2023 ICC ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන තරගාවලිය ලබන 18 වැනිදා සිට ජුලි මස 09 වැනිදා දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වෙයි.
වැඩි අභියෝගයකින් තොරව ශ්‍රී ලංකාවට ICC ලෝක කුසලාන තරගාවලියට සුසුදුකම් ලැබීමට හැකිවෙයිද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යාමට පෙර ආගමික වතාවත්වල නිරත වූ අයුරු
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් මෙවර ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ඇතුලත්ව සිටිති.
තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේවන විටත් සිම්බාබ්වේ වෙත ගොස් තිබේ.
ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසුවේ, මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය යනු තම කණ්ඩායමට පහසුවට ගත හැකි තරගාවලියක් නොවන බවයි.
“ක්‍රීඩා කරන හැම තරගයකදීම පීඩනයක් තියෙනවා. ඒ වගේ තමයි මේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපිට ලේසියට ගන්න පුලුවන් තරගාවලියක් නොවෙයි. නමුත් අපි හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. මට විශ්වාසයි මගේ කණ්ඩායම ගැන” යැයි දසුන් සදහන් කර සිටියේය.
ශ්‍රී ලංකා පිලට මුහුණ දීමට සිදුවූ අනපේක්ෂිත සිද්ධිය
තරගාවලියට සහභාගිවීම සඳහා ඉකුත් සෙනසුරාදා දිවයිනෙන් බැහැරව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට සිම්බාබ්වේ හිදී ඊයේ (ජුනි මස 11 වෙනිදා) අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුව තිබේ.
ඒ, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තමන්ට නවාතැන් ගැනීමට ලබාදී තිබු හෝටලයේ කාමර ලැබෙන තුරු පැය තුනකට ආසන්න කාලයක් හෝටලයේ අමුත්තන් සඳහා වෙන් කර ඇති කොටසේ ගත කිරිමට සිදුවීමයි.
තමන්ට මුහුණ දීමට සිදුවූ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයෙකු සිය ඉන්ස්ටග්‍රෑම් සාමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ජායාරූප කිහිපයක් ද පළකර තිබුණි.
(From BBC Sinhala)