බීබීසී සිංහල
11 මාර්තු 2025
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ සය වතාවක් අග්‍රමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වූ අල් ජසීරා නාලිකාවේ ‘Head to Head’ වැඩසටහන පසුගිය සතියේ විකාශය කෙරුණු අතර, එහි දී රනිල් වික්‍රමසිංහගෙන් “බටලන්ද වධකාගාරය” සම්බන්ධව ‘බටලන්ද කොමිසම’ ලෙස භාවිත වන ජනාධිපති කොමිසමේ වාර්තාව පදනම් කරගනිමින් අසන ලද ප්‍රශ්න කිරීම් සහ ඔහු විසින් ලබා දුන් පිළිතුරු සමාජයේ දැඩි අවදානයකට ලක්ව තිබේ.
රනිල් වික්‍රමසිංහ: ජනාධිපතිවරණ ඉතිහාසයේ අඛණ්ඩ පරාජිතයා
මේ අතර මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද (මාර්තු 11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ය.
මාර්තු 10 දින පැවති කැබිනට් රැස්වීම තුළ දී වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීන්දු කළ බව ඔහු පැවසීය.
ඒ අනුව බොහෝ දෙනෙකු විමසන ප්‍රශ්න වන බටලන්ද වධකාගාරය යනු කුමක් ද? බටලන්ද කොමිසම් වාර්තාව සහ රනිල් වික්‍රමසිංහ අතර ඇති සම්බන්ධතාවය කුමක් ද? සාක්ෂිකරුවන් කොමිසමේදී පවසා ඇත්තේ මොනවා ද? යන්න සම්බන්ධයෙන් ඒ අනුව බීබීසී සිංහල සිදුකළ විමසා බැලීමකි මේ.
පසුබිම
1980 දශකයේ අවසාන කාලයේ දී එවකට රජය විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල වූ නීතිවිරෝධී මිනී මැරුම්, කෲර වධ හිංසාවට ලක් කිරීම්, අනීතිකව රඳවා තබා ගැනීම් සමග නිරන්තරයෙන් කියවෙන ස්ථානයක් වන්නේ බටලන්ද වධාකාගාරය යි.
1988-1990 කාලවකවානුවේදී මෙම බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිතව අනීතිකව පොලිස් නිලධාරීන් ද මැදිහත්ව මෙලෙස විවිධ පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට, වධ හිංසා පැමිණ වූ බවට ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිදරව් වී තිබේ.
බටලන්ද වාර්තාව යනු කුමක් ද?
පළමු අවස්ථාවේදී එම කොමිසමේ වාර්තාව 1995 සැප්තැම්බර් 20 දින ජනාධිපතිනියට ලබා දිය යුතු බවට නියෝගයේ සඳහන් වුවත් එය දොළොස් වතාවක් පමණ කල් ගොස් හිටපු ජනාධිපතිනියට වාර්තාව ලබා දෙන්නේ 1998 මැයි 05 වන දින ය.
වසර 17ක එක්සත් ජාතික පක්ෂ පාලනයට තිත තබමින් “දුෂණයට, භීෂණයට එරෙහිව” යන මැතිවරණ පාඨයත් සමග 1994 දී බලයට පත් වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ එක ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ එවකට එක්සත් ජාතික පක්ෂ රජය විසින් සිදු කරන ලද බව කියන වධ හිංසා සහ ඝාතනවලට යුක්තිය ඉටු කරන බව ය.
ඒ අනුව බටලන්ද වධකාගාරය සහ සූරියකන්ද සම්බන්ධයෙන් එකල වැඩි අවධානයක් යොමු විය.
හිටපු ජනාධිපතිනිය බලයට පත් වී කෙටි කලක් ගත වන විට ම බටලන්ද වධ කඳවුර ඇතුළු එම ප්‍රදේශයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති ධූරයට හිමි බලතල ප්‍රකාරව ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවන ලදී.
‘බටලන්ද කොමිසම් වාර්තාව’ යනු කුමක් ද?එහි අඩංගු මොනවාද?කොමිසමේ වාර්තාවට අනුව අනීතික ක්‍රියා සඳහා වගකිවයුත්තෝ කවුරුන් ද?
පළමු අවස්ථාවේදී එම කොමිසමේ වාර්තාව 1995 සැප්තැම්බර් 20 දින ජනාධිපතිනියට ලබා දිය යුතු බවට නියෝගයේ සඳහන් වුවත් එය දොළොස් වතාවක් පමණ කල් ගොස් හිටපු ජනාධිපතිනියට වාර්තාව ලබා දෙන්නේ 1998 මැයි 05 වන දින ය.
කොමිෂන් සභාවේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු වූ නීතිඥ එස්. ගුණවර්ධන කලක් කටයුතු කර ඇති අතර, ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු මෙම කොමිසමේ සහකාර ලේකම්වරයා වූ ඩේවිඩ් ගීගනගේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ.
පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දෙවන පන්තියේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකු වූ ජී. කේ. ජී. පෙරේරා කොමිසමේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. සී. පතිරණ, එවකට රජයේ නීතිඥ යසන්ත කෝදාගොඩ, ජනාධිපති නීතිඥ ආර්. අයි. ඔබේසේකර, අභියායචනාධිකරණයේ විනිසුරු ඩී. ජයවික්‍රම, මහාධිකරණ විනිසුරු එන්. ඊ. දිසානායක, රජයේ නීතිඥ සරත් ජයමාන්න, නියෝජ්‍ය පොලිස්පති ටී. වී. සුමනසේකර, පොලිස් අධිකාරී එච්. එච්. එම්. ආර්. ප්‍රේමරත්න ඇතුළු පිරිසක් මෙම ජනාධිපති කොමිසමේ අනෙකුත් සාමාජිකයෝ වූහ.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර ප්‍රජාව මුනිවත රකිනවාද?
කෙසේ නමුත් මෙම වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබීම විශේෂත්වයකි.
1988 ජනවාරි 01 දින සිට 1990 දෙසැම්බර් 31 දක්වා කාලයේ රාජ්‍ය පොහොර සමාගමට අයත් බටලන්ද නිවාස සංකීර්ණයේ, පැවති රජය විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට පුද්ගලයන් රඳවා තබාගැනීම සහ අමානුෂික වධ බන්ධනයන්ට ලක් කළේ ද යන්න සහ එයට වගකිව යුත්තෝ කවරහුද යන්න ඇතුළු කරුණු 5ක් විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරුණු වගකීම ය.
මෙම කොමිෂන් සභාවේ ප්‍රසිද්ධ රැස්වීම් 1996 ජනවාරි 16 ආරම්භ වී දින 127ක් පවත්වා තිබෙන අතර සියලු රැස්වීම් කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණයේ අංක 2 මහාධිකරණය තුළ කැඳවා තිබේ.
කොමිසමේ දී සාක්ෂිකරුවන් 82කගෙන් ප්‍රශ්න කර ඇති අතර, පෙර පැවති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල චරිත වූ රනිල් වික්‍රමසිංහ, ජෝසප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග ඒ අතරින් කැපී පෙනෙයි.
මෙම කොමිසමේ සියලු ලිඛිත වාර්තා වෙළුම් 28කින් යුක්ත වී ඇති අතර පිටු 6,780කින් සමන්විත වී තිබිණි.
ජනාධිපති කොමිෂන් සභාව සහ එහි ප්‍රධාන නිලධාරීන්
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ සිතියම: කළු පැහැයෙන් අඳුරු කර ඇත්තේ නීතිවිරෝධී රඳවා තබා ගැනීම් සඳහා භාවිත කළ නිවාස වේ
බටලන්ද සහ රනිල් වික්‍රමසිංහ
ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාසයේ බටලන්ද ගම මධ්‍යයේ රාජ්‍ය පොහොර සංස්ථාවට අයත් බටලන්ද නිවාස සංකීර්ණය ඉදි කර තිබේ. ඒකක 64කින් සමන්විත එහි නිවාසවල ප්‍රමාණය සහ පහසුකම් අනුව A, B සහ C ලෙස වර්ග කර තිබුණි.
කොමිසමේ වාර්තාවේ සඳහන් අන්දමට එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ එවකට රාජ්‍ය පොහොර නිෂ්පාදන සමාගමේ ඈවරකරු වූ අසෝක සේනානායක දුරකතනයෙන් අමතා පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයෙන් නිවාස කිහිපයක් වෙන් කර දෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.
පොහොර සංස්ථාව හරහා මෙම නිවාස භාරගෙන ඇති නිලධාරියා වශයෙන් හඳුනාගෙන ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු වූ ඩග්ලස් පීරිස් ය.
පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයේ නිවාස ලබා දීම හුදෙක් ම රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිදුවූවක් බව ද, ඔහු එසේ උපදෙස් නොදුන්නේ නම් තමා එසේ පොලිස් නිලධාරීන්ට නිවාස ලබා දීමක් සිදු නොකරන බව රජයේ පොහොර නිෂ්පාදන සංස්ථාවේ ඈවරකරු වන අසෝක සේනානායක කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබේ.
මෙම නිවාස ලබා දීමට අදාළව කිසිඳු ගිවිසුමක් අත්සන් කර නොමැති වීම ද විශේෂත්වයක් වන අතර, එවකට පොලිපතිවරයා වූ අර්නස්ට් පෙරේරා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත්තේ මෙය “ඩග්ලස් පීරිස් මහතා හා සංස්ථාවේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යවරයා අතර පෞද්ගලික ගනුදෙනුවක්,” ලෙස පෙනෙන බව ය.
මෙම නිවාස සංකීර්ණයේ A 2/2 නිවස 1983 මාර්තු 02 සිට 1994 අගෝස්තු මාසය දක්වා රනිල් වික්‍රමසිංහ තමා විසින් දැරූ යෞවන කටයුතු සහ රැකීරක්ෂා අමාත්‍යවරයාගේ සංචාරක බංගලාව වශයෙන් ද, කර්මාන්ත අමාත්‍යවරයාගේ නිල නිවාස වශයෙන් ද භාවිත කරනු ලැබ තිබේ.
මෙම කොමිෂන් වාර්තාවේ පුද්ගලයින් නීති විරෝධීව රඳවා තබා වධ දීමට භාවිත කරන ලද නිවාස මොනවාදැයි දක්වා තිබේ. එහි ඉංග්‍රීසි වාර්තාවේ පිටු අංක 23 සිට 26 දක්වා සඳහන් ආකාරයට, එම නිවාස අංක සහ ඒවා භාවිත කළ අරමුණු හා පුද්ගලයින් පහත පරිදි ය.
B 2: 1989 සිට 1994 අගෝස්තු දක්වා රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය
මෙම නිවසේ තමාව බලහත්කාරයෙන් රඳවා ගත්තේ යැයි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ටී. එම්. බන්දුල යන අය ප්‍රකාශ කර ඇති අතර, කොමිසම නිවාස සංකීර්ණය පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඔහු නිවස හඳුනාගෙන ඇත.
B 1: රනිල් වික්‍රමසිංහට වෙන් කළ ආරක්ෂක නිලධාරීන් රැඳී සිට ඇත.
B 7: රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් පරීක්ෂක සුදත් චන්ද්‍රසේකර රැඳී සිට ඇත.
B 8: සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ගේ ආරක්ෂක නිලධාරීන් රැඳී සිට ඇත.
මෙම නිවස තමාව බලහත්කාරයෙන් රඳවා, වධ දීමට ලක් කළ නිවස ලෙස සාක්ෂිකරු අර්ල් සුගී පෙරේරා විසින් හඳුනාගෙන තිබේ. මෙම B 8 නිවස B 7 නිවස ආසන්නයේ සහ සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් රැඳී සිටි බවට වාර්තාවේ සඳහන් A 2/5 නිවස ඉදිරිපිට පිහිටා ඇත. 1996 මැයි 24 දින කොමිසම විසින් නිවාස සංකීර්ණය පරික්ෂා කිරීමකදී මෙම නිවසේ වීදුරු ජනේලයක “Black Cats” ලෙස පින්තාරු කර ඇති බව නිරීක්ෂණය වී තිබිණි.
B 34: සපුගස්කන්ද පොලිසියට පවරා දී තිබේ.
මෙම නිවසේ තමාව බලහත්කාරයෙන් රඳවා ගත්තේ යැයි වාසල ජයසේකර යන අය විසින් හඳුනාගෙන ඇත.
A 1/8: මෙම නිවස කිසිවෙකුටත් පවරා දී තිබී නොමැති නමුත් ඒ අවට පොලිස් නිලධාරීන් නිතර ගැවසෙන නිසා පොහොර සංස්ථාවේ ඈවරකරු විසින් මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට සහ රනිල් වික්‍රමසිංහට දන්වා ඇති නමුත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයින් රැඳී සිටි A 1/7 නිවසට යාබදව පිහිටි මෙම නිවස පුද්ගලයින් බලහත්කාරීව රඳවා තබා ගත් ස්ථානයක් ලෙස අජිත් ජයසිංහ යන අය කොමිසමට සාක්ෂි ලබා දී තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,කොමිසමේ වාර්තාවේ සඳහන් අන්දමට එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ එවකට රාජ්‍ය පොහොර නිෂ්පාදන සමාගමේ ඈවරකරු වූ අසෝක සේනානායක දුරකතනයෙන් අමතා පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයෙන් නිවාස කිහිපයක් වෙන් කර දෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ
රනිල් වික්‍රමසිංහගේ සාක්ෂිය
මේ සම්බන්ධයෙන් එවකට හිටපු කර්මාන්ත අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහගෙන් කොමිසම ප්‍රශ්න කර ඇති අතර, එය කොමිසමේ සාක්ෂි දෙන විට ඝාතනයට ලක් ව සිටි හිටපු ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නගේ ඉල්ලීමක් මත සිදු කළ බවට ඔහු පවසා තිබේ.
නමුත් ඒ සම්බන්ධ කිසියම් වලංගු ලිඛිත ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් වී ඇති අතර, එවකට පොලිස්පතිවරයා හෝ පොලිස් මූලස්ථානය මේ පිළිබඳව දැන නොසිටීම නිසා කොමිසම රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර බව වාර්තාවේ සඳහන් ය.
B 2 නිවසේ ඔහුව රඳවා තබාගෙන වධ හිංසා පැමිණවූයේ යැයි ටී. එම්. බන්දුල යන අය කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇතැයි කොමිසම විසින් රනිල් වික්‍රමසිංහට පවසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔහු විවිධ කටයුතු සඳහා එම නිවස භාවිත කළ නිසා එවැන්නක් සිදුවූයේ නම් තමා දැන සිටිය යුතු බවට ය.
සමස්තයක් වශයෙන් සාක්ෂි සහ වෙනත් කරුණු සලකා බැලීමෙන් පසුව කොමිසම විසින් ටී. එම්. බන්දුලගේ සාක්ෂිය ස්ථිර වශයෙන් පිළිගැනීමට තීරණය කිරීම අවසන් බැවින්, “නොවැළැක්විය හැකි ලෙස ම බැසිය යුතුව තිබෙන නිගමනය නම් වික්‍රමසිංහ මහතා (අඩුම වශයෙන් කිවතොත්) B 2 නිවාසය ඉහත සඳහන් නීති විරෝධී ක්‍රියා සඳහා පාවිච්චි කරනු ලැබූ,” දැන සිටි බවට කොමිසමේ වාර්තාවේ සඳහන් ය.
මෙම නිවස මෙන් ම B 8 නිවසේ ද සිදු වූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ දැන නොසිටිය නොහැකි බව වාර්තාවේ මතු කර තිබේ.
බටලන්දේ පැවති රැස්වීම්
කොමිෂන් සභාවේ නඩු විභාගය අතරතුර මෙම බටලන්ද නිවාස යෝජනා ක්‍රමය තුළ යම් යම් රැස්වීම් පවත්වා ඇති බවත්, එහි මුලසුන දරා ඇත්තේ එවකට ආරක්ෂක ඇමතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නොවූ, කර්මාන්ත ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් බව කැලණිය පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ ම නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ කොමිසමේ රජයේ නිතිඥවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඔහු ද එවැනි රැස්වීම් කිහිපයකට සම්බන්ධ වී තිබී ඇති අතර, පළමු අවස්ථාවේදී ඔහු එම රැස්වීම් පැවතියේ රනිල් වික්‍රමසිංහ නිල සංචාරක බංගලාව ලෙස භාවිත කළ A 2/2 නිවසේ බවට ප්‍රකාශ කර ඇති අතර, පසුව ඔහු එම රැස්වීම් පැවතියේ එම බංගලාවට ඉදිරිපසින් පිහිටි නිවසේ බවට සාක්ෂි ලබා දී ඇත.
රනිල් වික්‍රමසිංහ මුලසුන දරමින් පවත්වා ඇති මෙම රැස්වීම් “නිතිය හා සාමය සුරැකීම,” අරමුණු කරගෙන පැවති බවට දෙල්ගොඩ විසින් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති අතර, පසුව “කඩාකප්පල්කාරීන් මර්දනය කරලීම පිණිස කවර ස්වභාවයේ ක්‍රියාමාර්ගයක් ගත යුතුදැයි,” සාකච්ඡා කෙරුණු බව ඔහු අවසානයේ පිළිගෙන ඇත.
රනිල් වික්‍රමසිංහ මෙම රැස්වීම්වල මුලසුන දැරීමේ අවශ්‍යතාවය එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩගෙන් කොමිසම ප්‍රශ්න කර තිබේ.
රනිල් වික්‍රමසිංහ පොලිස් නිලධාරීන්ට “දේශපාලන නායකත්වයක්” සැපයූ බව ඔහු එහි දී පවසා ඇති අතර, එලෙස දේශපාලන නායකත්වයක් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය මන්දැයි විමසු විට ඔහු පවසා ඇත්තේ, “දේශපාලන නියෝගයන් පිළිපැදීම හැර මෙකරුණ සම්බන්ධයෙන් තමන්ට වෙනත් විකල්පයක් නොතිබූ බවත්,” ය.
මෙම රැස්වීම් සඳහා එවකට නියෝජ්‍ය පොලිපතිවරයෙකු වූ මෙරිල් ගුණරත්න ඇතුළු තවත් ඉහළ පොලිස් නිලධාරීන්ට සම්බන්ධ වී ඇති අතර, රැස්වීම් කිහිපයක් පැවැත්වූ බවට හඳුනාගෙන ඇති B 2 නිවස පුද්ගලයින් වධ බන්ධනයට ලක් කළ නිවසක් ලෙස ද හඳුනාගෙන ඇති නිසා මෙම රැස්වීම්වලට සහභාගිවූවන් ඒ පිළිබඳව දැන නොසිටීමට හේතුවක් නැතැයි කොමිසමේ වාර්තාවේ දැක්වේ.
වාර්තාවට අනුව එම රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී රජය විසින් ගෙන තිබූ රජයේ තීරණයක් ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ අපොහොසත් වී ඇත.
මෙම රැස්වීම් විධිමත් ඒවා නොවන බවට කොමිසම නිරීක්ෂණය කිරීමට ඒවායේ කිසිඳු සටහනක් හෝ තබා නොමැති වීම හේතුවක් වේ.
මේ හේතු නිසා යම් අයෙකුට පැමිණිය හැකි නිගමනය වන්නේ ‘බටලන්දේ සාකච්ඡා කරනු ලැබූ කරුණු “නීති විරෝධී” බව,’ ද වාර්තාවේ සඳහන් ය.
නීතිඥ විජයදාස ලියනආරච්චිගේ මරණය
1988 අගෝස්තු 25 වන දින හෝ එදින ම නීතිඥ විජයදාස ලියනආරච්චි අතුරුදහන් වී ඇත.
ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය පොලීසියේ පැමිණිල්ලක් සිදුකර තිබේ.
ඔහුව අත්‍අඩංගුවට ගෙන ඇත්දැයි එවකට ආරක්ෂක ලේකම්වරයා විසින් එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරාගෙන් විමසා ඇති අතර, පොලිස්පතිවරයා කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා එසේ නැති බව ප්‍රකාශ කර තිබේ.
වාර්තාවට අනුව එවකට රාජ්‍යාරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙකු වූ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ පුත්‍රයා වූ රවී ජයවර්ධන පොලිස්පතිවරයාට නීතිඥ විජයදාස තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිය හැකි බවට ඉඟියක් පළ කර තිබේ.
පසුව පොලිස්පතිවරයා තංගල්ල පොලිස් බලප්‍රදේශයේ පොලිස් අධිකාරී කරවිටගේ ධර්මදාසගෙන් සිදු කළ විමසීමක දී එවැන්නක් සිදුවී ඇතැයි නිලධාරියා අනියම් ලෙස පිළිගෙන ඇත.
කොමිසමේ ඉංග්‍රීසි වාර්තාවේ පිටු අංක 72හි සඳහන් ආකාරයට, හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරාගේ සාක්ෂියට අනුව, 1988 අගෝස්තු 31 දින දහවල් 12ට පමණ රනිල් වික්‍රමසිංහ ඔහුව දුරකතනයෙන් අමතා සැකකරු [නීතිඥ විජයදාස ලියනආරච්චි] කොළඹට ගෙනැවිත් “කැළණි කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමට” භාරදීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කරනු ඇතැයි “තමා අපේක්ෂා කරන” බව දන්වා තිබේ.
ඒ අනුව පොලිස්පතිවරයාගේ එම උපදෙස් අනුව කොළඹට ගෙන්වා ඇති නීතිඥ ලියනආරච්චිව සැප්තැම්බර් 01 දින භාරගෙන ඇත්තේ ‘කැළණි ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියා මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක කුලරත්න’ විසින් ය.
සැප්තැම්බර් 02 දින ප.ව. 11.00ට පමණ තුවාල සහිතව නීතිඥ ලියනඅරච්චිව කොළඹ මහරෝහලට ඇතුළත් කර ඇති අතර, මධ්‍යම රාත්‍රිය ගත වී පැය භාගයක් පමණ ගත වන විට ඔහුගේ හදවත නතර වී තිබේ.
වාර්තාවට අනුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ මරණයට හේතුව “මොට ආයුධවලින් සිදුකෙරුණු පහරදීම්” නිසා සිදුවූවක් බවට දක්වා ඇති අතර ඔහුගේ ශරීරයේ තුවාල 207ක් හඳුනාගෙන ඇත.
කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ රනිල් වික්‍රමසිංහ මෙලෙස නීතිඥවරයා කොළඹට ගෙන එන ලෙස පොලිස්පතිවරයාට දුරකතනයෙන් උපදෙස් නොදුන් බව ඔහු පවසා ඇත.
ඔහු පවසා ඇත්තේ පොලිස්පතිවරයා විසින් තමාව අමතා නීතිඥ ලියනආරච්චි තංගල්ලේ සිට කොළඹට ගෙන්වන බවත්, ඔහු රඳවා තබාගැනීමට සපුගස්කන්ද පොලීසිය වෙත එවීමට රනිල් වික්‍රමසිංහගේ අකමැත්තක් තිබේදැයි විමසූ බවත් ය.
මෙම වාර්තාවේ පෙන්වා දී ඇති විශේෂ කරුණක් වන්නේ එලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවට රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරන නමුත් හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරාගෙන් ඒ පිළිබඳ හරස් ප්‍රශ්න ඇසීමට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් නොවූ බව ය.
Ranli & Chandrikaඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,B 2, B 8, B 34 හා A 1/8 යන බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල නීතිවිරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ අනියමින් වගකිවයුතු බව බටලන්ද කොමිසමේ වාර්තාවේ ඇතුළත් වේ
බටලන්ද කොමිසමේ වාර්තාවට අනුව වගකිවයුත්තෝ කවුරුන් ද?
1988 ජනවාරි 01 සිට 1990 දෙසැම්බර් 31 දක්වා කාලවකවානුව තුළ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් රඳවා සිටියේ නම්, අමානුෂික හා ආත්ම ගෞරවය කෙළෙසන ක්‍රියාවකට ලක් වූයේ නම් එයට සෘජුව සහ අනියමින් වගකිවයුත්තන් බටලන්ද කොමිසමේ ඉංග්‍රීසි වාර්තාවේ පිටු අංක 119 සිට 122 දක්වා පිටුවල සඳහන් ආකාරයට පහත පරිදි ය.
1986 සිට අවස්ථා කිහිපයක දී එවකට කර්මාන්ත අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස පොලිස් නිලධාරීන්ට ලබා දීමට පොහොර සමාගමේ බලධාරීන්ට නියම කර ඇති අතර, ඔහු හරහා එම නිවාස 13ක් දක්වා ලබා ගැනීමට සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පිරිස් වගකිවයුතු බව
මෙලෙස නිවාස වෙන් කිරීමට රනිල් වික්‍රමසිංහ විසින් නියම කිරීම අමාත්‍යධූරයේ බලතල අයුතු ලෙස භාවිත කිරීමක් බව
මෙම නිවාස ලබා ගැනීම පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසිවලට පටහැණි බව දැන දැන ම එයට ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ වගකිවයුතු බව සහ මෙහි නීති විරෝධී යමක් සිදුවූයේ නම් එය නැවැත්වීමෙන් ඔහු ඕනෑකමින් ම වැළකී සිටි බව
රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ කැඳවා තිබූ පොලිස් නිලධාරීන් සම්බන්ධ වූ රැස්වීම් කැඳවීමෙන් ඔහු බලය අයථා ලෙස භාවිත කර ඇති බව
රනිල් වික්‍රමසිංහ පොලිසියේ රාජකාරීවලට සහ නිතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගවලට මැදිහත් වී ඇති බව
රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ ඉල්ලීම් අනුව ලබා දුන් නිවාසවල නීතිවිරෝධී රැඳවුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පහසුකම් සැලසී ඇති බව
B 2, B 8, B 34 හා A 1/8 යන බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල නීතිවිරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ අනියමින් වගකිවයුතු බව
මීට අමතරව මෙම නීතිවිරෝධී ක්‍රියාවන් දැනගෙන ඒවාට සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එවකට නියෝජ්‍ය පොලිස්පති එම්. එම්. ආර්. (මෙරිල්) ගුණරත්න, එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා වගකිවයුතු බව ද වාර්තාවේ සඳහන් ය.
කොමිසමේ නිර්දේශ මොනවා ද?
මෙම ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ කර ඇති එක් ප්‍රධාන නිර්දේශයක් වන්නේ “පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිට ම උල්ලංඝණය කර ඇති හඳුනාගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැනවීමට අවශ්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමට,” නිර්දේශ කිරීම ය.
ඒ බව සඳහන් වන්නේ කොමිසමේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වාර්තාවේ 124, 125 පිටුවල ය.
විධායකය නියෝජනය කරනු ලැබූ යම් යම් පුද්ගලයින් විසින් මුලික අයිතිවාසිකම් දිගින් දිගට ම උල්ලංඝණය කර ඇත්තේ ඔවුන්ගේ හැසිරීම්වලට අප්‍රමාදීව උචිත දඬුවම් නොලැබුණු නිසා බව එහි දැක්වේ.
අදාළ අධිකරණවලට නීතිවිරෝධී දෙයක් සිදුවන ස්ථානවලට ගොස් පරීක්ෂණ පැවැත්වීමේ බලය ලබා දීමට අවශ්‍ය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සිදුකළ යුතු වෙනස්කම් සිදු කිරීමට කමිටුවක් පත් කිරීමට ද මෙහි නිර්දේශ කර තිබේ.
මෙවැනි ක්‍රියාවන්ට වගකිවයුතු වූයේ පොලිස් නිලධාරීන් ම වූ නිසා එවැනි අවස්ථාවක කිසිවෙකුත් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ පැමිණිලි කිරීමට බියක් දැක්වීම වැළක්වීම සඳහා එම නිර්දේශය ලබා දී තිබේ.
මීට අමතරව මෙම කොමිසමට ලැබුණු සියලු පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමට නිර්දේශ කිරීම ඇතුළු තවත් නිර්දේශ කිහිපයක් මෙම වාර්තාවේ ඇතුළත් වේ.
*ලේඛන ගත කොට ඇති ‘බටලන්ද කොමිසම් වාර්තාව’ අධ්‍යනය කොට එහි උපුටන සහිතව මෙම ලිපිය සකස් කොට තිබේ.