පිටරටවල සඟවා ඇති මහජන ධනය නැවත ලබාගත හැකි මඟ

පුවත්

විදෙස් රටවල සගවා ඇති රාජ්‍ය දේපල නැවත ලබා ගැනීමේ ක්‍රියාන්විතය නොහොත් “නැගිටිමු ශ්‍රී ලංකා”
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2003 වර්ෂය ඔක්තෝම්බර් මස 31 වන දින මහා මණ්ඩලයට සිදු කරන ලද 58/04 දරණ යෝජනාව මගින් අප වැනි තුන් වන ලෝකයේ රටවල ජනතාවට ඉතා වැදගත් සම්මුතියක් එළි දක්වා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් සාමාජික රටවල් 140 ක් සම්මුතිය එළිදක්වන අවස්ථාවේ දී එයට අත්සන් කර එහි පාර්ශවකරුවන් බවට පත්වූ අතර,2021 නොවැම්බර් මස 18 වන දින වන විට මෙම සම්මුතියට අත්සන් කර එහි පාර්ශවකරුවන් බවට පත් වූ සමස්ථ සාමාජික රටවල් සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් මෙම සම්මුතියට අත්සන් කර නොමැති ප්‍රධාන රටවල් දෙකක් වන්නේ “උතුරු කොරියාව” සහ “එරිත්‍රියාව පමණයි සිරියානු ජනරජය සම්මුතියට අත්සන් කර ඇතත් එය මෙතෙක් ඔවුන්ගේ දේශීය නීති පද්ධතියට ඇතුලත් කර නැහැ. “එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි වූ සම්මුතිය” නොහොත් “United Nations convention against Corruption” ලෙස නම් කර ඇති මෙම සම්මුතියට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2004 වර්ෂයේ අත්සන් කර එහි පාර්ශවකරුවකු බවට පත්වීම සිදු කළා.එබැවින් අපි රාජ්‍යයක් ලෙස 2004 වර්ෂයේ සිට එම එම සම්මුතියේ සඳහන් නෛතික වගන්තීන් ට අනුකූලව කටයුතු කිරීමට බැඳී සිටිනවා
මෙම සම්මුතිය පහත සඳහන් ප්‍රධාන විෂය ධාරාවන් 5 ඔස්සේ ක්‍රියාත්මක වනවා
1. වැලැක්වීම ( Prevention)
2, අපරාධකාරීත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීම (Criminalaization & Law Enforcement )
3 ජාත්‍යන්තර සහයෝගිතාව (International Corporation)
4. දූෂණ ක්‍රියාවන් මගින් අහිමි කර ඇති දේපළ සොයා ගැනීම (recovery of illegal assets)
5. තාක්ෂණික සහාය සහාය ලබා ගැනීම ( Technical assistant)
මෙම සම්මුතිය දූෂණයන්ට එරෙහිව කටයුතු කිරීමේ කිරීමේදී මූලික සිද්ධාන්තයන්(fundamental principles)හතරක් ආවරණය කරනු ලබනවා එනම්
1.අල්ලස
2.වෙළඳ ගනු දෙනු සඳහා සිදු කරන මැදිහත්වීම්
3.නිල තත්ත්වය භාවිතා කරමින් සිදුකරන රාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපල අවභාවිතය
4.රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශය තුළ ද විනිවිද භාවයකින් තොරව සිදු කෙරෙන දූෂණ ක්‍රියා
මෙම මූලික සිද්ධාන්තයන් අතරට ගැනෙනවා
තුන්වන ලෝකයේ රටවල රාජ්‍ය නායකයන්,දේශපාලනඥයන්,හමුදා මෙන්ම සිවිල් උසස් රාජ්‍ය නිලධාරීන් තම දේශපාලන මෙන්ම රාජ්‍යය බලයද අවියක් ලෙස භාවිතා කරමින් සිදුකෙරෙන රාජ්‍ය දේපළ කොල්ලකෑම සුලබ සිදුවීමක්. මේවා අතරින් බහුතරයක් එම දේපල අයත් රාජ්‍යයෙන් බැහැරට ගෙන ගොස් විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් වෙනත් රාජ්‍යයන්හි ආයෝජන ලෙස සඟවා තබනවා. මෑතකදී මහත් ආන්දෝලනයට ලක් වෙමින් එළිදැක්වුණු පැනමා පත්‍රිකා සහ පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කරනු ලැබුවේත් එලෙස කොල්ල කන ලද රාජ්‍ය දේපල සඟවා ඇති ස්ථානයන් දෙකක් ගැනයි.එහෙත් අවාසනාවකට මෙන් පැනමා පත්‍රිකා හෝ පැන්ඩොරා පත්‍රිකා සම්බන්ධව මෙතෙක් ශ්‍රී ලංකා රජය ක්‍රියාකාරී මැදහත් වීමක් සිදු කර ඇති බවක් නම් අපට පෙනෙන්නට නැහැ
එක්සත් ජාතීන් විසින් එලිදක්වා ඇති මෙම වැදගත් සම්මුතියේ 51වන වගන්තිය මගින් එසේ සඟවා ඇති රාජ්‍ය දේපල සොයා ගැනීම සඳහා දේපල අයත් රාජ්‍යයට සම්පූර්ණ සහයෝගය ලබා දීමටත් එම දේපලවල සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීමටත් නිසි නෛතික ක්‍රියාදාමයකින් පසුව එම දේපල අයිති මුල් රාජ්‍ය වෙත ආපසු ලබා දීමට කටයුතු කිරීමටත් සියලුම සාමාජික රටවල් මෙම සම්මුතිය මගින් බැඳී සිටීම ඉතා.සුභදායක තත්ත්වයක්.
බොහෝ අවස්ථාවල මෙම රාජ්‍ය දේපළ කොල්ලකෑමේ ව්‍යසනයේ ගොදුරු බවට පත්වන්නේ තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල්. සංවර්ධිත මෙන්ම දියුණු රටවල පවතින ශක්තිමත් නෛතික පද්ධතිීන් මෙම තත්ත්වය පිටු දැකීමට ක්‍රියා කරමින් සිටිනවා.රාජ්‍ය නායකයන් දේශපාලනඥයින් සිවිල් මෙන්ම හමුදා උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන් විසින් තම දේශපාලන සහ සිවිල් බලය උපයෝගී කරගනිමින් කොල්ලකාගෙන ගොස් වෙනත් රටවල සඟවා ඇති මුල් රාජ්‍යයට අයත් දේපල නැවත එම රටවලට ආපසු ලබා ගැනීමේ අවස්ථාව මෙම සම්මුතිය මගින් එම සංවර්ධනය වෙමින් රටවලට ලබාදී තිබෙන මහඟු වරප්‍රසාදයක්
රාජ්‍ය දේපොළ කොල්ලකෑම හේතුවෙන් දරුණු ආර්ථික ආගාධයට වැටී සිටින රාජ්‍යයන්ට තමන්ට අයත්ව තිබී චෞර පාලකයන් විසින් කොල්ලකනු ලැබූ තම රාජ්‍ය සම්පත් මෙම නෛතික තත්වය හේතුකොට තම රටට ආපසු ලබා ගැනීමට හැකි වීම තුළින් කඩා වැටුණු තම ආර්ථිකයන් යළි ගොඩනගා ගැනීමට හැකිවීම වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට මහඟු අත්වැලක් ද වනවා නිසැකයි. තවද මෙම සම්මුතිය මගින් කොල්ල කන ලද රාජ්‍ය දේපළ සැඟවීමට ලෝකයේ කිසිදු ස්ථානයක් නොමැති බවට සුවිශේෂ පනිවිඩයක්ද දූෂිත දේශපාලනඥයින්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන් වෙත ද සංජානනය කරනවා. මෙම තත්ත්වය රාජ්‍ය දේපොළ කොල්ලකෑම හේතුවෙනි අන්ත අසරණ අඩියකට පත් වී සිටින එම රටවල ජනතාවට ලැබෙන සහනය සුවිශේෂයි.
මෙම සම්මුතිය 43 වන වගන්තිය මගින් සාමාජික රටවල් සියල්ල තම රටෙහි ආයෝජනය කර හෝ සඟවා ඇතිවෙනත් රාජ්‍යකට අයත් යම් දේපලක් එම දේපළ හිමි රාජ්‍ය වෙත ලබාදීම සඳහා දිය යුතු පූර්ණ ආරක්ෂාව සහ නෛතික සහාය ලබාදීමට සම්මුතිය මගින් මගින් නෛතිකව බැඳී සිටිනවා. මෙම විෂය අරභයා ප්‍රශ්නයට තුඩු දී ඇති රටවල් අතර සිදු කෙරෙන අන්‍යෝන්‍ය නීති සහාය ලබා දීමේ ක්‍රියාවලිය (mutual legal assistant) තුළින් තමයි මෙම සියලු කටයුතු ක්‍රියාත්මක වන්නේ.
විශේෂයෙන්ම තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් වෙතින් මෙලෙස කොල්ල කා වෙනත් රටවල සඟවා හෝ ආයෝජනය කර ඇති දේපල නැවත සොයාගෙන ඒවා එම දේපල අයිතිය හිමි මුල් රටවල් වලට ලබාදීම සඳහා ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකොටගත් සංවිධානයක් මේ වන විට බිහිවී තිබෙනවා. ස්විස්ටර්ලන්තය බාසිල් විශ්ව විද්‍යාලයට අනුබද්ධ පිහිටා ඇති ලාභ නොලබන සංවිධානයක් (Non profitable organisation) ලෙස පිහිටුවා ඇති “නීති විරෝධී දේපල ආපසු ලබා ගැනීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය” ( International Centre for Asset Recovery- I .C.A. R) ලෙස නම් කර ඇති මෙම සංවිධානය මගින් මේ වන විට ඉතා සාර්ථක ලෙස රාජ්‍ය දේපල ආපසු ලබාගැනීමේ ක්‍රියාන්විත කීපයක් ලොව පුරා මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා ඒවා අතර
1. නයිජීරියාවේ හිටපු ජනාධිපති ජනරාල් සානි අබාචා (General. Sani Abacha) විසින් ඔහු පාලන තන්ත්‍රයේ රැඳී සිටි 1993-1998 කාලය අතරතුර නයිජීරියාවේ රාජ්‍ය දේපළ ලෙස කොල්ල කනු ලැබූ ඩොලර් බිලියන තුනකට අධික වටිනාකමකින් යුත් දේපල ආපසු නයිජීරියා වෙත ලබාගැනීම
2. පේරු රාජ්‍යයේ බුද්ධි අංශ ප්‍රධානියා මෙන්ම ජනාධිපති ජේෂ්ඨ උපදේශකයා ලෙස ඇල්බර්ටෝ පූජියමා ජනාධිපති වරයා යටතේ සේවය කළ ව්ලැඩිමීර් මොන්ටිසිනෝ විසින් 1990- 2000 කාලය තුළ පේරැ රාජ්‍යයෙන් කොල්ලකා ස්වීස් බැංකුවල සඟවා තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකට අධික දේපල නැවත සොයාගෙන පේරු රාජ්‍යය වෙත ලබාදීම
3. 1960-1986 කාලය තුළ පිලීපිනයේ ජනාධිපති ධූරය දැරූ පර්ඩිනන්ඩ් මාකෝස් විසින් සිය පාලන කාලය තුළ නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද පිලිපීන රාජ්‍යයට අයත් ඩොලර් බිලියන දහයකට ආසන්න වටිනාකමකින් යුත් ලෝකයේ විවිධ රාජ්‍යයන් වල බැංකු සහ පෞද්ගලික ව්‍යාපාර තුළ ආයෝජනය කර සඟවා තැබූ ඩොලර් බිලියන දහයකට ආසන්න වත්කම් ප්‍රමාණයක් සොයාගෙන එම වත්කම් ආපසු පිලිපීනය වෙත ලබා දීමට ක්‍රියා කිරීම
4.උස්බෙකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයා ගේ දියණිය වූ ගුල්නාරා කරිමෝවා විසින් සිය පියා ගේ පාලන කාලය තුළ කසකස්ථානය වෙත ස්වීඩන් රාජ්‍ය මගින් දුරකථන සේවා සැපයුම් පද්ධතියක් ලබා ගැනීමේ ගනුදෙනුවේදී අල්ලසක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් ලබා ගැනීමේ සිද්ධිය සහ එම මුදලින් කොටසක් නැවත කසකස්ථානය වෙත ලබා ගැනීමට කටයුතු කිරීම
සැලකිය යුතු තත්ත්වයක්. මේ වන විට ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ රටවල් 189 ක් එක්සත් ජාතීන්ගේ මෙම සම්මුතියේ පාර්ශවකරුවන් වී සිටිනවා. උගන්ඩාව,කෙන්යාව මෙන්ම සීෂෙල්ස් රාජ්‍යයේ ද මෙම සම්මුතියේ පාර්ශවකරුවන් බව අපට ලෙහෙසියෙන් අමතක කළ නොහැකියි.එයට ප්‍රධානම හේතුව වන්නේ ශ්‍රී ලංකාවට අයත් රාජ්‍ය දේපල විශාල ප්‍රමාණයක් ඉහත සඳහන් රටවල් වල ආයෝජන ලෙස සඟවා ඇති බවට මේ දිනවල සමාජය පුරා පැතිර යන කටකතා හේතුකොටගෙනයි.
ප්‍රියන්ත ජයකොඩි
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)
(එතුමාගේ Facebook පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *