නොනිමි මතක පොත

දේශපාලන නොනිමි මතක පොත විශේෂාංග සියලුම ලිපි

මෙතෙක් විවිධ ජාතීන් හා ජනතාවන් පිළිබඳව නොනිමි මතකයන් ඔබ වෙත ගෙනා මම අද සිට අතීතයේ මට හමු වූ අපූර්ව චරිත පිළිබඳව ලියන්නට කල්පනා කළෙමි. මෙම අතීතාවලෝකනයෙන් පළමුවෙන්ම මා හඳුන්වා දෙන්නේ අප අතුරින් වෙන් වූ උගතෙකි.

මා පළමුවරට මොහු මුණ ගැසුණේ පේරාදෙණි සරසවියේ ඇදුරන්ගේ පොදු කාමරයේදීය. ඒ 1972 අප්‍රියෙල් මාසයේ දී පමණය. ඔහු පුවත්පතක් කියවමින් අසුන්ගෙන සිටි අතර මා ද දේශනයක් හමාරකොට එහි පැමිණියේ ඉතා අඩුමිලට ඉතා රසවත් කිරි තේ එකක් පානය කිරීමේ අදහසිනි.

ඔහුට එහා පැත්තෙන් තිබූ පුටුවෙහි හිඳගත් මා දෙස ඔහු විමසිල්ලෙන් බලන්නට පටන් ගත්තේය.
ඔයා හුඟක් කල් ද උගන්වන්න පටන් අරගෙන? – ඔහු මා දෙසට බැල්ම හෙළා ඇසුවේය.
නෑ මාස දෙකක් විතර වෙනව පටන් අරගෙන.
ඔයාගෙ නම මොකක්ද?
මම සරත්.
මොන දෙපාර්තමේන්තුවෙද උගන්වන්නෙ.
මම සමාජ විද්‍යා අංශයේ.
ඒක හොඳ විෂයයක් ඔහු පැහැදීමක් පෙන්වමින් මා ඇමතීය. ඔයා මොනවද උගන්වන්නෙ. මම ඔහුගෙන් ඇසීමි. මම දර්ශනය.
මමත් දර්ශනය ඉගෙන ගත්තා GAQ වලට. මට ඒ පාස් එකකුත් තිබුණා. මට හුඟක් කැමති බටහිර දර්ශනය පාඩම්වලට. අපිට ඉගැන්නුවෙ හාමුදුරුනමක්. පොල්පිතිමූකලානේ වජිරඥාන හාමුදුරුවෝ. ආචාරය් උපාධිය කරන්නද කොහෙද එංගලන්තෙ ගියා. ඊට පස්සෙ ආරංචියක් නැහැ. මම දිගටම කියවාගෙන ගියෙමි.
මගේ කතාන්තරයට සවන් දී සිටි ඔහු මා දෙස තවත් විමසිල්ලෙන් බලා – මාව මතක නැද්ද? කියා ඇසුවේය.
මාගේ මතකය ඉතා සීරුවෙන් වර්ෂ තුනක පමණ අතීතයට ඇදී ගියේය. මේ මට හුරු පුරුදු මුහුණක් නේද යන හැඟීම මා තුළ ජනිත වන්නට පටන් ගති.
සරත් – ඔහු මා ඇමතුවේය. ඒ හාමුදුරුවො තමයි මේ මම – දැන් මම ගුණපාල ධර්මසිරි.. ආචාර්ය උපාධිය නිමවලා මේ ආවා විතරයි.
මේ ටික ඇසූ පමණින් මා ඉබේටම මෙන් පුටුවෙන් නැගිට්ටුනු බව මටම තේරුනේ නැත.
සර්… සර්…. හරිම පුදුමයක් නෙ මේ…
සරත් දැන් සර් කියන්න එපා. අපි ඔක්කොම සමාන සරසවියෙ ගුරුවරු.
ඉතින් සර් කියන්නකො තොරතුරු

එදා කසාවත හැඳ සිටි වජිරඥාණ හිමියන් මෙසේ බටහිර ඇදුමෙන් දැකීම තරමක් පුදුමයක් වූ අතර ඉතා පැහැදිලි බුද්ධිමත් පෙනුමක් ගුණපාල ධර්මසිරියාණන් තුළින් දක්නට ලැබීම මට මහත් සතුටක් වූයේය.

සර් මං ගානේ කිරි තේ එකක් බොමුද? ඔහු හා කියන්නටත් පෙර මම ඔහු වෙත කිරි තේ කෝප්පයකින් සංග්‍රහ කළෙමි.
– දැන් සරත් කොහෙද පදිංචිය?
– මම සර් – හිඳගල අපේ පරණ බෝඩිමේමයි ඉන්නෙ.
– මම දැන් අලුත් ගෙයක් කුලියට ගත්තා. පොල්ගහමුල හංදියෙ. හොඳට ඉඩ තියෙනවා. සරත් කැමති නැද්ද මා සමග එම ගේ බෙදාහදා ගන්න.
– ඒක නම් රමණීය අදහසක් තමයි සර්…
– – ඔන්න ආයෙමත් සර් කියන්න පටන් ගත්තා
– මං සර් කියන්නෙ ඔබතුමාගෙ උගත්කමට – මම සිනහවෙමින් පැවසුවෙමි.
අපගේ සාකච්ඡාව කෙතරම් දුරට පැවතුණාද කිවහොත් එහි අවසන් ප්‍රතිඵලය වූයේ මා ඔහුගේ නව නිවසේ කාමරයක් කුලියට ගැනීමත් සමගමය.

ආචාර්ය ධර්මසිරි අපට උගන්වන සමයේ ඉතා බාරදූර පෙනුමක් ඇතිව විහිළු තහළුවලින් තොර ජීවිතයක් ගත කළ දක්ෂ සරසවි ඇදුරෙකු වූයේය. ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්න පවා ඉතා උසස් මට්ටමේ ඒවා විය යුතුව තිබිනි. ඩෙස්ක් පෙළ ඉදිරිපිට එහා මෙහා යමින් දෑත් බැඳගෙන ඔහු දේශනා පැවැත්වූයේ ඉතා බරපතළ කල්පනාවක නිමග්න වෙමිනි.
Descart පිළිබඳව I think therefor I am යන්න ඔහු පැහැදිලි කර දුන්නේ සාංදෘෂ්ඨිවාදයේ අරුත පහදා දෙමිනි. බුදු දහමේ ඇතැම් මිථ්‍යාමත වලට ඔහු ඍජුව ප්‍රහාර එල්ල කළ අතර බුද්ධ දර්ශනය පිළිබඳ ඉතා පැහැදිලි බහුශ්‍රැත භාවයක් මෙන්ම ගෞරවයක් ද ඔහු දේශනවලදී පෙන්වා දුන්නේය.

ධර්මසිරි ශූරීන් දිවංගත වන විට පේරාදෙණිය සරසවියේ දර්ශන අංශයේ ප්‍රධානියා වශයෙන් සිට විශ්‍රාම ගොස් සිටි අතර, ඔහු ලංකා ධරනී තලයට පහළ වූ දුර්ලභගනයේ බෞද්ධ දර්ශනය උගතෙකු බව ලොව පුරා ප්‍රකට කරුණකි. සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂාවල පරතෙරට ගිය ඔහු බෞද්ධ දර්ශනය අලංකාර කළේ බටහිර හා පෙරදිග දර්ශනවාදවලට සාපේක්ෂවය.

ලොව කොයි රටකට ගියත්, ජීවත්ව සිටියත්, ඔහු ලංකාව පිළිබඳ කථා කළේ ඉතා දැඩි භක්තියකිනි. බටහිර දර්ශනය මැනැවින් හැදෑරූ ඔහු බෞද්ධ දර්ශනය ඒ සියල්ලට වඩා අංග සම්පූර්ණ බව විශ්වාස කළේය.

ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා 1974 දී The Buddist Critique and the Christian concept of the God නමැති කෘතිය ලොවට බිහි කළේය. ඔහුගේ මෙම නිබන්ධනය ලොව පෙරලියක් ඇති කළ ග්‍රන්ථයකි. බටහිර දර්ශනවාදීන් අපරදිග දර්ශනය නිතර විවේචනය කිරීම පුරුද්දක්ව පැවති අවධියක දෙවියන් පිළිබඳ සංකල්පය මෙසේ විචාරයට භාජනය කළ ධර්මසිරි ශූරීන් දර්ශන ක්ෂේත්‍රයේ පෙරලිකාරයෙකු වූ බව නොකියාම බැරිය.

ඇමරිකාවේ ස්වත්වෝ විදුහලේ ගරු නම්බු සහිතව ජූලියන් කොනෙල් ශිෂ්‍යත්වය ලබා එහි දේශන පැවැත් වූ ඔහු බටහිර ශිෂ්‍යයන් තුළ ඇති කළේ බලවත් අධ්‍යාත්මික කම්පනයකි. එම දේශන මාලාව 1986 දී Fundamental and Buddhist Ethics නමින් පොතක් වශයෙන් පළ කරන ලදී.

ඉහත සඳහන් කළේ බොහෝ දේ මා උගත්තේ ඔහු සමග එක වහලක් යට ජීවත් වූ අවුරුදු කිහිපය තුළ දී ය. පේරාදෙණියෙන් මා නිදහස් වී රට රටවල ගොස් නැවත ලංකාවට පැමිණිය ද ධර්මසිරි සර් මා හට හමුවූයේ ඉතා හදිසියේය. ඒ ලංකාවේ දී නොවේ.
පුදුමයකට මෙන් මා එංගලන්තයට ගොස් ආපසු පැමිණෙන අතර 1982 ජූලි මස හීත්‍රෝ ගුවන් තොටුපොළේදී ධර්මසිරියෝ දරුවන් හා බිරිඳ පිරිවරා ගෙන මා පැමිණෙන ගුවන් යානයටම නගින්නට සූදානමින් සිටියේය.

“මේකනෙ වැඬේ සරත් – ලංකාවේදි අපි හමුවන්නෙම නෑ. ඔයාලා පේරාදෙනි එන්නෙත් නැහැ. හැබැයි එංගලන්තයේදි හමුවෙනවා.”

ඔහු ඇමරිකානු දේශනා සංචාරයක් නිමාකර ආපසු යන ගමන් මෙසේ වූයේය. දරුවන් හතරදෙනා සහ තරුණ බිරිඳ දුටු මා හට ඉබේම මෙන් කියවුනේ සර් දැන් බැඳල නේද? යනුවෙනි.

එම හේතුව වූයේ ආචාර්ය උපාධිය ලබා ලංකාවට පැමිණි පසු ඔහු ඉතා දරුණු විවාහ විරෝධී පුද්ගලයෙක් වශයෙන් පෙනී සිටි බැවිනි. මා සහ මගේ බිරිඳ ඔහු හොඳින් හඳුනාගත්තේ නමුදු, අපගේ විවාහ මංගල්‍යයට පවා ඔහු පැමිණියේ නමුදු, විවාහය යනු මායාකාරී බන්ධනයක් යැයි ඔහු තදින් විශ්වාස කළේය.

එබඳු තැනැත්තෙක් දරුවන් හතර දෙනෙක් සමග මෙසේ හමුවීම මට ඉතා පුදුම සහගත කරුණක් විය.

ගුණපාල ධර්මසිරියානෝ සංගීතයට දැක්වූයේ ඉතා ප්‍රබල ආශාවකි. එංගලන්තයේ සිට පැමිණි ගමන් ඔහු ගෙන ආ දේවල් අතර Reel to Reel AKAI (අකායි) පටිගත කරන යන්ත්‍රය විශේෂ භාණ්ඩයක් වූයේය. එබදු පටිගතකරණ යන්ත්‍රයක් මා පළමුවරට දුටුවේද ඔහු එය තම නිවසට ගෙන ආ පසුවය.

අපි සෑම සිකුරාදචදාවකම එම පටිගත කරන යන්ත්‍රය ක්‍රියාත්මක කර ගීත පටිගත කළෙමු. මගේ වයලීන වාදන අසන්නට, පටිගත කරන්නට සහ නැවත ශ්‍රවණය කරන්නට ඔහු දැක්වූයේ ප්‍රබල උනන්දුවකි. ගීත වාදනයටත් වඩා ඔහු රුචි වූයේ භාරතීය රාග වාදනයට භෛරවී මාල්කවුන්ස් වැනි රාග ඔහු ඉතා ප්‍රිය කළේය. සිකුරාදා සැඳෑ හමුවට මහාචාර්ය ගුණතිලක ,ආචාර්ය මාරසිංහ වැනි සාහෘදයෝද නිතර සම්බන්ධ වූ බැවින් එය පැය ගණනාවක් පුරා දිව ගිය සංගීත සන්ධ්‍යාවක් බවට පත්ව තිබුණි.

ධර්මසිරියන්ගේ එක් පුරුද්දක් වූයේ උදෑසන ස්නානය කිරීමය. අප දෙදෙනාම ගේ ඉදිරිපිට පාර පසුකොට ගොස් වෙල් අද්දර ලිඳෙන් නෑමට පුරුදු වී සිටියෙමු. එහිදී මා උගත් එක් දෙයක් නම් එකවර තමන්ගේ රෙදි සියල්ල සේදිය නොයුතු බවය. දින පතා කෑලි 3ක් පමණ සේදීමට පුරුදු වූ පසු සති අගදී සියල්ල මැනවින් පිරිසිදු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ලංකාවේ පිරිමි හා ගැහැනු එකවර රෙදි ගොඩක් සේදීමට ඇතිකරගෙන තිබූ පුරුද්ද ඔහුගේ බලවත් විවේචනයට ලක්විය.

ධර්මසිරියන්ගේ මව භික්ෂුණි තත්ත්වයට පත්වීමත් සමග ඔහු බුද්ධාගම හා කාන්තාව පිළිබඳ පර්යේෂණ කරන්නට පටන් ගත්තේය. ඒ නිසාම භික්ෂූනින් වහන්සේලා කෙරෙහි විශාල ගෞරවයක් ඔහු දැක්වීය. එක් අවස්ථාවක ඔහු කාන්තාවාදියෙක් (Feminist) බවට පත් වූ බව ඔහුගේම ගෝලයකු වන ලෝරා මාකොවිට්ස් මැතිනිය පවසන්නීය.

1987 දී භික්ෂූනී පදනම පිහිට වූ ඔහු භික්ෂුනීන් පිටරටවලට යවා උගැන්වීමට මුදල් වැය කළේය. ඔවුන් බොහෝ දෙනෙක් මහායාන රටවලට ගොස් උපසම්පදා ලැබූ බව වාර්තා වී ඇත.

ඩබ්. එච්. ගුණතිලක මහාචාර්යවරයා සමග එක්ව මහායාන ධර්ම ග්‍රන්ථ සිංහලයට පෙරලිම ගුණපාල ධර්මසිරියන්ගේ නවතම ව්‍යාපෘතිය වූයේය. මහායාන ධර්මයේ ඇති හරබර හා රසවත් තැන් සිංහලයට පරිවර්තනය කිරීම ඔහුගෙන් සිදු වූ මහඟු සේවයකි. එවකට සිටි බෞද්ධ භික්ෂූන් රාශියක්ම තදබල ආත්ම වේලීමකින් (Dehydration) පෙලුනු බව පෙන්වා දුන් ඔහු ධර්මය ඉගෙන ගැනීමට හා විචාරාත්මකව විමසා බැලීමට ඔවුන් පුරුදු නොවීම පාපයක් වශයෙන් සැලැකුවේය.

1997 දී ඔහු ලියූ පොතේ මාතෘකාව වූයේ ‘ලාංකික ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ’යි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති ප්‍රබලතා ඔහු මැනැවින් පෙන්වා දුන්නේය.

එතුමන් රෝගාතුරටව මිය යන්නට පෙර ඔහු ලියූ අවසාන පොත බුද්ධාගම සහ ලිංගිකත්වය පිළිබඳ ග්‍රන්ථයකි.

ගුණපාල ධර්මසිරි ශූරීන් සහ මා සමීපව ගත කළ අවුරුදු කිහිපය වසර ගණනාවක් සේ මට දැනේ. එවන් උගතුන් ලංකාවේ අද බිහිවන බවක් අපට නොපෙනේ. ඔහු සදාචාරාවත් මිනිසෙකු වූයේය. විචාරශීලී මිතුරෙකු වූයේය. බොහෝ දෙනෙකුට අතදුන් පරිත්‍යාගශීලියෙක් වූයේය. පෙරදිගත් අපරදිගත් සමීප කරන්නට වෑයම් දැරූ සම්බන්ධිීකාරයෙකු වූයේය. මෙවැන්නන් පිළිබඳව ලියා තැබීම නූතන පරම්පරාවේ වගකීමක් වේ.

ධර්මසිරි ශූරින් හා මා පොල්ගහමුල නිවසේ ගත කළ වසර කිහිපය තුළ අප කෑම ලබාගත්තේ පාරෙන් එහා ජීවත් වූ ජයතිලක පවුලේ උදවියගෙනි. ජයතිලක අපගේ වයසට සමාන වූ පවුලේ ස්වාමියා වූ අතර අමරා ඔහුගේ ප්‍රියාදර බිරිඳ වූයේය.

අමරා එවකට පිසූ කෑම දවල්ටත් රෑටත් අනුභව කිරීමට අපි ඔවුන්ගේ නිවසට දිනපතා පයින් ගමන් කළෙමු. කෑම පිසීමේ කිසිදු දක්ෂතාවයක් නොතිබූ අප දෙදෙනාට අමරා ගේ ආහාර පාන දිව්‍ය භෝජන බවට පත් විය. මේ නිසාම ධර්මසිරියන් අමරාට ‘අමරාදේවි’ යන නමද පට බැඳ තිබුණේය.

ගුණපාල ධර්මසිරි ශූරින්ගේ උපහාසාත්මක දේවල් හෙළිවන්නට පටන්ගත්තේ ඔහු ගිහියෙකු වශයෙන් අලුත් ජීවිතයකට එළඹ එතැන් සිට දුරගමනක් ඔහු යන්නට පටන් ගත් අවධියේ සිටය. දාර්ශනික වශයෙන් සිනහ ගන්වන දේවල් පවසන්නට ඔහු සමත් වූයේය.

කෙතරම් දුරට ගිහි ජීවිතයට හුරුවන්නට ඔහු උත්සාහ කළ ද එක් පුරුද්දක් ඔහුගෙන් ඉවත් වූයේ නැත. එය නම් පයින් ගමන් කරන අවස්ථාවලදී වම් අත වැලමිටින් නමාගෙන බඳට යා කොට ඇවිදීමය. මෙය මහණ ව සිටි අවධියේ දී කුඩය වම් අතින් එල්ලාගෙන යාමේ පශ්චාත් ප්‍රතිඵලයක් යැයි සිතේ.

ගුණපාල ධර්මසිරි ශූරින් මහණකමින් ඉවත් වී සාමාන්‍ය පුරවැසියෙකු වශයෙන් ලක්මවට සහ ලෝකයට කරන ලද සේවාව යම් හෙයකින් දිගටම මහණකමෙහි රැඳී සිටීයේ නම් කළ නොහැකි බව මගේ නිගමනයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *