නෙරුඩා සහ ඔහුගේ දියණිය

විශේෂාංග

Dr. Kumara Gunawardane ,13th June 2020 Island

:වසර එක හමාරකට පමණ ඉහත ප්‍රකට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය කුමාර් ගුණවර්ධන විසින් රචිත මෙම ලිපිය අයිලන්ඩ් පුවත්පතේ පළ වූවකි. අශෝක හඳගම විසින් නෙරූදාගේ ජීවිතය ඇසුරින් නිර්මිත ‘අල්බොරෝදා’ චිත්‍රපටය විසින් සංවාදයට ලක්වන ඔහුගේ ලංකා ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් මෙම ලිපියේ අඩංගුය. ‘Pablo Neruda and Thangamma….His work in Ceylon’මැයෙන් පළවූ මෙම ලිපිය මවිසින් උපුටා ගත්තේ ආචාර්ය මයිකල් රොබට්ස් පවත්වාගෙත යන Thuppahiya බ්ලොග් අඩවියෙනි.)

“දැන් රාත්‍රියයි
මම තනියම දුකෙනි,
දැල්වෙන ඉටිපන්දමක ආලෝකයෙන් කල්පනා කරමින්
සතුට හා වේදනාව ගැන
කඩවසම් අහංකාර තාරුණ්‍ය ගැන”
-Pablo Neruda

නෙරුඩා ගැන මට මුලින්ම අසන්නට ලැබුනේ 1971 ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණු විට ය. ඒ වසරේ මගේ විවාහය සිදු වූ අතර මම ඒ කාලයේ කොළඹ මහ රෝහලේ කනිෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටියෙමි. ඔහු 1929 – 30 කාලයේ වසර දෙකක් චිලි රාජ්‍යයේ කොන්සල්වරයා වශයෙන් ලංකාවේ ගත කළ බව දැනගත් විට මගේ උනන්දුව වැඩි විය.
ඔහු 1904 දී චිලියේ කඳුකර මායිම් පෙදෙසක පිහිටි ටෙමුකෝ (Temuco) ගම්මානයේ උපත ලැබූ අතර ඔහුගේ උපන් නම වූයේ නෙෆ්ටාලා රිබාකෝ රෙයිස් බසෝල්ටෝ (Neftala Ricardo Reyes Basoalto) විය. ඔහු තම කවි සඳහා අන්වර්ථ නාමයක් යොදා ගත්තේ ය. ඒ සිය පියාගෙන් ලැබුණු අනන්‍යතාව සැඟවීමට සහ කාව්‍ය රචනය වැනි ගෞරවනීය කටයුත්තකට ධ්වනිපූර්ණ නමක් භාවිතා කිරීමේ අරමුණිනි.
වයස අවුරුදු විසි දෙකේදී ඔහු Twenty Love Poems and Song of Despair (පෙම් කවි විස්සක් සහ සුන්වූ බලාපොරොත්තුවේ ගීතය) කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් ඔහු ජාත්‍යන්තරව පිළිගත් කවියකු බවට පත් විය. එය කාව්‍ය ග්‍රන්ථ ඉතිහාසයේ වැඩියෙන්ම අළෙවි වූ පොත්වලින් එකක් වන අතර පිටපත් මිලියන විස්සකට වඩා අලෙවි වී ඇත. ඔහුව හැඳින් වූයේ “පීඩිතයන්ගේ සහ නොසලකා හරින ලද ජනතාවගේ කවියා (Poet of the People, the oppressed and the forgotten) යනුවෙනි.
සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගලාභී කීර්තිමත් ලතින් ඇමරිකානු සාහිත්‍යකරුවෙකු වූ ගේබි්‍රයල් ගාර්ෂියා මාකේස් නෙරුඩාව නම් කළේ “විසි වන සියවසේ විශිෂ්ටතම කවියා” ලෙසිනි.
චේ ගුවේරා සිය ප්‍රියතම කවියා ලෙස නෙරූඩාව ගෞරවාදරයට පාත්‍ර කළ අතර, ඔහුගේ ජීවිතය අවසාන වන තෙක් තැනින් තැන රැගෙන ගිය පොත් දෙකෙන් එකක් වූයේ නෙරුඩා ගේ කෘතියකි. ඒ නව ලෝකය පිළිබඳ හිස්පැනික් ඇමරිකානු දෘෂ්ටියකින් නෙරුඩා විසින් රචිත “කැන්ටොස් ජෙනරාල් ” (Cantos General) කෘතියයි.
නෙරූඩා මෙසේ ලිවීය.
“මම හැදී වැඩුණේ මෙම නගරයේ
මගේ කවිය ඉපදුනේ කන්දත් ගඟත් අතර
එය වැස්සෙන් කටහඬ ගත්තා
එය වාතය තුළ ගිලී ගියා (නිදහස්ව)
ලී දඬු මෙන් කවිය තුළ ම ගිලී ඇත.”

චේ මෙසේ පවසයි. ඔහු චිලියේ සහ සමස්ත ලෝකයේ ම දුප්පතුන් හා පීඩාවට ලක් වූවන් ගැන ලියූ කවිය අගය කරමි.

ලංකාව
එදවස නෙරුඩා, සාහිත්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයෙකු වුවද සෑහෙන අගහිඟකම්වලින් පෙළුණේය. එහෙයින් ඔහු රැකියාවක් පොරොත්තු විය. මේ අවශ්‍යතාව දැනගත් ඔහුගේ බලවත් මිතුරෙකු චිලී විදේශ අමාත්‍යවරයාට නෙරුඩාව හඳුන්වාදීමෙන් පසුව බුරුමයේ කොන්සල් තනතුරකට ඔහුව පත් කරන ලදී. එහි දී වියරු ප්‍රේමවන්තියකගේ ඇසුර නිසා බුරුමයේ ගතකල වසර දෙක මහත්සේ කැළඹිලි සහගත ව ගෙවී ගියේ ය. අනතුරුව කෙසේ හෝ ඉන් ගැලවීම පිණිස කොළඹට පලා ආවේ ය. ඉනික්බිති ලංකාවේ චිලි කොන්සල්වරයා ලෙස කටයුතු කරමින් වැල්ලවත්තේ මුහුදු මායිමේ පිහිටි පටුමගක නිවසක් පදිංචියට තෝරාගත්තේ ය. මේ නව පදිංචිය චිලියේ තමා ළමා වියේ නිවාඩුව ගතකල ෂුවර්ටෝ සාවේද්‍රා වෙරළාසන්න නගරය සිහියට නගා ලීය.
වැල්ලවත්තේ සිය අභිනව නිවසේ විශ්වාසවන්ත සේවකයෙකු වූ බ්‍රම්පි, කිරියා නම් සුරතල් මුගටියකු හා කුතකා (Kuthaka) නමැති බලු සුරතලෙකු සමඟ යන සගයන් සමඟ සතුටින් වාසය කළේය. බ්‍රම්පි ගේ සැබෑ නම රත්නායක වූ අතර එය නෙරුඩාට උච්චාරණය අපහසු වූ හෙයින් භාවිතයේ පහසුව තකා මෙම නම තැබීය. බ්‍රම්පි වැඩි කතාබහින් තොර පුද්ගලයෙකු වුවත් නිතර සිය විශාල දත් විහිදා සිනාසුනු ගමන්ම සිටි අයෙකි. කිරියා නම් මුගටි සුරතලා කෑම ගත්තේ නෙරුඩා සමග එකම කෑම මේසයේ ය. නෙරුදා යන එන බොහෝ තැන්වල ඔහු පසු පසින් කිරියා ද ගමන් කළ අතර නිදාගත්තේ ද එකම යහනක ය. මුගටියන් සර්පයන්ගේ සතුරන්ය. එසේ වූවද කිරියාට ඉදිරියේ සිටින විෂඝෝර පොළඟෙකු පිළිබඳ අනතුරක සේයාවක් ඉව වැටුණු හෙයින් නෙරුඩාව ඒ අනතුරින් මගහරවමින් වෙනත් දිසාවකින් නිවසට ලඟා විය.
ඔහුගේ අනෙක් සුරතලා වූ කුතකා සුනඛයාද වරක් නෙරුඩාව මරණයෙන් ගලවා ගත්තේ ය. ඔහු බලු සුරතලා කැටුව රාත්‍රියේ රේල් පාර දිගේ ඇවිද යන විට නෙරුදා පය පැකිලී වැටිණි. දුම්රිය ඉදිරියට පැමිණෙමින් තිබිණ. කුතකා මහහඬින් බුරමින් දුම්රියට අනතුර ගැන සංඥා කළ අතර එනිසා දුම්රිය රියදුරුට එන්ජිම නතර කරගත හැකි විය. සිය ජීවිතය බේරා දීම පිළිබඳ බලු සුරතලාව නෙරුඩා විසින් කිසිදා අමතක නොකළේ ය. ආපසු චිලියට ගිය නෙරුඩා තමා ඇති කළ සියලු සුරතල් බල්ලන් කුතකා නමින් හැඳින්වූයේ ඒ සුනඛයාට කෘතගුණ සැලකීමේ අරමුණෙනි.
නෙරුඩා මනරම් බොහීමියානු ජීවිතයක් පවත්වාගෙන ගිය අතර, චිත්‍ර ශිල්පීන්, සංගීතඥයන් සහ සාහිත්‍යවේදීන් මෙරටදී ඇසුරු කළේ ය. ඒ අතර ප්‍රවීණ ඡායාරූප ශිල්පී සහ සංගීතඥ ලයනල් වෙන්ට්ඩ් සහ චිත්‍ර ශිල්පී ජෝර්ජ් කීට් ද සමග සමීප විනෝදකාමී ඇසුරක් පවත්වාගෙන ගියේ ය. වෙන්ඩ්ට සෑම සතියක ම පාහේ එංගලන්තයේ සිට ඔහුට ලැබෙන අලුත්ම පොත් පාර්සලයක් නෙරුඩා වෙත යැව්වේය. (වෙන්ට්ඩ්ට එංගලන්තයේ පළවන සෑම අලුත් පොතක් ම විගසින් ලැබෙන පිළිවෙලක් තිබුණු බව කියැවේ. ඔහු ඒවා සේවකයකු අත බයිසිකලයකින් නෙරුඩාට යැවූ බව කියැවේ. –අවධාරණය අනුවාදකගෙනි.) නෙරුඩා කීට්ගේ සිංහල විෂයන් ගැන දැනුම හා ඒ ආශ්‍රිත ඔහුගේ නිරූපණයන් මහත්සේ අගය කළේ ය.
නෙරුඩා සිය දින චර්යාව ගැන මෙසේ දින සටහන්වල ලියා තිබේ. “මම වේලාසනින් අවදි ව පැය කිහිපයක් වෙරළ තීරයේ සක්මන් කරමි. ඉනික්බිතිව නිතරම උණුසුමින් යුත් මුහුදේ ස්නානය කරමින් පිහිනන්නට උත්සාහ කරමි. මට මගේ මෙහෙකරුවා විසින් සිය මහත්තයා (ඔහු විසින් මාව හඳුන්වන්නේ එසේය.) වෙනුවෙන් සකසන විශිෂ්ට දිවා ආහාරය ගැනීම සඳහා මම ආපසු ගෙදර යන්නෙමි. ඉනික්බිති මම වැඩ කරන්නට පටන් ගතිමි.”
නෙරුඩාගේ අත්දැකීම් මට ඉතා සමීපය. මගේ නැන්දම්මා සමග නිවාඩුවක් ගත කරනු පිණිස වැල්ලවත්තට පැමිණි විට සෑම දිනකම පාහේ සැතපුම් කාලක් පමණ දුරින් පිහිටි මුහුදු වෙරළ තීරයේ මමද සක්මන් කර ඇත්තෙමි. උදෑසන සිසිලස, නැවුම් වාතාශ්‍රය, සිනිඳු සුළං සහ ගල් පර වලට මුහුදු රළ වැදී නැගෙන සංගීත රාවය නව දිනයක් සඳහා පරිපූර්ණ ආරම්භයක් ලබා දෙයි. මා සමග එක්වන ගෘහසේවක ගාමිණී ගලක් පිසදා වාඩිවී මා ඇවිදින අයුරු බලා සිටී. ඔහුට ව්‍යායාම අවශ්‍ය නොවීය.
නෙරූඩා නම් වූ මෙම කඩවසම් සහ ජවසම්පන්න දකුණු ඇමරිකානුවාගේ ඇසුර සොයන බොහෝ රූමත් කාන්තාවන් ඔහුගේ දොරකඩ පිය මැන්නෝය. නමුත් නෙරුඩාගේ සිත් පැහැරගත් ලංකාවේ දුටු ලස්සනම කාන්තාව ඒ රූමතියන් අතරින් එකියක නොව ඔහුගේ නිවසේ අපද්‍රව්‍ය පිරිසුදු කරන තැනැත්තිය විය. ඔහු පවසන්නේ “ඇය කෙතරම් සුන්දර ද යත්, ඇයගේ පහත් ගණයේ රැකියාව කුමක් වුවත් මට ඇයව මගේ චිත්ත සන්තානයෙන් ඉවත් කළ නොහැකි විය. තමන්ගේ තානාන්තරය හා උසස් බව නොතකා හැර ඒ කසල ශෝධක ගැහැනිය ගේ සිත දිනා ගැනීමේ අටියෙන් ඇය ඇස ගැටෙන මානයේ පලතුරක්, සේද රෙදි කැබැල්ලක් ආදී සුළු ත්‍යාගයන් තැබුවත් ඇය ඒවා දෙස බැලුවේවත් නැත. ඇය දිනා ගැනීමේ කටයුත්තේ දී තමා මීට වඩා පෙරමුණ ගත යුතුයැයි සිතූ නෙරුඩා ඇය එන මඟ රැක සිට, ඇයගේ මැණික් කටුවෙන් අල්ලා ගෙන, සිය නිදන කාමරය වෙත කැඳවාගෙන ගියේ ය. ඇගේ නිරුවත් ස්වරූපය මීට වසර දහස් ගණනකට පෙර දකුණු ඉන්දියාවේ පූජනීය ස්ථානවල කැටයම් කර ඇති දැවැන්ත ප`තිමාවකට සමාන විය. ඇය ලිංගික ක්‍රියාව හමාර වන තෙක් කිසිදු ප්‍රතික්‍රියාවක් නොදක්වා ඇස් අයා උඩ බලා සිටියා ය. එය හරියට පිළිමයක හා සජීවී මිනිසෙකු අතර එක් වීමක් මෙනි. මේ අත්දැකීම කිසිවිටෙක නැවත නැවතත් සිදු නොවීය.
ඇගේ නම තංගම්මා නම් විය.

බ්‍රම්පිගේ දියණිය.
මෙම කතාන්දරය තුල කුතුහලයෙන් මා මිදුනේ තිස්ස දේවේන්ද්‍ර නම් රජයේ සේවකයා හා දිසාපතිවරයා සිය මුල් කාලීන සේවා කාලය අළලා ලියන ලද ˜On Horseshoe Street˜ නම් කෘතිය කියවීමෙන් අනතුරුව ය.
මට මෙම කෘතිය ජිනදාස විජේතුංග විසින් රචිත Grass for My Feet (මා පයට තණ නිල්ල නමින් සිංහලට පරිවර්තනය වී ඇත. -අවධාරණය අනුවාදකගෙන්) හා සමානය. දෙදෙනාම ලියන්නේ අතීතකාමය (Nostalgia) හාස්‍යය සහ තම සහෘදයන් හා බැඳුණු අතීත සංවේදනා කැටුවය. දෙදෙනාම විෂයය කරගන්නා ඔවුන්ගේ ප්‍රස්තුත කාලය විශිෂ්ට ලෙස අවදි කරයි. විජේතුංග ප්‍රස්තූත කරගන්නේ විසිවන සියවසේ මුල් වසරයන් වන අතර දේවේන්ද්‍ර එක්දහස් නවසිය හතළිස් ගණන්වල සිට පසු දශකයන් ය.
දේවේන්ද්‍රගේ කෘතියෙහි .’Brumpy’s Daughter˜ පරිච්ඡේදයේ ඉමෙල්ඩා රත්නායකගේ කතාව විස්තර කරයි. දේවේන්ද්‍රට ඇය පළමුව මුණගැහෙන්නේ කඳුකර පළාතේ අලුත් එළිය කච්චේරියේ දී ය. ඔහු මෙසේ ලියයි.

“කච්චේරියේ කාන්තා ලිපිකාරනියන් අතර විදේශීය පෙනුමක් ඇති කාන්තිමත් පෙනුමෙන් යුත් තරුණියක් කැපී පෙනුණි. ඇගේ නම ඉමෙල්ඩා රත්නායක නම් වූවාය. මෙම අභිරහස් ගුප්ත රත්නායක මෙනෙවිය පැහැපත් ඔලිව් පැහැති අළු පාට දෙනෙත් සහිත සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම මැනවින් හසුරුවන දෙමළ ඌරුවට සාරියක් හැඳගත් නළලේ පොට්ටුවක් තැබූ තැනැත්තියකි. අභිරහස වූයේ හොඳ සිංහල පෙළපත් නමක් ඇති නමුත්, දෙමළ විලාසිතා අනුව අඳින පළඳින ලද ඇය භාෂාවන් චතුර ලෙස හසුරවන්නේ කෙසේද යන්නයි. ඇය ප්‍රදේශයේ කන්‍යාරාමයේ ජීවත් වූ නිසා කච්චේරි කාර්යමණ්ඩලය අනුමාන කළේ සුදු සාහිබ්වරයෙකුගේ අවජාත දරුවකු විය හැකිය යනුවෙනි. ඇය ඉතා කාර්යක්ෂම වූ අතර දෙමළ වතු කම්කරුවන් සමග හොඳ සබඳතාවක් ඇති කර ගත්තේ ඔවුන්ගේ බස චතුර ලෙස කතා කරන නිසාය.
ඉමෙල්ඩාගේ පැත්තෙන් කිසිදු දිරිමත් කිරීමක් නොකළ නමුත් ඇගේ එක් මාණ්ඩලික නිලධාරියෙකු පළමු බැල්මෙන්ම ඇයට වශී විය. මෙය තවත් එක් අසමසම ආදරයකට උදාහරණයක් සේ විය. එක් දිනක් ඔහු ධෛර්යය උපදවා ගෙන තමා සමඟ විවාහ වීමට අයැද ඇයට ලිපියක් ලිව්වේය. අනතුරුව පසුදා ඔහු සිය ගමට පිටත් වනුයේ මේ විවාහය සඳහා දෙමව්පියන්ගේ අනුමැතිය ලබා ගන්නටය. එහෙත් ඔහු යළි කිසි දිනක නොපැමිණි අතර එතැන් සිට ඔහුගේ තනතුර පුරප්පාඩු විය. කාරණය දැනගත් කාරුණික ප්‍රධානියා වූ රජයේ දිසාපති ඔහුව වෙනත් සේවා ස්ථානයකට මාරු කර යවන ලදී. පසුකාලීනව ඉමෙල්ඩා උසස්වීමක් ලබා කොළඹට ස්ථාන මාරුවක් ලැබ එහි ගිය අතර ඇය දේවේන්ද්‍රගේ මනසින් මැකී ගියේය.
වසර ගණනාවකට පසුව ‘පුරාණ පුර’ (Purana pura) කච්චේරියේ දේවේන්ද්‍ර සේවය කරමින් සිටියදී ඔහුට අලුත් එළිය කච්චේරියේ සේවය කළ මිතුරෙකු මුණගැසිණි.. ඔහු දැන් පුහුල්වැව නම් ගමේ සශ්‍රීක ගොවීයෙකු වූ ඉමෙල්ඩාගේ පියාගේ කතාව විස්තර කළේය.
දේවේන්ද්‍ර පුහුල්වැව ගම්මානයට කළ නිල සංචාරයක දී බ්‍රම්පි සහ තංගම්මා මුණගැසුණි. දවල් කෑම අහවර වූ විට තංගම්මා වැල්ලවත්තේදී ගැබිනියක වූ පුවත බ්‍රම්පි විසින් විස්තර කළේය. තම ස්වාමියා “මිස්ට රේස්” මහත්මයෙකු මෙන් කටයුතු කළ අතර, බබාට පියකු හා නමක් ලැබෙන සේ තංගම්මා විවාහ කර ගන්නා ලෙසට බ්‍රම්පිව පොළඹවන ලද අතර ඔහු ජීවත්ව සිටින තාක්කල් ඔවුනට සහයෝගය දැක්වීමට ද පොරොන්දු විය. ලැබෙන්නේ ගැහැනු දරුවකු නම් නෙරුඩාගේ මවගේ නම වූ ඉමෙල්ඩා යන නම තැබීමටද බ්‍රම්පිගෙන් ඉල්ලා සිටියේය. ඔහු ජෝර්ජ් කීට් මාර්ගයෙන් බ්‍රම්පි පවුලට මුදල් එවා ඇති අතර ඇය අලුත්එළිය කන්‍යාරාමයට ඇතුළත් කොට යහපත් හැදියාවක් සහිත අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කර ඇත.
බ්‍රම්පි පුහුල්වැව ගොවිපලේ වැඩට ආවේ “මිස්ටර් රේස්” ගේ නිර්දේශය මතය. එය මුලින් ජපන් ජාතිකයෙකුට අයත් වූ නමුත් යුද්ධය ආරම්භ වීමත් සමග (දෙවන ලෝක යුද්ධය) ඔහු ආපසු ජපානයට යන විට එය බ්‍රම්පිට උරුම විය.
දේවේන්ද්‍ර නෙරුඩාගේ මතක සටහන් කියවන විට සත්‍ය වැටහිණි. “මිස්ටර් රේස්” යනු පැබ්ලෝ නෙරුඩා ගේ සැබෑ නම වන රිකාඩෝ රෙයිස්ය.
වසර ගණනාවකට පසුව මෙක්සිකෝ නගරයේ පැවති සම්මන්ත්‍රණයකට දේවේන්ද්‍ර සහභාගී විය. එහිදී රාත්‍රී භෝජන සංග්‍රහයකට ඔහුට ආරාධනා කරනු ලැබුවේ චිලි රාජ්‍යයෙන් එම සම්මන්ත්‍රණයට නියෝජිතයකු ලෙස පැමිණි රෙනාල්ඩෝ ෆ්‍රේ නමැති නෙරුඩා රසිකයෙකු (බැතිමතෙකු?) විසිනි. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) විශේෂඥයකු ලෙස ලංකාවේ සේවය කර ඇති අතර, නෙරුඩාගේ මතක සටහන් අතැතිව වැල්ලවත්තේ වීදිවල සැරිසැරුවේ, කවියා එහි ගත කළ ජීවිතයේ තොරතුරු සොයමිනි. ඔහු බ්‍රම්පි සහ තංගම්මා සොයාගත් අතර ඒ හමුවීමේ දිගුවක් ලෙස අවසානයේ ඉමෙල්ඩා සමග විවාහ විය.

දේවේන්ද්‍ර භෝජන සංග්‍රහයේ දී ඔවුන් හමු වූ විට ෆ්‍රේගේ බිරිඳ පවසන්නේ “සර් ඔබට මාව මතකද? මම අලුත් එළිය කච්චේරියේ ඔබේ ලිපිකාරිය වෙලා හිටියා.”
තිස්ස දේවේන්ද්‍ර පවසන්නේ එය තමාට භුමි කම්පාවක් තරම් කම්පනයක් වූ බවයි.
කණගාටු දායක දෙය තංගම්මා පිළිබඳ සිද්ධිය නෙරුදාගේ මරණයෙන් හතළිස් වසරකට පසුව ඔහුට දෂ්ට කිරීමට යළිත් හඹා ආවේය. චිලියේ සන්තියාගෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ නෙරුඩාගේ නමින් නැවත නම් කිරීමේ ව්‍යාපෘතිය “නෙරුඩා තංගම්මාව දූෂණය කළේය.” යන පදනමෙන් නැගුණු ස්ත්‍රීවාදීන්ගේ විරෝධයකට ලක්ව ඇන හිටියේය. ඒ විරෝධය සැලකිල්ලට ගත් බලධාරීන් , එය යුධ හමුදා ජෙනරල් වරයකු වූ අර්තුරෝ වෙරිනෝ බෙනිටෙස් (Arturo Merino Benitez) නමින් නැවත නම් කර ඇත.
සාහිත්‍ය සඳහා වූ නෙරුඩාගේ අතිමහත් දායකත්වය මෙම තංගම්මා සිද්ධිය නිසා අතුගා දැමිණි.
O Tempora, O Mores!
අහෝ කාලයානෙණි, අහෝ ඔබේ හැසිරීම!

අනුසාරී පරිවර්තනය- මේනු සඳමාල් ජයනායක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *