මිනිසා ඔලුවෙන් සිටගැස්වීම….

කතුවැකිය

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයම හෙල්ලුම් කැවූයේ COVID 19 වෛරසය විසිනි. ලෝක සමාජයම අඩපණ කරමින් මානව සංචරණය වළක්වමින් මානවයා ඔළුවෙන් සිටගැන්වීමට සමත් වූ මෙම රෝගය දේශපාලන අවියක් ද, එසේ නැත්නම් හුදු වෛරසයක් පමණක් ද යන්න තවමත් විවාදපන්න ය.

රෝගය ආරම්භ වූයේ චීනයේ වුහාන් ප්‍රාන්තයෙනි. විදෙස් ආයෝජන බොහෝමයක් පවතින මෙම ප්‍රාන්තයේ ආරම්භ වූ COVID 19 චීන බලධරය විසින් චීනයේ අගනුවර වූ බීජිං නගරයටවත් ව්‍යාප්තවීමට ඉඩ නුදුන්නේය. එහෙත් චීනයේ ප්‍රධාන ම සතුරු ඉලක්ක දෙක වන අමෙරිකාවේත් ඉන්දියාවේත් දස දහස් නොව ලක්ෂ ගණනින් මේ රෝගයෙන් මැරී වැටෙති. කොටින්ම අපේ රටේ ආත්මාර්ථකාමී දේශපාලකයන්ට දේව ආශිර්වාද රැගෙන දෙන මහා තිරුපති දේවාලයේ කපුවා COVID-19 න් මියගියේ දේවාශිර්වාදය නොලබා ම ය. ජනාදරයට පත් සුපිරි ඉන්දීය පවුලක් වන අමිතාබ් බච්චන්, ඓශ්චර්යා රායි ඇගේ කුඩා දියණිය ඇතුළු හැමෝටම කොවිඞ් ආසාදනය විය.

වූහාන් ලෝකයේ විලාසිතාමය ඇඳුම් සහ එවැනි අනෙකුත් භාණ්ඩ නිෂ්පාදනය කරන ඒ සඳහා ලෝකයේ බොහෝ රටවල් වල නිෂ්පාදන ආයතනයන් පිහිටුවා ඇති කලාපයකි. මෝස්තර ක්ෂේත්‍රයේ දැවැන්තයා ඉතාලියය. ඉතාලිය වූහාන් ප්‍රදේශයේ ප්‍රබල ආයෝජකයෙකි. අපි මාධ්‍ය තුළින් ඉතාලියේ මියගිය කෝවිඞ් ආසාධිතයන් දහස් ගණන් මිනී පෙට්ටිවල බහා සොහොන් වෙත ගෙන යනු දුටිමු.

COVID 19 හුදු ස්වභාවික රෝගයක් පමණක් නම් විද්‍යාවේ අනවරථ දියුණුව විසින් එය පාලනය කිරීමට ක්‍රමවේද සොයා ගනු ඇත. එහෙත් COVID-19 යනු දේශපාලන අවියක් නම් මානව ශිෂ්ටාචාරය මෙතෙක් සොයා ගත් සියලු ශිෂ්ට සම්පන්නකම් ‘මකරකටට’ යනු ඇත.

ලෝකයේ සෑම රටක්ම පාහේ COVID-19 සතුරා සමග බරපතළ අරගලයක නිරත වී සිටිති. ආනයන අපනයන වෙළඳාම මත පදනම් වූ ලෝක ආර්ථිකය අඩපණ වී ඇත. කර්මාන්ත ශාලා වැසී ගොසිනි. සේවකයෝ දොට්ට වැටී ඇත. පිග්මි වැනි ජනවර්ග, බ්‍රසීලයේ ඇමර්සන් වැසි වනාන්තරවල දිවි ගෙවන ආදිවාසී ජන වර්ගයන් මුළුමනින්ම අහෝසි වී යාමේ තර්ජනයකට මුහුණ පා සිටිති. කොටින්ම වැළඳගනිමින්, අතට අත දෙමින්, සම්භාෂණ පවත්වමින්, සුහදත්වය වර්ධනය කර ගත් ක්‍රමවේදයන් පවා වෙනස් වෙමින් පවතී. සුහද වචනයෙන් පාරිභෝගිකයා පිළිගෙන තමන්ගේ භාණ්ඩ විකුණා ගැනීමට යත්ත දැරූ ව්‍යාපාරවල සේවකයෝ තම පාරිභෝගිකයා තමාගේ මිනීමරුවා යයි සිතන තැනට වැටී තිබේ.

පන්සල්, පල්ලි, කෝවිල් වසා දමා ඇත. මිනිසුන් මියගිය කළ සජීවී පාංශකූලයකින් දේව මෙහෙයකින් දුක් නිවා ගත් සමීපතමයන්ට එසේ නොහැකි වීම ගැන කුමක්දෝ සාංකාවකින් පෙලීමට සිදුවී ඇත. වේදිකා නාට්‍ය, චිත්‍රපට ආදී නිෂ්පාදන හා ඒවා නැරඹීමේ රටාව වෙනස් වී ඇත. ඒවා තවදුරටත් ලාභදායී කර්මාන්තයක් බවට පත් කරගැනීම සුළුපටු කාර්යයක් නොවේ.
දැනට ලංකාව ඇතුළු බොහෝ රටවලට මගී ගුවන් යානා පැමිණෙන්නේ නැත. ඒ කර්මාන්තයම අඩාලව ගොසිනි. තම මව් රටේ වෙසෙන දෙමාපියන්, නෑ හිතවතුන් බැලීමට යාමට විදිහක් නැත. කැනඩාව, ඕස්ටේ්‍රලියාව වැනි රටවලට ඒමට බලාපොරොත්තුවෙන් සිටින උදවියට ඒ රටවල සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස් වන ආකාරය සතුටට හේතුවක් නොවනු ඇත.

ලංකාවට විදේශ විනිමය ගෙනා උල්පත වූයේ මැදපෙරදිග රැකියාවල නිරත වූ ‘රට විරුවන්’ ලෙස නාම ගැනුණු ශ්‍රමික බලකායයි. ඒ විරුවන් බොහෝ දෙනකුට ඒ ඒ රටවලම සිඟන්නන් බවට පත්වී මැරෙන්නට ඉඩ දී තිබේ. ඔවුන් වෙත ‘රටවිරු‘ ලේබලය ඇලවූ පිරිස්ම ඔවුන්ව ‘මිනිස් බෝම්බ‘ ලෙස හඳුන්වන්නට පටන් ගෙන තිබේ.

පෙබරවාරි මාසයේ අගින් ඇරඹුනු මේ කොවිඞ් වසංගතයේ දී රජයක් වශයෙන් කැනඩාව ඉටුකළේ වගකීම් සහිත පීතෘ භූමිකාවකි. අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ පමණක් නොව විවිධාකාර හේතු නිසා අප්‍රසාදයට පත්වෙමින් සිටි ඔන්ටාරියෝ ප්‍රීමියර් ඩග් පෝඞ් පවා වගකීම් සහිත නායකයන් සේ තම ජනතාවට වගවිය. ඔවුන් තමන්ගේ රාජ්‍ය යාන්ත්‍රණ ජන සුබසිද්ධිය උදෙසා මනාව මෙහෙයවීය. මේ ක්‍රියාවලිය දෙවෙනි වෙතොත් දෙවැනි වන්නේ නවසීලන්තයට පමණි. කර්මාන්තවලට පමණක් නොව තනි තනි මිනිසාට පවා ආරක්ෂණ ක්‍රමවේදයන් ඔවුන් සම්පාදනය කළෝය. රක්ෂණ සමාගම්වල හා වෙනත් ආයතනවල ක්‍රියාකාරිත්වයන් පාලනය කරමින් ඔවුන්ට ජනතාව සූරා කෑමට ඉඩ නුදුන්හ. බොහෝ දුරට මෙම වසංගතයෙන් මියගියේ වැඩිහිටි නිවාසවල ජීවත් වූ වැඩිහිටියන් ය. එහෙත් ඒ සියල්ල පෙර ආරක්ෂාව වෙනුවෙන් අවසන් මොහොත දක්වාම කැපවුණු ආණ්ඩුව ඒ සටනෙන් යම් මොහොතක පරාජය වී නම් ඒ මියගිය තැනැත්තාට අවසාන ගෞරවනීය උත්තමාචාරය දැක්වීය.

මේ ක්‍රියාවලිය අප සංසන්දනය කළ යුත්තේ අල්ලපු රට මේ ව්‍යසනය මැඩලීමට නායකත්වය දෙන ට්‍රම්ප් තන්ත්‍රය සමඟය. ලක්ෂගණන් මැරි මැරී වැටෙද්දී පවසන වගාඩම්බර අපමණය. රෝග පාලනයට තිබෙන මංපෙත් පවා වසා දමමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා ඉවත් විය. කැනඩාව සිය ජනයාගේ පොදු අභිවෘද්ධිය මනාව කළමනාකරණය කරද්දීම ලෝකයේ මේ රෝග පාලනය වෙනුවෙන් ඉටු කරන කාර්යයන් උදෙසා ද මුදල් පරිත්‍යාග කරයි. සිය විද්‍යාඥයන් ඒ සඳහා යොදවයි.

කැනඩාවේ ජීවත් වන ඔවුන්ගේ යහපාලනය (Good governance) අත්විඳින අපට මේ අවස්ථාවේ ජන සමාජයක් වශයෙන් කළ යුතු යුතුකම් රාශියක් තිබේ. සෞඛ්‍ය රක්ෂණ උපදෙස් පිළිපැදීම ඉන් පළමුවැන්නයි. එමෙන්ම රජය ලබාදෙන සෞඛ්‍ය රක්ෂක උපදෙස් තමනුත් පිළිපදිමින් අපේ පවුලේ, සමාජයේ අනෙකුත්ට පිළිපදින ලෙස ඉල්ලා සිටීමද අපේ යුතුකමකි. රැවටිල්ලක් වෙනුවට මුහුණු ආවරණ හෝ අත් වැසුම් පැළඳීම නොව අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකා එය කළ යුතුය.

පෙනෙන ආකාරයට හිසට ඉහළින් එසැවුණු කඩුවක් කොයි වෙලේ හිස මතට පහත් වේද නොවේද යන සැකයෙන් මෙන් අනාගතයේ COVID-19 සමඟ ජීවත් වීමට අපට සිදුවනු ඇත.
ලෝක ඉතිහාස ගමන් මගේ දී ලෝක යුද්ධ දෙකක් මුණගැසිණි. ඉන් ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, ලෝක සාමය, මානව හිමිකම් පිළිබඳ ඉහළ අගයකින් යුත් සමාජ සම්මුතීන් බිහිවිය. මේ සියවසේ මුල් භාගයේ මහාමාරිය වැනි වසංගත යුරෝපය පුරා හඹා ගියේය. යහපත් සෞඛ්‍ය පුරුදු ක්‍රමවේද එමගින් සැකසිනි.
ස්වභාවික පරිසරයේ පැවත්මට එරෙහිව ආත්මාර්ථකාමී උවමනාවන් වෙනුවෙන් මානව සමාජය හැල්මේ දිවීමට එරෙහිව සොබාදහම් මවගේ ප්‍රතිචාරයද මේ?

සංස්කාරක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.