මාර්සෙල් ඩුශාම්ප්ගේ Marcel Duchamp මුත්‍රා පෝච්චිය නුතන දෘෂ්‍ය කලාවේ ගමන් මග සදාකාලිකව වෙනස් කලේ කෙසේද?

කලා

ප්‍රන්ශ ජාතික චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු මෙන්ම රචකයෙකුද වූ මාර්සෙල් ඩුශාම්ප්ගේ Marcel Duchamp මුත්‍රා පෝච්චිය නුතන දෘෂ්‍ය කලාවේ ගමන් මග සදාකාලිකව වෙනස් කරන්න බලපෑ බව අපි හැම කෙනෙක්ම පිලිගත්තට, එය සිදු උනේ කෙසේද? එහි ඓතිහාසික වැදගත්කම මොකක්ද, එය වැදගත් වෙන්නෙ මොන පදනමක් මතද, කියන එක ගැන කිසි කෙනෙක් කතා කරනව මම දැකල නැහැ. ඒ නිසා මම හිතුව ඒ පිලිබදව යම් සටහනක් තැබුවොත් හොදයි කියල.
මීට වසර 100 කට පෙර, එනම්, වසර 1917 අප්‍රේල් 9 වැනිදා, තව විදියකට කිව්වොත්, රුසියානු විප්ලවටයට සිදුවීමට මාස 6කට පෙර, මාර්සෙල් ඩුශාම්ප් Marcel Duchamp විසින් 20 වන සියවසේ දෘෂ්‍ය කලාව තුල ශිල්පියෙකුට ලගා කරගත හැකි ඉතාමත්ම වැදගත් ජයග්‍රහනයක් ලබා ගන්නව වගේම ඇතැම්විට අතිශය හාස්‍යජනක විකාර රූපී සිදුවීමකට මුල පුරනව. කෙසේ හෝ වේවා, මෙම සිදුවීම මුලු මහත් ලෝකයේම දෘෂ්‍ය කලාවේ ගමන්මග සම්පුර්නයෙන්ම වෙනස් කිරීමට හේතු වෙයි කියල Duchamp වත් ඇතම්විට නොසිතන්නට ඇති.
මෙම කතාව ඇත්තවශයෙන්ම පුරාවෘත්තයක් හා සමානයි. එය සිදුවන්නෙ මෙහෙමයි. අමරිකා එක්සත් ජනපදයේ, නිව් යොර්ක් නුවර, ‘විනිශ්චය නොකල,’ නිදහස් චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ සැලෝනයට (“Unjuried” Society of Independent Artists’ salon in New York) වතුර-මල (‘Fountain’) නමින් මාර්සෙල් ඩුශාම්ප් Marcel Duchamp විසින් ඉදිරිපත් කල පිරිමි වැසිකිලියක මුත්‍ර පෝච්චිය මෙම වෘතාන්තයට හේතු වෙනව.
මෙම ප්‍රදර්ශනයේ සංවිධායකයින් මුලදී ප්‍රකාශ කර තිබුනේ ප්‍රදර්ශනයට සම්බන්ද වන ශිල්පීන් විසින් අයදුම් පත් ගාස්තුව ගෙවා ඇත්නම්, ඕනෑම ක්ෘතියක් භාර ගන්නා බවකි. ඒ අනුව ඩුශාම්ප් කලේ මූත්‍රා පෝච්චියක් කලා ක්ෘතියක් ලෙස ඉදිරිපත් කිරීමයි. ඔහු එය ‘වතුරමල’ ‘Fountain’ යනුවෙන් නම් කොට, “R. Mutt, 1917,” යනුවෙන් බොරු අත්සනක්ද යොදා තමාව හදුන්වා නොදී අඥාත ලෙස ප්‍රදර්ශනයට ඉදිරිපත් කලා.
ඉමාහත් හාස්‍යජනක මෙම විහිලුව නිසා ප්‍රදර්ශනයේ සංවිධායක මඩුල්ල ඉමහත් අසීරුතාවකට මුහුන දුන්නා. අනතුරුව ඔවුන් මෙම ක්ෘතිය සැබෑ කලා ක්ෘතියක් ලෙස සැලකිය නොහැකියයි ප්‍රකාශයට පත් කොට ප්‍රතික්ශෙප කලා. රහසිගත ලෙස සිය ක්ෘතිය බොරු නමකින් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කලද, මෙම තීරනය ගත් කලා මඩුල්ලේද සාමාජිකයකු වූ ඩුශාම්ප්, මෙම තීරනයට විරෝධය පාමින් ඉන් ඉල්ලා අස් උනා.

මේ සිදුවීම නිසා චිත්‍ර ශිල්පීන් සේම බුධ්ධිමතුන්ද මෙම විවාදයට සම්බන්ධ දෙපාර්ශවයේම අදහස් නියෝජනය කරමින් සිය මතවාද ජනමාද්‍ය හරහා ඉදිරිපත් කරන්න පෙලබුනා. මේ පිලිබද අදහස් ඉදිරිපත් කල අය අතරින් Beatrice Wood ගේ අදහස් විප්ලවීය ආරම්භයකට මුල පුරන්න හේතු උනා.
බියට්‍රිස් වුඩ් Beatrice Wood පැවසූ අදහස්වල සාරාංශය මෙයයි.
“මෙම කෘතිය ‘මට්’ (ඩුශාම්ප් ගේ අන්වර්ත නාමය) මහතා විසින් සියතින්ම නිම කලාද නැද්ද කියන කරුන මෙහිදී වැදගත් වන්නේ නැහැ. ඔහුගේ කලා නිර්මානයට ඔහු එය තෝරා ගැනීමයි වැදගත්. අපගේ ජීවිතට සම්බන්ධ අතිශය සාමාන්‍ය භාණ්ඩයක් ගෙන, එය කලාගාරය තුලට ගෙනවිත් ඉදිරිපත් කිරීම නිසා සාමාන්‍ය ජීවිතයෙදී එම භාන්ඩය සතු උපයෝගීතාමය සුවිශේෂතාව, එම ක්ෘතියට ඔහු දුන් නව නාමය හා ද්ෘශ්ටිය නිසා ඉවත් කෙරෙනව.ඒඑ වගේම, එම හේතුව නිසා, එම භාන්ඩය පිලිබද නව මතවාදී ද්ෘශ්ටියකට මාවත් විවර වෙනව. අන්න ඒකයි මෙතන වැදගත් වෙන්නෙ.”
ඩුශාම්ප් ගේ කලා භාවිතාව පීබදව අවබොධයෙන් සිටි වුඩ්, මෙම ක්ෘතියේ සැගව තිබූ ඓතිහාසික දෘෂ්ටිවාදී වැදගත්කම හා බලය හදුනා ගත්ත.
ඒ වනවිට ඩුශාම්ප් එදිනෙදා ජීවිතයේ භාවිතා කෙරෙන භාන්ඩ, ඒවා භාවිතා වන සන්දර්භයෙන් වෙන් කොට, වෙනස් කිරීමෙන් හෝ, ප්‍රති අර්තකතනය කිරීමෙන් හා, නැවත සන්දර්භානුගත කිරීමෙන් කලා කෘතියකට අයත් කාර්‍යයෙහි යෙදවීමේ භාවිතාවක නියලෙමින් සිටියා.
මුත්‍ර පෝච්චිය පිලිබද සිදුවීම තුලින් ඩුශාම්ප්ට කීමට උවමනා වූ වැදගත්ම කාරනාව නම්… “කලා ක්ෘතියක් යනු භාන්ඩයකට වඩා සංකල්පයක්” කියන අදහසයි. මම මීට පෙර ලිපියක කිව්ව වගෙ… “කලා ක්ෘතියක් කියන්නෙ අතේ පයේ වැඩකට වඩා, මොලෙන් කරන වැඩක්” කියන අදහස තමයි දුශාම්ප් අපට කියා දුන්නෙ. මෙන්න මේ සංකල්පනාත්මක විප්ලවය, එනම් කලා “ක්ෘතියක් යනු හුවමාරු වටිනාකමින් යුතු භාන්ඩයකට වඩා එහා ගිය සංකල්පනාවක්” කියන අදහස නිසා ඩුශාම්ප් ගේ මූත්‍රා පෝච්චිය අවිවාදයෙන් තොරව 20 වන සියවසේ බුද්ධිමය වශයෙන් ඉමහත් චිත්තාකර්ෂණීය මෙන්ම අභියෝගකාරී කලා ක්ෘතිය බවට පත් වෙනව.
කලා ක්ෘතියක් යනු කුමාක්ද? ඒ පිලිබද තීරකයා විය යුත්තේ නිර්මාන කරුද, එසේ නැත්නම් විචාරකයාද? දෘෂ්‍ය කලා නිර්මානයක් සන්කල්පනාවක් මතින්ම හටගත හැකිද, නැතහොත් නිර්මානාත්මක අතකින්ම නිම විය යුතුද? “Can a work derive from an idea alone, or does it require the hand of a maker?
කලා ලොකය තුල ඩුශාම්ප් විසින් නිර්මානය කල විපර්‍යාසයෙන් අනතුරුව හටගත් පැනයන් වූයේ ඉහත කී කරුනුය.
අද වනවිට දෘෂ්‍ය කලා කෘතියක දෘෂ්‍යමය අංග අභිබවා සංකල්පනාත්මක අංග ඉදිරියට එන්නේත්, කලා රසවින්දනය සේම විචාරය තුල නව මාවත් විවර වන්නේත් මෙම සිදුවීම් දාමයෙන් අනතුරුවය. අද වනවිට ශිල්පීය දක්ශතා පසුපසට විසිවී තිබේ. නුතන ශිල්පියා එකලස් කරුවෙකි. කලා නිර්මානයට වඩා වදගත්වන්නේ සංකල්පනාත්මක අභියෝගතා මිස, ශිල්පීය අභියෝගතා නොවන බව පෙනේ. මෙය යහපත් ප්‍රවනතාවක්ද නැද්ද යන්න පිලිබදව විනිශ්චය කිරීම අනාගතයට ඉඩදී මම නිහඩ වෙමි.

ගීතාංජන කුඩලිගම
(මුහුණු පොත අවකාශයෙන් උපුටා ගැණුනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *