සිංගප්පුරුවේ සැතපෙන බුදු පිළිමය සහිත විහාර ගෙයත් මගේ නිර්මාණයක්
* අවුරුදු දෙකෙන් හදන්න ගිවිසුම් අස්සන් කළ පිළිමය අවුරුද්දෙන් ඉවර කළා
අතීතයේ දිනෙක රාත්‍රී අඳුරේ නුවර වැව වටේ ඇවිද යන මට ඈතින් පෙනෙන කිරි සුදුපැහැ බහිරව කන්ද සමාධි පිළිමය දැක සිත ඇති වූ හැඟීම අදද වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. ඒ දසුන ඒ තරමටම සිත පහන් කරන්නකි.
මේ තරම් උසට , දකින අයගේ නෙත සනසන, මෙතරම් විශාල පිළිමයක් නිර්මාණය වූයේ කෙසේද? මේ අසිරිමත් නිමැවුම කළේ කවර ශිල්පියාද?
ඒ එදවස සිත උපන් සිතුවිලිය. කාලය ගෙවී ගියේය. එ් සුන්දර දසුන දැක වසර පහළොවකට පමණ පසු එම අපූරු බුදු පිළිමය නිර්මාණය කළ ශිල්පියා සමඟ කතාකරන්නට අවස්ථාවක් ලැබිණි.
අසූ තුන්වැනි වියෙහි පසු වන ඒ මහා විශ්වකර්මයා එස්. ඒ. ඇල්බට් විජේසේකරය. රටේ බහුතරයක් සිටින්නේ පරම්පරාවෙන් එන කලාකරුවෝය. එහෙත් කලාව සැමට පිහිටන්නෙ නැත. සහජයෙන් ගෙනා ආ හැකියාව ප්‍රගුණ කිරීමෙන් ඔහු යුග ගණනාවක් පවතින නිර්මාණ කළ අයෙකි.
එක්දහස් නවසිය තිස්හය වසරේ වරකාපොළ බටුවන ගමේ උපන් විජේසේකර දහ දෙනෙකුගෙන් යුතු පවුලේ පස් වැනියාය.
“මගේ අම්මා තාත්තාවත් අපේ පරම්පරාවල කිසිම කෙනෙක් චිත්‍ර මූර්ති කරලා නැහැ. නමුත් මම පොඩි කාලේ ඉඳලම කළේ චිත්‍ර අඳින එක. මැටි අනලා රූප අඹන එක. තාත්තාගේ ආයුධයක් අරගෙන ගලක කැටයම් කොටන එක. ළමා වයස වුණත් මම ළමයි එක්ක සෙල්ලම් කරන්න ගියේ නැහැ. ඒ විදිහටයි මගේ නිර්මාණ ජීවිතය ඇරඹෙන්නේ.
මම මුලින්ම ඉගෙන ගත්තේ බටුවන කනිෂ්ඨ විද්‍යාලයේ. අට වැනි ශ්‍රේණියේ සිට නියැදුරුපොළ සිරිපැරකුම්බා මහ විද්‍යාලයේ. චිත්‍ර විෂය මුර්ති විෂය වැඩිදුරටත් ඉගෙනගැනීමට හේවුඩ් එකට බැඳුණා. එහිදී මගේ නිර්මාණාත්මක හැකියාව තව තවත් ඔපමට්ටම් කර ගත්තා. එක්දහස් නවසිය පනස් අට වසරේ දී රජයේ ලලිත කලා ආයතනයෙන් චිත්‍ර කලා ඩිප්ලෝමාව ලබාගත්තා. 1962 දී චිත්‍ර ගුරු පුහුණු පළමු පන්තියේ සාමාර්ථ්‍යයකුත් සමඟ තමයි මම ගුරු සේවයට ඇතුළත් වුණේ.”
ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය ආරම්භ කරද්දි එහි ප්‍රථම චිත්‍ර කලා කථිකාචාර්යවරයා ලෙසින් කටයුතු කිරිමේ භාග්‍ය විජේසේකරට හිමි විණි. එතැන් සිට එක්දහස් නවසිය අනූ එක වන තුරුම රටේ සිවු දිගින් පැමිණි ගුරුවරුන්ට චිත්‍ර කලාව පිළිබඳ දැනුම අවබෝධය ලබාදීම ඔහුගේ කාර්ය විය.
“ඉගැන්වීම මගේ රස්සාව වුණත් මම හිතුවේ එය මගෙන් මේ රටට මේ රටේ දරු පරම්පරාවට විය යුතු සේවාවක් කියලා . මම බොහෝම කැපවීමෙන් ආශාවෙන් තමයි ඒ සේවය කළේ.”
ඔහුට අගනා කලා නිර්මාණ බිහි කිරීමට මඟ පෑදෙන්නේ මේ අතරතුරය. දුටු දනන් සිත පැහැදෙන, බුද්ධාලම්භන ප්‍රීතිය මතු වන අයුරින් බුද්ධප්‍රතිමා නිර්මාණය කිරීමේ අවස්ථාව උදා වන්නේ මේ අතරතුරය. මුලින්ම මිත්‍රයකුගේ ආරාධනයක් අනුව ඔහු පොල්ගොල්ල ගුරුවිද්‍යාලය සඳහා අඩි තුනක් උසින් යුතු බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරයි. ඒ ප්‍රතිමාව දැක පැහැදුණු අය නිසා ඔහුට ඊළඟ ඇරයුම ලැබෙන්නේ දොලංවල බෝමළු විහාරස්ථානයෙනි. එහි ඔහු අඩි පහක් උසැති බුදු පිළිමයක් නිර්මාණය කරයි. අසූ අටරියන් බුදු පිළිමයක් නිර්මාණය කිරීම සඳහා ඇරයුමක් ලැබෙන්නේ ඊට පසුය. එය ලෙහෙසි පහසු කාර්යයක් නොවූණද විජේසේකර ඒ සඳහා මිල ගණන් කතා නොකරයි. ඔහු ඇරයුම පිළිගන්නේ බොහෝ කැමැත්තෙනි.
“එවකට බහිරව කන්දේ හිටපු නායක ස්වාමින් වහන්සේ මට ආරාධනය කළා බහිරව කන්ද මුදුනේ බුදු පිළිමයක් හදන්න කියලා. මම ඇස්මේන්තු හැදුවේ නැහැ. සල්ලි බලාපොරොත්තු වුණේ නැහැ. එක්දහස් නවසිය හැත්තෑ නවය අවුරුද්දේ තමයි බුදු පිළිමය නෙළන්න පටන් ගත්තේ. වෙනම ඉංජිනේරුවරුන් හිටියේ නැහැ. සියලු කටයුතු කළේ මම . අත්උදව්වට අය හිටියා. පලංචි උඩ නඟින්න මට බයක් දැනුණේ නැහැ. පුංචි කාලේ ඉඳලා මම වත්තේ තිබුණ පොල් ගස්වලට නැඟලා පුරුද්දක් තිබුණා.
හාමුදුරුවෝ ඉදලා හිටලා මම එපා කියද්දි රුපියල් සීයයක් දෙසියක් මගේ සාක්කුවට දානවා. ඒ හැර මටමහන්සියට කියලා ලැබුණේ රුපියල් දහදාහක් විතරයි. මම රෑ දවල් වෙනසක් නැතිව වැඩ කළා. කන්දක පිළිමය හදන එක හරිම අසීරුයි. මට බුදු පිළිමයේ මුහුණේ ප්‍රමාණය දැක ගන්න ඕනෑ.
ඒ වේලාවට පහළට බැහැලා පයිනස් ගහක බැඳලා තියෙන ඉණිමඟට නඟිනවා. දවසට කිහිප වරක් ඒ ගහට නඟිනවා බහිනවා. පිළිමය නිම කළේ 1993 වසරේ.
පිළිමේ වැඩ ඉවර වුණාම මගෙ හිතට දැනුණ සතුට කියා නිම කරන්න බැහැ. මම මවුපියන්ට ගුරුවරුන්ට හිතෙන් පින් දෙමින් තමයි මේ පිළිමය නිර්මාණය කළේ. බහිරව කන්ද විහාරයේ වර්තමාන විහාරාධිපති වහන්සේ වන යටවත්තේ ධම්මානන්ද හාමුදුරුවෝ මාව බොහෝම අගය කරනවා.”
කන්ද උඩරට විශාලම බුදු පිළිම වහන්සේ නිර්මාණය කළ විජේසේකරට ඉන් පසු බුදු පිළිම නිර්මාණය සඳහා විදේශයන්ගෙන් ද ආරාධනය ලැබිණි. එක් ආරාධනයක් සිංගප්පුරුවෙනි. විජේසේකර ඒ අතීතය සිහිපත් කරන්නේ බොහෝ සතුටෙනි.
“සිංගප්පූරුවේ ලංකාරාම විහාරයේ බුද්ධ මන්දිරයේ සැතපෙන බුදු පිළිමය සාදන්න මට ආරාධනය ලැබුණා. එහි බෞද්ධ සංගමයේ අය ලංකාවට ඇවිල්ලා මෙහෙ බුදු පිළිම බලලා ශිල්පියෙක් හොයලා තියෙනවා. ඒ අවස්ථාවේ තමයි ඔවුන් බහිරවකන්ද බුදු පිළිමය දැක ඒ ගැන පැහැදිලා මාව සොයාගෙන ආවේ. මුලික කතා බහෙන් පස්සේ මට සිංගප්පුරුවට එන්න කියලා ටිකට් පතක් ලැබුණා. එහෙදි ඔවුන් කිව්වා බුදු පිළිමයේ ආකෘතියක් සාදා පෙන්වන්න කියලා. මම ඔවුන් ඉදිරියේ සැතපෙන පිළිමයක ආකෘතියක් නිර්මාණය කළා. එයට මාසයක් විතර ගත වුණා. ඔවුන් එය දැක පැහැදුණා.
පිළිම නිර්මාණය සඳහා ගිවිසුම් අස්සන් කෙරුණා. මම මෙහෙන් අත් උදව්වට කිහිපදෙනෙක් ගෙනිච්චා. එහෙනුත් කිහිප දෙනෙක් ගත්තා. පඩිනඩි ගෙව්වේ මම.
වියදම හැටියට ගත්තේ රුපියල් ලක්ෂ විසි පහයි. අඩි හතළිස් පහක් දිග සැතපෙන බුදු පිළිම වහන්සේ, විහාරගෙයි අභ්‍යන්තර සැරසිලි හා සඳකඩ පහණ, පුන්කලස නිර්මාණය කරන්න ගිවිසුම ගැහුවේ අවුරුදු දෙකක් කියලා. නමුත් අවුරුද්දක් ඇතුළතදි මම ඒ සියල්ල නිම කෙරුවා. සිංගප්පුරුවේ සැතපෙන බුදු පිළිමය සහිත විහාර ගෙය නිර්මාණය කෙරුවේ 1995 වසරේ.
මම අපේ රටේ විහාර ගණනාවක බුදු පිළිම, බිතුසිතුවම් නිර්මාණය කෙරුවා. ඒ අතර බළන්ගොඩ ශෛලතලාරාමයේ අඩි හැටපහක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ, ගම්පොළ සාලියා පිරිවෙනේ අඩි 132ක් සැතපෙන බුදු පිළිම වහන්සේ, හලාවත මුන්නේෂ්වරම් පිරිවෙනේ අඩි හැත්තෑවක් උස බුදු පිළිම වහන්සේ ඇතුළු තවත් පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙනවා.”
ඔහුගේ නිර්මාණ කාර්ය බුදු පිළිම නිර්මාණයට පමණක් සීමා නොවේ. ඔහු චිත්‍ර ශිල්පයේ ද දක්ෂය.
කැටයම් කලාවේ ද දක්ෂය. පොත් පිටකවර නිර්මාණයේ පමණක් නොව ඔහු ගොක් කොළ කැටයම් කලාවේද දක්ෂයෙකි. ඔහුගේ දක්ෂතා හඳුනාගත් අය හැම විටම ඔහුගේ හැකියාවට වටිනා තැනක් ලබා දුන්හ.
මම ගිරාගම ගුරු විද්‍යාලයේ සේවය කරන කාලේ වික්ටෝරියා ව්‍යාපාරයේ දෙවැනි ඉංජිනේරු මහත්තයා මා හමුවන්න ආවා. ඔහුගේ නම මට මතක හැටියට නානායක්කාර. ඔහු මට කිව්වා වික්ටෝරියා වේල්ල විවෘත කිරීමේ උත්සවයට ගොක් කොළ තොරණක් නිර්මාණය කරන්න කියලා. ගිරාගම සෞන්දර්ය විද්‍යාලයේ ගුරුවරුන් ළයින් ගමේ අය මට උදව් කළා.
ගමේ අය පොල් අතු කපලා දුන්නා. හැමෝටම මම පඩි ගෙව්වා. මම ඒ ගොක් කොළ තොරණ සඳහා අය කළේ රුපියල් හයදාහක් විතරයි. හාරදාහක් වියදම් වෙලා රුපියල් දෙදහක් මා අතේ ඉවර වුණා.
මම උත්සවය දා හිටියේ නැහැ. නිදිමත නිසා ගෙදර ආවා. උත්සවය අවසන් වුණාට පස්සේ ඉංජිනේරු මහත්තයා මා සොයාගෙන ආවා. ඔහු මට කිව්වා ඔබ මේ වෙනුවෙන් වටිනාකමට මුදල් අය කර නෑනේ කියලා. මින් ඉදිරියටත් උත්සව සඳහා ඔබේ උදව් අවශ්‍ය බව කිව්වා.
ඉන් පසු රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ, මාදුරු ඔය, නිල්ලඹ ආදි ව්‍යාපෘති විවෘත කිරිමේදී ඒවායේ සැරසිලි කළේ මම. ගම්උදාව විවෘත කිරීම් උත්සව කිහිපයකත්, නිදහස් උත්සව කිහිපයකත් මම තොරණ ප්‍රදර්ශන කුටි සරසා තිබෙනවා. පොත් පිටකවර නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම මුද්දර කිහිපයකුත් නිර්මාණය කරන්නට ලැබුණා. ”
ඔහුගේ හැකියාව එක් තැනකට පමණක් සීමා නොවේ. වේදිකා නාට්‍ය නළු නිළි ඇඳුම් නිර්මාණය, පසුතල නිර්මාණය , වේශ නිරුපණය මෙන්ම බතික් කලාවේද දක්ෂතා දැක්වූ විශ්මකර්මයෙකි.
දැන් ඔහු ජීවිතයේ සැදෑ සමය ගත කරයි. ඔහු ප්‍රගුණ කළේ පරම්පරාවෙන් මවුපිය උරුමයෙන් ගෙන ආ ශිල්පයක් නොවේ. ඔහු සහජයෙන් ගෙන ආ කලා හැකියාව ප්‍රගුණ කර දෙනෝ දාහක් දොහොත් මුදුන් දී වදිනා බුදු පිළිම නිර්මාණය කළේය. ඔහු කාර්යක්ෂමය. යම් කාර්යයක් පටන් ගත් විට එය නිමා කරන තුරු ඔහු දිවා රෑ නොතකා වෙහෙස වී වැඩ කරයි. එහි අවසානය සුන්දරය. අද ඔහුගේ දෑසේ පෙනීම දුර්වලය.එහෙත් ඔහු ජීවිතය ගෙවන්නේ තුටිනි.
“මගේ දුව ඉංජිනේරුවරියක්. පුතා ගුවන් යානා ඉංජිනේරුවෙක්. මගෙන් පස්සේ මේ කලාව ඉදිරියට ගෙනි යන්න කෙනෙක් නැහැ. මගේ හොඳම ගෝලයෝ දෙන්නයි. පළමුවැනියා හැත්තෑ එකේ කලබල කාලේ අතුරුදන් වුණා. දෙවැනියා චාල්ස් දයානන්ද. ඔහු ගැන මට බොහෝම සතුටුයි. මම දැන් වයසයි. රෑට නිදන්න ගියාම මට සිතුවම් පෙළක් වගේ මා අතින් නිම කෙරුණු බුදු පිළිම එකින් එක දෑස් ඉදිරියේ මැවෙනවා. මගෙ හිතට පුදුම සැනසීමක් සතුටක් දැනෙනවා. මගේ බිරියගෙන් මට හොඳ නිදහසක් මෙන්ම සහයෝගයක් ලැබුණා. එනිසයි මෙරම් හොඳ ගමනක් එන්න ලැබුණේ.“
සමරවීර ආරච්චිලාගේ ඇල්බට් විජේසේකර කලාකරුවා පවසන්නේ මඳ සිනා නඟමිනි.
ඉනෝකා සමරවික්‍රම
2019 ජූලි 13
සිළුමිණ