බාල ළමාවරුන්ගේ අනාගතය සුරකිමු.

කතුවැකිය

සිය සුළු පියා විසින් දූෂණය කරන ලදුව සිය මවගේ ද අනුදැනුම සහිතව අන්තර්ජාලය ඔස්සේ ගණිකා වෘත්තියෙහි යොදවන ලද පහළොස් හැවිරිදි දැරියගේ කතා වස්තුව වනාහි ලංකාව සමාජ දේශපාලනික වශයෙන් පමණක් නොව ගුණධර්ම හා සංස්කෘතික වශයෙන් ද රට වැටී ඇති තත්ත්වය අපට කියාපාන ලේ වැකි උදාහරණයකි. මේ දුගී දැරිය අලෙවි කිරීමේ කටයුත්තට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුද සම්බන්ධයයි කියැවෙනවා.

මේ දැරිවියගේ පහස සොයා ගිය උදවිය අතර දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව භික්ෂූන් වහන්සේලා, එක් මන්ත‍්‍රිවරයකු, උසස් පොලිස් නිලධාරියෙකු, විශේෂඥ වෛද්‍යවරයකු, නාමධාරි ව්‍යාපාරිකයන් ආදී තුන්සියයකට අධික ප‍්‍රභූ හා සාමාන්‍ය මට්ටමේ ලා සැලකෙන පිරිස් සිටි.

මේ සහගහන අපරාධය අරබයා නීතිය කවර ආකාරයකට ක‍්‍රියාත්මක වේ දැයි අපි නො දනිමු. එහෙත් මේ විපතට පත් දැරිය තමන්ට අප‍්‍රසන්න පිරිස් සමග නිදිවදින වාරයක් වාරයක් පාසා නගන සුසුම් සහිත විලාපය ඇය මේ තත්ත්වයට පත් කළ සමාජයට වේරම්භ වාතයක් වනු නිසැකය. මේ දිගු පාපතරයන් ලැයිස්තුවේ ඇති හැකි අය සිටින හෙයින් ඒ දැරියගේ වින්දිත භාවයට විසඳුමක් නොලබාම යටපත් වීමේ වැඩි ඉඩකඩක් තිබේ.

මෙය හුදු පාපී මනුස්සයන්ගේ ක‍්‍රියාකාරකමක් පමණක් නොව පාපතර වූ සමාජයක පොදු භාවය දනවන ක‍්‍රියාවකි. මේ අසු වූයේ එක දැරියක් පමණි. මෙවන් විපත්වලට ගොදුරු වන සිය ගණන් දැරියන් අද ලංකා භූමි තලය මත දුක් විඳිති.

අන්තර්ජාල පහසුකම් රටකට ලැබීම නූතනත්වය දිශාවට දිගු පියවර තැබීමකි. ලංකාවේ දරුවෝ මේ මගින් විපුල ඵල ප‍්‍රයෝජන ලබා ගන්නා බවත් නොරහසකි. එහෙත් මෙවැනි අවලං කෙළි සඳහා ද ඇතැම් පාපතරයන් අන්තර්ජාල පහසුකම් යොදා ගන්නා බවට තවත් එක් උදාහරණයකි මෙම දැරිවිය වෙබ් අඩවියක් මගින් විකිණීම. මෙය ලියන අවස්ථාව වන විට ලැබුණු තොරතුරක් අනුව මෙම වෙබ් අඩවිය හිමිකරු මෙවැනි පාපතර ක‍්‍රියාවන් මගින් උපයාගෙන ඇති මුදල් අතර රුපියල් කෝටි පහක් එක බැංකු ගිණුමක තිබී ඇත. ඩොලර් ගිණුමේ ඩොලර් දොළොස්දාහකි. එයින් කියැවෙන්නේ මේ සල්ලාල සෙල්ලමට ලංකාවේ ජීවත් වන්නන් පමණක් නොව විදේශයන්හි ජීවත් වන්න ද සම්බන්ධ බවයි.

මෙම අඩවියේ අයිතිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා උසාවිය හමුවේ පවසා ඇත්තේ තම සේවාදායකයා කිසි වරදක් නොකළ බවත් ඔහු කර ඇත්තේ භාණ්ඩයක් විකිණීම සඳහා පහසුකම් සැපයීම පමණක් බවත්ය. එහිදී විනිශ්චකාරවරයා කාන්තාවන් විකිණීම භාණ්ඩයක් විකිණීමට සමාන කළ හැකිදැයි එකී නීතිඥයන්ගෙන් පෙරළා විමසා තිබේ.

ගණිකා වෘත්තියට ලංකාවේත් ලෝකයේත් දීර්ඝ ඉතිහාසයක් ඇත. එහෙත් ඒ සම්බන්ධව අනේකවිධ නීති හා නියාමනයන් ක‍්‍රියාත්මක වන අතර ඒ වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගේ අභිමතයෙන් තොරව ඒ කටයුත්ත සිදු නොවේ. විශේෂයෙන්ම බාල වයස්කාර දැරියන්ට ස්වකීය අභිමතයෙන් හෝ එම කටයුතුවල යෙදවීම අපරාධමය වරදකි.

මේ ලංකාවේ සිදුවූ ඇත්තේ එම අපරාධමය වරදයි. ඒ බාල වයස්කාර දැරිය වෙත පෝලිමේ ගිය සල්ලාලයන් බහුතරය ලංකාවේ සමාජය මෙහෙයවන වැදගතුන් හා නාමධාරී උගතුන්ය. මේ අපරාධය සඳහා පහසුකම් සැපයීමේදී පළාතේ පොලිසිය ද ඒ සඳහා සහාය වී ඇති බව කියවේ. මේ දැරිවිය පළමුව දූෂණය කළේ ඇගේ සුළු පියා ය. ඇය ගණිකා වෘත්තියට යෙද වූයේ ඇගේ මවය. අම්මාවරුන් අපේ සංස්කෘතික අතීතය තුළ ලියවෙන්නේ මෙයාකාරයට නොවේ. ඇගේ පහස සොයා ගිය භික්ෂූන් කිහිපදෙනෙකි. විශේෂඥ වෛද්‍යවරයෙකි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි.
මෙම කෲරතර සිදුවීමට දින කිහිපයකට පසුව රිෂාඞ් බදුර්දීන් හිටපු ඇමතිවරයාගේ නිවසේ දී 15 හැවිරිදි දැරියක් පිළිස්සී මියගියාය. ඇය ඇමතිවරයාගේ නිවසේ මෙහෙකාර වෘත්තියට පැමිණි වතුකරයේ ඉපදුනු දුගී දැරියකි. මරණ පරීක්ෂණයේ දී සොයාගත් කරුණු අනුව ඇය වෙනත් ශාරීරික අඩන්තේට්ටම් වලට ලක් වී නැතැත් අනේක වාරයක් දූෂණයට ලක් වී ඇත. රිෂාඞ් බදුර්දීන් වනාහි පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකි. රට කරවන ඉහළ ම තීරුවේ උදවියගේ කෙරුවාවේ හැටි ඔයාකාරය. මේ ලියන අද දවසේ මේ දුගී දැරියට සාධාරණත්වය හා නීතිය නියමාකාරයෙන් ඉෂ්ට කරන ලෙස ඉල්ලා වතුකරයේ උද්ඝෝෂණ පැවැත් වේ.
නියාමනයක් නැති සමාජයක තීරණාත්මකව මඟ විවර වූයේ 1977 දී සිදුවූ දේශපාලන වෙනස සමගිනි. සල්ලි පරමයට නැංවූ සල්ලි හඹා යන සමාජයක් නිර්මාණය වූයේ එතැන් සිටය. මේ දැරිවිය අද මේ සා විපතකට පත් ව ඇත්තේ ඒ සමාජ නිර්මිතයේ ගොදුරක් වෙමිනි.
පසුගිය වසර 30-40 තිස්සේ ආයතනයක උසස්වීමක් ගැනීමට කාන්තාවෝ විෂයබාර අමාත්‍යවරයාගේ සිට සිය ආසන්නතම ප‍්‍රධානියා දක්වා නිදි වැදිය යුතුය. විශ්වවිද්‍යාල සිසුවියකට හිමි සිය කාර්යය සඳහා එසේම කළ යුතුය. අන් හැම තැනකම තත්වය එසේය.
අප ජීවත්වන කැනඩාවේ නිල වශයෙන් ජාතීන් එකසිය හතළිස් අටක් පමණ ජීවත්වන බව කියවේ. ඔවුහු තම තම ජනවර්ග සමඟ එකතුව හෝ හුදකලාව හෝ ජීවත් වෙති. ඔවුන් පැමිණි තම මුල් රටවල උසස් සංස්කෘතික ලක්ෂණ ක‍්‍රියාත්මක කිරීමට කැනඩා රජය හැකි සහයෝගය දෙති. එහෙත් ඔවුන්ගේ මුල් රටවල දුර්ගුණ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් ඊට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරති. බොහෝ තුන්වන ලෝකයේ රටවල ස්ත‍්‍රිය කෙරේ දක්වන ආකල්පය දියුණු මානව ගුණ දහම් වලට පටහැනි ය. එහෙත් කැනඩාව ස්ත‍්‍රියගේ් අයිතීන් පිළිබඳව වඩාත් සූක්ෂම තාවයෙන් බලන අතර නීතියේ රැුකවරණය ඇය කෙරේ වඩාත් හොඳින් ලබා දේ. ඒ හා සමානවම දරුවන්ගේ රැුකවරණය ඉතා මැනවින් සුරක්ෂිත කර ඇත.
ශ‍්‍රී ලංකාවේ දී ,අන්තර්ජාලයේ විකිණූ දැරියත්, රිෂාඞ් බදුර්දීන් හිටපු ඇමතිවරයාගේ නිවසේ ලිංගික අතවරයට පත්ව හා පිළිස්සී මියගිය දැරියත්, දරුවන් මිස වැඩිහිටියන් නොවේ. ඔවුන් රැුකබලා ගැනීම සිය දෙමව්පියන්ට පමණක් අයත් කාර්යයක් ද නොවේ. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන දේශපාලන වටපිටාවක් නිර්මාණය කිරීම ලංකාවේ පාලක දේශපාලකයන් හා අනෙකුත් දේශපාලනයේ යෙදී සිටින කාගේත් වගකීමකි.
ශිෂ්ටාචාරවත් රටක් නිර්මාණය කිරීමේ දී අවදානමට වඩාත් ලක් විය හැකි සමාජ කණ්ඩායම් සුරක්ෂිත කිරීම පළමුවෙන් කළ යුත්තකි. දරුවන්, ස්ත‍්‍රීන් ඒ අතර මුලින්ම සිටී.
-සංස්කාරක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *