මුළු ලංකාවම මහ පාරේ ය. අපේ ජීවිත කාලය තුළ නොදුටු මෙවන් සන්තෑසියක් 1953 සිදුවිය. එය ‘53 හර්තාලය’ නමින් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත. අම්බලන්ගොඩ කාන්තාවෝ කෝච්චි පාරේ ආප්ප පිච්චුවෙ ඒ කාලයේය. 52 බලයට පත් වූ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමති ජේ ආර් ජයවර්ධන විසින් ශත 25 ට තිබූ හාල් සේරුව ශත 70ක් දක්වා වැඩි කිරීමට විරෝධය පා ලංකා සමසමාජ පක්ෂය මෙහෙයවූ හර්තාලයෙන් ජනතාව ඇවිලී ගියේය. පාලකයන් කෙතෙක් සැලී ගියේ ද කිවහොත් අදාළ කාලයේ කැබිනට් රැස්වීම පැවතියේ මහ මුහුද මැද නැවක ය. ඒ ජනතාවට එතැනට කඩා වැදීමට බැරි නිසාය.
ලංකාවට පමණක් නොව ඕනෑම මානවයකු ට දැනෙන අමිහිරිම වේදනාව බඩගින්න හා පිපාසයයි. එදා මීට හැට නව වසරකට පෙර 53 හර්තාලය ඒ බඩගින්නේ මහජන ප්‍රතික්‍රියාව ය. එදා වීදි බැස්ස ජනතාව පාලකයන් හොරකම් කළ නිසා මෙවැනි විපතක් වූ බව පවසා ඔවුනට ඇඟිල්ල දිගු කළේ නැත. දේශපාලකයින්ගේ හොරකම් නොව, වැරදි දේශපාලන කළමනාකරණය නිසා එවැනි විපතක් වූ බව ජනතාව දැන සිටියේය. අද ජනතාව වීදි බැස ඇත්තේ ජනතාව බඩගින්නට හා අනෙකුත් විපත් සඳහා පාලකයන් දෙසට ඇඟිල්ල දිගු කරන්නේ ‘නුඹලා හොරා කෑ නිසා මෙවන් විපතක් වූ බව’ කියමිනි. ජනතාව කියන්නේ රටේ සංවර්ධනය හොරා කෑමට යට කළ බවයි.
ජනතාව ගෑස් කිරිපිටි ඩීසල් පෝලිම් වල ය. හේතුව නම් ඒවා ලංකාවට ගෙන ඒමට ආණ්ඩුවට මුදල් නොමැතිකම ය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟතාවක් ඇතිවා මෙන්ම තියෙන ඒවා ද දෙතුන් ගුණයකින් ඉහළ ගොසිනි. කුඩා දරුවන්ගේ කිරිපිටි නැත. බෙහෙත් නැත. පැනඩෝල් පෙත්තක් දෙන්නෙත් සලාකයට ය. මිනී පුච්චන්නට අදාළ ගෑස් පවා හිගය. ඉතින් හිතන පතන උදවිය ඒ විපත් සඳහා හේතු විමසති. පනස් තුනේ මිනිසුන්ට තොරතුරු දැන ගැනීමට තිබුණේ දිනමිණ පුවත්පත හා රජයේ ගුවන් විදුලිය පමණකි. එහෙත් අද වන විට ඈත පිටිසර පවා සැලකිය යුතු පිරිසක් අත ලෝකයේම තොරතුරු දැනගත හැකි මෙවලම් වෙති.
තරුණ බහුතරය ලෝකයේම එසැණ පුවත් අන්තර්ජාලය හරහා එසැනින් දැන ගනිති. එවිට රටේ පාලකයන්ගේ අනීතික වත්කම් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ පුවතක් පවා ඔවුන් දකී. ඔවුන්ට නොමිලයේ ලැබී ඇති ෆෙස්බුක් හරහා තම මිතුරන්ට ඒවා බෙදා හරිති. ඒ මිතුරෝ තව තවත් තම මිතුරන්ට ආදී වශයෙන්…..
බුරුමයෙන් හාල් ටොන් එකක් ඩොලර් 325 කට ලැබෙන විට එය ඩොලර් 425කට මිලදී ගත් ආකාරය හා ඒ අනීතික ආකාරයෙන් උපයාගත් මුදල ආදිය බුරුම පුවත්පත්වලම පළවන අයුරු තරුණයෝ අන්තර්ජාලයෙන් දකිති.
සෑම ක්‍රියාවකටම ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් ඇත යන්න ශුද්ධ විද්‍යාවේ නියමයකි.
අපේ රටේ දේශපාලනය, අවම වශයෙන් හැත්තෑ හතේ සිට වත් ඇරඹි මංකොල්ලකාරී දේශපාලන පිළිවෙත සමග රටට තවදුරටත් ගමනක් නොමැති බව පවත්නා මහජන අරගල වලින් පෙනේ. බොහෝ දුරට ජේ. ආර්. ජයවර්ධන ගෙන් ඇරඹි මේ මංකොල්ලකාරී දේශපාලන ගමනේ අවසන් අදියර විය හැක්කේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන තන්ත`ය විය හැකිය. එසේ නැත්නම් 1833 කෝල්බෲක් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙත අවසන් වන පළමු රට බවට ලංකාව පත්විය හැකිය. එසේ නැතිනම් දිගු කලක් අප ගිලී සිටි ජාතිවාදය ආගම්වාදය හා අත්තනෝමතිකත්වය ඉවතලූ නව පුරවැසි සමාජයක් බිහි විය හැකිය. ලංකාවේ උතුරු දකුණු බේදයක් නැතිව නගරවල වැඩබිම්වල ආයතනවල පමණක් නොව පුද්ගලික නිවෙස් ඉදිරිපිට පවා ගොඩ නැගෙන දේශපාලන විරෝධයේ මූලික සටන් පාඨය ඨදඒ ටද යදපැ වුවත් එහි ගැඹුරේ පවත්නා අභිලාෂය වන්නේ දශක ගණනාවක් තිස්සේ රට පෙලූ කොල්ලකාරී දේශපාලන ක්‍රමවේදය නිමා කළ යුතු බවයි.
2019 නොවැම්බර් වල දී පොදුජන පෙරමුණු ආණ්ඩුව බිහිකරගත්තේ විශාල ජනතා ප්‍රාර්ථනයන් කැටුවය. එවැනිම ජනතා ප්‍රාර්ථනය කුළු ගැන්වීමක් මත බලයට පත් වූ 2015 යහපාලන ආණ්ඩුව ආණ්ඩුව භාර ගත් පැයේම මහ බැංකු බැඳුම්කර වංචාවට චූදිතයකු විය. එහි සිටි කම්බා හොරු තම සුපුරුදු හොරකම් යළි පටන් ගත්තේය. ජනාධිපති සිරිසේනගේ හා අගමැතිගේ විරසකය එකම විකාරයක් වී ආණ්ඩුකරණයම හාස්‍යයක් බවට පත්විය. එවැනි ආණ්ඩුවක් ඉවත් කිරීමට රොද බැඳීම් තේරුම් ගත හැකිය. අභිනවයෙන් 2019 දී තමන් බලයට පත් කළ ආණ්ඩුවට ජනතාව කෙතරම් සහාය දුන්නාදැයි තේරුම් ගන්නට තාප්ප වල ඇඳි චිත්‍ර, තරුණයන් විසින් අස්වැද්දූ පුරන් කුඹුරු වුව දෙස් ප්‍රමාණවත් ය. එහෙත් ජනතාවගෙන් ඒ ලැබුණු ඓතිහාසික ජනවරමට ගෞරවයක් දැක්වීමට ආණ්ඩුව සමත් වී ද?
රටක ආර්ථික මර්මස්ථාන හැසිරවීමට ඒ සඳහා වන නිපුණයෝ අවශ්‍ය ය. උදාහරණ කිහිපයක් ගනිමු.
වරාය – 1970 ආණ්ඩුවේ වරාය හා නාවික කටයුතු භාර අමාත්‍යවරයා වූයේ පී.බී.ජී. කළුගල්ල මහතා ය. ඒ ආණ්ඩුව ආරම්භයේ රටේ සංවර්ධන දිශානතිය පිළිවෙලකට යොමු කිරීමේ අරමුණින් විද්වත් මණ්ඩලයක් ආධාරයෙන් පස් අවුරුදු සැලැස්මක් සකස් කළේය. අනුව වරාය අමාත්‍යාංශයකට පැවරී තිබුණු එක ඉලක්කයක් වූයේ ඒ පස් අවුරුද්ද නිමාවන විට වරාය ඉපයූම්වලින් නැව් පහක් මිලදී ගැනීමයි. ඒ කාර්යය සාධනය වසර තුන හමාරක් ඇතුලත ඉටුකිරීමට අදාල ඇමති වරයාගේ මෙහෙයවීමෙන් හැකිවිය. ඉනික්බිති ඒ අමාත්‍යාංශය භාර වූයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් උපාධිධරයකු වූ ලලිත් ඇතුලත්මුදලිටය. ඔහු එම අමාත්‍යාංශය බලවත් ලාභ ලබන අමාත්‍යාංශයක් බවට පත් කළේය. එහෙත් අද පිළිවෙළක් ඇති අධ්‍යාපනයක්වත් නැති කලක් තමන් කළ චෞර වැඩ නිසා ‘රත්තරන්’ නමින් නමක් පටබැඳුණු පුද්ගලයකුට වරාය භාර දුන්නේය. එවැනි සුදුසුකම් නොමැති බහුතරයක් ආර්ථික මර්මස්ථානයන් වැනි අමාත්‍යාංශ හසුරවයි. මුදල් අමාත්‍යාංශය ද එසේය. එවිට රටකට යන කලදසාව කුමක් විය හැකිද?
ලංකාවේ පුරවැසියන් වෙනුවට හිටියේ ඡන්දදායකයන් ය. පක්ෂ බඩ බැඳගත් විට තම පක්ෂයේ නායකයෝ හොඳක් කළත් නරකක් කළත් ඒ කරන්නේ හොඳක්ම යැයි පාක්ෂිකයෝ සිතුවෝ ය. ඒ සිතන්නට පුළුවන් වුණේ වේලක් ඇර වේලක් වත් කන්නට පුළුවන් වූ නිසාය. ලෙඩට බෙහෙත් තිබූ නිසාය. වාහනයට තෙල් ටික තිබූ නිසාය. දැන් ඒවා නැත. මේවා සිදුවන්නේ දේශපාලන මෙහෙයවීමේ වැරදි කාරිත්වය නිසා බව ජනතාව දැන් දැන් තේරුම් ගනිමින් පවතී. දේශපාලකයන් කරන මහා මංකොල්ලයට තිත නොතැබුවහොත් තමන් හා තමන්ගේ අනිකා වැනසී යන බව ඔවුන්ට දැන් වැටහී ඇත. දැන් ඡන්දදායක සමාජයක් වෙනුවට පුරවැසි සමාජයක් බිහිවෙමින් පවතී. අලංකාර මිල අධික ජීවිත ගත කළ මැති ඇමැතිවරු අද වන විට නිස්කාරන ආරක්ෂකයන් අතර දමා, සුඛෝපභෝගී වාහන අතර දමා, මරුති කාර් වල නැගී ආරක්ෂක ස්ථාන සොයා යති. මේ අලුත් යුගයක ආරම්භය සටහන් කෙරෙන සිදුවීම් ලංකාවේ දැනට සිදු වෙමින් පවතී. එහෙත් එහි අනාගතය රැඳී පවත්නේ ඒ පුරවැසි බලය ඥානාන්විතව මෙහෙයවීම මතය.
සංස්කාරක