බිම්ශානි ජාසිං ආරච්චි: ශ්‍රී ලංකාවේ පොලිස් කාන්තාවන්ට උසස් වීම් අකැප ද? නීතිය කුමක් ද?

දේශපාලන

දැහැමි රණවීර
බීබීසී සිංහල
19 පෙබරවාරි 2021
ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති නිලයට පත් කළ ප්‍රථම කාන්තාව බිම්ශානි ජාසිං ආරච්චිගේ පත් වීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති අතර, එය සලකා බැලීම සඳහා ලබන මැයි 18 වැනිදා නැවතත් කැඳවීමට නියම කර තිබේ.

මෙම නඩුව ගැන සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර, ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා මෙන්ම පාර්ලිමේන්තුවේ පවා මේ ගැන අදහස් මෙන්ම විරෝධය පළ කිරීම් ද දක්නට ඇත.

බිම්ශානි ජාසිං ආරච්චි නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස උසස් කිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති.

පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 46 දෙනා අතරට එක්වූ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ශානි, 1997 පොලිස් සේවයට එක් වී ඇති අතර, 2006 වර්ෂයේදී පොලිස් පරීක්ෂක තනතුරට උසස් විය. අදාළ විභාගවලින් සමත් වුව ද, කාන්තාවකට ශ්‍රී ලංකාවේ පොලිසිය තුළ උසස්වීම් ලැබීමට ඇති විවිධ බාධා හේතුවෙන්, 2007 වසරේ දී සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීමට බිම්ශානිට අධිකරණයේ පිහිට පතන්නට ද සිදු විය.

එවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුවත්, ජාතික පොලිස් කොමිෂන් සභාව නිලධාරිනියන්ගේ උසස්වීම් වෙනුවෙන් යම් නීති වෙනස් කිරීමත් නිසා ඇය සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරිණි.

සිය වෘත්තීය ගමනේ ඊළඟ පියවර ලෙස 2013 වසරේදී බිම්ශානි පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත් උසස් වීම් ලැබුවාය.

ප්‍රමිලා දිවාකරගෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් වූ දෙවෙනි කාන්තාව වූයේ බිම්ශානිය.

කෙසේනමුත්, පොලිස් පරිපාලන පද්ධතිය තුළ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිදු කෙරුණු යම් අරගල, අධිකරණ සහ පරිපාලන ක්‍රියාමාර්ග හේතුවෙන් 2019 වසරේදී තවත් නිලධාරිනියන් අටදෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබූහ.

නඩුවේ පසුබිම කුමක් ද?
බිම්ශානිගේ තනතුර නීති විරෝධී වන අතර ඉන් පුරුෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ උසස් වීම්වලට බාධා ඇති වී තිබෙන බව සඳහන් කරමින් නඩුවට පෙර නිලධාරීන් 14 දෙනෙකු පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා තිබිණි.
මෙම පත්වීම ආපසු හරවන ලෙසත්, කාන්තාවන් සඳහා වෙනම තනතුරු ඇති කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

කාන්තා සහකාර පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙකු, පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකු සහ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක බඳවා ගැනීමේ ක්‍රමයක් සඳහා නිර්දේශ ඇතුළත් ලිපියක් පසුගිය දෙසැම්බර් මාසයේ දී මුදල් අමාත්‍යාංශ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යැවීමට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න ක්‍රියා කර තිබිණි.

නමුත් මෙම යෝජනා ක්‍රියාත්මක කර නොමැත.

පොලිසියේ සෑම තරාතිරමකම පුරප්පාඩු වලින් 15%ක් කාන්තාවන්ට ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2006 ජනාධිපති ධුරයේ සිටියදී කැබිනට් තීන්දුවක් ගත් නමුත්, එය ද ක්‍රියාත්මක නොවීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙන් පසු කාන්තාවකට උසස් වීමක් ලැබිය හැකි තනතුරක් නීතියේ සඳහන් නොවේ. නමුත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයක් මත කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය යන තනතුරකට (WDIG) බිම්ෂානි ජාසිං ආරච්චිව පත් කර තිබේ.

කෙසේනමුත්, පොලිස් අධිකාරිවරුන් 162 ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි169 ක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 46 ක් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 12ක් සඳහා පුරුෂයන්ට පුරප්පාඩු ඇත.

“නඩුව ගොනු කළේ කාන්තාවක් තනතුරට පත් කිරීමට එරෙහිව නෙමෙයි. මේක පරිපාලනයට සම්බන්ධ ප්‍රශ්නයක්,” නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.

“කාන්තාවක් ඉහළ තනතුරකට යන එකට අපි විරුද්ධ නැහැ. නමුත් නීති රෙගුලාසිවලින් පිටත WDIG (කාන්තා නියෝජ්‍ය පොලිස්පති) කියන තනතුරක් නිර්මාණය කිරීම නිසා නීතියේ සඳහන් පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වෙන්න හිටිය අනෙක් ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. උසාවියට ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නඩුව.”

ඒ අනුව කාන්තා පොලිස් සේවය සඳහා මුලින්ම බඳවා ගන්නා ලද්දේ නිලධාරිනියන් සිව් දෙනෙක් පමණකි.

එලෙස බඳවා ගන්නා ලද පස් වැනි කණ්ඩායමේ සාමාජිකාවක ලෙසින් 1958 දී ප්‍රමිලා දිවාකර කොස්තාප්ලවරිය පොලිස් සේවයට සම්බන්ධ වන විට ඇය සමඟ තවත් කාන්තාවන් දහ තුන් දෙනකුද බඳවාගෙන තිබේ.

බිම්ෂානිට පෙර කාන්තා පොලිස් ඉතිහාසයේ ඉහළම තනතුරක් හෙබවූයේ ප්‍රමිලා දිවාකරය.

වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය සහ පොලිස් කාන්තාවක් තනතුරු ලබා ගැනීමේ දී ඇතිවන ගැටලු ගැන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකරගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය.

“මම පොලිසියට බැඳිලා අවුරුදු 13ක් ගියාට පස්සේ 1971 තමයි සාජන්ට් ලෙස උසස් වීමක් ලැබුණේ. ඒක ලැබෙන්නත් එක්කෝ ඒ තනතුරේ කෙනෙක් මැරෙන්න ඕනේ නැත්නම් අස්වෙලා යන්න ඕනේ.”

“කාන්තා සහ පිරිමින්ට එක සමාන ලෙස සලකනවා කිව්වාට, ඒ දවස්වල උසස්වීම් ලබා දෙනකොට නම් අපි ගැන බොහොම අවතක්සේරුවක් තිබුණේ. නමුත් සෑහෙන බාධක මැද උසස්වීම් මම ලබා ගත්තා. හැබැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී තනතුර ගන්න 1999 දී නඩු කියන්න වුණා. මම අවුරුදු 44කට ආසන්න කාලයක් පොලිස් සේවයේ හිටියා.”

“කොහොම වුණත් සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන එකයි මගේ අදහස. බිම්ශානි කියන්නේ උගත් කාන්තාවක්. අධිකරණයට ගිහින්, ඊට පස්සේ පොලිස් කොමිෂමටත් ඉල්ලීමක් කළාට පස්සේ තමයි එයාට ජ්‍යෙෂ්ඨත්වය අනුව ලැබෙන්න තිබුණ තනතුරක් ලැබුණේ,” ඇය තවදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ මුළු නිලධාරි සංඛ්‍යාව 85,000 ක් පමණවන අතර, ඒ අතරින් කාන්තාවන් සිටින්නේ 9,000කට ආසන්න ප්‍රමාණයකි.
නඩුව සහ නීතීඥ අදහස්
පවත්නා නීති නොසලකා හැර නීති විරෝධී සහ අත්තනෝමතික ලෙස පොලිස් කොමිසම සිදු කළ බිම්ශානිගේ පත්කිරීම නිසා පෙත්සම්කරුවන්ගේ වෘත්තීය දිවියට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමේ සඳහන් වේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය සහතික කර ඇති පරිදි සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම (නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය) සහ 14 වන වගන්තිය යටතේ සිය රැකියා අයිතිය ද උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති.

බිම්ෂානිට එරෙහි නඩුව ගැන ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්ගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය.

“කාන්තාවකට පොලිසියේ ඉහළ තනතුරුවලට යන්න නීතිමය වශයෙන් යම් ගැටලු තිබෙනවා. නමුත් මෙතන තිබෙන ගැටලුව WDIG කියන තනතුරක් නීතියෙන් නැති එකයි. WPC (කාන්තා පොලිස් නිලධාරිනී) කියන තනතුරක් ගැන අපි දන්නවා, නමුත් ඉන් එහාට W (Woman) කියලා යොදලා තනතුරක් නිර්මාණය කිරීමෙන් මේ වගේ ගැටලු ඇතිවෙනවා,” ප්‍රසන්ත ලාල් පැවසුවේය.

“උදාහරණ විදිහට බැලුවොත්, එහෙමනම් අපි අනෙක් කාන්තා වෘත්තිකයන් W ගුරුවරු, W නීතීඥවරු, W ජනාධිපති කියල හඳුන්වන්න ඕනේ. එතකොට සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු පොලිසියේ මේ තනතුරට පත් වුණොත් හඳුන්වන්නේ කොහොම ද? මේ ප්‍රශ්න නිසා WDIG කියලා වෙනම තනතුරක් තියෙන්න බැහැ.”

“දැනට විභාග කරන නඩුවක් ගැන අපිට වැඩිදුරටත් කතා කරන්න බැහැ (sub-judice ) නමුත් නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න පුළුවන්.” යැයි ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ විරෝධය
බිම්ශානිගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් ගේ සංසදය පෙබරවාරි 18 පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

බිම්ශානිගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින අතර, පොලිස් කාන්තාවන්ට සිය උසස්වීම් ක්‍රමවත්ව ලබා ගැනීමේ හිමිකම තිබිය යුතු යැයි තමන්ගේ විශ්වාසය බව එම සංසදයේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසීය.

බහුතර පුරුෂ නියෝජනයක් ඇති ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් උසස් නිලයකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවට ගරු කිරීමක් ලෙස තමන් දකින බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
කව්ද මේ බිම්ෂානි ජාසිං ආරච්චි?

පොලිසියේ වසර 23ක් පමණ සේවයේ නිරත ඇය වීරකැටිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ උපත ලැබීය. රුහුණු විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වන ඇයගේ පොලිස් දිවියේ මුල්ම රාජකාරි ස්ථානය වන්නේ වවුනියාව පොලිස් ස්ථානයයි.

ඉන්පසු වසර ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ළමා සහ කාන්තා අපයෝජන අංශය, පොලිස් පුහුණු කිරීම් අංශය, ප්‍රභූ ආරක්ෂක හා පරිපාලන රාජකාරිවල ද නිරත වීය.

ලොව වෙනත් රටවල කාන්තාවන් පොලිසියේ උසස් තනතුරු දරන්නේ ද?
එක්සත් රාජධානියේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ වර්තමාන ප්‍රධානියා 60 හැවිරිදි ක්‍රසිඩා ඩික් වන අතර, එරට පොලිස් බලකායෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන්ය.

ඇමරිකාවේ පෝට්ලන්ඩ්, ලොස් ඇන්ජලීස් ඇතුළු ප්‍රධාන නගර ගණනාවක පොලිස් ප්‍රධානීන් කාන්තාවන්ය. ඩැනියෙල් අවුට්ලෝ ෆිලඩෙල්ෆියා නගරයේ ප්‍රථම ඇමරිකානු – අප්‍රිකානු සම්භවයක් ඇති කාන්තා පොලිස් ප්‍රධානී ලෙස 2020 දී පත් විණි.
ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රධානී ක්‍රසිඩා ඩික්

වර්තමානයේ දී ලොව පුරා රටවල් බොහොමයක් පොලිස් කාන්තාවන්ට පුරුෂයන් හා සමානව සැලකීම සහතික කිරීමට උත්සාහ දරමින් සිටිති. ස්වීඩනය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව වැනි රටවල් මේ අතරින් විශේෂයෙන් කැපී පෙනෙන අතර, කාන්තාවන් පොලිසියේ උසස් නිලයන් සඳහා පත් කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *