පවිත්‍ර දේශපාලනයේ හඟුරන්කෙත සලකුණ : රොහාන් අබේගුණසේකර

දේශපාලන

ශ්‍රී ලංකා දේශපාලනයේ මහත්වරු විරලය. මහත්මා දේශපාලනයේ නියුතු වූ එවන් විරල ගණයේ දේශපාලනඥයෙකු වු දිල්ෂාද් රොහාන් තිස්ස අබේගුණසේකර මහතා පසුගියදා නවසීලන්තයේදි සිය දිවි සැරිය නිම කළ දුක් මුසු පුවත ඊයේ සවනත වැකීම සැබැවින්ම ශෝකජනක පුවතකි.
හඟුරන්කෙත ප්‍රදේශය නියෝජනය කළ එ. ජා .ප. පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වු රොහාන් අබේගුණසේකර මහතා උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති වරයෙකු ලෙසත් වෙළඳ හා වාණිජ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වරයෙකු ලෙසත් කටයුතු කර ඇත.(1981 – 2000)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අභය ගුණසේකර මහතා නීතිඥවරයෙකු ද වෙයි. එතුමාණන්ගේ පියාණන් වූ හඟුරන්කෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු හා හිටපු සිවිල් සේවා නිලධාරියෙකු වු ජෝර්ජ් අබේගුණසේකර මහතා මිය යන විට රොහාන් අබේගුණසේකර මහතා සේවය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස ය.
තම පියා මියයාමෙන් පසු දේශපාලනයට පිවිසි එතුමා පුරා වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ හඟුරන්කෙත ප්‍රදේශත් නුවරඑලිය දිස්ත්‍රික්කයත් නියෝජනය කරමින් කටයුතු කළේය.
1981 වර්ෂයේ පත්කිරීමෙන් පාර්ලිමේන්තුවට පිවිසි එතුමා 1989 වර්ෂයේදී මනාප ඡන්ද 35,375 ක් ද 1994 වර්ෂයේදී මනාප ඡන්ද 40513 ක් ද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසියේ නිකැලැල් දේශපාලන චරිතයක් ඇති සුපිළිපන්න දේශපාලනඥයෙකු වශයෙනි.
බොහෝ දේශපාලනඥයන් මැතිවරණ සමයේ අවංක, නිහතමානී,දූෂණයෙන් භීෂණයෙන් තොර යැයි තමන් විසින්ම පෝස්ටර් ගසා ගන්නා විකාරරූපී දේශපාලන ව්‍යාජයකට රූපාන්තරණය වන බව අපි දනිමු.එහෙත් රොහාන් අබේ ගුණසේකර මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, නිහතමානී ,නීතියට ගරු කළ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් දේශපාලනඥයෙකු විය.
එකල උපාධිධාරී රැකියා ස්ථාපන කමිටුව මගින් පත්වීම් ලබා දීමේදී ප්‍රදේශයේ උපාධිධාරීන්ගේ නාම ලේඛනයක් නිර්දේශය සඳහා ප්‍රදේශය භාර මන්ත්‍රී වරයා වෙත යොමු කිරීමේ අශෝභන පියවරක් රජය මගින් ක්‍රියාත්මක කරමින් තිබිණි.ඇතැම් ග්‍රාමීය දේශපාලන ක්‍රියාකාරීන් මෙය දඩමීමා කර ගනිමින් විරුද්ධ පාක්ෂිකයින්ගේ දූ දරුවන් ගෙන් පලිගැනීමට මෙය අවස්ථාවක් කර ගත්තේය. එහෙත් හඟුරන්කෙත ප්‍රදේශයේ දී එවැන්නක් සිදුවීමට රෝහන් අබේගුණසේකර මහතා කිසිවිටෙකත් කටයුතු කළේ නැත.එතුමා සියලු දෙනාගේ නම් නිර්දේශ කළේ කිසිවකු සිය කාර්‍යාලයට වත් නොකැද වාය. වරක් උග්‍ර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්ගෙ දියණියගෙ නම කැපීමට පැමිණි එජාප ශාඛා සමිති සභාපතිවරයකු එළවා ගනු ලැබුයේ ශාඛා සමිතිය විසුරුවා හැරියත් එම දියණියගේ නම නොකපන බව පවසමිනි.
අප රටේ දේශපාලනඥයන්ට රැකියා ලබාදීමට ලබාදී ඇති තිරස්චීන ක්‍රමය බොහෝ දෙනාගේ ආදායම් උපයන උල්පතක් බව අපි අසා ඇත්තෙමු. එහෙත් මෙතුමා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ දෙනාට රැකියා ලබා දුන්නේ පෙරළා ඡන්දයක් හෝ අපේක්ෂාවෙන් නොවේ.
තම පාලන කාලය තුළ හඟුරන්කෙත ප්‍රදේශයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ද එතුමාගේ නම බෝඩ් ලෑල්ලක ගසා ගැනීමට එතුමා කැමැත්තක් දැක්වූයේ නැත. එසේම ක්‍රියාත්මක කරන ලද බොහෝ සංවර්ධන ව්‍යාපෘති සක් පිඹ දවුල් තම්මැට්ටම් ගසා විවෘත කිරීමට ගියේද නැත. හඟුරන්කෙත බස් නැවතුම්පොළ ඊට උදාහරණයකි.
එතුමා හඟුරන්කෙත ප්‍රදේශයේ විශාල පිරිසකට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කළා සේම රිකිල්ලගස්කඩ මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කළේය. එහි ඉඩම් ලාභීන් තෝරාගැනීමේදී තෝරා ගත් ගත් පළමු ඉඩම් ලාභියා වූයේ එවකට හඟුරන්කෙත ප්‍රදේශයේ විරුද්ධ පක්ෂයේ සිටි ප්‍රබලයකුගේ වැඩිමහල් සහෝදරයාය.
ප්‍රදේශයේ දරිද්‍රතාවෙන් පෙළෙන පුද්ගලයන් ඉන් මුදවා ගැනීමේ අරමුණින් පිහිටවනු ලැබූ සීමාසහිත සඟරුවන්කෙත කිරි නිපදවන්නන්ගේ විවිධ සේවා සමුපකාර සමිතිය මෙතුමාගේ සමයේ ස්වර්ණමය යුගයක් ලෙස පැවති අතර එතුමා එම සමිතියෙ උන්නතියට කටයුතු කළා මිස එහි පරිපාලනයට කිසිදු දේශපාලන බලපෑමක් සිදු කළේ නැත.
නීතියේ ආධිපත්‍ය අකුරටම ගරු කළ එතුමා වැරදිකරුවන් මුදා ගැනීමට පොලිසියට බලපෑම් කළේ නැත. තම අනුගාමිකයින්ට කොන්ත්‍රාත් ලබා දෙන්නැයි ඉහළ නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දුන්නේද නැත.
1988 – 89 වර්ෂවල ලංකාවේ පැවති භීෂණකාරී සමය තුළ හඟුරන්කෙත ප්‍රදේශය යම්තාක් දුරට සාමකාමී වීමට එතුමා අනුගමනය කළ මානවවාදී ප්‍රතිපත්තිය බෙහෙවින් හේතු වූ බවට සැක නැත.
සමාජ චින්තකයකු වූ වෝල්ටෙයාර් මෙසේ පවසා ඇත “මම ඔබේ මතයට එකඟ නොවෙමි. එහෙත් ඕනෑම මතයක් දැරීමට ඔබට ඇති අයිතියට ගරු කරමි” යන්නය. අබේගුණසේකර මහතා එය අකුරටම ක්‍රියාත්මක කළේය. විරුද්ධවාදී කිසිවකුට තම මතය දැරීමට තිබූ අයිතියට එතුමා බාධා කළේ නැත. එහෙත් පැවති පාලන තන්ත්‍රයෙ මෘග ක්‍රියාකාරකම් හමුවේ පීඩා විඳින්නන් හඟුරන්කෙත ප්‍රදේශයෙන් නොසිටියා යයි කීම මුසාවකි. එහෙත් එවන් ක්‍රියාවලට එතුමා මැදිහත් නොවූ බවට නම් සැක නැත .
හඟුරන්කෙත ප්‍රදේශය අතීතයේ සාමකාමී ජනතාවක් විසූ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නෑදෑ සබඳතා පැවැත්වූ පැවැත්වූ මනුස්සකමින් පිරිපුන් මිනිසුන් ගෙන් සැදුම් ලත් සැදුම්ලත් පින්බිමක් විය .මේ පින්බිම පසුකලෙක දේශපාලන දඩබිමක් බවට පත්වූ බව අප කාටත් රහසක් නොවේ.” භීතිය නැමැති චිත්තාවේගය විසින් මිනිසාගේ ක්‍රියාකාරකම් පාලනය කරන්නේ යැයි ” අර්ථ ශාස්ත්‍රඥයෙකු කෞටිල්‍ය පෙන්වා දුන්නේ ය.
මේ හේතුව නිසාම බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් නිෂ්ක්‍රීය කෙරිණ. ඇතමුන් ස්වකැමැත්තෙන්ම හීලෑ විය . එම දඩබිමේ පෙම් කෙළිය උන් දැන් එහි අස්වනු නෙළමින් සිටිති.
පුරා වසර විස්සකට ආසන්න කාලයක් හඟුරන්කෙත ප්‍රදේශය නියෝජනය කළ මේ මානවවාදී දේශපාලනඥයා පරාජය කොට ගෙදර යැව්වේ ය. 2001 වර්ෂයේදී ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඔහු මුලාවී දැමූ යටිකූට්ටු දේශපාලනායකයින් අද වන විට හතරගාතෙන් ඇද වැටිලා ය. අප පුදුම විය යුත්තේ එසේ වැටීම නොවේ. එවන් කළගුණ නොදත් පක්ෂයක් මේතාක් කාලයක් හෝ පැවතීම ගැන ය.
මා හිතෛෂී දේශපාලනඥයින් අතලොස්සක් සිටින්නේ වී නමුත් මෙවන් සටහනක් තැබීමට මා කිසිදා සිතා සිටියේ නැත. එහෙත් දුරු රටක දී මියගිය සත්ගුණවත් මානවවාදී දේශපාලනඥයෙකු වෙනුවෙන් මෙවන් සටහනක් තැබීම මගේ යුතුකමක් ලෙස සැලකීමී.
මා එතුමාගේ උග්‍ර පාක්ෂිකයෙකු යැයි වරදවා වටහා නොගන්න. 1989 වර්ෂයෙන් පසු මා ඔහු සමඟ කිසිදු දේශපාලන සම්බන්ධතාවයක් පවත්වා නැත. මා හඟුරන්කෙත ලංකාදීප වාර්තාකරු ලෙස එවකට ප්‍රදේශයේ පැවති අඩුපාඩු සම්බන්ධයෙන් විවේනාත්මක ව කරුණු හෙළිදරව් කරන ලද නමුත් එතුමා කිසිදින මා හා උරණ වූයේ නැත.
අප හමුවූ විටදී ලෙන්ගතුව කතා කළෙමු. දැනට වසර කිහිපයකට පෙර එතුමා සිය පවුලද සමඟ නවසීලන්තයේ පදිංචියට ගියේය. බොහෝ අවස්ථාවල එතුමා මා සමඟ සමග දුරකථනයෙන් කතා කොට ඇත. ඇතැම් කතා රාජකාරි ඒවාය. ඇතැම් කතා දේශපාලනිකය. අවසන් වරට එතුමා මට කතා කළේ මීට මාසයකට පමණ ඉහතදීය. ඊළඟ වර ලංකාවට පැමිණි විට” අපි හමුවෙමු “යැයි එතුමා කීවේය. මම ඔහු හමුවීමට බලා සිටියෙමි. හඟුරන්කෙතින් පවිත්‍ර දේශපාලන යුගයක නිමාවක් සනිටුහන් කළ මානවවාදී දේශපාලන දේශපාලනඥයාණෙනි, යළි කිසි දිනක අපි හමු නොවුණු ඇත. බොහෝ විට ඔබත් මාත් පැතූ ලෝකය සිහිනයක්ම වනු ඇත. එහෙත් ඔබ පිලිබද මතකය, ඔබේ රුව , ඔබේ ගුණ සුවද සදාකල්හි අප මතකයෙහි රැඳෙනු ඇත. ඔබට සුවබර නින්දක් !
අබේසිංහ හඳවලපිටිය .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *