මගේ තාත්තා

විශේෂාංග

මගේ ජීවිතයට වඩාත් යහපත් ලෙස බලපෑ අයගෙන් එක් අයකු වූයේ මගේ පියාණන් වූ සෑම් විජේසිංහයන්ය. හෙතෙම මා ජීවිතය තුළ හඳුනාගත් වඩාත් සංවේදී වඩාත් බුද්ධිමත් සහ වඩාත් අපක්ෂපාති අගතියෙන් තොර මානුෂීය අයකු වූයේය. ඔහුගේ ජීවිතය පුරා ඔහු පිරිමි හෝ ගැහැනු වේවා බාල හෝ මහලු වේවා. ධනවත් හෝ දුප්පත් වේවා. මහේශාක්‍ය හෝ සරල දිවිපැවතුම් ඇති අයකු වේවා. හොඳ හෝ නරක වේවා. සබැඳි හෝ දුරස්ථ වේවා ඕනෑම මිනිසකුට උපකාර කරන්නට සෑදී පැහැදි සිටියේය. ඔහු 2014 වසරේ 93 වැනි වියේ දී මෙළොව හැර යන විටත් අවසාන මොහොත දක්වාම තියුණු මනසකින් යුතුව එළැඹි සිහියෙන් යුතුව සිටියේය.

සෑම්ගේ ජීවිතය

බෙලිඅත්ත සමීපයේ ගැටමාන්න ගමේ, ඉඩම් හිමි වරප්‍රසාද ලත් පවුලකට දාව උපන් සෑම් දරුවන් හයදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූයේය. ඔහුට වැඩිමල් සොයුරියන් තිදෙනෙක් ද වැඩිමල් සොයුරන් දෙදෙනකු ද සිටි අතර ඒ සැවොම තමාට බාලයාට වඩා අවුරුදු හතරකින් වැඩිමහල් වූහ. එබැවින් සෑම් ඔහුගේ වැඩිමල් බෑනාට සහ ලේලියන් සිව්දෙනාට වඩා වයසින් වැඩි වූයේ අවුරුදු කිහිපයකිනි. ඔවුන් සිය මාමාට තම පාසලේ නේවාසිකාගාරයට යම් යම් දේ සහ පොත් පත් එවන ලෙස ඉල්ලා යැවූ ලිපි මාමා වූ සෑම් ප්‍රවේශම් කොට තබා ගත්තේය.. ඔවුන් ඔහුටත් ඔහු ඔවුන්ටත් කෙතරම් සෙනෙහසින් සිටියේද යන්න එම ලිපි වලින් පැහැදිලි වේ.

ඔහුගේ දිවිය පුරා ඔහු කුඩා දරුවන් සහ ලාබාලයන්ගේ සිත් දිනා ගත්තේය. ඔහු අසීමිතව ඔවුන්ට ආදරය කළ අතර ඔවුහු ද ඔහුට පෙරළා ආදරය කළහ. තමාගේ හාන්සි පුටුවේ පැද්දෙමින් ඉන්නා අතර තුන් හැවිරිදි ළදරුවකු අස්සයගෝන් පදවන්නට ද ඔහු සූදානම්ව උන්නේය. ඉහළ පාසලකට ඇතුළත් කරන්නට, නැතහොත් ශිෂ්‍යත්වයට හෝ රැකියා සම්මුඛ සාකච්ඡාවකට සුදුසුකම් ලත් සිසුවකුට යායුතු මග කියා දෙන්නට හෙතෙම නිතර සූදානමින් සිටියේය. තමා මිය යන දවස දක්වාම කිසි විට ඔහු තනි නොවූයේය. මන්දයත් ඔහුගේ නිවස වූ ලක්මහල්, ඔහු සමග සතුටින් කාලය ගෙවන්නට සූදානම් වූ ඕනෑම අයෙකුට විවෘතව තිබුණු බැවිනි.

ඔහුගේ මුණුබුරන් සිව් දෙනා ඔහු බලා කියා ගත් පසු ඔවුහු ද ඔහු බලාකියා ගත්​හ.

මගේ සීයා මිය ගියේ සෑම් සිසුවකුව සිටියේදීය. මගේ මහප්පා වූ එඩී හෙවත් ඔහුගේ වැඩිමල්ම සහෝදරයා බොහෝ කල් ගතවන තුරු තමාගේ වෘත්තිය අධ්‍යපනය නතර කරගෙන උන්නේ පවුලේ බර කරට ගත යුතුව තිබූ නිසාය. තමාගේ බාල සොයුරාගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීම ගැන එඩී සොයා බැලුවේය. මගේ පියා, එඩී මහප්පාට කෘතගුණ සැළකුවේ වඩාත් ආදරයෙන් සහ ගෞරවය පාමිනි.

සෑම් සිය පවුලටත් උපන් ගම වූ ගැටමාන්නටත් ගෞරවය ගෙන ආවේය. මෙම අති දක්ෂ සිසුවා මාතර රාහුල විද්‍යාලටයත් ආනන්දයටත් අනතුරුව ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලටත් ගියේය. ශාන්ත තෝමස් විදුහලෙන් ඔහු තම සම්මානනීය පාසල් අධ්‍යාපන දිවිය සම්පූර්ණ කළේය.

නායකයකු ලෙස, කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කරන්නකු ලෙස බුද්ධිමත් ශිෂ්‍යයකු ලෙස හා ක්‍රීඩකයකු ලෙස ඔහු කැපී පෙනුනේය. ඉන් පසු නීතිඥවරයකු ලෙස සුදුසුකම් ලැබූ ඔහු විශ්ව විද්‍යාල උපාධිය ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේය. තම නීති පශ්චාත් උපාධිය (LLM) කැනඩාවෙන් ලබාගත් ඔහු පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ලෙස වසර 20ක් පුරා සේවය කළේය.

එසේම පළමු පාර්ලිමේන්තු පරිපාලන කොමසාරිස් (ඔම්බුස්මන්) ධුරය ඔහු වසර 10 ක් පුරා දැරුවේය. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව විවෘත විශ්ව විද්‍යාලයේත් වෙනත් ආයතන ගණනාවකත් හෙතෙම උපකුලපතිවරයා ලෙස සේවය කළේය.

ඔහුගේ ගමේ උදවියගේ මතකයේ ඔහු රැඳී ඇත්තේ පෞද්ගලිකව ඔහු ලත් ජයග්‍රහණයන් නිසාම නොවේ. ඔහු කිසිවිට තමාගේ මුල අමතක නොකළේය.

කොළඹ ජීවත්වන අතරතුර දී තමාගේ ගම් ප්‍රදේශයෙන් පැමිණෙන අති දක්ෂ තරුණයන්ට ඔහුගේ සම්බන්ධතා සහ සම්පත් භාවිත කොට ඉදිරියට යෑමේ අවස්ථා ඔහු සලසා දුන්නේය. යමකුගේ යහපත උදෙසා උපකාරි වන්නේ අධ්‍යාපනය බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය. ඔහුගේ ජීවිත කාලය තුළ දී ඔහුගේ ගමේ පවුල් වලින් වෛද්‍යවරුන් නීතිඥයන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන් බිහිවනු දැක ඔහු ඉමහත් සතුටට පත් වූයේය. ඔහුගේ උපකාර ගැටමාන්න ගමට සහ තම නෑදෑයන්ට පමණක් සීමා වූයේ නැත.

ඒ හා සමානවම ඕනෑම සමාජීය වාර්ගික හෝ ආගමික පසුබිමෙන් එන ඕනෑම දක්ෂ තරුණයකුට ඔහු උපකාර කළේය. එසේ උපකාර ලබන තරුණයා ඔහුගේ අවධානයට හසුවූ අයෙකු විය හැකියි. නැතහොත් උපකාර පතා ඔහු වෙත පැමිණි අයකු විය හැකියි.

තමන්ගේ පුද්ගල සම්බන්ධතා භාවිත කොට පාසල් ශිෂ්‍යත්ව හෝ රැකියා සොයා දෙමින් උපදෙස් දෙමින් හෝ මූල්‍යාධාර සපයමින් ඔහු උපකාර කළේ කිසිදු ලෝබ කමකින් තොරවය.

සෑම් පැමිණියේ දකුණේ ඈත පිටිසර සිංහල බෞද්ධ පවුලකිනි. මගේ මව, මුක්තා පැමිණියේ වඩාත් බටහිරකරණයට ලක්වූ ඉංග්‍රීසි කතාකරන කොළඹ ක්‍රිස්තියානි පවුලකිනි. ඇගේ පියා සිරිල් වික්‍රමසිංහ ඒ කාලයේ ප්‍රමුඛ සිවිල් සේවකයෙකි. ඇයට බෙහෙවින් ආදරය කළ ඈ අගය කළ වත් පොහොසත් කම් ඇති බොහෝ අය සිටිය ද ඒ සියලු දෙනා හැර දමා සෑම් තෝරාගන්නට තරම් ඈ ඔහු ගැන අවබෝධයෙන් සිටි වග මා අසා තිබේ. එබැවින් ඔහු මුක්තා මුණගැසී ආදරය කොට ඈ විවාහ කරගෙන ඇගේ පවුලට අයත් ලක්මහල් නිවසේ දිවිය පුරා සතුටින් ජීවත් වූයේය. එම නිවසේ ඔහුගේ නැන්දනිය වූ මගේ ආච්චි එස්මි ද 1994 දී මිය යන තුරුම එහි වාසය කළාය. ඈ එම වසරේ ජුනි 27 හෙවත් ඇගේ උපන් දිනයේම මියයන තුරු තම නැන්දනිය අතිශය යහපත් ලෙස එම බැඳීම පවත්වා ගනිමින් ජීවත් වූ බව මගේ පියා නිතරම කීවේය.

සෑම් ගේ ජීවන දර්ශනය

ගෝලීය පුරවැසියන් වූ සෑම් සහ මුක්තා තම චින්තයන් ජාති, ආගම් දේශපාලන මත වර්ණ සමාජ තත්ත්ව හෝ ධනවත් බව යන කරුණු මත කිසිදා සීමා කර නොගත්තේය.

එස්මි ගේ මූලිකත්වය යටතේ සෑම් සහ මුක්තා එක්ව නිවසේ කටයුතු පවත්වාගෙන ගියේ නිවස සෑම දෙනාටම විවෘතව තබාගනිමිනි. ලක්මහල් නිවසේ හැදී වැඩුණු මගේ සොයුරන් දෙදෙනා සහ මා කෑම මේසයට කී දෙනෙක් හිඳගනිවිදැයි කිසිදා දැන සිටියේ නැත. මගේ ආච්චිගේ උපන් බිම වූ කුරුණෑගලින් පැමිණෙන සමීප නැදෑයන්, ගැටමාන්නෙන් පැමිණෙන නැදෑයන් කොහෙන් හෝ පැමිණෙන නැදෑයන් ඔවුන්ගේ මිතුරන් මගේ අවිවාහක මාමාවරුන් වූ තිස්සය. බිෂොප් ලක්ෂ්මන් මිතුරන්, මිතුරන්ගේ මිතුරන් පිටරටින් එන මිතුරන් ආදි කියා නිම කළ නොහැකි තරම් අය අප නිවසට පැමිණියහ. නිවස ඉඩ පහසුකම් වලින් සමන්විත නිසා අමතර කාමර සහ අමතර ඇඳන් නවාතැන් ගන්නා නෑ මිතුරන් සඳහා සූදානම්ව තිබිණි. වාසනාවකට ලක්මහල් විශාල නිවසක් විය.

සමහරු දින කිහිපයක් නිවසේ නැවතී සිටියහ. සමහරු සති මාස ගණන් සිටියහ. 1983 ජුලි ජාතිවාදී කෝලාහල වලින් පසුව තම ගෙවල් දොරවල් අහිමි වූ අය අවුරුදු ගණන් මගේ මවුපියන් සමඟ ජීවත් වූහ. පසු කලෙක මෙම සතුටට දරු මුණුපුරෝද එක් වූහ. විවිධ අන්දමේ පසුබිම් වලින් පැමිණෙන දිළිඳුන්ගේ සිට රජවරුන් හා සමාන අය දක්වා එක්ව කටයුතු කිරීමේ වරප්‍රසාද අපට ලැබුණේ මගේ මවුපියන්ගේ පරිත්‍යාගශීලි බවත් ජීවිත දර්ශනයත් නිසාය.

මගේ මව 1997 මිය ගිය විට ඈ නැතිව මගේ පියාට දිවිගෙවාගන්නට නොහැකි වේ යැයි මම සිතුවෙමි. ඇගේ වියෝවේ වේදනාවෙන් පෙළුණු මිනිසකු වූ ඔහු සිත දිරිය වඩාගෙන අනුන්ට උදව්කරමින් තවත් වැඩදායි අවුරුදු 17ක් ජීවත්වන්නට සමත් වූයේය. ඔහු කෙතරම් ශක්තිමත් චරිතයකින් හෙබි අයකු වූයේ දැයි ඉන් පෙනේ. ඇගෙන් මග හැරුණු මොහොතක් ඔහුට නොවීය. එහෙත් දරුවන් වූ අප උමතු කරවමින් ඔහු වියපත් වූයේ තමාට හුරු වූ ආකාරයට ස්වාධීනව කටයුතු කරමිනි. ශරීර ශක්තියෙන් දුර්වල ගිය විට පවා ඔහු එසේම කළේය.

ඔහුගේ මරණයෙන් සත් වසරක් ගෙවී ගිය විට පවා ඔහුගේ දරුවන් වූ අපි ඔහුගේ ධනය සේ සැළකුණ ලේඛන ආදිය අස්පස් කළෙමු. එම ලිපි ලේඛන වලින් අප දැනගත්තේ ඔහු කෙතරම් විචක්ෂණශීලි ලෙස ශිෂ්‍ය අවධියේ දී පවා අන්‍යයන්ට උපකාර කළ අයුරුය. ඔහු සිය මිතුරකුගේ මවකට කුලී ගෙවා ගන්නට උපකාර කළ අයුරුත්, ආදර සම්බන්ධතාවක් උදෙසා මවුපිය අනුමැතිය ගන්නට මිතුරකුට උදව් කළ අයුරුත් පැරැණි ලිපිවලින් දැනගන්නට ලැබිණි. කරදරවලට වැටී සිත්තැවුලෙන් පසුවන අයට ඔහුගේ කාමරය දෙව්ලොවක් සේ විය. ඔහු නිතරම අනුන් අස්වසමින් ඔවුනට සවන් දුන්නේය.

මුක්තා සහ සෑම් අපට බොහෝ දේ කියා දුන්නේ ආදර්ශයයෙන්මය. අප බහු වාර්ගික, බහු ආගමික රටක් බවත් බහු විධ බව තුළ වූ අපගේ එකමුතුකම හරහා සංස්කෘතියේ පොහොසත් බව මතුවෙන බවත් ඔහු අපට අදර්ශයෙන් කියා දුන්නේය.

ඇත්ත වශයෙන්ම මගේ මවුපියෝ මිතුරනට නෑයින්ට අසල් වැසියන්ට සත්කාර කරමින් උන්නෝය. ඔවුන්ගේ සිංහල, දෙමළ, බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ඥාති මිත්‍රාදීන්ගේ මංගල උත්සව ලක්මහල් ගි පැවැත්වුණි. රටවැසියන් එකිනෙකා සමග කතා බහ කිරීමෙන් වාර්ගික ආතතිය දුරු වී යන බව මගේ පියා විශ්වාස කළේය. ඔහු පාසල්වල ප්‍රධාන භාෂා තුනම උගන්වන්නට සමත් රුසියකු වූයේය. ඒ හැරුණ කොට ප්‍රංශ, ජර්මන්, ඉංග්‍රිසි ස්විස් භාෂා ද ඔහු ඉගැන්වීය. තම දරුවන් තිදෙනාට ඔහු දෙමළ පාඩම් කියා දුන්නේය. සෑම් සහ මුක්තා භාෂා සම්බන්ධතා ගොඩ නැගීම පිණිස විශිෂ්ටයන්ට තෑගි ප්‍රදානය කළහ. උදාහරණයකට ඔවුහු දෙමළ දරුවන්ට සිංහල පොත් හා සිංහල දරුවන්ට දෙමළ පොත් ප්‍රදානය කළහ.

ඔහු පාර්ලිමේන්තුවේ මහලේකම් පදවිය දරන කාලයේදී 1970 ගණන්වල අධ්‍යාපන අමාත්‍ය බද්යුද්දීන් මහම්මුද් අමතා සිංහල දරුවන්ට දෙමළ ඉගැන්වීමේ සහ දෙමළ දරුවන්ට සිංහල ඉගැන්වීමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා සිටි බව මට කියා තිබේ.

එම උපදෙස් පිළිගන්නට තරම් අමාත්‍යවරයා එදා නුවණින් යුක්ත වූයේ නම් අවුරුදු 25කට පසුව පැමිණි වාර්ගික ගැටුම් මගහරවා ගන්නට තිබිණි.

පාර්ලිමේන්තුවෙන් පාඩම්-

පර්ලිමේන්තු පුස්තකාලය අනගිතම දැනුම් කෝෂ්ඨාගාරයක් බවත් එයින් ප්‍රයෝජන ගත්තේ මන්ත්‍රීවරුන් ටික දෙනෙකු බවත් මාගේ පියා අපට කියා ඇත. එහෙත් රණසිංහ ප්‍රේමදාස ඊට වෙනස් අයකු බව ඔහු පැවැසුවේය. බොහෝ විට පුස්තකාලය පරිහරණය කළ ප්‍රේමදාස මහතා අවබෝධ කර ගැනීමට අසීරු ගැටලු ගැන අසා ගන්නට මගේ පියා වෙතට ආවේය. එවැනි අවස්ථාවල මගේ පියා ඉතා කැමැත්තෙන් ඒවා පහදා දී තිබේ. බොහෝ කඩදාසි අපතේ යෑම පිළිබඳව මගේ පියා බෙහෙවින් කම්පාවට පත් වූයේය. ඔවුන් දෙන කාර්ය පත්‍රයක් බොහෝ මන්ත්‍රීවරු කියවීම පවා නොකළහ. ඔහු විශ්‍රාම ගන්නට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ අපතේ යන කඩදාසි විකුණා දමා ඒවායින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අයගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා අරමුදලක් ඇරඹීමට තීරණය කළේය.

මෙම අරමුදල කාලයක් සමග වර්ධනය වූයේය. ලිපිකරු හෝ සහාය කාර්ය මණ්ඩලයේ සේවකයන් මගේ පියා අභිමුවට පැමිණ තමන්ගේ දරුවන් එම අරමුදලේ උපකාරයෙන් විශ්වවිද්‍යාල උපාධි ලබාගත් අයුරු පවසන විට ඔහු බෙහෙවින් සතුටට පත් වූයේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමේ වැඩපිළිවෙලට මගේ පියා සහයෝගය දුන්නේ ඔවුන් විශ්‍රාම ගත් විට වෙනත් අයුරින් මුදල් සොයා යෑමේ වගකීමෙන් ඔවුන් මුදවනු සඳහාය.

රටේ ව්‍යවස්ථාදායකයේ සමාජිකයන්ට වඩා හොඳ අධ්‍යාපනයක් දීම තුළින් රටට යහතක් සිදුවන බව ඔහු කල්පනා කළේය. එබැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුවීම නීති විද්‍යාලයට ඇතුළත් වීමේ සුදුසුකමක් ලෙස ඔහු නිර්දේශ කළේය. මහින්ද රාජපක්ෂ මෙම ප්‍රතිපත්තියෙන් ප්‍රයෝජන ගත් එක් අයෙකි. අද දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට එල්ලවෙන චෝදනා වලින් පෙනී යන්නේ මගේ පියාගේ තර්කය හරි නොගිය බවය. ආණ්ඩු කිහිපයක් යටතේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග කටයුතු කළ මගේ පියාගේ අදහස වූයේ බලයේ සිටින උදවියට වඩා බලය අහිමි වූ අයට මිතුරන්ගේ සහය වඩාත් අවශ්‍ය වන බවයි. තමාගේ වචනය අනුව ක්‍රියා කරන්නකු වු ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය,ජේ.ආර්. ජයවර්ධන ගේ රජය යටතේ,වංචනික ලෙස ප්‍රජා අයිතිය අහිමි කළ පසු වසර කිහිපයක් මැතිවරණයට තරග කළ නොහැකිව සිටින කාලයේ මගේ පියා නිතරම ඈ හමුවන්නට ගියේය.

සබඳතාවන්ගෙන් පාඩම්.

බොහෝ දේශපාලන නායකයන් සමග මගේ පියා සමීපව කටයුතු කළේය. රනිල් වික්‍රමසිංහ විවාහයෙන් පසු ඔහුගේ බෑනා බවට පත්විය. සෑම් ඩී.ඒ. රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවිය හොඳින් හඳුනාගෙන සිටියේය. පවුල් දෙකේම උදවිය බෙලිඅත්ත ප්‍රදේශයෙන් බිහි වූ අයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ මා සේවය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේය. ජනාධිපති ධුරය දරන කාලයේ දී පවා ඔහු නොදන්වාම මගේ පියා හමුවෙන්නට ආවේය. රාත්‍රි 9.00ට පමණ සහපිරිවර කිසිවකු නැතිව ඔහු තරප්පු පෙළ නැග මගේ පියාගේ නිදන කාමරයට ගියේය. හේතු විරහිතව ගත් ප්‍රතිපත්ති තීරණයක් පිළිබඳව මගේ පියාට කරුණු කී මම ඒ ගැන මහින්දට කියන ලෙස පියාට කීවෙමි. මා කී දේ සාවධානව අසා සිටි ඔහු මගෙන් උපදෙස් ඉල්ලන තුරු මම උපදෙස් දෙන්නේ නෑ. මම ඔහුට උපදෙස් දී ඔහු එය පිළිපැද්දේ නැතිනම් මොකද වෙන්නේ ? එයින් අප දෙදෙනාම අසීරුවෙන් නේද?’’ ඔහු මගේ ඥාති සොයුරා වූ රනිල්ට හෝ විමසිමකින් තොරව උපදෙස් නුදුන්නේය.

සෑම් වි​ජේසිංහ (දකුණු කෙළවරේ) සංජීව, අනිලා, රජීව යන දරුවන් සහ බිරිය මුක්තා සමග

ඔහුගේ පිළිතුරේ ඥානවන්ත භාවය ගැන මම පසුව තේරුම් ගතිමි. ඔබ යමකුට ඉල්ලීමකින් තොරව දුන් උපදෙසක් ඔහු පැහැර හැරියහොත් ඉන් පසු එම තැනැත්තාට නැවත ඔබගෙන් උපදෙස් පැතිය නොහැකි තත්ත්වයකට ඔහු පත්වේ. ඔබ ඔහුට නැවත උපදෙස් නොදෙන බව එම තැනැත්තා දනී.

ඔහුගේ සියවැනි ඡන්ම ශත සංවත්සර එළඹෙන මේ මොහොතේ ඔහු අනුන්ට උපකාර කරන්නට උපතින්ම ලද වරප්‍රසාද භාවිත කළ අයුරු මට සිහිවේ. මෙම අවස්ථාවේ දී පවා කොතැනක හෝ රැඳී කාට හෝ උපකාර කළ හැකි අයුරු ඔහු කල්පනා කරනවා විය හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.