මුස්ලිම් ප්‍රශ්නය

කතුවැකිය සියලුම ලිපි

‘මානව නිදහස’ පිළිබඳ අදහස ආගමක් තරමට මානව ලබ්ධියක් වෙමින් පවතී. විසිවන සියවස පුරා ආගම්වල දෘඩ දෘෂ්ටීන් සංස්කරණය වෙමින් මානව නිදහසට බලපෑමක් නොවන තරමට ප්‍රතිසංස්කරණය විය. ඒ බව මැනවින් දැන ගත හැක්කේ යුරෝපයේ ක්‍රිස්තියානිය හා ඉස්ලාම් දහම නවීකරණය වී ඇති අයුරු බලන විටය. දෘඩ හා මානව විරෝධී ගති ලක්ෂණ බැහැර කරමින් ඒවා නූතන සුන්දරත්වයක් මනාව සමාජයට එක් කරමින් සිටී. නැගෙනහිර යුරෝපයේ හා නැගෙනහිර ආසියාවේ රටවල් බොහොමයකද ඉස්ලාම් දහමද එලෙස පරිවර්තනයකට බඳුන් වී ඇත. කලාව හා ජීවිතයේ සුන්දරත්වය ප්‍රතික්ෂේප කරන මූලධාර්මික ඉස්ලාමයෙන් බැහැරව සුෆී වැනි සංගීතයට ,කවියට, චිත්‍ර ශිල්පයට මුල් තැන දෙන මුස්ලිම් ධර්මයක් ලෙබනනය, පකිස්ථානය, තුර්කිය ආදි රටවල ව්‍යාප්ත වෙමින් තිබේ. අල් රුමී වැනි කවීන් ඉස්ලාමය ගැන කවි ලියුවේය. ඛලීල් ජිබ්රාන් , ඔමාර් ඛයියාම් වැනි ලෝක පූජිත කවීන් ඉස්ලාමයේ සුෆී ධාරාවට අයත් යයි කියනු ලැබේ. සුෆී ඉස්ලාමයේ සංගීතය හා ගායනා ඇසුරෙන් වර්ධනය කරගත් භාවනා විශේෂයන් පවතී.

එහෙත් අද මේ වර්ගීකරණයන් හා මුස්ලිම් ආගමේ විවිධතා නොදැන සමස්ථ මුස්ලිමුන් එක ගොඩකට දමා ගැරහීමට ලක් කරති. එය අසාධාරණ ක්‍රියාවකි.

බුදුදහමේ, ලංකාව, තායිලන්තය, බුරුමය වැනි රටවල ප්‍රචලිත ථෙරවාදී සම්ප්‍රදායක් ඇත්තාසේම, ටිබටය, වැනි රටවල වජ්‍රයාන සම්ප්‍රදායකුත් ඇත්තේය. ජපානය කොරියාව වියට්නාමය වැනි රටවල මහායාන සම්ප්‍රදායකුත්, චීනයේ භූතානයේ ආදි රටවල තන්ත්‍රයානික බුදු දහමකුත් ඇත්තේය. එහෙත් මේ සියලු ධාරාවන්ගේ මුදුන් තලයේ වැඩ සිටින්නේ එකම බුදුන් වහන්සේ කෙනෙකි. එහෙත් උන්වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අර්ථ ගන්වා ගෙන ඇති ස්වරූපයන් අනුව මේ විවිධත්වය නිර්මාණය වී පවතී.

ක්‍රිස්තියානියේ ද, කතෝලික, ඔතොඩොක්ස්, ඇංග්ලිකානු, මෙතදිස්ත් ආදී විවිධ නිකායික බෙදීම් පවතී. ඇතැම් නිකායන්හි පූජකවරුන්ට විවාහ වීමට අවසර ඇති අතර නූතන ක්‍රිස්තියානි පාර්ශ්වයන්හි පූජකවරුන්ට පූර්ණ ගිහි ජීවිතයක් ගත කිරීමට ඉඩ ප්‍රස්ථාද පවතී. එහෙත් ඒ සියලු පාර්ශ්වයන්ට ඇත්තේ එකම දෙවි කෙනෙක් වන අතර ඇත්තේ එකම ජේයුස් වහන්සේ කෙනෙකි.
එකම අල්ලා දෙවිකෙනෙක්, එකම නබි නායක තුමෙක් සොයා යන මුස්ලිම් නිකායන්ද බොහෝ ගණනකි. සුන්ති හා ෂියා මුස්ලිම් පාර්ශ්ව දෙක ඉන් ප්‍රධාන වේ.

අපේ රටේ අනුරාධපුර යුගයේ දී අභයගිරිය හා මහාවිහාරය අතර ගැටුම් තිබුණේය. එමෙන්ම මහසෙන් වැනි රජවරුන් මහායාන පාර්ශ්වය වැළඳ ගැනීම නිසා ථෙරවාදික භික්ෂූන්ට මහත් කරදර ඇති විය. ඇතැම් භික්ෂූහු පණ බේරා ගැනීමට කැලෑ වැදුනහ. ඇතැම්හු ඉන්දියාවට පැන ගියහ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෑත ඉතිහාසයේ ප්‍රධාන බෞද්ධ පාර්ශ්ව අතර ගැටුම් ඇති නොවූ තරම්ය. අද දවසේ ටොරොන්ටෝවේ පැවැත්වෙන යුනිටි වෙසක් වැනි අනර්ඝ උත්සවයක ලෝකයේ අනේක විධ බෞද්ධ පාර්ශ්වයන් අතර සාමග්‍රීය හා සහයෝගය මැනවින් දක්නට ඇත.

ක්‍රිස්තියානියේද, කතෝලික හා ඔතොඩක්ස් වැනි සම්ප්‍රදායික පාර්ශ්වවලට අතීතයේ ආක්‍රමණකාරී පිළිවෙතක් තිබූ නමුත් දැන් එවැන්නක් නොමැති තත්ත්වයකි දක්නට ඇත්තේ. අයර්ලන්ත අර්බුදය ක්‍රිස්තියානි පාර්ශව අතර යුද්ධයකි. ස්ර්බියාවේ මුස්ලිමුන් මත කගෝලිකයන් වර්ග සංහාරී යුද්ධයක් දියත් කළේය. එමෙන්ම ඇතැම් නූතන ක්‍රිස්තියානි පාර්ශ්වයන් උපක්‍රමශීලීව සමහර රටවල ජනයා තමන්ගේ ලබ්ධියට හරවා ගැනීමේ වෑයම් දක්නට තිබේ. දකුණු කොරියාවේ බුදු දහම අදහන්නන්ගේ ජනගහණය ක්‍රමයෙන් අඩු වූයේ බොහෝ විට ඇතැම් ආගමික නොවන වරදාන සමග ඒ රටවල්වලට උපක්‍රමශීලීව ඇතුලු වුනු නූතන මිෂනාරීන් විසිනි. ලංකාවේද මේ තත්ත්වය අඩුවැඩි වශයෙන් පවතී. මේ තත්ත්වය ලංකාවේ බුදු දහමටත් වඩා කතෝලික දහමට ප්‍රශ්නයක් වී ඇත.

එහෙත් ඉස්ලාමය ඊට වඩා වෙනස් ලෙස ලෝකය හමුවේ පෙනී සිටී. ෂීෂීල තලේබාන්, බෝකෝ හරාම් වැනි අන්තවාදී ම්ලේච්ච සංවිධාන ආයුධ අතට ගෙන ඇත්තේ ඉස්ලාමයේ තමන් නියෝජනය කරන පාර්ශ්වය නිවරැදියයි යන අදහස දරමිනි. දෙවියන්ගේ නියමය ඔවුන් කියන දෙය බව කියති. ලෝකයේ නූතන වර්ධනයන්ට අදහා ගත නොහැකි තරමට එකී ප්‍රජාවන් ම්ලේච්ඡත්වය නියෝජනය කරයි. මොවුන් පළමු කොට හඹා යන්නේ ඉස්ලාමයේ තමන්ගේ පාර්ශ්වය නියෝජනය නොකරන අනෙකාය. (පකිස්ථානය ,ඇප්ඝනිස්ථානය වැනි රටවල සුෆී වැනි අහිංසක මුස්ලිමුන්ට මේ අන්තවාදී මුස්ලිම් කල්ලි වලින් ගැලවීමක් නැත.) දෙවනුව ඔවුන් ක්‍රිස්තියානි වැනි ලබ්ධිකයන් සොයා යන්නේය.

ලෝකය ආපස්සට කැරකෙන්නේ නැත. එය ලෝක නියාමයයි. ලෝකය දිනාගත් මානව නිදහස හා ඉස්ලාමයේ ආධානග්‍රාහිත්වය දැන් ලොව පුරා එකිනෙකා ගැටේ. ලොව ඉස්ලාමිය මූලධාර්මික ප්‍රධාන රටවන සවුදි අරාබියේ පවා මේ ඇතිවෙමින් යන කුඩා කුඩා ප්‍රතිසංස්කරණ (ස්ත්‍රීන්ට සමහර අයිතිවාසිකම් ලබාදීම වැනි) කියාපාන්නේ මානව පැවැත්මට එරෙහි ආගමික දෘඩ බව නියත පරාජයක් ලබන බවයි.

එකම ශාස්තෘවරයා නායකත්වය දරන ආගම වුව රටින් රටට ඒ රටේ හැඩරුව ගනී. සවුදිය නිජ බිම කරගෙන ඇති ‘වහබ්වාදය’ නබිතුමාගේ මරණයෙන් වසර තුන්සියයකට මෙහා පැත්තේ වූ කිසිදු ප්‍රතිසංස්කරණයක් පිළි නොගනී. රාජ්‍ය විචාරීම කුරාණයට අනුව යයි කියැවේ. එහෙත් බහුතර මුස්ලිම් ජනගහණයක් වෙසෙන යුරෝපීය අධිරාජ්‍යවාදය පැතිරෙන්නට පෙර ලෝකයේ බලවත්ම රාජ්‍යය වූ ඔටෝමන් මුස්ලිම් අධිරාජ්‍යයේ ප්‍රධාන රට වූ තුර්කිය අද අනාගාමික රාජ්‍යයකි.

අද ලංකාව නැවතත් වාර්ගික ආතතියකින් පෙලේ. එය අද මුස්ලිම් විරෝධී ආකාරයක් බවට පත්වී ඇත. එය ඥානාන්විතව විසඳා සාමය නැවත ගොඩ නංවා ගැනීමේ සැලකිය යුතු උත්සාහයක් පාලකයන් විසින් දරන්නේ නැත. දැවැන්ත ලේ හැලීමකට පෙර සූදානමක් සහිතව සියල්ල පෙළ ගැසෙමින් පවතින තත්ත්වයක් යටතේ ආණ්ඩුවේ කල් බැලිල්ල පුදුම සහගතය. එමෙන්ම පිළිකුල් සහගතය. මීට සමාන කල් බැලිල්ලක් කළේ 1983 දී ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුවය. එහි නියත ප්‍රතිඵලය වූයේ තිස් අවුරුද්දක් පුරා ඇදී ගිය ලක්ෂ සංඛ්‍යාත ජන සන්නිපාතයක් මිය ගිය හා ආබාධිත තත්ත්වයට පත් කළ යුද්ධයකි. ඊට අමතරව හොඳින් ක්‍රියාත්මක වූ රටේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය අඩපන විය. සමාජ ධුරාවලියේ ස්වරූපය උඩු යටිකුරු විය.

අද ලංකාවේ සෑම ආයතනයක්ම දුෂිත වී ඇත්තාසේම ආගමික සංස්ථාවද දූෂිත වී ඇත. ධර්මය අධර්මයෙන් වෙන්කොට හඳුනාගැනීමට බැරි තරමට තත්ත්වයන් අවුල් වී ඇත. ඒ සඳහා වන ප්‍රධාන හේතුව වන්නේ දේශපාලකයා සමාජයේ සියලු සමාජ ආයතන තම අභිවෘද්ධියට අනුකුලව යටපත් කරගෙන ඇත්තාසේම ආගම් සියල්ලම පාහේද එසේ යටපත් කරගෙන තිබීම නිසාය.

ආගම දේශපාලනයෙන් හා රාජ්‍ය ව්‍යුහයෙන් බැහැරව පවත්වාගෙන ගියා නම් ආගම් රටේ මූලික නීතියට අනුකූලව ඒවාට හිමි සාරධාර්මික ගමන් මගේ ගමන් කරනු ඇත. ෂරියා නීතිය, ෂරියා විශ්වවිද්‍යාල, වැනි දේවල් රටේ මූලික නිති පද්ධතියට අභියෝග ලෙස වැඩෙන්නේ නැත. මුස්ලිම් අන්තවාදී දේශපාලනයක් රටේ ඇති වන්නේද නැත. වහාබ්වාදයක් එන්නේද නැත.

ඕනෑම පුරවැසියකුට ඕනෑම ආගමක් ඇදහිය හැකිය. එහෙත් එය අනෙකෙකුගේ අසහනයට ආරක්ෂාවට හා මූලික නීතියට අභියෝග නොකළ යුතුය. බුර්කා ඇන්ද මුස්ලිම් කාන්තාවෝ 70-80 දශකවල අපි නුදුටුවෙමු. රාජ්‍ය අනුග්‍රහය යටතේ මුස්ලිම් ඡන්ද ගොඩට වශීවී ගත් සමහර තීරණ නිසා ආරක්ෂාවට අනතුරු දායක සමහර දේ රට තුළ ව්‍යාප්ත විය. රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය කාන්තා නිදහසට අනුකූල විය යුතුය. එය ආගමෙන් ආගමට වෙනස් විය යුතු නැත.

අද භික්ෂුන් බහුතරයක් යෙදී සිටින්නේ සිය ශාස්තෘවරයාගේ දහම කියාදීම වෙනුවට මහපාරේ දේශපාලනික හැසිරීමකි. ඒ හැසිරීම ඔවුන් ප්‍රගුණ නොකළ විෂයපථයකට අයත්ය.

අපේ රටේ මුස්ලිම්වරු හා සිංහලයන් අතර අතීතයේ මනාවූ සාමග්‍රිීයක් පැවතුණි. ආනන්ද විද්‍යාලයේ සහයෝගයෙන් මරදානේ සහිරා විදයාලය ගොඩ නැගුණි. මහනුවර ඓතිහාසික ඔරලෝසුකණුව ඉස්මයිල් නමැති ව්‍යාපාරිකයෙකුගේ ධන පරිත්‍යාගයකි. දෙවන රාජසිංහ රජ සමයේ සිට රාජ සභාවේ මුස්ලිම්වරයෙකුට නිලයක් තිබිණි. සිංහල පාරම්පරික ආයුර්වේදය ප්‍රගුණකළ මුස්ලිම්වරු අදත් මහනුවර අනුරාධපුර ආදි පෙදෙස්වල තන්හි තන්හි සිය මෙහෙවර ඉටු කරති. වැඩිම බෞද්ධ ගී ගැයූ මොහිදීන් බෙක් මුස්ලිම්ය. ඒ.ජේ. කරීම් ඇතුලු සිංහල සංගීතාවලියේ දැවැන්තයෝ බොහෝ ගණනක් මුස්ලිම්වරුන්ය. අකුරණ පැත්තේ මුස්ලිම්වරුන්ගේ වගවාසගම් ‘මුදියන්සේලාගේ’ ‘විදානෙලාගේ ’ ආදී වශයෙනි.

එහෙත් අද මරාගෙන මැරෙන සහ්රාන්ලා බිහි වී සිටිති. ලෝකය ඉදිරියට යන විට ගෑනුන්ගේ ඇස් ඇර අන් සියල්ල කළු රෙද්දකින් වසා එය සාධාරණීකරණය කරන මුස්ලිම්වරුන් බිහිවී සිටිති. මේ තත්ත්වයන් යටතේ සාධාරණ ගුණැති මුසල්මානුවන් බහුතරය බිත්තියට හේත්තු කොට ඇත.

මේ මානව ඛේදවාචකය හා මේ මිනිසුන් කොට්ඨාස දෙකක් අතර බේදය ඇති කර ඇත්තේ රට කරවූ කරවන හා බලයට ඒමට තැත් කරන දේශපාලකයන්ය. සිංහල හා මුස්ලිම් වෙනසක් නැතිව සකල විධ දේශපාලකයෝ එයට වගකිව යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.