදාවන්ගේ දුර්වල සැපයුම් සහායත් හේතුවෙන්, රුසියානු භට පිරිස් පසුගිය පැය 48 තුළ ලබාගත් ජයග්‍රහණයන් අවමබව එක්සත් රාජධානියේ ආරක්ෂක නිලධාරීන් විශ්වාස කරයි
එහෙත් යුක්රේන හමුදාපතිවරුන් අනතුරු අඟවා ඇත්තේ රුසියානු හමුදා ප්‍රතිසංවිධානය වෙමින් පවතින අතර, කියෙව් අගනුවරට දැඩි ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වනබව යි
රුසියානු හමුදාව කියෙව් නගරයට තදාසන්න නගරවලට දැඩි ෂෙල් ප්‍රහාර එල්ලකරමින් සිටි අතර, කියෙව් වෙත පහරදීමට සැරසීම සඳහා බෙලාරුස්හි සිට ඉන්ධන බවුසර ගෙනැවිත් ඇතිබව නිලධාරීන් පවසයි
ගිනිකොණදිග නගරයක් වන මරියුපොල් වෙත එල්ලවූ රුසියානු ෂෙල් ප්‍රහාරවලින් මිනිසුන් දුසිම් ගණනක් මියගොස් ඇති අතර, යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු හමුදාවන්ට අනතුරු අඟවා සිටියේ සිය හමුදාවන් විසින්, යුද අපරාධ සිදුකරන ඕනෑම සොල්දාදුවෙකු මිනීවළ දක්වා ලුහුබඳිනු ඇතිබව යි. ඉරිදා ඉර්පින් නගරයට එල්ලවූ රුසියානු ප්‍රහාරයකින් තරුණ පවුලක් මියගිය පසු, රුසියාව සිවිල් වැසියන් ඝාතනය කරනබවට සෙලෙන්ස්කි චෝදනා කළේ ය
යුක්‍රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් පැනවීම යනු නියත වශයෙන්ම “තුන්වන ලෝක යුද්ධය ආරම්භ කිරීම” බව එක්සත් ජනපදයේ සෙනෙට් බුද්ධි කමිටු සාමාජික, රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික මාර්කෝ රුබියෝ ඉරිදා CNN වෙත පැවසුවේ ය
රුසියානු ආර්ථිකය දිගින් දිගටම සම්බාධකයන්ගේ ඉලක්කයක්බවට පත්ව තිබේ. රුසියාවේ සේවා අත්හිටුවන නවතම ප්‍රමුඛ පෙළේ සමාගම් අතරට නෙට්ෆ්ලික්ස්, ඇමරිකන් එක්ස්ප්‍රස්, KPMG සහ PricewaterhouseCoopers එක්ව තිබේ
සිවිල් වැසියන්ට ඉවත්වීමට ඉඩ සැලසීම සඳහා සඳුදා (මාර්තු 7) කියෙව් අගනුවර ඇතුළු යුක්රේනියානු නගර කිහිපයක් හරහා නව මානුෂීය කොරිඩෝවක් විවෘත කරනබව රුසියාව පවසයි – යුක්රේනය පවසන පරිදි මෙම යෝජනාව ඉදිරිපත් වන්නේ, එකඟ වූ සටන් විරාම කාලය තුළ දීත් රුසියානු හමුදාවන් අඛණ්ඩව ෂෙල් ප්‍රහාර එල්ලකිරීමෙන් පසු මරියුපොල්හි මේ හා සමාන උත්සාහයක් අසාර්ථකවීමෙන් දින කිහිපයකට පසුව ය
යුක්රේන හමුදා මේ වන විට නැගෙනහිර චුහුයිව් නගරය යළි අත්පත් කරගෙන ඇතැ යි යුක්රේන ආරක්ෂක බලධාරීන් නිවේදනය කරයි. නගරය සඳහා වූ සටනේ දී ඉහළ පෙළේ රුසියානු අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු ද මියගියබව යුක්රේන නිලධාරීහු ප්‍රකාශ කළහ
දකුණු වරාය නගරයක් වන මිකොලයෙව් වෙත නැවතත් රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලවීම ඇරඹී තිබේ
රුසියානු ආක්‍රමණය මධ්‍යයේ රාජ්‍ය කටයුතු පවත්වාගෙනයාමට සහායවීම සඳහා යුක්රේනයට අමතර ඩොලර් මිලියන 100ක් ලබාදෙනබව එක්සත් රාජධානිය පවසා ඇත
එක්සත් ජනපදය තම මිත්‍ර රටවල් සමග රුසියානු සැපයුම්වලට සම්බාධක පැනවීම සම්බන්ධ සාකච්ඡා සිදුකරනබව පැවසීමෙන් අනතුරුව, 2008 වසරේ සිට වාර්තා වූ ඉහළම තෙල් මිල වාර්තා විය. ගෝලීය තෙල් මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිළ ඩොලර් 139 දක්වා ඉහළගිය අතර, පසුව ඩොලර් 130ක් දක්වා පහළ වැටුණි
“විශ්වාස කළ නොහැකි තරම් නරුම යි”
රුසියාව විසින් යුක්රේනයේ නගර කීපයක් හරහා මානුෂීය කොරිඩෝ පිහිටුවීම යෝජනා කරන ලදබව අපි ඉහත සඳහන් කළෙමු. එහි සඳහන්වන නගර අතරින්, යුක්රේනයේ අනෙකුත් ප්‍රදේශ වෙතට දිවෙන ඉවත්කිරීමේ මාර්ග ඇත්තේ කුඩාම නගර වන වන මරියුපෝල් සහ සුමි සිට පමණි.

අනෙක් නගරයන්ගේ සිට ඇරඹෙන කොරිඩෝවන් සියල්ල රුසියාව සහ බෙලරුස් හරහා දිවෙන්නේ ය.

යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු මෙම යෝජනාව “සම්පූර්ණයෙන්ම සදාචාරවිරෝධී” ලෙස හැඳින්වූයේ, රුසියාව “ජනතාවගේ දුක් වේදනා භාවිතාකර රූපවාහිනී පින්තූරයක් නිර්මාණය කිරීමට” උත්සාහ දරනබව පවසමිනි.

එක්සත් රාජධානියේ රජයේ අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි ද තාවකාලික සටන් විරාමයක් සඳහා වන රුසියානු සැලසුම් – එනම්, සිවිල් වැසියන්ට බෙලරුස් හෝ රුසියාව වෙත දිවෙන මානුෂීය කොරිඩෝවන්ට ප්‍රවේශවීමට ඉඩ සැලසීම – “විශ්වාස කළ නොහැකි තරම් නරුමයැ”යි ප්‍රකාශ කළේ ය.

“මේ වන විට තමන්ගේ සියල්ලම විනාශ කරමින් සිටින රටක් තුළට ඉවත්වයෑමට ඉඩ සැලසීම විකාරයක්,” අමාත්‍යවරයා BBC Breakfast වැඩසටහන වෙත පැවසීය.

එක්සත් රාජධානිය යුක්රේනියානුවන්ට සිය ආරක්ෂාව සලසාගැනීම සඳහා නොනවත්වා උපකාර කරනබව ප්‍රකාශ කළ ඔහු, ආර්ථික සහ මානුෂීය සහයෝගය යන දෙවගම සපයනබව ද පැවසීය.

චීනයේ රතු කුරුස සංවිධානය ද යුක්රේනයට මානුෂීය ආධාර සපයනු ඇතිබව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කළේ ය. ඔහු මේබව සඳහන් කළේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා දිගින් දිගටම පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටින අතරේ දී ය.

රුසියාව සමග චීනයේ මිත්‍රත්වය “පර්වතයක් මෙන්” ශක්තිමත්බැව් අවධාරණය කළ ඔහු, දෙරට අතර සහයෝගීතාවයේ අපේක්ෂාවන් ඉතා පුළුල්යැ යි සඳහන් කළේ ය.

යී මෙසේ ප්‍රකාශ කළේ, ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් රුසියාව හෙළා දකින ලෙස චීනයට බල කිරීමෙන් පැය කිහිපයකට පසුව යි.

චීනය ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරුකිරීම ගැන යළි යළිත් කතාකර ඇතැ යි පැවසූ මොරිසන්, “ඉතිහාසයේ මෙම සන්ධිස්ථානයේ දී, එම කතා හුදෙක් වචනවලට පමණක් සීමා වූ ඒවා නොවේයැ යි පෙන්නුම් කිරීම චීනයට භාර යි,” ද, “වෙනත් කිසිදු රටකට චීනයට වඩා රුසියාව කෙරෙහි මෙතරම් විශාල බලපෑමක් ඇතිකළ නොහැකි ය,”යි ද පවසා සිටියේ ය.

මේ අතරේ, රුසියාවේ මහ බැංකුව සමග ගනුදෙනු කිරීම අත්හිටුවනබව දකුණු කොරියාව පවසා තිබේ.

මීට පෙර එක්සත් ජනපදය ද රුසියාවේ මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, සහ ස්වෛරී ධන අරමුදල් සමග ගනුදෙනු කිරීම තහනම්කර තිබුණි.

යුරෝපා සංගමය ද එවැනිම ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර ඇත.

අනෙකුත් බටහිර ජාතීන් විසින් පනවන ලද දඬුවම් මඟහැරීම සඳහා වන මූලස්ථානයක් ලෙස නවසීලන්තය භාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින්, එරට විසින් රුසියානු ජාතිකයින් දුසිම් ගණනක් ඉලක්කකර ගනිමින් නව සම්බාධක ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර තිබේ.

නව නීති මඟින් රුසියානු කතිපයාධිකාරීන් සියදෙනෙකුට සංචාරක තහනමක් පැනවෙන අතර, ඒ හරහා මොස්කව්හි ලියාපදිංචිකර ඇති සුපිරි යොට් යාත්‍රා, නෞකා, සහ ගුවන්යානා නවසීලන්තයේ ගුවන් සීමාවට හෝ මුහුදු සීමාවට ඇතුළුවීම වළක්වනබව අගමැති ජසින්ඩා ආර්ඩන් පැවසුවා ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *