පිලිප් කුමරු සහ සනත් අයියා..!!

දේශපාලන

ඒ දවස්වල ගුවන් විදුලියේ අපි බරපතල වැඩ කන්දරාවක පැටලී සිටියෙමු.
එවක මා සේවය කළ ක්‍රීඩා අංශයේ වැඩ රාජකාරිවලට අමතරව ඒ වැඩ මට පැවරූයේ සිංහල වැඩසටහන් පාලක ලෙස කටයුතු කළ තිලක සුධර්මන් ද සිල්වා හෙවත් ලොකු මාස්ටර් ය.
මොකද්ද මේ වැඩේ?
දෙවැනි එලිසබෙත් මහරැජින ගේ දෙවැනි ලංකා ගමනය ට අදාළ රාජකාරි ය. බොහෝ නිලධාරීන් මේ සදහා යොදවා තිබුණේ ඒ නිමිත්තෙන් සජීවී සහ පටිගත කළ වැඩසටහන් රැසක් ලංකා ගුවන් විදුලිය ඔස්සේ විකාශයට සැලසුම් කර තිබුණු බැවිනි. ඊට අමතරව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවාවන් නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීන්ට සහය වීම හා පහසුකම් සැලසීමද ලංකා ගුවන් විදුලියට පැවරී තිබිණි.
සනත් අයියා (සනත් නන්දසිරි) මහා කඩිමුඩියකින් ගුවන් විදුලියට ආවේ රැජිනගේ ලංකා ගමන අතරතුර ඔන්න ඔය වැඩ රාජකාරි කප්පරකට අපි දගලමින් සිටින අවස්ථාවක දී ය.
“වරෙල්ලා, වරෙල්ලා ඉක්මණට පාරට යන්න.”
ඔහු අපිට බල කළේ ය.
“බෑ කියන්න එපා. මොකද මේක අපි කරන්න ම ඕනෑ වැඩක්.”
ඔහු නැවතත් කීය.
අපි අන්දුන් කුන්දුන්ව සනත් අයියාගේ මුහුණ දෙස බැලුවෙමු.
“මල්ලි මේකයි ප්‍රශ්නෙ. තව ටිකකින් ප්‍රින්ස් පිලිප් මේ ඉස්සරහ බුලර්ස් රෝඩ් එකෙන් යනවා. රැජින පාරෙ යද්දි අත වනන්න ඕනෑ තරම් සෙනග. ඒත් පිලිප්ට අත වන්න්න බල්ලෙක් වත් නෑ. ඒ හින්දා අපි පිරිමි හැටියට පිලිප්ට උපරිම සහයෝගෙ දෙන්න ඕනෑ. අපි පෙන්නන්න ඕනෑ ලංකාවෙ රැජිනට අත වනන්න විතරක් නෙවෙයි, පිලිප්ට අතවනන්නත් කට්ටිය ඉන්නවා කියලා. හා හා වරෙල්ලා වරෙල්ලා…”
කොහොම හරි ගුවන් විදුලියෙන් පණහක හැටක පිරිසක් එක්කාසු කර ගැනීමට සනත් අයියා සමත් විය.
අපි බුලර්ස් පාර අද්දරට ගියෙමු.
සනත් අයියා කී කතාව හරියට ම හරි ය. අපි බුලර්ස් පාර අද්දරට යද්දී දෙපැත්තේ හිටියේ පොලිස් භටයෝ පමණකි. මීට කලින් ඒ පාර ඔස්සේ ම රැජින ගිය අවස්ථාවේ දෙපැත්තේ සෙනග පිරී ඉතිරී සිටියහ. නිකම් නොවේ. එංගලන්ත කොඩි හා ලංකා කොඩි වන වනා..!
එක පාරට ම සෙනග පණහක් හැටක් පාර අද්දරට රොද බදිනු දැක පොලිස් නිලධාරීහු ද කලබල වූයේ තව මොහොතකින් පිලිප් කුමරු රැගැත් රිය පෙරහැර එතැන පසුකිරීමට නියමිත හෙයිනි.
නමුත් කණ්ඩායම් නායකයා සනත් නන්දසිරි බව එතැන සිටි උසස් පොලිස් නිලධාරියෙකු හදුනා ගත් නිසා අවුලක් වූයේ නැත.
සනත් අයියා නිකම් සිටියේ නැත. දඩිබිඩි ගා සටන් පාඨයක් ද නිර්මාණය කළේ ය.
“Long live” සනත් අයියා අත උස්සා මොර දෙයි.
“Prince Philip” අපි අත් දෙකම උස්සා බෙරිහන් දෙමු.
රිය පෙරහැර ළග ළග ම ය.
අපි තව තව සද්දෙට කෑ ගසන්නෙමු.
පිළිවෙතට අනුව වාහන පෙළ එන්නේ සෙමෙන් සෙමෙන් ය.
නිල රථයේ පිටුපස අසුනේ පිලිප් කුමරු ය. ඔහු එන්නේ ජනෙල් වීදුරුව ඇර ගෙන ය. පාර අයිනේ පොලිස් නිලධාරීහු සැලියුට් ගසති. පිලිප් කුමරුවෝ ප්‍රතිආචාර දක්වති.
අපේ සද්දය දුරදීම කුමරුට ඇසෙන්නට ඇත.
සනත් අයියා ගේ විධානය අනුව අප තාලය සුරකිමින් කෑ ගසන බැවින් කියන්නේ කුමක් දැ යි ඉතා පැහැදිලි ය.
“Long live…!!
Prince Philip…!!!”
අනේ පිලිප් කුමරු අපේ කණ්ඩායමට අත වැනුවේ ඉතා සතුටිනි. ආරක්ෂක නිලධාරීන් ඉඩ දුන්නේ නම් වාහනයෙන් බහිනවා ම ය. බුලර්ස් පාරේ නොපෙනී යන තුරු ම ඔහු ජනේලයෙන් බෙල්ල එළියට දමා අප වෙත ආපසු හැරි හැරී අපට අත වැනීය.
වාහන පෙළ නොපෙනී යන තුරු අපි කෑ ගැසුවෙමු.
“ඔන්න මල්ලි මුළු ලංකාවෙම පුරුෂ පක්ෂය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කළා.”
වාහන පෙළ නොපෙනී ගිය පසු සනත් අයියා කීවේ ය.
ඒ 1981 අවුරුද්දේ ඔක්තෝබර මාසයේ දී ය.
ඉන් අවුරුදු හතළිහක් ගෙවී ගොසිනි.
ඉතින්, ලංකාවේ පුරුෂ පක්ෂය වෙනුවෙන් මට මෙහෙම කියන්නට අවසර දෙන්න.
“Good bye ..!
Prince Philip…!!”
-සමන් අතාවුදහෙට්ටි මහතාගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.