මානව දයාවෙන් පිරි දොස්තර නෙවිල්

දේශපාලන

මාලබේ නෙවිල් ප්‍රනාන්දු, කොළඹ ආශා සෙන්ට්‍රල්, පානදුර කේතුමතී රෝහල් නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අභාවය නිමිත්තෙන් පළ වන ලිපියකි.

1970 දශකයේ පානදුර බස් නැවතුම්පොළ අසල බෙහෙත් ශාලාවකට අම්මා තාත්තා සමඟ ප්‍රතිකාර ගැනීම සඳහා ගිය මට ඉතාම කඩවසම් ප්‍රියමනාප වෛද්‍යවරයෙකු මුණගැසිණි.

රෝගාතුර වන මව්පියන් සමග මම ද එම සෑම අවස්ථාවකදීම එම කාරුණික වෛද්‍යවරයාගේ මුහුණ දැක ගැනීම සඳහා යාමට පෙලඹී සිටියෙමි.

කාලයක් යන විට ඒ කාරුණික වෛද්‍යවරයා එම ස්ථානයේ නොමැති බව දැනගන්නට ලැබිණි.

පසුව දැනගන්නට ලැබුණේ ඔහු දේශපාලනයට ගොස් ඇති බවකි.

ඒ අන් කවුරුත් නොව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය.

1931 මාර්තු මස 3 වැනිදා ආතර් ප්‍රනාන්දු සහ රොස්ලින් මෙරායා සොයිසා දෙපලට දාව මෙලොව එළිය දුටු නෙවිල්ගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙකි .
කොන්ස්ටන්, බැසිල්, ඩැෆ්නි, ෂෙල්ටන්, නොයෙල්, රියෙන්සි, සහ බාලයා සුජිත්ය.

නෙවිල් පවුලේ තුන්වැනියාය. නෙවිල්ගේ පියා වන ආතර් ප්‍රනාන්දු මහතා රජයේ සේවයකයකු නිසා ඔහුට සේවා ස්ථානයෙන් සේවා ස්ථානයට මාරු වීමට සිදුවිය. ඒ හේතුව නිසා කුඩා නෙවිල්ටත් පාසලින් පාසලට මාරු වීමට සිදුවිය.

පානදුර ශ්‍රී සුමංගල, කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ ඇතුළු පාසල් 12ක නෙවිල් අධ්‍යාපනය හැදෑරීය.
1957 දී වෛද්‍ය වෘත්තියට එක් වෙමින් නෙවිල් ප්‍රනාන්දු මහතා රෝගීන් සුවපත් කිරීමේ කටයුතුවලට එක් වූයේය. හෙතෙම වසර 20 ක් පානදුර ප්‍රධාන බස් නැවතුම්පොළ අසල බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියේය. ඒ වන විටත් වෛද්‍ය නෙවිල් පානදුරේ කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටියේය.

පානදුරේ දස දහස් ගණනක් රෝගීන් සුවපත් කළ නෙවිල් විශාල පිරිසගේ පවුලේ වෛද්‍යවරයා බවට පත්වූයේය.

බෙහෙත් ශාලාවට ආයුබෝවන් කී වෛද්‍ය නෙවිල් එක්සත් ජාතික පක්ෂය හා එක්ව සිය දේශපාලනය ඇරඹීය.
ඔහු දේශපාලනයට එනවිට පානදුර සමසමාජ රතු බල කොටුවකි.

එම බලකොටුවේ අධිපතිවරයා වූයේ එවකට සමසමාජ නායකයකු වූ හිටපු ප්‍රවාහන අමාත්‍ය ලෙස්ලි ගුණවර්ධන මහතාය.

ලෙස්ලි පරාජය කිරීම සුළුපටු කරුණක් නොවී ය. සමසමාජ පක්ෂය පානදුරේ රතු බලය පතුරුවා තිබුණි.

කාගේත් සිත් දිනාගෙන සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු වැඩි ඡන්ද 10,000 කින් ලෙස්ලි පරාජය කර පානදුර මහජන මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්විය.
පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරය සඳහා විශාල පුරන් වෙල් යාය ගොඩ කිරීම, කේතුමතී කාන්තා රෝහල, පානදුර අගමැති බාලිකා විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගොඩනැගූ ඒවා ය.

එවකට ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා සහ දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත නෙවිල් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රී ධුරය 1981 වර්ෂයේදී අහිමි විය .
එවකට හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කළ නෙවිල් ජේ.ආර්ට එරෙහිව සිය හඬ අවදි කළේය. උතුරේ හමුදා සොල්දාදුවන් මියයාම සම්බන්ධයෙන් දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා ජේ.ආර්. ජයවර්ධන මහතා සහ එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

ඉල්ලා අස්වෙන්න, නෙවිල් ජේ.ආර්. ජයවර්ධනට එක්තරා ප්‍රසිද්ධ රැස්වීමකදී අභියෝග කළේය. එක්සත් ජාතික පක්ෂය නෙවිල්ගේ මහජන මන්ත්‍රී ධුරය උදුරා ගත්තේය.
එපමණක් නොව ලංකාවේ ආසන අහිමි වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් එම ආසනවලට අතුරු මැතිවරණ පැවැත්වුවද පානදුර ආසනයට අතුරු මැතිවරණයක් ද නොපැවැත්විය.
අතුරු මැතිවරණයක් තිබ්බොත් නෙවිල් උඩින්ම දිනනවා. ජනතාව කීය.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයත් නෙවිල්ගේ ජයග්‍රහණය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සිටියේය.
ජේ.ආර්. ජයවර්ධන හොඳ ගැටයක් ගැසුවේය. හිස්වූ පානදුර මහජන මන්ත්‍රී ධුරයට නීතිඥ පද්මින් ෆොන්සේකා මහතා ලැයිස්තුවෙන් පත් කෙරිණි.

දොස්තර මහත්තයා සැළුනේ නැත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනයෙන් ඔහු එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූයේය.

ඔහු පානදුර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද විය.

පක්ෂයේ ශාඛා සංවිධාන ගොඩනගමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟීම සඳහා නෙවිල් සිය ධනය, ශ්‍රමය, කාලය කැප කළේය.
කල් යත්ම ආසන ක්‍රමය අහෝසි වී මනාප ක්‍රමය දේශපාලන කරළියට පැමිණියේය. නෙවිල් ප්‍රනාන්දු සිය ඡන්ද ව්‍යාපාරය කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක කරගනිමින් ආරම්භ කළේය.
ගමින් ගමට දොරින් දොරට ගිය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ නිවස අතුරු සිදුරු නැතිව පාක්ෂිකයින්ගෙන් පිරී ඉතිරී ගියේය.
නෙවිල්ගේ ජනප්‍රියත්වය විරුද්ධවාදීන්ට ඉවසා ගත නොහැකි විය.

භීෂණය රජ විණි. තැන් තැන්වල මිනී කඳු ගොඩ ගැසිණි.
1988 දෙසැම්බර් මස 18 වැනිදා උදෑසන නෙවිල් ප්‍රනාන්දු මහතා ඉලක්ක කර ගනිමින් ඔහුගේ වෑකඩ නිවසට ප්‍රහාරයක් එල්ල විය. එහිදී තම ක්‍රියාකාරී පාක්ෂිකයින් අට දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා තම ජීවිතය බේරා ගත්තේ අනූ නවයෙනි.

1994 දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයින් පිරිසක් සමඟ නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූයේය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු යනු මුහුණුවර ගොඩක චරිත ගොඩක එකතුවක් යැයි හැඳින්වුවද වරදක් නැත. ඔහු මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේය. සයිටම් පටන් ගත්තේ සෙන්ට්‍රල් රෝහල විකුණා ලබාගත් මුදලිනි.

එහෙත් සයිටම් වසා දැමීම නිසා උපන් කල කිරීම ද ක්ෂණයකින් මතුවිය.
‘‘මට කියන්න වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහිවෙන එකේ තියෙන වරද මොකක්ද කියලා. වෛද්‍ය වෘත්තිය කියන්නේ මුළු ලෝකයම පිළිගත්ත රස්සාවක්. ලංකාවේ නැතිවුණත් පිටරට ගිහිල්ලා හරි ඔවුන්ට වැඩ කරලා රටට විදේශ විනිමය ගේන්න පුළුවන් රැකියාවක්.’’

සයිටම් ආයෝජනය නිසා නෙවිල් ප්‍රනාන්දු රෝහල නිසාත් ඔහුට සිදුවූයේ දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දීමටය.
‘‘සයිටම් ගොඩනැගිල්ල මම රු. මිලියන 1000කට විකුණුවා. හැබැයි ඒ සම්පූර්ණ මුදලම සයිටම් එක වසා දැමීමෙන් රස්සා අහිමි වූ අයට පාරිතෝෂික ගෙවන්න වියදම් කළා.
‘‘ඉස්පිරිතාලෙ හදන්න කෝටි 350 ක ණයක් ගත්තා. කෝටි 100 ළමයින්ගේ පාඨමාලා සල්ලිවලින් ගෙව්වා. ඉතිරි 250 ආණ්ඩුවට ගෙවනවා. හැබැයි ඉස්පිරිතාලෙ ආණ්ඩුවට ගත්ත එකට මට කෝටි 100ක් ලැබෙන්න නියමිතයි.
‘‘ඒ කෝටි 100 න් මං ආයෙත් ඉස්පිරිතාලයක් පටන් ගන්නවා . කවදහරි මම මැරෙන්නෙ වෛද්‍ය විද්‍යාලයක් පටන් අරගෙන.
දස දහස් සංඛ්‍යාත රෝගීන් වෙනුවෙන් කැපවුණු මුදල් පවා ඔවුන්ගෙන් නොගෙන ප්‍රතිකාර කරනු ලැබූ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කැපවුණු පෞද්ගලික වාසි නොතකා කෙළින් නැගී සිටි මිනිසුන්ගේ දුක වටහා ගත් මානවදයාවෙන් පිරුණු දේශපාලනඥයින් අතර වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සුවිශේෂී චරිතයකි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාණෙනි ඔබට නිවන් සුව.!!!

සමන් කාරියවසම්
පානදුර
ලංකාදීප පුවත්පතින් කළ උපුටනයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.