බර්ටි ගුණතිලකයන් ළඟ දී දවසක අප අතරින් වියෝ වෙනු ඇතැයි සිතුනත් එය එසේ වූ බව මම අසන්නට අකැමැති වීමි. ඒ අපේ ළමා වියේ සිටම ඔහු ඇතුලු මිතුරන් පිරිස අපගේ ජීවිත සතුටින් තැබීමට දායක වූ හෙයිනි. ඔවුන් ලංකා භූමියේ මනා සංස්කෘතික නිෂ්පාදනයෝ වෙති. හාස්‍ය මැව්වේ වගකීමකින් යුතුවය. අපේ පාසල් වියේ දී මගේ පංති සගයෙකු වූ පුෂ්පානන්ද ඒකනායක (ෆොන්ට් මාස්ටර්) පෙරදා විනෝද සමයට ගිය කතාව පසුදා අපට යළි කියා රස ගැන්වූවා අද මෙන් මතකය.
1977 මැතිවරණයේ දී බොහෝ නළු නිළියෝ ගායක ගායිකාවෝ එජාප වේදිකාවට නගිද්දී බර්ටි -ඇනස්ලි- සැමුවෙල් ත්‍රිත්වය එකළ වාමාංශික බලවේගය වූ ‘එක්සත් සමාජවාදී පෙරමුණේ’ වේදිකාවට ගොඩ වූහ. ඒ නිසා පසු කලෙක බලයට පත් වූ එජාප ආණ්ඩුව යටතේ ඔවුනට ගුවන් විදුලිය අහිමි වුනු අතර ඒ වෙනුවට ගුවන් විදුලියේ විනෝද සමය (ඒ නමමදැයි මට මතක නැත) හිමි වූයේ ඒ ආණ්ඩුවට සහය වූ දොන් සිරිසේන වැනි පිරිසකටය. බර්ටි ගුණතිලකයන් වැනි සහජ දක්ෂයන් මැවූ රසාකරය රසිකයන්ට අත්කර දීමට නව පිරිසට නොහැකි විය.
තවත් ටික කලකට පසුව යළි රූපවාහිනිය තුලින් බර්ටි ගුණතිලක ඇතුලු පිරිස සාර්ථක වැඩසටහන් මාලාවක් කළේය.
බර්ටි -ඇනෙස්ලි-සැමුවෙල් යුගයෙන් පසුව මැවුණු හාස්‍යය අහිංසක නොවුණු අතර කාලායාගේ ඇවෑමෙන් මැවුණු සමාජ දේශපාලන ‘රුදුරු බලුවේම’ හැඩරුවක් හාස්‍යයට එක් විය. බර්ටි ඇතුළු මිතුරු ත්‍රිත්වය වනාහි එක්තරා සහනශීලී සමාජ වකවානුවක හාස්‍යය කලාවක් ලෙස ගොඩ නැගූ මිනිසුන්ය. ඔවුන් ඒ යුගය මේ යැයි හඳුනා ගත හැකි ඓතිහාසික වැදගතුන්ය.
බර්ටි ගුණතිලක මැතිඳුනි ඔබට සුබ ගමන්.
-චන්ද්‍රරත්න බණ්ඩාර